දුෂ්ටයා ලිට්මස් පරීක්ෂණයෙන් සමත්ද?

 

by Zdzislaw Beksinski

ශෝකයත් රසයක් නම් දුෂ්ටකමත් සෞන්දර්යයකැයි ‘දුස්ටකමේ සවුන්දර්ය’ ගැන කෙටිකතා සංග්‍රහයක් ලියූ මේ ලේඛකයා සති කීපයකට එපිටදී පුවත්පතකට කියා තිබිණ.
පෙරදිග නාට්‍ය විචාරයට අනුව විභාව, අනුභාව සහ ව්‍යභිචාරී භාව සංයෝගයෙන් රස නිෂ්පත්තිය සිදු වේ. භරතමුනිගේ නාට්‍ය ශාස්ත්‍රයේ රස සිද්ධාන්තය පරිදි භාව අටක් ද ඒවායින් ජනනය වන රස අටක් ද ඉගැන්වෙන අතර, පසුව ධනංජය ලියූ දශරූපයේදී ඊට තවත් භාවයක් සහ රසයක් එක් කිරීමෙන් නව නාට්‍ය රස නිර්මාණය වේ. කලාව න්‍යායික ප්‍රවේශයන් ඔස්සේ සාකච්ඡා වන බොහෝ අවස්ථාවල රාමුගත ස්වරූපයක් ගන්නා බව සැබෑවකි. බොහෝ සාහිත්‍යකරුවෝ මේ අතීත සිද්ධාන්තයන්හි ආකෘතික වහල්ලු ය. නො සෙලවිය හැකි ගල් රූප බඳු අධිපති මතවාද අරක් ගත් විට සාහිත්‍යයේ කලා සංස්කෘතික අවකාශය වඩ වඩා ප්‍රමාණයෙන් කුඩාවෙමින් ආපසු ගමනක යෙදෙන්නට පටන් ගනියි. ඊට එරෙහි ව දේශපාලන අරගලයක් කරන නූතන ලෝකයේ කලාකරුවෝ සාම්ප්‍රදායික දෘෂ්ටීන් ප්‍රශ්න කොට ඉදිරිගාමී සංස්කෘතික අවකාශයක් වෙනුවෙන් නව්‍ය අදහස් සමාජගත කරන්නට උත්සුක වෙති. යහපත සහ අයහපත යනුවෙන් රේඛීය ව අධිනිශ්චය වූ සදාචාරවාදී අන්ත දෙක මධ්‍යයේ සවිඥානක ව හෝ අවිඥානක ව අමතක කෙරෙන, වඩා සෞන්දර්යවාදී අවකාශයක් ද පිහිටන බව නූතන සාහිත්‍යකරුවෝ පෙන්වා දෙමින් සිටිති. වලව්කාර වැඩවසම් න්‍යායයන් අභියෝගයට ලක් කරන ප්‍රගතිශීලී කලා සංස්කෘතික අවකාශයක හිඟකම මේ මොහොතේ ලාංකික සමාජය අත්දකින ඛේදනීය අඳුරු යථාර්ථයයි. එවන් නිමේෂයක දුෂ්ටකමේ ඇති සෞන්දර්යය ගැන මංජුල වෙඩිවර්ධන සිංහල පාඨකයාට නැවුම් අදහසක් යෝජනා කරමින් සිටියි.
අනූව දශකයේ දී පළ කළ ‘නිරුත්තර සමාධිය’ කෘතියේ පටන් මේ වසරේ දී පළ කළ ‘දුස්ටකමේ සවුන්දර්ය සහ රත්මලානේ තවත් කතා’ දක්වා වූ මංජුල වෙඩිවර්ධනගේ නිර්මාණ වපසරිය කවි ද ගීත ද කෙටිකතා ද නවකතා ද තිර නාටක ද හමුවන පැතිරුණු අවකාශයකි. ප්‍රථම කෙටිකතා සංග්‍රහය ලියා දහසය වසරකින් ඔබ්බේ හෝ ඔහු යළි තවත් කෙටිකතා සංග්‍රහයක් එළිදක්වන්නේ, ‘මේරි නම් වූ මරියා’ වාරණය කළවුන්ට රිදෙන්නට කනේ පාරක් ගසමිනි. ‘දුස්ටකමේ සවුන්දර්ය’ මේ කෘතියේ එන කෙටිකතා හයෙන් එක් කෙටිකතාවක් වුව, සැබැවින් ම කෙටිකතා හයේ ම සාහිත්‍යමය අන්තර්ගතය දුෂ්ටකමේ සෞන්දර්යය පිළිබඳ ව ම ය.
‘සැමියා විතැන් වූ අවකාශය වෙත වැටුණු ‘මල්ලී’ හා තාත්තා අහිමි අවකාශයට වැටුණු ‘අයියා’ එකම තැනැත්තකු වූ බැවින්, ඒ අම්මා සහ දුව, මා අත් දෙපසට ඇද කුරුසියක තබා ඇණ ගසනු ලද්දාහු ය. එසේ වූයේ, හිසට කටු ඔටුන්න වැටීමට තීන්දු වී තිබියදී ය.’
අම්මාගේ කනවැන්දුම් භාවය පිළිබඳ සිතිවිලි සහිත ව නෙල්කාට සැමියෙකු වන අතර ම ෆිලමිනාටත් ඇගේ දුව රොවිනාටත් මැදි වූ ‘පාන්දර වන තුරුම අද රෑ’හි කතා නායකයා බත්තලංගුණ්ඩුවේ ඇන්ටනී සිහිපත් කරවයි. මේ යුගයේ ලාංකික විඥානයේ පිළිලයක් තරමට ඔඩු දිවූ ඊනියා සදාචාරවාදයෙන් විතැන් වී නිර්මාණකරණයේ යෙදෙන්නට හැකි නිර්මාණකරුවන් සිටීම ම නූතන සාහිත්‍ය පරිශීලකයන් අස්වසන්නේ ය. මහා සමාජය නම් ජරපත් කුහකත්වය අතික්‍රමණය කර සංස්කෘතියේ හික්මවීමට යටත් නුවූ, ක්ෂුද්‍ර එහෙත් අසීමිත හුදෙකලා අවකාශයක් වන බත්තලංගුණ්ඩුව ස්වකීය නැවතුම්පළ කර ගන්නා ඇන්ටනී ද පරමාදර්ශී සමාජ සංකල්ප විසංයෝජනය කර ‘අන් තැනක ජීවිතයක්’ ආදරයෙන් වැලඳ ගනියි.     
‘ඒත් දැන් මෙතන වෙන අවුලක් වෙලා. මෙතන මගේ පෙනුම ම තියෙන මගේ නම ම තියෙන මිනිහෙක් ඉන්නවා. ඒත් දැන් මං නෑ.’

ආයතනගත සමාජ ව්‍යුහය විසින් මිනිසා මත ආරෝපණය කරන ලද හොඳ නරක සහ දුක සැප පිළිබඳ වූ සම්මත රාමුව සියුම් ව ප්‍රශ්න කරන නිදහස් මිනිස්සුත් ගැහැනුත් කතුවරයාගේ නිර්මාණ තුළ බහුල ව සැරිසරති. මේරි නම් වූ මරියාහි ජෝසප් නම් සැමියා විසින් කන්‍යාභාවය නො බිඳින ලද මරියා, සිය රහස් පෙම්වතා නිසා තමා ගැබ් ගතහොත් සමාජයට මුදා හරින්නෙමැයි සූදානම් ව සිටින පිළිතුර, ඉන්දීය ලේඛක ප්‍රේම්චාන්ද්ගේ ‘දරුවා’ කෙටිකතාවේ, විවාහ වී හයමසකින් ගෝමතී දේවියගෙන් ලැබෙන දරුවා තමාගේ ම දැයි සමාජය ප්‍රශ්න කරන විට ‘මගේ වෙන්නෙ කොහොමද? දරුවා දෙවියන් වහන්සේගේ නෙ?’ යනුවෙන් ගන්ගු බඳින පිළිතුරට සමාන්තර ය.
‘ඔයා ජෝසප්ට කියන්න දරුව දෙවියන් වහන්සේගෙ කියල.’

‘විප්ලවීය කෙට්ටු අතක ස්පර්ශය’ කෙටිකතාවේ කතා නායකයා සිය ජීවිතයේ පරමාදර්ශී චරිතය වන පිලුප් සහෝදරයාගේ බිරිඳ විසින් විවාහය රැක ගැනීමේ පරම චේතනාවෙන් කරන ලද ඉල්ලීම පිට පිලුප් සහෝදරයාගේ පෙම්වතිය වන නයගරා හා හාද වන අතර, ‘දුස්ටකමේ සවුන්දර්ය’ කෙටිකතාවේ කතා නායකයා සිය සතුරාගේ ප්‍රතික්‍රියාව පිරික්සනු පිණිස ම පමණක් ඔහුගේ පෙම්වතිය හා හාද වෙයි. තම සතුරාගේ පෙම්වතිය තම බිරිඳ වී හිඳිමින් ම සිය පැරණි ප්‍රේමය ද නඩත්තු කරද්දී මේ දුෂ්ටයා සාම්ප්‍රදායික දුෂ්ට භූමිකාව ආරෝපණය කර නො ගනියි. පදනම හෝ ස්වභාවය කුමනාකාර වුව මානව සබඳතා පැතලි නැති බව සහතික ය. කළු සුදු සමතල කියැවීමෙන් පාඨකයා මුදාගනු ලබන්නේ ඉන් ගම්‍ය කරන මනුෂ්‍ය අදහස විසිනි.
“සෙනසුරාදා හවස් වරුව ආයෙ බඩුම තමයි. පහ නමය අතර. ඌටත් දවස ගානෙ රස්තියාදු වෙන්න බෑනෙ පරණ සිද්ධි හින්ද. ඌ සෙනසුරාද හවස මැදගෙන ඉන්නෙ ඕකට. මගේ පැත්තෙන් ගත්තොත් අම්බ චාටර්. පට්ට නෝන්ඩි සීන් එක. මං කියන්නෙ මට. අනිත් පැත්තෙන් ගත්තොත් මාර බොක්කෙ සිද්ධියක්නෙ. නිකම් ඔටෝමැටික් ලෙස ගත්තොත්, තමන්ගෙ ගෑනි අඤ්ඤකොරොස් නම් එක්කො මර්ඩර්, නැත්තං ඩබල් මර්ඩර්. ඒක නම් ඕනි, ඒක අද දෙන්න බැරියෑ. නමුත් අනිත් පැත්තට හිතුවොත් ඇත්තටම අපෙ ඇන්ජියා උගේ කෑල්ලනෙ. මගේ යෑ? උන් දෙන්නට දෙන්නා ලව්නෙ. ඉතින් පව්නෙ.”

by Mooniak

කෙටිකතාවේ මූලික සාම්ප්‍රදායික මිනුම් දඬුව යැයි පිළිගැනෙන ඒකීය ධාරණාව අතික්‍රමණය කිරීමට දුස්ටකමේ සවුන්දර්යයේ දී කතුවරයා සවිඥානක ව පෙළඹෙයි. එක මිටකට ගත හැකි කෙටිකතාවක් වෙනුවට හේ හැම විට ම වඩා විසිරුණු, විචිත්‍ර දිශාවන්ට පෙරළා ගතහැකි කෙටිකතාවක් නිර්මාණය කරයි. ඇන්ටන් චෙකොෆ් සහ ගී ද මෝපසාං සමාජගත කළ කෙටිකතාවේ ආකෘතික සහ සන්දර්භීය ලක්ෂණ සිංහල කෙටිකතාවේ දී මුලින් ම සමතික්‍රමණය කළෝ අජිත් තිලකසේන සහ කේ. කේ. සමන් කුමාර වැනි කෙටිකතාකරුවෝ ය. ඉනිබ්බේ කෙටිකතා කලාවෙහි ලා මංජුල වෙඩිවර්ධන සලකුණු කරන භාෂා වර්ණය ඔහුගේ සාහිත්‍යය පිළිබඳ මඟහැර යා නොහැකි නැවතුම්පළකි. ඔහු ස්වකීය ලේඛනය නියෝජනය කරන දෘෂ්ටියට පක්ෂපාතී භාෂා රටාවක් කෘතියට අනන්‍ය ව අත්හදා බලයි. එය ලෝකය දූපතකට වඩා බෙහෙවින් විශාල බව ගම්‍ය කරවන උත්ප්‍රාසවත් භාෂාවකි.
“පොඩි හාමුදුරුවන් පෙනී සිටියේ බෝගහපලානේ වප්පිත නමිනි. ඔහු තරමක් මිටි ය. ඔවුන් අපට ධර්මය බෙදා දුන්නේ අප ඔවුන්ට ගිලන්පස පූජා කරද්දී මෙන් දුම් දමන ශ්‍රද්ධාවකිනි. ඔවුන්ගෙන් අපට මුලින්ම අනුශාසනා ලැබුණේ හැකි තරම් ‘පැකට්’ කෙරෙන් මිදී ‘මිටි’ වෙතට ළංවීමට ය. අපි හැන්දෑවට හැන්දෑවට උන්වහන්සේ සමඟ විසිතුරු අභ්‍යාස කළෙමු. එකී පෙන්නුම් මඟ ඔස්සේ යමින් මහත් වෙර වීරිය වඩමින් උස් තැන් කෙරෙන් මිදී මිටි තැන් වෙත ළඟාවෙමින් සිටියෙමු. ඒත් පිලුප් මහත්තයාගේ විප්ලවීය බැරියර වැටෙන තුරු වප්පිතයන්ගෙන් නම් කිසිසේත්ම දුමට තහංචි වැටුණේ නැත. වැඩි සීනි තේ බොන කිසි කෙනෙක් උන්වහන්සේ වැඩි සීනි ගිලන්පස බී වදාරන්නේ ඇයිදැයි සොයා බලා නැත. සඳගාමී මිනිසුන්ගේ කුහකකමක් නැත.”
නිර්මාණකරුවාට භාෂාව අමුද්‍රව්‍ය මැටි ගොඩකි. භාෂාවක් යනු නීතිරීති ඉබියතුරු දමා හිරකරන ලද පෙට්ටගමක් තුළ බහාලනු ලැබූ ශුද්ධ වස්තුවක් නො ව සකල භාෂකයන්ගේ නිදහස් පරිශීලනය පිණිස විසුළ විවෘත අවකාශයක් බවට කතුවරයාට ආවේණික නම්‍යශීලී භාෂා ශෛලිය දෙස් දෙයි. නාටකීය මනැස් රූප මවන, සීමා මායිම් නො හඳුනන බසක් සාහිත්‍යය අලංකෘත කරන්නේ ය.
“අප දෙදෙනා කාෂියා මාවතට එන විට බුනීල ඇන්ටි හිටියේ බුනීල මල් පෙති නෙළමිනි. ඇය සතියකට දෙතුන් වතාවක් උලුවස්ස අබියස වන මුව විට පළල කැටයම් මැටි බඳුනේ දිය මත, දියට ම දිය වී යන සිලිටි බුනීල පෙති අතුරයි. අප දෙදෙනා ඇගේ බුනීල සංසාරය අබියස හිටගන්නා විට මතු ව ආ සුළඟ අදත් ඇතැම් විට මා මනස කළඹයි. මොකෝ බොලා දෙන්නා සුළි සුළඟකුත් අරගෙන, බුනීල ඇන්ටි ඇසුවේ සිකි සිකි ගගා හිනා වී ගෙන ය. සුළඟ හැමූ අතට පිට දුන්නී, ඇය, දෑතෙහි වූ මල් පෙති රැක ගන්නට වෙර දැරුවා ය. චිචිරයා හෙණ ගැහැව්වාක් සේ ඩූලාගේ අසනීපය ගැන අම්මාට කිව්වේ මගේ ගැම්ම ඇඟට අරගනිමිනි. බුනීල ඇන්ටි අතේ වූ නන් පැහැ බුනීල පෙති, වියරු සුළඟෙහි වෙලෙමින්, ඒ මේ අත ගසාගෙන ගිය අයුරු විටින් විට මා මතකය කළඹාලයි. පැහැය නො පෙනෙන එක් සිලිටි පෙත්තක් තවමත් මා මනසේ ගැඹුරුතර ඉසව්වක ඇලී ඇති බව මම හඟිමි.”

රෝලන්ඞ් බාත්ගේ  The Death of the Author සංකල්පය ආදි වූ, කතුවරයා සම්බන්ධයෙන් පුද්ගලබද්ධ වී සාහිත්‍යය කියැවීම පිළිබඳ මතභේද එසේ ම තිබෙන්නට හැර, මේ ලේඛකයාගේ නිර්මාණ පරිචය ගැන යමක් සඳහන් කළ යුතු ම ය. කලාව කලා භාවිතය සහ පාඨකාගාර රසිකාගාර ද මේ ගෙවෙන මොහොතේ ලිට්මස් පරීක්ෂණයකට භාජනයවෙමින් තිබේ. ප්‍රතිභාව, ව්‍යුත්පත්තිය සහ සතතාභ්‍යාසය යන තුන් ඈඳුතු කාරණ පරිපූර්ණත්වයට පත්කර ගන්නා යමෙකු කලාකරුවා හෝ සාහිත්‍යකරුවා වශයෙන් සමාජ නිර්ණයකට ලක් කිරීම චිරන්තන කියැවීමකි. මේවා සපුරා ගත් බොහෝ සාහිත්‍ය කලාවේ නියැළෙන්නන්ට දෘෂ්ටි හීනතාව නම් ව්‍යාධියක් වැලඳී තිබේ. ලිට්මස් පරීක්ෂණය කළ යුත්තේ ඔවුන්ට ය. මේ මොහොතේ සාහිත්‍යකරුවා පමණක් නො ව, ඕනෑ ම රටක පුරවැසියා ද එකී පරීක්ෂණයෙන් සමත් වන්නේ නම් හෙතෙම මනුෂ්‍යයෙකි. ජාතිවාදී, ආගම්වාදී, කුලවාදී, වර්ගවාදී, ප්‍රාදේශීයවාදී, වර්ණවාදී කිසිවෙකු මනුෂ්‍ය සන්තානය පොහොසත් කරන සාහිත්‍යකරුවෙකු ලෙස නො සැලකිය යුතු ය. වෙඩිවර්ධන ලිට්මස් පරීක්ෂණය ජය ගත් බවට සාහිත්‍ය කෘති සාක්ෂ්‍ය සපයමින් සිටියි. කලාවේ නිෂ්පත්තියට විප්‍රයෝගය ප්‍රස්තුත වන බව සත්‍යයක් කරමින් මෙන් විප්‍රවාසීත්වය විසින් ම වෙඩිවර්ධනගේ සාහිත්‍යකරණය ඔපමට්ටම් කරනා සෙයකි. සමස්තයක් ලෙස ඔහුගේ සාහිත්‍ය ලියවිලිවල සන්දර්භීය ලක්ෂණ දුෂ්ටකම් ලෙස මහා සමාජයට දිස්වන බවට සැකයක් නැත.

විශාල හදවත් ඇත්තෝ ඒවා කිසි දින දුෂ්ටකම්වලට ලඝු නො කරති

– චතුපමා අබේවික්‍රම

(‘රාවය’, 2016 නොවැම්බර් 27)

මෝසම් දෙකිඳ

 

By Maurice Sapiro

ඇහැ ළඟ
ගලන සඳකැන් මෝසම
ඈ ළඟ.

ඒ අත්ල
මේ අත්ල මෙන්
සිය සිය සියවරක්
පිරිපහදු වර නංවා
සුළැගිලි තුඩ පවා
සිලිටි මැටියෙහි සනහා
ඇහැ අගට ළං කර
උණුහුම විඳින්නට
මෝසමට නො හැකිද?

මූකලන්බත්වුණු
ඇහි පිල්ලමක් යට
ගිම්හාන මැත දොඩවන
වස්සාන කවියක
නටඹුන් දකින මෝසම
‘වැහි මූකලන්’ සොය සොය
වෙන කොහේ යන්නද?

මහදෙහි නිරිතදිග
‘නිවර්තන’ එළඹුම
ඈ ඇස අගින් නැවතී
දිවැසි වැකි කිය කිය
‘වේරම්භ වා’ කළඹා
ගලන සඳකැන් ම ය.

ඈ ළඟ
ගලන සඳකැන් මෝසම
ඇහැ ළඟ.

(2017 අප්‍රේල් 07)

වැස්ස පටං අරං

by Malcolm T Liepke

නටන වැස්සක් යට
නටන මිනිහෙක් දුටුවොත්
ඔබ නටනවද ඔහු හා
අඬනවද නැත්තං…

හංගන්නෙ මොකටද
අතෑරලන්න ඇත්තම
වැහි නැති දිනෙක පුපුරණ
සොඳුරු අකුණක් ලෙස

නටාගෙන එන වැස්සට
සිසිල දුන් ඇස් දෙක
කාටවත් වැඩියෙන්
දන්නව නේද ඔබ?

වේදනාවෙන් උපදින
ඔහු නටන රිද්මය
උත්කර්ෂයක රඳවන
කවි ලියා මොකටද?

කට කමසිරියාව
තැතිගැන්ම විතරද
ආදරය මෙලැවුණු
දුර්ග මඟ කෙළවර

පොප්ලර මතක බිම කැණ
ඉන්දූ විලෝ ගස මත
මැයි මාර කවුඩෙක්
කරව් කරනා, මෙහෙව් වැස්සක

නටන මිනිහෙක් දුටුවොත්
ඔබ නටනවද ඔහු හා
අඬනවද නැත්තං
වැස්ස නවතිනකං

(2017 අප්‍රේල් 06)

එක්තරා නො එළඹුණු සිසිරයක

Autumn to Winter by Simon Fairless

‘මං’ නමින් ඔබ දන්න ඒ සිහිනයට
ඇස් පැළැන්දෙන දිනක් හමුවුණොත් හෙම
පත් බරින් ගස් මුදන සිසිරෙ කෙළවර
හිත් රිද්දගමු මතක, මතක නැති කර

නන්නාඳුනන කෝපි පියස්සක් යට
දුම් දමනසුළු කෝපි සිනහවන් මැද
හිත රහත් වෙයි කියා හිතනවද ඔබ
ඇස් පියන් නො සොල්ලන ඇස් කැළුම් ළඟ?

සිසිරයට අවනතව හමන සුළඟද
උණු කෝපි බඳුන ළඟ නතරවෙන කොට
එක ගසක් පෙන්නන්න පුළුවන්ද මට
දලු දමනු හැකි රුදුරු සීතලට පෙර

සිහිනෙකට බැහැ නේද ඇවිත් යන්නට
රැය ඇවිත් නොරැඳීම නික්ම යන ලෙස
සිසිර තුරු පත් ගණින ඔබ දන්නවද
මා මගෙන් අරන් ගිය වසන්තය ගැන?

අපි කවුද, සංසාරෙ සදිසි කෘතියෙක
වැකි දෙකක අග රඳන තිත් දෙකක් මිස
මොහොතකට අනන්තයෙ අතරමං වෙන
මේ ගමන නෑවිඳින් ඉන්න බැරුවද?.

2017 මාර්තු 26