සුසා

ඇන්ඩෘෘ සල්ගාඩෝගේ සිත්තමක්
ඇන්ඩෘෘ සල්ගාඩෝගේ සිත්තමක්

උඹෙ අතින් අල්ලගෙන
මගෙ හුස්ම බොට දෙන්න
මගෙ අත් – තටු නොවන නිසා
කිණිහිරියෙ දුක් විඳින
කවි කිරිච්චිය රැගෙන
ඇණ ගනිමි හදවතට සුසා…

ඇහැ අගින් ඇහෙනවා අඟුළානෙ මහ මුහුද
නැහැ තුඩග දවනවා දැවෙන රොන්සුණු පුසුඹ
පැහැ ‘එරන්වන් පතෙක’ තෙමුණු ෆිල්ටර අඩක
පැහැය මං හොයනවා නිහඬ කවියක හඬක

කක්ෂපුට ජීවිතේ රන් තලිය ඉරි තැළුව
ලක්ෂපතියේ ඉද්දි සත පහක්වත් නැතුව
පක්ෂියෙක් සේ පියාඹා ඇවිත් බත් බෙදුව
”යක්ෂයා” උඹ ය දෙවියන් පවා ගරු කෙරුව

ඈත ඇමතුම් ලැබෙන
එනිටයිම් සෙල් එකට
වචනයක්වත් නොකිය දොසා
ට්‍රේල මත ඉඳගනියි
ඩෙඩ්ලයින් දැනදැනම
පියහඹයි තටු ලැබුණු ලෙසා
සාර සිය ගව් දුරක්
මොහොතකට හකුළන්න
කිසි දිනෙක පාර නෑ අසා
පාර වැරදුණ බවක්
කෙළෙසකින් හිතන්නද
එහෙව් වූ දෙනෙතකට සුසා

මව් පොළොව මව්වරුන්
සිටින පුතුනට ලැබෙන
දිනක අපි පය පොළොවෙ ගසා
ඇවිද ගොස් සැනසිල්ලෙ
බදාගෙන අඬනතුරු
වේදනා උහුලගමු සුසා…

පත්තිරක ලියනු බෑ මුසා
ඇත්තටම ආදරෙයි සුසා

අගෝස්තු 24, 2011

One thought on “සුසා”

ප්‍රතිචාරයක් ලබාදෙන්න