නොවැම්බර්

person in the rain by Jay Fancher
person in the rain by Jay Fancher

නියඟලා ගස් උගුල්ලනකොට තටු මැවෙයි…….
ගිනි මලින් පෙති ඉගිල්ලෙනකොට ලේ හැලෙයි.

සොහොන් කොත් නැති අතීතය සිහිනෙට එබෙයි……
ආදරය ළඟ සිහිනයට ඉඩ කඩ තිබෙයි.

ඇස් වැහෙන කච්චාන් හුළඟට කල් තියෙයි
ඇස් වැ‍හෙන්නැති නොවැම්බරයම වැහි බරයි…..

මව් වරුන් ඇස වහින වැහි දැක මල් පිපෙයි….
මල් වලට නම් තබන අයිතිය ඔබටමයි.

පුරවැසි බවද ප්‍රශ්නය

vis-jayapalan

අම්මගෙ මළගමට
එන්නට නොහැකි වුණු පුතෙකුට
වසර හතකට පසු
ඇගෙ සොහොන්කොත අතගා
කඳුළු බිඳුවක සීතල
විඳින්නටවත් ඉඩ නැති
අම්මගෙ රටක් මෙය.

පුරවැසි බවද ප්‍රශ්නය
සෙනඟ විතරක් සිටිනා
පුරවැසියකුදු නැති රටකට?

පුරවැසියන්ගෙ අත්බැඳ
හෙලුකොට්ටෙන් තබා
වෙඩි තියන රටකට
අම්මගෙ සොහොන් කොත ළඟ
කිරි සුවඳ ඇහිඳින
කවි‍යෙකුද ප්‍රශ්නය
අම්මගෙ රටක් මෙය.

පුරවැසියන් ඇවිත්
වතුර ඉල්ලනකොට
උණ්ඩ ගිල්ලන රටකට
පුරවැසි බවද ප්‍රශ්නය?

ආඩම්බරය හැර
අන් කිසිදු හසරක් නැති
හීනෙනුත් හිනැහෙන
එක තාත්තෙකු මිස
හිනාවෙන්නට හැකි
එකදු අම්මකු නැති
අම්මගෙ රටක් මෙය.

සයිමන්

“Suba saha Yasa”

තොප්පියක් ඔබින්නේ හිසකට
හිස්වැසුම් සොයන්නේ කුමකට
ඇස් දෙකක් දකින්නේ කපකට
කල්පයක් කියන්නේ දිනකට

නිම්තෙරින් එබෙන්නේ සඳවත
දුම් රැලින් නැ‍ඟෙන්නේ මඳහස
ඇස් දෙකෙන් පෙරෙන්නේ මඳහස
ෆිල්ටරෙන් පෙරෙන්නේ සෙනෙහස

මූඩියක් අරින්නේ පවසට
උණුහමක් දැනෙන්නේ එතකොට
මීවිතක් පුරන්නේ හවසට
පාටියක් කියන්නෙ පොතකට

ප්ලැට් එකක් කියන්නේ පැලකට
සුද්දිලත් පෙනේනේ මඟතොට
බයියලත් දකින්නේ ඉඳහිට
වන්නියයි කියන්නෙත් කොළඹට.

(සයිමන් නවගත්තේගමයන්ගේ හිතුවක්කාර නික්මයාමේ වේදනාවෙන් ලියැවුණු කවියකි. එ සමයෙහි ම මුල්වරට රාවයෙහි පළවිය.)