ඩොනා හෙවත් ඩොනල්ඞ් මාමා

මධුවිත තනිකර නික්ම ගිය නාගරික ජන කවියකු වූ ඩොනා හෙවත් ඩොනල්ඞ් මාමාගේ කාව්‍යාත්මයේ රිද්මය

© William Orpen

මනාපය මගෙයි
කඳුළැලි සිනාසෙනු වගෙයි
ඩොනා මට අගෙයි
රස කල්පනා රැලි නැගෙයි

සවී ගෙනෙන පද -සිඹියි
නිවී තියෙන හද
අවී වුණත් වැඳ -වැටෙයි
කවී පොකුරු මැද

බැස්ටියන් ඩොනා -හිටියම
කස්ටියක් මෙනා
ගුරු මුස්ටියත් උනා දී
සන්තුස්ටියක් වුණා

ඉල්ලූ ගමන් පද ලැබෙන
කල්ප වෘක්ෂෙ වැඳ, කවි
මල්ල ලිහමි අද, බලනු
එල්ල හැලෙන නද

මා කවි කියන අතරතුර ඔහු අවදි වී බලයි. ඒ දෑසේ මඳහස කි. මම ඔහු අවුලුවාලනු පිණිස පද තීව‍්‍ර කරමි. දැන් ඉතින් ඔහු මා හා පැටළෙනු ඇත. මට අවශ්‍යව ඇත්තේ කෙසේ හෝ ඔහුගේ නික්ම යාම පමා කරලීමට ය.

මම :-

කවුඩානට යන පාර
ගව් ගාණට මැන්නෙ
දැන් පව් කාරයො බණ කියති
දෙව් ලෝ පිළිකන්නෙ

ඔහු :-

පව් පිරුණත් මගේ, මෙකවි
රැව් පිළිරැව් නැ‍ඟේ
මුන් කව් සිළුමිණ අගේ කරන
සව් කරදහි වගේ

මම එවර ඔහු ඉලක්කයට ගනිමි. වාදය අවුලුවාලමි. ඔහුගේ හදවත නගන හඬ අසනු රිසියෙනි.

මම :-

මස් මාළුම කැව්වෙ
හැබැයි රස්සාවට බිව්වෙ
මම දුස්රාවකි එව්වෙ, කොහෙද
ඇස්වහගෙන දිව්වෙ

ඔහු :-

ඩොනා එවන පද -දැකල
අනාගෙනද අද
අපෙ සනා පිටිය මැද -වැටුණෙ
කනා මුට්ටි බිඳ

මම :-

අර කවුඩගෙ පිළිරාවේ අරන්
කවුඩානට ආවේ
කවි සව්බර බර ගෑවෙ
ගුරු ගවුරවයද කෑවේ

ඔහු :-

අර බොරූ කකුල් හුරූ පට්ට
හොරූ නෙළති තරූ
මේ ගුරූ හිතේ දරූ පෙමට
ගරූ කරනු මරූ

මම :-

දාඩිය ගඳ යසයි
තිත්ත කාඩිය වුව රසයි
කවි ජාඩිය හරි උසයි නමුත්
මූඩිය හෙණ වසයි

ඔහු :-

දාස් ගණන් පද ගලන
සාස්තරය ලද
අපෙ රාස් කියනවද
පොඩි රෝස් පාන් මැද

මම :-

ගිරා මොටකු කට අරියි
සිරා කවියෙකුට
සුරා සොඬකු හට බැරිය
ගුරා කියනු මට

ඔහු :-

දාලා දෙක ඉතා රසට
මෝලා ඇඹරෙතා
අර නාලාගිරි ඇතා වගෙයි
බීලා නැති පුතා

ඔහුගේ මඳහසෙහි ඇත්තේ සදය උපහාසයකි. උත්ප‍්‍රාසයෙන් මා දෙස බලා ඔහු යළි ඇස් පියයි. මම වේදනාවෙන් සසැළෙමි. ඔහු වෙනුවෙන් ලිවිය යුතු දෑ බොහෝ ය. මෙම නිහඬ නාගරික ජන කවියා වණන්නට පියවි ලෝකය බාධාවකි. එහෙයින් මේ නිමේෂයේ මම, මධුවිතක් පිණිස හිත හදා ගනිමි.

සුවර්ගෙ යන දින මොටද
සුවර් ඔබගෙ තැන – ඔය
ලිවර් එකට පණ පොවල
කවර් කරමි දෙණ

අර මැරෑටියකු වෙන්න හදපු
මට මඟ පෙන්නා
කවි කරාටි පද පුහුණු කරල
කලු පටි දුන්නා

ඔබෙ කට ගෙන බුදුවෙන්ට හදපු
රට සට කපටින්ට
අර අට කොණ ගෙන එන්ට කියමු
බටකොළ වළඳන්ට

තනි අතින් කවපු පිට්ටු
වලට ලතින් පවා මට්ටු
මධු විතින් අපට කිට්ටු
කරපු ඇතුන් සදා කෙට්ටු

පොඩි කුරුල්ලකුව සොයා
කවි කරල් කවපු පියා
මධු බැරල් අපිට තියා
අපෙ ඩොනල් මාම ගියා

ඔය සදාතනික මූණෙ
රැස් නිදා වැටෙනු නෑනෙ
අත් මුදාහැරෙන මානෙ
අපි බෙදා ගනිමු හීනෙ

නොවැම්බර් 05, 2011

Advertisements

ගිම්හානයේ හිම (ඉස්පිරිතාල සිතිවිලි)

© Pauline Zenk
© Pauline Zenk

සාර සියක් ගව් දුර කුළුණක හෙවන
වීර කෙසර ගිළිහෙන සිහිනෙන් මිදුණ
මාර සෙනග විමසන සඳ මඳ පවන
බීර මලක් පිපුණයි පිපිරුණු ලවන

දූම කේතුව ම රැකගෙන පෙනහැල්ලේ
තාම හිනාවෙමි මතකයෙ හෙවනැල්ලේ
නාමෙ දිරන කුණුකය ගෙන සැනසිල්ලේ
බෝම දුර ඇදෙන සුසුමකි පවනැල්ලේ

සේන් කියන ගග දිය සෙනසුරු ලව්වා
මේන් කියා ළමැදට හිරිකඩ එව්වා
කේන්දරය ඉවුරත පරිධිය හෙව්වා
හාන්කවිසියක් නො දැනම කිරි දෙව්වා

සීත, උණුසුමක් දුටුවම නැහැ සද්ද
දෑත අන්ධකාරයෙ මිටි මෙළවෙද්ද
පාත බලාගෙන සමු අරගෙන යද්ද
ඈත, දිව අවුත් ඇහැ ළග ගුලිවෙද්ද

“නිස්කාරණේ සැතපෙනු බෑ තනි යහනේ
පස් මහ බැලුම් පාවෙනවා උඩු ගුවනේ
රස්සාවක් නුඹට විතරද හමු නොවුණේ
බැස්ටීලයට හෙණ වැදිලද සුවාමිනේ”

කිඳුරු විළාපය ඇසුණිද අමාවක
අඳුර ඉකිබිඳින ගණඳුරු වෙලාවක
සොඳුරු ඇසක පාවී යන වලාවක
සොඳුර දිටිද දෙවිඳුනි වැහි වලාහක

ගිම්හානයෙත් හිම මිදෙනා ඇත්තන්ට
සංසාරයම සන්ධ්‍යාවකි බුදු වෙන්ට
නිම්මා නැති කඳුළු පිසදා සැරසෙන්ට
පෙම්මාදරය මැද්දෙම සමු ගෙන යන්ට