සුසා

ඇන්ඩෘෘ සල්ගාඩෝගේ සිත්තමක්
ඇන්ඩෘෘ සල්ගාඩෝගේ සිත්තමක්

උඹෙ අතින් අල්ලගෙන
මගෙ හුස්ම බොට දෙන්න
මගෙ අත් – තටු නොවන නිසා
කිණිහිරියෙ දුක් විඳින
කවි කිරිච්චිය රැගෙන
ඇණ ගනිමි හදවතට සුසා…

ඇහැ අගින් ඇහෙනවා අඟුළානෙ මහ මුහුද
නැහැ තුඩග දවනවා දැවෙන රොන්සුණු පුසුඹ
පැහැ ‘එරන්වන් පතෙක’ තෙමුණු ෆිල්ටර අඩක
පැහැය මං හොයනවා නිහඬ කවියක හඬක

කක්ෂපුට ජීවිතේ රන් තලිය ඉරි තැළුව
ලක්ෂපතියේ ඉද්දි සත පහක්වත් නැතුව
පක්ෂියෙක් සේ පියාඹා ඇවිත් බත් බෙදුව
”යක්ෂයා” උඹ ය දෙවියන් පවා ගරු කෙරුව

ඈත ඇමතුම් ලැබෙන
එනිටයිම් සෙල් එකට
වචනයක්වත් නොකිය දොසා
ට්‍රේල මත ඉඳගනියි
ඩෙඩ්ලයින් දැනදැනම
පියහඹයි තටු ලැබුණු ලෙසා
සාර සිය ගව් දුරක්
මොහොතකට හකුළන්න
කිසි දිනෙක පාර නෑ අසා
පාර වැරදුණ බවක්
කෙළෙසකින් හිතන්නද
එහෙව් වූ දෙනෙතකට සුසා

මව් පොළොව මව්වරුන්
සිටින පුතුනට ලැබෙන
දිනක අපි පය පොළොවෙ ගසා
ඇවිද ගොස් සැනසිල්ලෙ
බදාගෙන අඬනතුරු
වේදනා උහුලගමු සුසා…

පත්තිරක ලියනු බෑ මුසා
ඇත්තටම ආදරෙයි සුසා

අගෝස්තු 24, 2011

යළි නිදන්නෙමි (ඉස්පිරිතාල සිතිවිලි)

© Marjô Mizumoto
© Marjô Mizumoto

මිලිග්‍රෑම් දහසක
ඩොලිප්‍රෑන් පෙත්තකි
හඳ……….

බෙතඩින් ය – ඔව් ඒ සුවඳ පමණි ය
ගත වෙලෙන ස්නේහය ම.
නිකොටින් ය සිහිනයෙ ම.

සේලයින්
පමණෙකි ය
ඔන් ලයින්.

වේදනාවේ
සැනසුම
දුම් උගුරක් ය
මතකෙට.
මාපකේ උණුහුම
ගල් උගුරක් ය
සිසිලට.
රුධිර පීඩන යන්ත්‍රය
මතුරන රුදුරු මන්ත්‍රය
පංච තන්ත්‍ර ය.

ගල් බාගයක
මූඩියක් කැරකේ ය
කන ගාව.
සිහිය ඒ – අවසන් ය මුර්ජාව.
මග්දලේනා හඬෙකි…..
ජනිත වූ හදවතේ පිළිරාව.
ජනිත වූයේ එ හඬ
ගල් ගසන
මිනිස්සුන්
හට දාව

දෑසින් සැලෙයි
නන්නාඳුනන හෝඩිය….
නො තේරෙන කවි
පේලි ගන්වයි
පත් ඉරුවක් ව
කොට්ටය….
නිහඬතාව
සෙත් කවියක් ය
නින්දට.

මිලිග්‍රෑම් දහසක
ඩොලිප්‍රෑන් පෙත්තකි
හඳ…….