නටරාජ්

Natajar © Niennaa
Natajar © Niennaa
ඔයාට මතකද එතන තිබුණ නටරාජ් රූපෙ
–ඇය එවූ අවසන් ලියුමෙන්-
පියෙවි සිතිවිලි මතට මධු දියර හළාගෙන
බමන හිත සීරුවෙන් බඳුනකට මුවා කර
කැරලි කෙහෙ පිරිමදින අඩහඳක දෙ පාමුල
නිදන විට වත ඉසිණ පිනි බිඳිති හළාහළ

දෙපය පැටලුණු හිතක මුවවිටෙහි දුටුවාද
අසමබර කඳුළු මත විසිර යනු මඳහාස
තනි පයෙක අසම සම අභිනයකි ඇස ගාව
ඔබ කොහෙන් පැමිණියෙද කියනු මැන නටරාජ

අපස්මරු මහදවත මහ පොළොව වෙලා ගෙන
පයත් මට සැනසුමකි වේදනා මුදාළන
රුපුන් මැද ස්නේහයේ මධු බඳුන් පුරාලන
විසංවාදය මම ය ඔබ තුළින් ගලා එන

ආනන්ද තාන්දව දකින නෙත් නැති රෑක
මා මෙන්ම කඳුළකට කවුරු නෙත් ඇරියාද
යාවෙන්න හැකි නෙතක් තිබිණිනම් ළඟපාත
මා ගන්න මඟ විවර කළ දෙවිඳු ඔබ නේද

තර්ක අසිපත් වලින් කැපෙන සඳ ගත නහර
අග්නි වමතින් කෙසේ සැරසුවෙද ඔබ මහද
නග්න හිත වෙලෙන විට එරන්වන් දිය දහර
රශ්මි පමණෙකි ඉසිඹු නැඟෙන සිහිනෙක පහස

දමරු හස්තය ගෙනෙන හඬ පරම සුමියුරු ය
අඳුරු කවකට සුවය ඔබය ඔබ දිනිසුරුය
සොඳුරු බව සොඳුර මුවගින් දෙඩුව සුරගුරුය
රුදුරු මිනිසකු වුවත් මගෙ පෙමද පිවිතුරුය

මුහුලසින් සුරලියන් මිහිමතට කැඳවාන
රැගෙන ආ නටරාජ අමතකද ඇගෙ මූණ
විශ්වයේ මැද රැඳෙමි ශිඛර මත කෛලාස
තනි පයෙන් පේ‍්‍රමයේ සියලු බර උසුලාන
(ඇහැළ ඇමතුමකට ඇහැරෙමි 2011)

නිදිකුම්බා මල

Image
ජෝන් කොස්ටාන්සාගේ සිත්තමක්

කුරුලු දරුවන් ඉකිලන
අරුණු දොරනඩ ඉඳගෙන
අහස් ඉදිකඩ පැනගෙන
හිරුන් එන මඟ බලනෙමි!

විදුලි මළබෙර හඬවන
කළු වලා අවි අරගෙන
ඉදිකඩ යකුන් සේ ඇති කල
හිනාවී එන්ට බැරිවද හිරුනි.

පැතුම් මල් පොඩි මැළවෙන
සෝකී දෙනෙත්හරවමි
ඩෝසර හොඬෙන් ඉදිරුණ
රබර යායම විනිවිද……..සීරුවට………..

සිය දහක් හිරු අනුරූ
හිනාවේ වියලි කර්කශ බිම
අහා! කෙතරම් සතුටක්ද හිතට
මම එවෙත ඇවිද යමි……….

නිරුවත් දෙපා මත
වේදනා කටු තුඩු ඇනී – රිදුම් දේ……

මම ඒ වේදනා පොදි
හද සම බිමේ සතපා
කටු තුඩු මතම දණ ගා
ඉන් මලක්
අපරිමිත ආදරෙන් සිඹිමි.

සිතගිස්සෙන්ම නැඟැ ආ
නෙතිස්මත්තෙන් මේ දැන් වට
සීතල කඳුළු බිඳ
එමල් සුසිහින් කෙඳි මත රැඳී
ප්‍රභාවින්තව බැබැළේ.

මම
සෙමින්
හිසොසවා
බලමි.

කළු වලා අවි මැඬගෙන
අහස් ඉදිකඩ පැනගෙන
අන්න! හිරු
හිනාවීගෙන……

 
(මෙකව ලියැවු‍ණේ 1994 අවුරුද්දෙ. මේක ඒ අවුරුද්දේ දවසක හිරු පත්තරේ පළවුණා.  යළි 2002 අවුරුද්දේ පළ කළ පිළිහුඩුවී කවි එකතුවටද ඇතුළත් වුණා)

ඒ පොඩි පුතුගේ විසල් ප්‍රේමය

මට තව එක දවසක් තාත්ත හම්බ වුණොත් මං කියනව
‘තාත්තෙ මං ඔයාට ගොඩක් ආදරෙයි’ කියලා.

Martha-Wade-Moses1
මාර්තා වේඩ්ගේ සිත්තමක්

 

අයිෆලය තරම් උස මිනිහෙක්ට පුළුවන්ද 
සැඟවෙන්න අතීතය මකාගෙන
වලාකුළු සිතුම් පොදි ඇවිත් හිස හැපෙනකොට 
මරු කියවනා හඳකි හිනාවෙන
හිස කෙස්ස සිඳ දැමුව දෙව්දත්තරුන් පැමි‍ණ 
හිස සොයන විට ඔහුට පමාවෙන
හිත රිදෙන කවි ලියන රාහුල පුතෙක් හිඳී 
ආදරෙයි කියන්නට බලාගෙන

එකම මොහොතක් තියෙයි අතට ගෙන බලන්නට 
සංසාරෙ කොණක් ගෙන ලිහාගෙන
බන්දේසියක තියා ආදරය ගෙන යන්න 
කවුරුවත් නෑ දෑත විදාගෙන
අනාගතයට යන්න සිහිනෙකට බැරි ඇයිද 
පුතු දෑස ඔවුනොවුන් කතාවෙන
ජීවිතෙයි කියන්නේ අතීතය විතරමද 
මේ මොහොත කවුරු හරි හොරාගෙන

හිස හැරුණු අත ඇදෙන සුළඟ වුව පුතු අසල 
නතරවන විට සිහිල දරාගෙන
ප්‍රශ්වාසෙ සේ කොතෙක් සුසුම් පිටවී ඇද්ද 
සිය දහස් ගව් ඈත ගෙවාගෙන
පෙනහලුත් කැමති ඇති අලුත් හුස්මක් ගන්න 
හදවතෙහි පියාපත් මවාගෙන
ඕසෝන් වියනෙහිම එවන් හුස්මක් නැද්ද 
රිදුම්දෙන ළය මඬල නිවාලන.

විරිත් ගිළිහුණ කවක අරුත් නොරඳනු බැරිද 
හද ගැඹුරු ගිගිම් හඬ නඟාලන
පිරිත් මිමිණෙනු ඇසෙන දවල් දවසක වුණත් 
හිරුත් නැතිවෙන්න හිත හදාගෙන
‘සිරිත් මල් දම’ ගොතන රටක් නැති වුණු පුතුට 
මවක් ඇත ජීවිතය හොයා යන
‘හරිත්’* ගහ කොළ අතර සියල් මල් ඔබට ම ය 
නවතින්න වසන්තය දිනාගෙන

(නිදි නැති නිර්මල ඇසක අගිස්සක කඳුළක - 2014)

*හරිත් – ප්‍රගීත් එක්නැලිගොඩගේ පොඩි පුතා.