දාවිත්

Branisa Beric
by Branisa Beric

සිවිල් ඇඳුමෙන් සැදුණු බළ සෙනඟ
උන් වහන්සේ ඝාතනය කළහ
– එම්. ඒ. නුහුමාන්

මිකැලාංජලෝ මැවූ කිරි ගරුඬ රුව දිටිමි දාවිත්
කැටපෝලෙ ළෙලවාන ගොලායත් බිම දැමූ දාවිත්
ගීතාවලිය පුරා වේදනා  කවි ලියූ දාවිත්
නුහුමානුවන් ලියූ කවිය ළඟ ඔබ සොයමි දාවිත්

බාබෙල් කොතින් ගැලූ භාෂා දියේ පෙඟුණ දාවිත්
ඉන්දු නිම්නය දිගේ යාපනෙට ආවාද දාවිත්
යාපනය මොන තරම් වරනැඟෙන කඳුළක්ද දාවිත්
ඒ දිදුළ දුක් කඳුළ ලත් දෙමළ නෙත් සඟළ දාවිත්

නාගදීපය වැඳන් එන අතර සැදැහැවත් අලි ඇත්තු
යාපනේ පොත්ගුලේ  වැඩ උන්නු සම්බුද්ධ වැඳගත්තු
අලි ඇත්තු අතර උන් ‘අතිමහත් බහුතරය’ වැදගත්තු
සැඟවිලයි ඉන්නැත්තෙ පිස්තෝල කරකවන බැතිමත්තු

බැතිමතුන් යළිඳු ඒ වෙසක් මහ අවසාන රෑ විත්
මුනි බඳට වෙඩි තියනු ඔය ඇසින් දුටුවාද දාවිත්
පොත් ගුලට ඇතුළුවන එ පියගැටපෙළ ළඟට නෑවිත්
නිදි කුටියෙ කවුළු දොර විඳ තැවුල විඳ ගනිමි දාවිත්

ලේ විලක් මැද තිබුණ සම්බුද්ධ ඒ නිමල බඳ
ඇදගෙන ගිහින් දමා දසදහස් පොත් අතරමැද
තුඟු සිරුර සඟවලා පොත් වලින් චිතකයක් බැඳ
ගිනි අවුළුවනු පෙනී පුපුරා ගියෙද ඔබගෙ හද?

නිසලවුණු හද පතුළ සඟවගෙන එළි නොදුටු ශාස්ත්‍රය
හද නිනද නැඟුණාද ඒ සිඟාලෝවාද සූත්‍රය
ඔබ මතක නැති හදින් හද තබමි මේ මතක මාත්‍රය
අපට නම් තවම ඔබ ඇස් පියූ ඒ පොසොන් රාත්‍රිය

– මංජුල වෙඩිවර්ධන
2014 ජූනි 1

strong>සටහන – ආචාර්ය හයිසින්ත් සිංගාරයර් දාවිත් පියතුමා යාපනයෙන් බිහිවූ භාෂා පඬිවරයෙකි. ‘ඉන්දු ආර්ය භාෂා’ සහ පොදුවේ ‘භාෂා නිරුක්තිකය’ පිළිබඳ සුවිශේෂම ප්‍රාමාණිකයා වූ ඔහු භාෂා තිස් තුනක් දැන සිටි අතර අඛන්ඩව යාපනය පොත්ගුල කේන්ද්‍රකරගනිමින් භාෂා ශාස්ත්‍ර අධ්‍යනයන්හි යෙදුණේ ය. 1947-51 අතරතුර ඉන්දියාවේ හා යුරෝපයේ ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි කරන වකවානුවල ඇරණු කළ ඔහු 1936 සිට ඉගැන්නුම කටයුතු කළේ තමන් ද ආදි ශිෂ්‍යයෙක් වූ යාපනය සාන්ත පැට්‍රික් විදුහලේ ය. එය, යාපනය පුස්කාලය ඒ අසල තිබීම ඔහුගේ අඛන්ඩ භාෂා අධ්‍යනයන්ට මහත් පහසුවක් සහ පිටිවහලක් විය.

1981 මැයි 31වැනිදා රාත්‍රියේ, දකුණේ දේශපාලකයන් ඇතුළු මිලිටරි යාන්ත්‍රණය විසින් යාපනයේ කීර්තිමත් පුස්තකාලය, එහි තුළ වූ අනූ දහසකට අධික පත-පොත, අත්පිටපත්, පුස්කොළ පොත් සමඟ ගිනිබත් කළ සිද්ධියෙන් අතිශය කම්පාවට පත්වූ ඔවුහු හෘදයාබාදයෙහි වෙලී ජූනි පළමුදා රාත්‍රියේ තම කුටියේ තම යහනෙහිම මිය ගියහ.

පසන් නම් සුපසන් කව

pasan-kodikara2

මම තොප අවුළු මුහුලස
හැඩ පලු ලිහා – මිටි බැඳ
වූලෙක පටලවා
‘හැට්’ කිරීටය
පළන්දන්නෙමි.

“මම තොප නොහඳුනමි
මට තොප මතක නැත”*

දුම්බර සැහැල්ලු ම මොහොතක
තොප’තින් එ ‘රන්පත’ ගෙන
තෙතබත් තුඩග උහුලා
ඩම් දෙක තුනක් ඇද
ඇඟිලි අතරේ
යළිඳු රන්දමි.

‘‘මම තොප නොහඳුනමි
මට තොප මතක නැත‘‘

අනුපාන මඟහැර
ළඟ ළඟ නවන හවසක
උදුරා වීදුරුව
පෙම් සිප් එකක් ඇද
‘කැත’ හිනාවක්
පැහැර ගන්නෙමි.

“මම තොප නොහඳුනමි
මට තොප මතක නැත”

බඳ පටි සිදුරු මව මව
තුමුල ඩෙනිමෙහි හිරකර
විසල් නිල් චෙක් කමිසය
එ මතට උඩින් අත්හැර
චැප්ලින්මුවා මිරිවැඩි
සොයා දෙපතුල් ගන්වමි.

“මම තොප නොහඳුනමි
මට තොප මතක නැත”

ගුවන් පාළම් අසබඩ
මල් ලොලුන් විහිදන
පන්දම්පාලි විඳිමින්
හයිලෙවල් නුබ මඟ
තරණය පිණිස
ත්‍රෛරෝද දඬුමොණරය
නිහඬ අයිනෙක ඉන්දමි.

“මම තොප නොහඳුනමි
මට තොප මතක නැත”

මධු ලොලුන් සලුවෙන
වටරවුම් වට සරමින්
මඳ සුළඟටත් හෙළවෙන
කොඩිකාරමය මඳහස
අඩවන් ඇසෙහි ඇවිලී
සුපසන් වදන් නික්මෙන
ඉගැඹුරු හඬට කන්දෙමි.

“තොප මා හඳුනයි
තොපට මා මතකයි”

මඳහස පැළඳගත්
වේදනාමය ඇස් ඇර
කැලුම් අඩකුඹු කර
තොප එසේ කීව ද
අනිත්‍යය’** වර නඟමින්
සැලුම් වෙවුලුම් කන
මතක ඇහැරෙනු පෙර
යළිඳු පවසන්නෙමි.

“මම තොප නොහඳුනමි
මට තොප මතක නැත”

– මංජුල වෙඩිවර්ධන

*”මම තොප නොහඳුනමි” ජී.බී.සේනානායකගේ කවියකි.

**‘අනිත්‍යය’ පසන් කොඩිකාරගේ එකම කාව්‍ය කෘතිය.

Arnav ….. ! ආනෆ් ….. !

By Cyril Rolando

කිරි සුවඳ, අන් සියලු සිහින අතරින් මිදෙන
සිහිනමය ඉසව්වක් සොයන්නද
නො සඟවා කියන් උඹෙ අම්මාව වෙලාගෙන
මුලා කළ සිහිනයෙහි ගිලෙන්නද
පියවරක් එසෙව්වේ එ පය ඒ සිහිනයෙහි
මුවවිටෙහිදි ම ඇයට පුදන්නද
පය පුදා උඹ ඇයට ආදරේ කළ තරම
සිහිනයක් නොවන බව කියන්නද

පියාපත් පැළඳගෙන පියාඹන සමනලුන්
හොයා දිව යන මොහොත එළඹෙද්දි
ගියා වෙද කිරිසුවඳ පරාදීසය අතැර
මලානික වලාකුළු කැළඹෙද්දි
සනාතන යැයි හිතූ වෙලාවෙහි කෝ කොහිද
සරා සඳ, සා පැටව් වැළපෙද්දි
හිනාවෙන පුතනුවනි හිනා දහසක අරුත
දැරිය යුතු ම ද ‍ කඳුළු හිනැහෙද්දි

අතීතය වර නැඟෙන හුදෙකලාවම පතන
හුදෙකලා හදවතට ඉඩ දෙන්න
හැමදාම ඔබ සොයා සිහිනයක සැරි සරා
නිනද දෙන නිහඬකම උහුලන්න
නිහඬ සිහිනෙක වුණත් හිත කොහොම ඉඩ දෙයිද
තනි පයින් එන ඔබව දැක ගන්න
මට බැරිද පුතනුවනි මෙ පය සිහිනෙට පුදා
දිව යන්න ඔබට මඟ ඉඩදෙන්න

-මංජුල වෙඩිවර්ධන
2017 ජූනි 16

 

ආනෆ් ගැන වචන සහ ඉන් ඔබ්බට….

ආනෆ් ඉන්දියානු සම්භවයක් තියෙන දරුවෙක්. වයස අවුරුදු එකොළහ යි.

ඔහු මගේ මිත්‍රවරියගෙ ශිෂ්‍යයෙක්. ආනෆ්ගෙ අම්මා නෑ. නැතිවෙලා.  ආනෆ් හිටියෙ තාත්තා එක්ක. අම්මත් තාත්තත් දෙන්නම වෙනුවෙන් තාත්තා ජීවත් වුණා ආනෆ් ළඟ. ආනෆ් කෙමෙන් අම්මා තරම්ම සමීප වුණා ඇගේ ගුරුවරියට. ඒ කියන්නෙ මගේ මිත්‍රවරියට. ඉකුත් 2017 අවුරුද්දෙ එක්තරා දවසක දැන ගන්න ලැබෙනවා ආනෆ්ගෙ කකුළෙත් කැන්සරමය (ඒ සිංහල වචනෙ දරුණුව දැනෙන හින්දා මට මෙහෙම ලියන්න අවසර දෙන්න) කාරණා පැතිරිලා කියලා. කරන්න තියෙන පළමු ප්‍රතිකාරය තමයි කකුළ සහ ආනෆ් වෙන් කිරීම.

ම විසින් මේ කවිය ලියැවුණේ මෙන්න මේ කියන තීන්දුව අබියස.

මේ කවිය සහ සටහන අතර පරතරය හරියට ම මාස නවය යි.

ඒ අතරතුර පුතාගෙ කකුළ බේරාගන්න තාත්ත ගෙනගිය අරගලය……
පුතාගෙන් කඳුළු හංගගන්න තාත්තා කරපු අරගලය…..

මේ මොහොත…..?

මම මගේ ‘සුළඟට අවනතව’ පොතට ආනෆ් ගන්නදැයි මගේ මිත්‍රවරියගෙන් අවසර පැතුවා. මට අවසර ලැබුණා. ඇතැම් විට ඒ ආනෆ්ට හෝ ඔහුගෙ තාත්තාට, මං ලිව්ව දේ කියවන්න නො ලැබෙන හින්දා වෙන්නත් පුළුවන්. කවි පොත මුලින්ම හැදෙද්දි ආනෆ් කවිය තිබ්බා. නමුත් මම හිටියෙ දෙගෙඩියාවක. මට හිත හදා ගන්න බැරි වුණා. ආනෆ් පොතට ගන්නවද? නැද්ද? අන්තිමේ මම නො පළ කවි ගොනුවෙ නිශ්චිත තැනක ආනෆ්ව තිබ්බා.

මේ ගෙවුණු ජනවාරියේ සෝබර දවසක මගේ මිත්‍රවරිය මට මෙහෙම කිව්වා. ‘ආනෆ් කැමති නෑ කියනවා මාව දකින්න.’ ඇගේ පපුව නවතින්න තරම් වේදනාවක් ඇගේ හඬේ තිබුණෙ.  ‘කොල්ලට අමාරු ඇති’

මං සුපුරුදු නිශ්ශබ්දතාවට ඉඩ දුන්නා.

ඒ වෙද්දි වෙන් නොකර ඉතිරි කරපු, කොල්ලගෙ කකුල දරුණු විදිහට ඉදිමිලා….. සියල්ල, සියල්ල පුරා පැතිරෙමින්…..

පෙබරවාරියේ මගේ මිත්‍රවරිය ඇගේ මව් රටට ගියා. මසක ඇවෑමෙන් යළි ගෙදර ආව දවසට පහුවැනිදා ඇය මට මෙහෙම ලියලා එව්වා ‘මගේ පුංචි කොලු පැටියා ආනෆ් මං එනකල් බලන් ඉඳලා. අද උදේ එයා එයාගෙ අම්ම ළඟට යන්න ගියා’

පොතට නො ගත්ත මේ කවිය ‘මෝසම් හඳ’ ට ගේන්න මම හිතලා තිබුණෙ නෑ. මේ කවිය ගැන දැනන් හිටිය‍ෙ මගේ මිත්‍රවරියත් මමත් විතරයි. නමුත් අවසානයේ, දැන්, ‘ආනෆ්’ පොදු අවකාශයක තියන්න මම තනියම තීන්දු කළා.  මගේ මිත්‍රවරියගෙ අවසර නො පතා ම.  ඇය මට සමාව දෙයි.

2018 මාර්තු 17

ඔව්, ඉතින්, මේ ඒ මොහොත…

© Miles Cleveland Goodwin

නින්දගං අතැර යන මිනිසා
ගෙන්දගං වලාකුළු නො තකයි
නින්නාද නැඟුවාට
තබන පියවර ලකුණු
යන්තමින්වත් හැරී නො බලයි

පෙබරවාරිය වගේ
කොළ හැලෙන මතකයට
දැන් ඉතින් මතකය ම විතරයි.

මංජුල වෙඩිවර්ධන
2018 පෙබරවාරී 17

කළු වළලු

(ඔබ එවූ කළු වළලු ලැබුණා)

කෙළ සුවහසක් විරිත් හදවතේ රළ නැඟෙන කළු වළලු
සඳ දියෙහි පෙඟෙන මුදු ගණඳුරක පැනැ නැඟෙන කළු වළලු
මධු විතක තොල රඳන මතකයක දඟ නැඟෙන කළු වළලු
අතහැරුණ සිහිනයක සිහිනයෙන් වර නැඟෙන කළු වළලු

සංසාර නැවතුමෙක අත ඇනුණ කටු ලිහන නිම නැතුව
මට ලැබුණ කළු වළලු සංතාප සයනයක නිදි නැතුව
වම් අතේ පටැලවී කරකැවෙන ඔබ එක්ක ඔබ නැතුව
හද ගැහෙන තැන ගැහෙන එක ‍කොහොම හැඟුමක්ද හද නැතුව

නිරසකර සුරත හිමි, එනිසා ම ‘වෙලා පැළඳුම’ දැරුව
ඉසිඹු නැති තත්පරද වෙහෙසකර අඩි තියා සැරිසැරුව
හද සැලෙයි නීරසම සුරතකට කවි කියා දෙනු බැරුව
කළු වළලු ලූ වමත දැන් ඉතින් පද මවන පෙරහුරුව

පෙති ඇරෙන පැදි පෙළක ඉසියුම්ම මඳහසක තල එළලු
එළිසමය දිළෙනවා සුකුමාල මධු සමය මෙන් සොඳුරු
හිටිවනම සිහින මත ඇදහැලෙන මාලතී මල් කැකුළු
මත හොයමි පිනි දියර, කොයි ඇසක සඟව ගත්තෙද කඳුළු?

-මංජුල වෙඩිවර්ධන
2017 මැයි 31

(සුළඟට අවනතව – 2017 සැප්තැම්බර්)

සහෝදරයා !

BY YURI SMITYUK

පෙඳින් ඇසි පිය සැළුණ මොහොතක
සුසුම්ලන හදවත
හෙමින් පියමැන ගිහින් නවතියි
‘සැලුන් දොර’ අබියස

උඹට දැනුණෙද නොදැනුණාවෙද
අහස් ගව්වක දුර
රහස් රැව් දෙන සුසුම් අතරෙහි
දෑස් මඟ හැරුණිද?

වලාකුළු මත හිස තියාගෙන
වේදනා උහුලන
කොහෙන් ඇවිදින් දෙතොල රැඳුණි ද
ඇවිලෙනා මඳහස

සැහැල්ලුව මත කඳු ගසන්නට
පිරිත් හඬ මොකටද
රහත් සුවයෙක දෑස් ඇරගමි
රහත් කවි පදයෙක

අලුත් මොකවත් නෙමේ තරු එළි
දෙසැම්බර අහසට
මටත් ඉල්ලුම් පතක් එවපං
‘හිත කෙටූ’ ලිපිනෙට.

-මංජුල වෙඩිවර්ධන
2017 දෙසැම්බර් 13

මාතලං

මාතලං මාතලං මං කරන්නෙ සූරවීර කං
මාතලං මාතලං දුප්පතාගෙ හිතවතානෙ මං
-ඇම්මැසුවාණන්ගේ බයිලාවකින්

 

මාතලං උඹට බොරු කිව්වෙද කවුරු
පා ගමං ගොහිං ළෙලවන්නට අකුරු
හීතලෙංම උණුහුම උපදින අයුරු
ආදරෙං ඉතිං පහදාපං සොයුරු

බිනර අහස හැමදා අඳුරු බියකරූ
නුවර පාර ගොරතර රුදුරු විසකුරූ
පඳුරු ලලා වැඩෙනා අඳුරෙ සැරිසැරූ
ගොදුරු සොයනු නුදුටිද රුහිරු රණවිරූ

ඉඹුල්ගොඩය ඒ පෙනෙන කඩවත
නැඹුල් යකුන්මය අතගගා බඩවත
අගුල් වැටුණු අහසෙහි, කොහිද සඳවත
මඟුල් ලකුණු දුටුවෙද පයෙක හිතවත

ටොක්කා සමඟ යන විට තුරඟකු දක්කා
සුක්කානමක් නැති රථයක එළි දැක්කා
රැක්කා කියන උන් ඇවිදින කණු එක්කා
මක්කා කොළාදැයි කියපන් මට ලොක්කා

කැළණි කන්ද නැඟැ එන නවක පිරිවර
පැරණි සිහින දැක්කත් නවමු ඇස් ඇර
සිහින බිඳෙන තැනමය සරුප බිත්තර
ඉතිනි මෙහෙම කියනෙමි සොඳුරු සොහොයුර

නැමුණු හිස් නැඟෙයි සොහොයුරු ගංතීරේ
දැමුණු හිත් දිනෙක ඇවිලෙයි මහ පාරේ
සමුගැනීම උරුමයි වමේ සංසාරේ
හමු නොවීමමයි හමුවීම බණ්ඩාරේ

-මංජුල වෙඩිවර්ධන
2016 සැප්තැම්ර් 27

(‘සුළඟට අවනතව’ 2017)

මතක මත…මතක මත.

© Björn Norberg

පැහැය නොපෙනෙන මුදු…
මලෙක හෙවණැල්ල
ඇහැට හැඩ නැද්ද,

සුවඳ නොදැනෙන මුදු…
මතක සිතිවිල්ල
සුවඳ නො ගෙනෙද්ද?

– මංජුල වෙඩිවර්ධන

මැයි මල් සිලිටි පෙති මත

by Zdzislaw Beksinski

මැයි මල් සිලිටි පෙති මත
ඇයි මේ සිහින පිනි බිඳු?

නො සන්සුන්වද හිමිදර
ඇහැර ගන්නට බැරි
ඇසතු ගසකින් ඇසුවෙ‍ද
රෑ පුරා නිදි වැරූ
සන්සුන් ම හිත ගැන?

නේරංජනේ ඉවුරත
සිහිසන් නොවුණු සිහිනෙක
දෑසින් ගලන මඳහස
දෝතින්ම ගෙන පුදනෙමි
මෑතින් ඇහෙන කඳුළට.

හිස කෙස් සිඳින විට
සවන් පෙති දිගැරී
පුළුල් උරහිස මත
හෙමින් සැතපෙන මොහොතක
සවන් පතුළත කැළඹුන
නිවන් එළැඹුම මෙහෙම ද?

නෙළුමින් නෙළුම පියමැන
සත් වසක් පසුකළ
සත් නෙළුම් විඳි දෙපයට
බිම්බරක් දිවි හළ තැන
පස් මිටක්වද මතකය?

සමන් ගිර මුදුනත
මඟුල් සුළකුණු දියැවෙන
පතුල් පුදසුන එයම ද
වෙසක් සඳ සපැමිණ
නලල් අඩසඳ අතුරන.

මැයි මල් සිලිටි පෙති මත
ඇයි මේ සිහින පිනි බිඳු?

2017 මැයි 18