උරුවිසී

Lover Tree

බේරෙ වැව් දිය මත නිදා හුන් සඳවතී
සීත රළ රැළි වැදී ඇහැරී ඉකිබිඳී
කොළොම් තොටඟින් හමන රළු නළ රැලි වැදී
දෑවී කකියයි මගේ හදවත උරුවිසී

හිතේ පීදෙන සිනහ කැකුළට වද දිදී
ප‍්‍රථම පේ‍්‍රමය භූත වෙස් ගෙන ලූහුබඳී
අතීතය යළි උදා වේවිද සැක සිතී
නිමක් නැති දුක් සුසුම් අතරේ තනිවෙමී

රන් එරන්වන් මුදුව සිහිවී බය හිතී
කඳුළු පිසලූ සුරත වෙව්ලයි හිරිවැටී
පළමුවැන්නා වන්න කළ පින් මදි වුණී
දෙවැන්නා වුව දෙවැනි නෑ පෙම උරුවිසී

ප්‍රේම සිත්තම

painting2017

සඳුට සඳු වට
කැකුළු තරුකැට
වලට හැඬුමට නම්
කුමට නෙතකට
කඳුළු කැට මෙතරම්

සරැලි පෙළකට
සැළෙන තරමට
සොඳුරු බර වැඩි නම්
කුමට නෙළුමට
සිලිටි පෙති මෙතරම්

හමන පවනට
සුසුම මුසුකොට
දෙනෙත වැසුමට නම්
කුමට සිතකට
සිහින පෙම් සිතුවම්

සමනලයෝ

Butterfly Man

සමනලයෝ
සමනලයෝ
ඇයි ඔතරම්
අහිංසක වුණේ

මලට වෙලා
තටු හකුලා
මල ම වෙලා
මට ද හිනැහුණේ

සමනලයෝ
සමනලයෝ
ඇයි ඔතරම්
අහිංසක වුණේ

මල නොතලා
රොන් උරලා
තටු සලලා
කොහිද ඉගිලුණේ

සමනලයෝ
සමනලයෝ

‘සමනලුන්ට වෙඩිතියන්න’
හඬ – නදීමාල් පෙරේරා
ස්වර – අමල් පෙරේරා
පද – මංජුල වෙඩිවර්ධන

ගෙත්සෙමෙනියේ ගීතිකාව

Christ - Gethsemane 1 - Harry Anderson

ගෙත්සෙමෙනි උයන සේ නිහඬයි
හිත් සැලෙන හඬ පවා නොනඟියි
නෙත් කෙවෙනි අතර හිඳ වැගිරෙයි
ඇත්තමයි නිහඬ පෙම සොඳුරුයි

ඒදන් උයන් කොණෙක හිඳ හමන
මිහිදන් නොවුණු මතක මඳ පවන
රහසින් දොඩන වචන මත රැඳෙන
ආදම් සමඟ ඒව අත වනන

නිල් අහස දෑස විනිවිද පෙනෙන
කල්වාරි කන්ද ඔබ ළය මඬල
විශ්වාසයේ නිමල ඔරසමට
නින්නාද නැගෙන හඬ ඇහෙනවද

ගොල්ගොතාවේ කඳුළු ඇහිඳින්නී

 

“Penitent Magdalene” by Maestro della Maddalena di Capodimonte

ගොල්ගොතාවේ කඳුළු ඇහිඳින්නී
පෙම් කතාවේ මළුව අමදින්නී
මග්දලාවේ මරියනී
වන්දනාවේ
වංක ගිරියේ
අම්බපාලී
මග්දලාවේ මරියනී

කැට මුගුරු ගෙන පසුපසින් ආ උවැසුනේ
ඝන අඳුරු රෑ කවුද ඈ හා තනිවුණේ
සොඳුරු රූ සිරි දකින දෙනයන ගොළුවුණේ
අනේ මරියා රුදුරු කතරක තනිවුණේ

සංසාර අසපුවේ ගීතිකාවෝ රැව් නැගී
කම්මුලේ අත ගසාගෙන සඳ ඉකිබිඳී
ඔරසමේ හද විලාපය මත මල් පිපී
ජීවිතේ හැටි කියා දුන්නෙද මරියනී

හඬ    – අමරසිරි පීරිස්
ස්වර  – දර්ශන රුවන් දිසානායක
පද      – මංජුල වෙඩිවර්ධන