“තාත්තේ”

කනප්පුව මතට වී තනි වෙලා පිරිත් පොත
බුලත් හෙප්පුව හිඳී කවිච්චිය මත සොවින
සෝපාව පාමුලේ පඩික්කම විමසිලිව
මුව අයන් ඉකිබිඳී කෙළ පිඩක් පතා ගෙන

සහස් අත් යොමා අපෙ හිස් මුදුන් පිරිමැදුව
තුරුගොමුව සීරුවෙහි සෙවණැලි ද හකුල ගෙන
පාන්දර ඉඳන් කවි ගී ගැයුව විහඟ කැළ
මුමුණතේ ඔවුනොවුන් ඇසෙන නෑසෙන සරින

උදැල්ල ද වේළිලා ය පුරුදු උණුහුම මැතුව
බලා හිඳිනේ නියර මේ කවුරු එනකල් ද
කෙළිදෙළෙන් පැනැ නැටූ මඳ පවන් කොහෙ ගිහින්
නෙතු බිමට හරවාන හඬනවා වී කරල්

අඳුරු කර නෙත් මඬල නිල් මුහුණ හකුළ ගෙන
මහා හඬින් කෑ ගසා හඬනවා නුබ ගැබ ද
නොදැනීම මහදවත් ගං දෑලේ බැමි බිඳී
නෙතු කෙවෙනි තුළින් දිය පිටාරව ගලා යේ.

(1991) -පිළිහුඩුවී

මේ සොඳුරු කුටියෙහි

වීදුරු බිඳී ගිය
තිර රෙදි ලිහී ගිය
කවුළුවකි
ඒ තමයි
අතීතය.

මකුළු දැල් බැඳි
සිහිනයක පැටළුණ
තටු කඩාගත්
මැස්සෙකු
අවකාශයට ඉහිරන
අවසාන සුසුමද
මහ හඬකි
කිසිවෙකුටවත්
නෑසෙන.

ගෙල බිඳුණ
මල් බඳුනෙකි
අළු බඳුන ලෙස
නම් කළ
හුස්ම වෙනුවට
දුම් බොන
පෙනහැල්ලකට
පෙම් කළ.

මහා ශක්තියකට
පවා තද කළ නොහෙන
කරාමෙකි
ඇස අසල.

ඉර නිවෙන විට
දැල්වෙන
මේස පන්දම යට
මිලින මල් රෙද්දකි
කවි වලින්
හැඩි වුණ.

මුළු මහත් ලෝකයට
පර්යාය පදයකි
මේ මෙ තැන
මගෙ කුටිය.