The Fall

By Keith Webber jr

ඉවසීමය සටන
කොහි වෙද කමටහන

මේ විසල් තුරු හිස
ලිහන විට මුහුලස
අතු පතර සරතැස
නිවනු නොහෙනුය අසිනි වැසි වැස

අවසන් හුස්ම පොද
පවනට පොවන පත් මත
මතක දෙනුවන් මැද
මතකයන් ඇත ඉසිඹුවක් ලද

ගිලිහෙන අතරතුර
බෙනෙනුය කනට කර
සුළඟෙනුත් හිරිහැර
ආදරයටද මෙබඳු අනදර

පේ‍්‍රමය ළැමද රැගෙනා
පාමුල රැඳෙනු නොදෙනා
පා කර හරිනු කොතැනා
සීතල දෙණකි මෙතැනා

පඬු පෑ ය ලවනත
ගුරු පෑ ය කොපුලත
අවසාන මඳහස
රිදවීද හදවත

සළුපිළි මසා ඇඟලන
හිසේ කුසුමන් පලඳින
සංසාරය මෙතැන
නිරුවත පවා උසුලන

වෙහෙස යනු සතුටය
පහස නොලසව ලබනුය
රහස පවසන දෙය
අහස දැක ගනු පිණිසය

මන්දාරමත් එළියයි
සංතාපයත් සොඳුරුයි
නින්නාදයත් නිහඬයි
සංවේගයත් සමඟයි

මහා ගණඳුර අරුණය
බැඳීමම වේ උරණය
වියපත් බවම තරුණය
ජීවිතයමද මරණය

අලුත් දලුවක් විළිලන
දිනෙකට ඇඟිළි ගැන ගැන
සිටින විට නොහැඟෙන
හැඟුම් ගිළිහෙන පතෙක නොරැඳෙන

ඉවසීමය සටන
කොහි වෙද කමටහන

2010 සැප්තැම්බර් 25

මේ විසල් නගරය

ගුහාවට රෑ වෙලා එනකොට
මුවාවට ගණ අඳුර පමණය
විඩාවට පත්වෙලා සිසිරය
මලානික නෙත් පුරා කඳුළු ය

නන්නාඳුනන විසල් නගරය
සන්තාපයම එවයි කුටියට
නින්නාද නැඟෙන විට තනිකම
මං තාම හදවතින් ගෙදර ය

මල්පාර පුරා මල් විසිරුව
වර්ෂාව ඔව් තවම තරුණය
සංසාර පුරුද්දට අවනත ව
කල් නෑර කවි ගෙතෙන අරුමය

දුමක් මිස හිත නිවා සනහන
පෙමක් නැත හිත ගාව හිනැහෙන
දුකක් බව දැනෙන විට කවියද
කෙතෙක් නම් රිදෙන්නෙද හදවත

සුසානෙකි කවුළුවට අත ළග
නිශාචර සිහිනයන් ඇවිදින
සුධාවල සොහොන් කොත් අතරට
මුදාළම් ඉකිබිඳින සරතැස

තලතුනා තුරෙක තුරු මුදුනක
හිස ඔබා සැඟවෙන්න නොහැකිව
ගිළිහුණා අවසාන කොළයද
තටු සළා ආ රුදුරු සුළඟට

රෑ පුරාවෙම සිටින අවදිව
මාවුලාවට පවා වෙහෙසය
ඇහැ පියා ගනු නොහෙන සිහිනය
ඇහැරිලා පියාපත් සොය සොය

2009 දෙසැම්බර්

අදේශපාලනික හිතක්

ගිරි සිඛර මත
වළා දියබත් වෙලා
ගණඳුර වැගිරෙනා විට
හිත බරයි
අතීතය ඇවිළෙනා
හිතකට
සඳ දුරයි

කුරා කුහුඹුවකුට පවා
සන්ධ්‍යාව එයමයි
වැලි කැටක්
බඳු වුවත්
ගෙදරට පාර මතකයි
වට රවුම්, තුඟු වංගු මඟ හැර
යාම සරලයි
ගෙදර, බිං ගෙදරක් වුවත්
සංතාප විරලයි

හිත් බිතක්කන ඇන තියා ගෙන
කඳුළු මුමුණයි
නෙත් වලින් ලෝ දිය ගලන විට
හිතට සිසිලයි
ඇත්තමත්
ඇත්තක් නොවන්නේ
එකම තැනකයි
ඉස්පිළිත් නැති, පාපිළිත් නැති
හිතක විතරයි

සුසුම් වුව
සුසුමන් හෙළන්නට
තැනක් විමසයි
හිතින් අවතැන් නොවී
අවතැන් වීම දරුණුයි
ඉතිං කොහොමද
කියා විමසන
සිහින පමණයි
දිනන්නට ඇති
පැරදුමක් ළඟ
පෑන තරුණයි