සඳ එන්න

 

by Tassila Elizabeth.

සඳ එන්න
ඇවිත්  මගේ
හදවතින් ඉඳ ගන්න

වෙඩිහඬින්
හිරිවැටුණ කන් දෙකට
දැන් ඉතිං ඉඩ දෙන්න

නිදහසේ ගීතයට
කන් දෙන්න

කළු දුමින් කළු ගැහුණු
ඇස් දෙකට
පියා සළන්න ඉඩ දෙන්න

සඳ එන්න
හද කවුළු පියන්පත්
වැසී යන්න ප්‍රථම පැමිණෙන්න

සඳ එන්න
ඇවිත් මගේ හදවතින් ඉඳගන්න..

‘සමනළුන්ට වෙඩි තියන්න’

ස්වර / හඬ – අමල් පෙරේරා
පද – මංජුල වෙඩිර්ධන

දෙනෙත් පතුළත..

මලක් කියන්නේ
මලකට මිස
වෙනින් කුමකට
මම සඳයි කියා කියමි කෙසේ
සඳ වගේ පෙනෙන දෙයකට..

හදේ පිපුණු මලකින්
ඔබ පාර අසා ගෙන යන්නේ කොතැනට
ඒ සුගන්ධය දිගේ පිය මැන
බලන්න ඔබ නවතින තැන
ඒ ඔබේ
මුදු හදවත..

නෙතේ රැඳුණු නෙතකින්
ඔබ පාර අසා ගෙන යන්නේ කොතැනට
නෙතු කැළුම් දිගේ නෙතු අතහැර
බලන්න නෙත නවතින තැන
ඒ මගේ
දෙනෙත් පතුළත..

“සමනළුන්ට වෙඩි තියන්න” නාට්‍යයෙන්
ගායනය සහ සංගීතයඃ අමල් පෙරේරා

සදාදර සඳ ඈ..

සඳවතී ඇවිදින්
අමාවක
රැය ඉරා දෙනෙතින්..

සඳුත් ගිලිහුණ
තරුත් මැළවුණ
දෙනෙත් බොඳ වුණ රෑ
ඇවිත් හිත ළඟ ඈ..

පෙමාතුර සිත
නිවා සනහන
සදාදර සඳ ඈ
අමාවක අද නෑ….

හිම නොවන මම හෙවත් අවසාන කවිය

මේ රුදුරු අඳුර තුළ
ඇදහැලෙන හිම පියල්ලක පවා කළු පාට
පෙනහල්ල මිය යා නොදී පෙමින් රැක ගන්න
දුම් වළලූ නඟන්නෙත් කළු පාට
දේදුන්න සදිසි අහසට නැගුණ
සිතුම් හේඩාවකිය කළු පාට
ඔබේ කෙටි පණිවිඩය
මේ තරම් දිග ඇයිද
කඳුළුවල දකින්නද මදහාස

දුරුතු සඳ නිම්තෙරට
නො’එනා බව දැනුණාම
සිහිනයෙන් දකින්නෙමි සඳපාන
මං මුලාවුණ රැයක
සීතලට තුරුලූ වන
සෙවනැල්ල පමණකිය අතගාව
හැඩපලූ ගෙතුණු කැරලි මුහුලසේ කිමිදෙනා
අතැ’ඟිලි තුඩග පහස දැනුණාම
සිහිනයට තටු ලැබී
කවුළු දොර හැර දමයි
මගෙ නින්ද නොබිඳෙන්න රහසේම

හිම බිමක පය පැකිල වැටුණාම
හිම සමඟ සීතලෙන් වෙළුණාම
හිම විලස හදවතම මිඳුණාම
හිම නොවන මම සොයමි මම තාම

ඇස් දෙකින් හුස්ම ගන්නට බැරුව
නිදි බිඳුණ සිතුවිල්ලකට දාව
ජනිත වන මිය ඇදෙන
යළි යළිඳු ජනිත වන
කවියකට වාසගම් මොනවාට
වෙව්ලනා සුරතකට
පන්හිඳත් බර වැඩිය
මම ඇඳෙමි මට හොරෙන් දුර ඈත
මගේ අවසන් කවට
පස් පිඬක් දමන්නට
ඔබට එන්නට හැකිද අද රෑ ම…….

(2010 ජනවාරි 13, පාන්දර 3.55ට)

සකියනි සේකර වෙනුවෙනි

නරුම අව්වෙක නැගෙන ඩා බිඳෙක
ඉහඳ පණුවන් නටන කූණු ගොඩක
උගුර කාරා ගසන කැහි පිඩක
සෞන්ද්රය ය දකිනු

නොපෙනේද
නගරයට
සීත දෝතින් රැුගෙන ආතුරව
ජනේරුව ඇවිද එනු
තටු සගල පොරෝගෙන
මාර ගස් අතු පතර
කොළඹ කපුටන් නිදනු
තටු නොමැති
සිහිනයක්
කිටි කිටිව තුරුළු වන
පේලි ගෙයි ලෑලි අතරින් ගලනු

නොපෙනේය
ගල් වැටිය
මෝඩ ඇල පිළිසකර කර තැනුණු
එ මත නැග සිගිත්තෙකු චූ කරනු
බොර දියෙහි එයින් කවි රළ නගනු
මම දකිමි
නුඹ දකිනු
සඳ පිපෙනු
පාකර් පෑන් සොයනු
කවි ලියනු
අවමාන ඇයි ද මෙතරම් දරුණු

සොයනු සකියනි සොයනු
සිත රහිනු
සොයනු
පැන්සල් කොටය
බිම වැටුණු

පිළිහුඩුවී කාව්‍ය සංග‍්‍රහය -2003-

ජනේරු පැතුම හෙවත් කනේරු කුසුම

ජනේරුවේ සිත සුසුම් කුණාටු වැද
පෙනේ රුවල් බඳු කොළ ඇඹරෙන අතරින
රනේ රුවට ගෙමිදුල හිඳ පෙති දිගහැර
නෙතේ කඳුළු පිස හිනැහෙන්නට තතනන
කනේරු මල

සොඳුර යට කරගෙන
කඳුළ රජයන මල
බිම බලන් පවසන
දුක් කව
අසන් මා සකියනි

‘‘නමට වස නවමු ය
නමුදු සැම පැරණි ය
පිපෙන හිරු සඳු වුව
තවම හරි නපුරු ය
පතන හසරැලි සුව
පෙනෙන දුර නොමැති ය’’

කනේරු මල
පතන පැතුම
ඉටු වන්නට
වරම් නොදෙන
විස උල්පත
පස ?
ගස ?
පස නැතිව
ගස නැති ය
ගස නැතිව
මල නැති ය

පස පෙරලා දමා
ගස මුදනු කෙළෙසක
ගස උදුරා දමා
මල රකිනු කෙළෙසක
විස නසනු හැකි වන
විසක් කෙළෙසක හෝ තනනු මිස

-පිළිහුඩුවී-

බත්තලංගුණ්ඩුව…. අවසාන බෝල්කන් ටැංගෝ ව සහ මම

By Dorothea Tanning
By Dorothea Tanning

බොරිස් කොවැක් ‘අවසාන බෝල්කන් ටැන්ගෝව’ නමින් අපූරු සංගීත සංග්‍රහයක් කළේය. එය හමු වූ දා සිට මා සිතේ නටන්න වූ ආසාව දළු ලා වැඩෙයි. ‘කර්ලොස් සවුරා’ ගේ ‘ටැංගෝ’ චිත්‍රපටියේ එන අති ප්‍රබල ටැංගෝ නැටුම් කිහිපය මගින් අවසාන බෝල්කන් ටැන්ගෝව මනස් රූපණය කිරීමට උත්සාහ ගතිමි. බොරිස් අතින් ‘ශෝකී නම් ඇස්ටරොයිඩය පතිත වීමට පෙර’ කෙරෙන ටැංගෝ ආරාධනාව පැහැර හැරිය නොහැකිය.

ටැංගෝවක් මා මුලින්ම දුටුවේ ‘ස්ත්‍රියකගේ පුසුඹ’ නම් අපූරු චිත්‍රපටියෙනි. එහි ‘අල් පචිනෝ’ නම් අන්ධ කල්නල් ලපැටි සොඳුරු යුවතියක හා මිනිත්තු එක හමාරක ටැංගෝ නර්තනයක යෙදේ.

මංජුල; බොරිස් කොවැක් මෙන්ම හා ඊට වඩා වෙනස් ව වචන හා රූපක අතර අපූරු සීරු මාරුවක යෙදෙයි. ටෙනර් (උච්ච ) සැක්සපෝන දෙකකුත්, වයලීනයකුත්, ඇකොර්ඩියනයකුත් අතර පැයකට වඩා සීරු මාරු අල්ලයි. බැඳුණු ඇඟිලි, අඩි උස පාවහන්, වේගයෙන් හා ඉතා සෙමින් එහා මෙහා වන ශක්තිමත් ජංඝා යුග්මයන් මනසෙහි ඇතිවී වෙනස් වී නැතිවී යයි.

බත්තලංගුණ්ඩුවේ මුල් කොටස ‘ජුලියා සඳහා විලම්බය’ නම් සංගීත ඛණ්ඩය මෙනි. සෙමෙන් හා ස්ථිරව කොදෙව්වක වෙසෙන විප්‍රවාසී පියෙකු හා පුතෙකු අතර ඇති තානමක් ගොඩ නඟයි. මංජුල ඒ සඳහා අලංකාරික බහුල ප්‍රබල බසක් යොදා ගනී. (මංජුල මට මෙහිදී සිහි කරන්නේ ‘ග්‍රෙගරි ඩේවිඩ් රොබට්’ ගේ ශාන්තාරාම් හි දෙවනි පරිච්ඡෙදයයි )

මංජුල සූදානම් වන්නේ ‘අසීරු’ වාදනයක යෙදීමට හෝ ‘අසීරුවක්’ නැටීමට හෝ බව මම සිහිනෙනුදු නොසිතීම්. නමුත් ඔහු ‘පිය පුතු සබඳතා, ප්‍රෙමාලිංගන, සංකීර්ණ ලාලසාවන්, පුද්ගල දෘෂ්ඨින්’ පාවිච්චි කොට ටැප් නැටුම් අලංකාරයක් එකතු කරයි. (මංජුල චිකාගෝ හි ‘රිචර්ඩ් ජිය’ නටන ටැප් නැටුම සිහි කරයි ). නැතහොත් ‘ස්ට්‍රික්ට්ලි බෝල් රූම්’ හි එක තැනෙක බෝල් රූම් අතර නැටවෙන ‘ෆ්ලැමෙන්කෝ’ අඩි කිහිපය සිහි කරවයි.

මට ඇස් කෙවිල්ලක් හැදෙයි. කතා කරුවෙකු වෙහෙස වී සොයා තනා නිමහම් කළ වචන, වාක්‍යාංශ, වාක්‍ය, ඡේද, පරිච්ඡේද කියවන විට මට ඇස් කෙවිල්ල හැදේ.

11/11/2009
උදේ කෝච්චියේ එනවිට මංජුල කියවමින් ආමි. බොරිස් කොවැක් ගේ Last Balkan Tango පසුබිම් වාදනයට මංජුල කියවීම ඇස් කෙවෙන වැඩකි. බොරිස් එහි සංගීත ඛණ්ඩයෙන් ඛණ්ඩයට සැක්සෆෝන දෙකක් හා ඇකෝර්ඩියනයක් සීරුමාරු කරයි, බත්තලංගුණ්ඩුවේ පිටුවෙන් පිටුව මංජුල සිය ආඛ්යාන ශෛලිය සීරු මාරු කරයි. හැත්තෑවෙනි පිටුවෙන් කෝච්චිය මරදානට සේන්දු විය. මගේ ඇස් කෙවීම පොත කියවා ඉවරවෙන තෙක් ඉවර නොවනු ඇත!

ජීව ගුණයෙන් පිරි ඉතිරී යන මංජුලගේ කතාන්දරය නෙත් කෙවෙණි බොඳ කරයි. හැත්තෑවෙනි පිටුවෙන් මරදානට ආ කෝච්චිය මට ඇස් වසා ගන්නට බල කළේය. මංජුලගේ කවි ගුණය ඔහුගේ ගද්‍යය අතරින් ද ඉපිලී පැමිණෙයි. ඔහුගේ පාත්‍ර වර්ගයා මුහුදු ‘පකුල්’ තාලයට රංගනයක නිරත වෙති. ඒ අතරින් මට සොවෙටො තත් චතුර්ථ යේ හඬ ඇසෙයි. මෙකී පසුබිමෙන් පුපුරණ ගිටාරයක තාලයට ඇන්ටනී, ඉතා දැඩිව පුහුණු කළ ‘ෆ්ලැමෙන්කෝ’ රංගනයක යොදවයි. ඇන්ටනී ගේ පා ගැටෙන ගැටෙන තන්හී වැලි කැට කුඩා රැළි සාදමින් විසිර යයි. මංජුල ප්‍රතිභා කවියෙකි. ඔහු ‘අදම’ කවියෙකි. දමනය නොවූ මුරණ්ඩු කමක් ඔහුගෙන් පිට ව එයි. ඔහු  විෂය ලෝකය ඉක්මවා යන මනුස්ස උදාරත්වය ඇන්ටනී-ඇඩ්ඩින් ද්විත්වය, යුගල බන්ධනිය අතරින් මවයි.

12/11/2009
අද කෝච්චියේ එන විට මංජුල ‘රෙගේ’ කළෙමි. සොවෙටො තත් චතුර්ථය (Soweto String Quartet) මංජුලට අපූරු පසුබිම් වාදනයක් සැපයීය. රොඩ්නි ජොන්ක්ලාස් ත්‍රාස යාත්රිකයෙකි. ‘වාලම්පුරි’ය ට පසු මන්නාරම් බොක්ක පොතකට එන්නේ මංජුලගෙනි. මංජුලගේ පොත ත්‍රාස යාත්රාවකි. මංජුල ‘අධම’ කවියෙකි. බත්තලංගුණ්ඩුවේ පිටුවෙන් පිටුවට ඔහු එය සනාථ කරයි. එය කෙනෙක් ඊරිසියාවෙන් පිස්සු වැට්ටීමට සමත්ය.

අද 144 රාජගිරියට එනවිට බත්තලංගුණ්ඩුව ඇත්තේ නවගත්තේගමට වයඹින් මහ මුහුදේ බව මට සිහි විය!

-හෂිත අබේවර්ධන

http://rasawathiya.blogspot.com/