
උලුක්කුව වළලුකර තවනකොට
සපත්තුව, අත් පපුවෙ ගසනවා.
පරක්කුව ඉක්මන්ද
ඔරොප්පුව සන්සුන්ද
තුවක්කුවකින් වචන ගලනවා.
කරුවලෙත් එළිය මුණ ගැහෙනකොට
තරුවලත් වේදනා
දරුණු ඇස් සෙනෙහසින් පිරෙනකොට
කරුවලයි මේනකා,
රැය තවම තරුණ බව ඇත්ත
ඉක්ම ගිය මොහොතමය, මත්ත
සඳ ලිහන මුහුලසෙහි තිත්ත
ඔබ ඔබෙ ම හදවතින් ගත්ත.
පිනි බිඳක්
කොපුළ මත නාටකා
ඇඟිලි තුඩ
අරගන්න මේනකා.
අත ඉරුණු හැට්ටය
හරි හැඩයි
නෙත දවන දිට්ටිය
බැති වඩයි.
අත හැරුණු වට්ටිය
මල් ඉසියි
කට කැඩුණු මුට්ටිය
බත් පිසියි
හිතක් පපුවක් නැති හුළගට
කවිත් ලියන්න පුළුවනි
අතක් බිඳ වෙලුම්පටි වෙල වෙල
හිසත් සිඹින්න පුළුවනි
ඇසක් යට පිරිත් පැන් ඉහිරන
විරිත් තියෙන්න පුළුවනි
බසක් නැතියෙන් තෙතක් උහුලන
තිතත් තියන්න පුළුවනි.
අමු මිරිස් පෑ රැගත් තාරුකා
දැවිල්ලයි ඇස් දෙකට
සමු අරන්, නවතිද්දි, මේනකා
නිවිල්ලක් නෑ හිතට.
ප්‍රේමයේ නිශ්ශබ්දකම් බින්ද
මේ රැයේ ඉස්මත්ත කවුරුන්ද?
අප්‍රේල් 20, 2011