පියසීලී

පිය වී ය
සිනහව
දෙ ඇසත්
දෙ ලවනත්
එල්ලා හැලෙන සවනත්
සුදු කෙටි මුහුලසත්
දිගු ගෙලත් මුහුනත්
නිරහංකාර දැනුමත්
දැනමුතු සිනහවත්
පිය වී ය
පියුණු ඇස් ඇරුමත්
තියුනු අත් අකුරත්
ඉවසුමත්
සටනත්

සීලය
මාක්ස්වාදය
අවියත්
වාම මැඩියොත්
මෘත කලේබර කලා පුඟුළොත්
සිවල් ලොම් හැඳි කෙසරුත්
අකුරු බැරි ගුරු දෙබරුත්
කර ලී ය බිය පත්
ඔබ කෙරෙන් හැමු සුළඟත්

වමට වැර වීරිය
පොවනුව ළැමද පේ විය
සොඳුරු පියසීලිය
නිමවිද රාජකාරිය

දසත වෙඩි තිය තිය
රට මළගම් රැගෙන ගිය
මල් වඩම් එවු අය
දැක සසැලුණිද අත පය

දුර යන ගමන නවතා
එන්ට සිතුණිද විගසා
ගැඹුරු හඬ විහිදා
නිවන්නට නිර්ධනුන් පවසා

පිය වී ය
සිනහව
එය ම ය
ආස්වාදය
සැබවින්ම
ඔබ රැකි
සීලය
මාක්ස්වාදය

මහා අසිපතෙකි නිරතුරු සුරත දැරූ
කලා නිහිනයන් ඇදුරන් දෙපලු කෙරූ
විසල් හිඩැස පුරවන්නෙද කෙබඳු විරූ
ඉතින් ආයුබෝවන් මව්තුමෙනි ගරූ

2010 සැප්තැම්බර්

ජනේරුව හෙවත් ඇරඹුම හෝ අවසන

 

pic by manjula wediwardena

ළමැද්දට අත තියා හිත සොයන
වැරැද්දට ස්නේහයම විසිකරන
පුරුද්දට අත් අකුරු වැසි වසින
දුරුත්තට කවි ලියා තනි රකින

කඳුළු විළිලන සොඳුරු මඳහසක
පතුළ විනිවිද දකින හදවතක
අතුළ හැඟුමන් ගෙනෙන පියපතක
විසිර ඇත කඳුළුබිඳු සියවසක

ගිරවියක ගොළු වුණොත් පව් නැද්ද
කෙතරම්ද දුක මිදුණ නිස්සද්ද
පිනි බිඳිති හිමිදිරියෙ ඇහැරෙද්ද
කළුපැහැති වුණෝතින් කිරි ඉද්ද

මෙය මගෙ හදයි එයට පිවිසෙන්න
බය නැතුව පය තියා ඇවිදින්න
පය රිදෙයි නම් පසෙක ඉඳගන්න
නිය තුඩින් කවියකට ඇහැරන්න

ජනේරුව ඇරඹුමද අවසනද
පෙනේ නොපෙනෙන ඇසක නිදිවැරුම
දැනේ නම් සසලබව පද අතර
සෙනේහය ඇද හැලෙයි ඇස පිපිර

කව් සිළුමිණෙන් ඇසෙන කවියකට
කවුළු දොර අරින්නට ඉඩ නොදෙන
කවුරුවත් නොවෙයි මේ මඳ පවන
කවුළු දොර පියන් මත ඇණ ගසන

සදාදර අනන්තය අත ගාව
පියාඹන සිතුම් තටු අතගෑව
මලානික කවියකට අත පෑව
සිනාසෙන කඳුළුබිඳු දුටුවාද

2011 ජනවාරි 03

තනිකමේ දුරුතු අවදිය

 

pic by manjula wediwardena

කඳුළු කඳුළක් නොමැති ඇස් දෙකක
සොඳුරු බව දකින්නට තැත් කෙරුව
වියරු මිනිසෙක් සිටී හිස් ලොවක
අඳුරු රැස් වළල්ලක රැස් අතර..

ඈත සිට ඈතටම පිය නගන
දෝත පපුවෙහි ගසා දුක කියන
සීත හිම කැට වලට දොස් නගන
සීතලෙන් ආතුරය මඳ පවන..

පුපුරු ගසනා සිතින් අකුරු ගෙන
පහුරු ගා හිස් කබල රුදුරු ලෙස
පැහැර ගන්නා කවක අතර මැද
නතර වී බලන්නෙමි සතර අත..

අයුතු ගනඳුර අහස බදු ගෙන ද
දුරුතු සඳ නැගෙන්නේ කොතැනට ද
දිමුතු තරු ඇද වැටෙයි හදවතට
ඇසතු රුක සිහිනයට දුර වැඩි ද..

දුර ඈත කැදැල්ලක උණුසුමට
පියඹාන ඇදෙන්නට මග සොයන
සිත ගාව අනන්තය ගුලි කරන
මම තාම සොයන්නෙමි තටු සඟල..

සංසාර පුරුද්දට අත වනන
පිංසාර ළමැද්දට හිස තියන
කල්වාරි ඉහත්තෙදි ඇණ ගසන
නිස්සාර දුරුත්තම තනිකම ද ?

2010/01