තිරුකෝණමලෛ සඳ

©Valeria Prosseda
©Valeria Prosseda

සදුර්ෂන්
රාජන්ගෙ පොඩි කොල්ලා
හැමදාම හවසට
දෑසින් අහස අල්ලා
හඳට අඬගහනවා
අත් පොඩි හොල්ල හොල්ලා

.. නිලා නිලා ඕඩි වා
නිල්ලාමල් ඕඩි වා
මලෛ මීදු ඒරි වා
මල්ලි හෛපූ කොන්ඩු වා ..

ඔන්න එතකොට
කෝනේෂ්වරන් දෙවොල මුදුනට
අත තියාගෙන
සඳ නැගී එනවා
තිරුකෝණමලෛ අහසට

දුරුතු සීතල දවසක
රැයට සඳ අමතකව
අහසේ දමා ගොස් තිබුණා
හිරු කබ කඩන මොහොතේ
පිච්ච මල් නෙතු බරව
රේණු අතරින් කඳුළු සැලූවා

යන එන මං නැතුව
චයිනා බේ පතුළට
නැංගුරම් ලෑ සඳවත
තුහින එක එක එකතු කෙරුවා
ට්‍රින්කො එක් මංසලක
රුහිරු බිඳු තැවරුණ
පිච්ච මලකින් සුවඳ ගැලූවා

කුරුලූ කූජන නෑසෙන
තිරුකෝණමලෛ උදෑසන
ගෙමිදුලට බට පුතුහට
සඳුගෙ අසරණ දෙනෙත පෙනුණා
ළහිරු කිරණට නොපෙනෙන
සුමුදු අතැඟිලි තුඩගින
පුතුගෙ හිස මත සෙමෙර සැලූණා

ඒ දුරුත්තේ සිට
හිරු වැඩ ඇරෙන හවසට
පුංචි දෑසක් අහස අල්ලා
සඳට අඬ ගහනවා
සිඟිති අත් පොඩි සොල්ල සොල්ලා

(මාතෘකාවක් නැති මාතෘභූමිය හෙවත් දෙමළ කවි 2010)

මිත්‍ර මාධ්‍යවේදියකු වූ සුබ්‍රමනියම් සුගීර්තරාජන් මරා දැමුණේ 2006 ජනවාරි 24 වැනිදා ය. ත්‍රීකුණාමලයේ ඝාතනය කළ සරසවි සිසුන් පස් දෙනාගේ ශරීර මත සටහන් වූ සාධක සිය කැමරාව තුළට ග්‍රහණය කර ගත් සුගීර්තරාජන් ඒවා ප්‍රකාශය පත් කිරීම ඔහු ඝාතනයට ලක්වීමට ආසන්නතම හේතුවයි.

මමත්, අතුල විතානගේ මිත්‍රයාත් වෘත්තීමය කටයුත්තක් පිණිස 2007 වසරේ දිනක ඔහුගේ නිවසට ගියෙමු. රාජන්ගේ පුංචි පුත්‍රයා සදූර්ෂන් ගෙමිදුලට වී සිටි අප සමුගන්නා අයුරු බලා සිටිනා රූපය කිසිදිනක මතකයෙන් දුරස්ව නොයේ.

ඉකුත් කළු ජනවාරිය මාධ්‍ය විරෝධතාවේ වූ ස්මරණ පුවරුවල සදහන් වූයේ සුගීර්තරාජන් මරා දමා වසර 4ක් ගතවී ඇති බවයි. ඒත් සහසුද්දෙන් ම නම් රාජන් මරා දමා 6 වසරක් ඉක්මී ඇත. දෙමළ මිනිසාට ඉතිහාසය පුරා කළ වරද සිංහලයේ අපි තවදුරටත් සිදු කරමින් හිදිමු.

කළු ජනේරුව

© Chriss Pagani
© Chriss Pagani

එදා ඒ මළ ගෙදර
කැරකොප්පුවක් සේ පාළු ය,
නිදි වැරූ සුසුමකට රැගෙන ආ
අවසාන කිරි කහට උගුරත්, ඇල් ව තිබිණ.
පමා වී පණ බේරා ගත් කුහුඹුවකු
ජීවිතය ඉල්ලා හූල්ලමින් සිටියේ ය.

මම ඇල් වතුර තණ බිස්ස මත විසි කොට
හිස් වීදුරුව හිස් අසුනක රඳවා
වලාකුළු දෙස නො බලා
බිම බලා ගතිමි.

තණ පත‍්‍ර අග්ගිසි මත
නිදි කිරා වැටෙමින් සිටියේ
අත මිටි මෙළවා, ඉහළ ලෙළවූ බැවින්
වැහි වලාකුළු විසින් පැහැරගනු ලද්දාවූ
දම් පාට තරුවක
ඇඟිලි අතරින් ගිළිහුණ
කදෝපැණි නටඹුන් ය.

හිටිවනම කොල්ලුපිටියට ඇද හැළුණ
ධාරාණිපාත හිම වැස්සෙහි
උදෑසන ශේෂය
අරලිය මුදුන් මත්තෙහි දිදුළ
සුදු පාට පමණෙකි.

උදෑසන පැමිණෙන බව
හිරුට දන්වා නො තිබුණු බව
ගල්කිස්ස පොලිසියට ලැබුණු පැමිණිල්ල
ලියා අවසන් වන විට
හවස් වන ලකුණු පළවිණි.

එහෙත් සැනෙකින් රාත‍්‍රිය උදා විය.
සන්ධ්‍යාවටත් කළියෙනි.

ඉදින්, අතීතය මුද්‍රණාලයට වැද
සිරුරට ගිනි තබා ගත්තෙන්
උසාවිය පාළු විය.

“ජනවාරි මාසෙත් ඉවරයි”
ඇය වලාකුළකට ගලකින් ගැසුවා ය.
මගේ සිතුවිලි බිම වැටිණ.

සමස්ථ අවුරුද්ද යනු
ජනේරුවට පර්යාය පදයක් බව
මම සෙමින් කී විට
ඇය සිනහසුනා ය.

වලාකුළු ගලන්නට ඉඩ දී
මම ඇයට මෙසේ කීවෙමි.
“ජීවිතය ම උදුරා ගැණුනු අවකාශයක
ඉතිරව පවතින්නේ සැමරුම් පමණකි.”

2012 ජනේරු 25

එන්න ටියුලිප් හෙවනට

© Julian Merrow-Smith.
එන්න මෙතනට
ටියුලිප් මලේ හෙවනට.
මෙන්න ඒ ලියමන
කිසිකෙනෙක් එන්නැති බව
දන්වා එවන ලද.
නමින් අකුරක් ගිළිහුණ
වෙනත් මිනිසෙකි.
ඔහු අත තිබෙන කවිය ද
වෙනත් කවියකි.
‘’පළාතක නෑ බල්ලෙක්
ඒ වුණත් මං උයන් පල්ලෙක්’’
තනියෙන් කතා කර කර
තනියෙන් ම හිනාවෙන
දිය ඉහින කොලුවා
වට පිට බලන්නේ නැතුවම
පෙති මතට සුළු දියර හැලුවා.
තමන් ම හොයා ගත්
තමන් කැමති ම නිම්නෙක
දෙ ගොඩ තලමින් එ ගඟ ගැලුවා.
ඔන්න නිදහස
එන්න ඕනැම හවසක
ටියුලිප් මලේ හෙවනට
හිරිකඩ ඉසෙනු වාගෙයි
සුළු දිය වුණත් හුළඟට.
මඟහැරී ගිය අකුරු
මඟහැරී යාදෙන්
අලුත් අකුරක් හොයා ගන්නට
අපට පිළිවන් වේවි නිසැක ව ම
ටියුලිප් මලේ නාමෙන්.
අතීතය තරම් බර සුනංගුව
අත්හරින්නට බැරිද
පසුතැවිල්ලට වෙනත් වචනයක් හදමු අපි
බෑ කියන්නෑ, හරිද.
රෑට කළුවර අන්ධයි.
නිහැඬියාවෙන් පමණි පැමිණිලි
නිහැඬියාව ම බින්දැයි.
නිදන්නට ඇත්තේ
තව එක ම එක නින්දයි.
ඊට පෙර එන්නැයි කියන්නේ
ආදරේ හින්දයි.
එන්න මෙතනට
ටියුලිප් මලේ හෙවනට.
මෙන්න ඒ ලියමන
කිසිකෙනෙක් එන්නැති බව
දන්වා එවන ලද.
අලුත් මිනිසකු සිටියි
ඉපැරණි දෑස පිහ පිහ.
අලුත් කවියක් ලියනට
අලුත් අකුරක් හොය හොය
ඉපැරණි අකුරු ලිහ ලිහ.
(ඇහැල ඇමතුමකට ඇහැරෙමි – 2011)