
පෙඳින් ඇසි පිය සැළුණ මොහොතක
සුසුම්ලන හදවත
හෙමින් පියමැන ගිහින් නවතියි
‘සැලුන් දොර’ අබියස
උඹට දැනුණෙද නොදැනුණාවෙද
අහස් ගව්වක දුර
රහස් රැව් දෙන සුසුම් අතරෙහි
දෑස් මඟ හැරුණිද?
වලාකුළු මත හිස තියාගෙන
වේදනා උහුලන
කොහෙන් ඇවිදින් දෙතොල රැඳුණි ද
ඇවිලෙනා මඳහස
සැහැල්ලුව මත කඳු ගසන්නට
පිරිත් හඬ මොකටද
රහත් සුවයෙක දෑස් ඇරගමි
රහත් කවි පදයෙක
අලුත් මොකවත් නෙමේ තරු එළි
දෙසැම්බර අහසට
මටත් ඉල්ලුම් පතක් එවපං
‘හිත කෙටූ’ ලිපිනෙට.
-මංජුල වෙඩිවර්ධන
2017 දෙසැම්බර් 13