ද්වයින්වෙන් නම් ශුද්ධවර පෙම්වතී

ද්වයින්වෙන්

ඈ ආත්මය, ගලා එන හිරු රැසෙහි, රශ්මියෙහි දියැව ඇත.
ඈ ස්ත්‍රීතුව, ගලා එන සිඳු රළෙහි, රිද්මයෙහි දියැව ඇත.
ආදරවන්තයිනි, ආදරවන්තියනි, ඉදින් මට පවසන්න…
ශුන්‍යතාව පවා අවකාශයේ වර නැඟෙන විට
ඈ ශුද්ධවර ස්නේහය වරනැඟෙන්නේ නැද්ද?
ද්වයින්වෙන්, ජීවිතය නම් සිිපිරි ගෙදරින් ආදරය මුදාගත්තී ය.
ඈ සදාකාලික ශුද්ධවර පෙම්වතී වන්නී එබැවිනි.

විශ්වයේ තිතක්වන් පෘථීවියේ කොතැනක, කෙදිනක
ආදරය සැමරෙනවා නම් කවුරුන් විසින් හෝ
මේ පෙම්වතී මඟහැර යන්නට නුපුළුවන් බව පවසමි.


සියවස් සොළොසක මතකය

කාලය යනු කිසිවක්ම නොවේ.
එය පවතින්නේ යැයි ඔබ සිතන තරමට ම හෝ
ඊට අල්ප මාත්‍රයකුදු වැඩියෙන්
එය නො පවතින යමක් බව මම පවසමි.

මේ විවාදය නො නැඟෙනු පිණිස, මෙසේ පැවසිය හැකි ය.
කාලය, සාපේක්ෂක නිර්ණායකයෙකි; සංසිද්ධියකි;
කාලය පවතින යැමකැයි සිතන ආදරවන්තය, ආදරවන්තිය
කාලය සාපේක්ෂක නම්,
ඒ කවරකට සාපේක්ෂකවදැයි ඔබ අසන්නට පිළිවන.

ආදරයට සාපේක්ෂකව යැයි මම කියමි.

ඒ අනුව ශතවර්ෂ සොළසක් යනු කවරක්ද?
කිසිවක් ම නොවේ.
අතීතය යනු, ඉක්ම යන මේ මොහොත ය.
ආදරය පවතින්නේ මේ මොහොතේ මිස
අතීතයේ නොවේ.
ඉදින්, ද්වයින්වෙන් නම් ශුද්ධවර පෙම්වතී
ආදරය වෙනුවෙන්, ආදරය වර නඟනු පිණිස
මේ නිෂ්චිත මොහොත වෙත
කැඳවිය යුතු නො වන්නේ ද?


පුරාවෘත ඉක්මවාලිය යුතු

බ්‍රිකන් බ්‍රිකැනියොග් නම් වේල්ස නරපති
අණසකය පතුරා සිරියහන්ගැබ, බිහිකළ
දියණියන් විතරක් ම විසිහතරක් ය.
මෙ කුමරියන් විසිහතර; විසිහතර විදිහකි.
මුහුණ ද; මුහුණ මත මඳහස ද:
තුනු කය ද; .තුනු කය රඳන දාංගල පංගුව ද:
හදවත ද; හදවත උහුලන ආදරය ද:
කුමරියගෙන් කුමරියට වෙනස් ය; විසිහතර විදිහකි.
ද්වයින්වෙන් නම් කුමාරී උන්නී ඒ අතර ය.
ඈ, කුමාරියක පෙනුමට නො ගැළපෙන තරමට ලස්සන ය.
වර නැඟෙන ලස්සන නො තකනා තරමට කාරුණික ය.
කාරුණිකබව හා පැටලෙනා තරමට ම ආදරණීය ය.

එවන් ලලනාවක ආදරය පතන්නකු වේ නම්
තරමකවත් ඔල්මාදයක් තිබ්බ යුතු වන්නේ ය.
මේ ලියන්නා එවැන්නෙකි.
එ ආතුරබව සහේතුක ය; හේතුව? ඈ ම ය;
ඈ ශුද්ධවරබව නම් වූ පෙම්වත්කම ය.

ඈ නො ලැබී ගියෙන්,
පෙම්වතා, ඈ කිලිටි කර පළා ගිය බව කියන්නෝ
සිරියහන් ගැබ අසබඩ කවි ලියන,
ගී ගයන වන්දිභට්ටෝ වන්නාහු ය;
රාජකීය කේවට්ටයෝ වන්නාහු ය;
මැදුරු පිළිකනු වනසන පුලන්නෝ වන්නාහු ය;
පශ්චිම රාජාර්ධය දෝවන සට්ටැඹිරාළලා වන්නාහු ය.

ඉතිහාසය යනු රජගෙදර නිවේදන විතර ද?
වින්දිත පෙමවතී – පෙම්වතා ගැන කී දෑ
පොත් පිටු අතර නැත්තේ – ආදරයේ වරදින් නොවන බව
ආදරවන්තයිනි, ආදරවන්තියනි, ඉදින්වත් ඔබ දැන ගත යුතු
පුරාවෘත ඉක්මවාලිය යුතු.

රාජ උදහස හැමදාම ආදරයට එදිරිව පවතී.
ඉදින් පෙමාතුර අප, උනුන් දැකගනු නො හෙන තරමට
රැකවල් ලෑ අවකාශ දෙකක නන්නත්තාර කර දැමිණ.


සීතිකෘත ආදරය

සැබෑවූ එක ම දෙවියෝ, දූතයන් එවමින්
ඈ අධ්‍යාත්මය අසබඩ කඳවුරු බඳන්නට වූ හ.
ඈ එක ම ආරම්මණය, පෙම අමතක කරලීම වන තරමට
දෙව් දූත පීඩාව නැඟැ එන්ට විය.
ඉදින්, අවසන, ඈ, ඒ ශුද්ධවර පෙම්වතී,
ඒ දේව කැඳවුම හා ඒකාත්මික වන පිළින දෙන්නට වන්නී ය.
දිගු නිද්‍රාවෙකින් එළඹෙන අලුත් මොහොතක
ආදරය ද, ආදරවන්තයා ද මතකයෙන් දියකර හරින
ඈ ආරම්මණය, ප්‍රාර්ථනය, ඒ දේව කැඳවුම විය.
අසරණී…අන් කවර විසඳුමක් වී ද ඈ අබියස?

ජීවක, දේව දූතයා ස්වර්ගයෙන් බැසැ එන්නට වූයේ
මතක අමතක කරවන ස්වර්ගීය එන්නත
උරමත දරාගෙන ය. එතරම් විශාලයි එය.
අධි මාත්‍රාමය නින්ද එළඹෙන්නට විය.

ඇයට ඇහැරිණ.

ඉදින් ආදරය ද, ආදරවන්තයා ද ඇයට අමතකව තිබිණි ද?

පෙම්වන්තයා, අයිස් කුට්ටියක නිශ්චලනය කරන ලද්දේ ඇයි?
එය ඈ ඉල්ලීමක්, ඇයැදුමක්, යාච්ඤාවක් නො වන බව ඉඳුරාම ප්‍රත්‍යක්ෂ ය.
ඉදින් ආදරවන්තයනි, ආදරවන්තියෙනි, විමසන්න…
ආදරය ද, ආදරවන්තයා ද, අයිස් කැටියක් කළ
ආදර විරෝධී ඉල්ලීම කවරකු විසින් සිදු කෙරුණි ද?


තුන් වැදෑරුම් වර

ආදරය අත්හළ බැවින්
වර තුනක සංතුෂ්ටිය ඇයට අත්පත් කර දෙන්නට
දෙව් දූත මණ්ඩලය තීරණය කර තිබිණ.
මතකය, අමතකව ගොසිනැයි අනුමාන කළ බැවිනි.
ඈ, ආදරය විරහිත, පංචස්කන්ධයකැයි නිගමනය කළ බැවිනි.

වර තුන අතට ගත්තී, ඒ ශුද්ධවර පෙම්වතී,
යාච්ඤාමය හදවතින් පැනනැඟි කටහඬ
නිරභයවැ; නිර්ව්‍යාජවැ මුදාලන්නට වූවා ය.

එක:- ආදරවන්තයා (ආදරය) අයිස්හරණය කළ යුතු.
දෙක:- මතු මතු යම්දවස, සැබෑ වූ ආදරය සැමවිටම ජයගත යුතු.
තුන:- (පැතු ආදරය නො ලැබූ බැවින්) මා සදා තනිවිය යුතු.

ආදර සරළුව

ඈ ආදරය වෙනුවෙන් මා ඉසියුම් කැටයමින් නිම කළ
ඒ රමනීය සරළුව තවම මා අතැති බව;
ඒ ශුද්ධවර තරුණිය ඇතැම්විය නො දන්නී විය හැකි ය.
ආදරවන්තයිනි, ආදරවන්තියනි, ඉදින් මම ඔබට පවසමි.

එ ආදර සරළුවෙහි ආඩයාලම්ගතැ හැඟුම් සමුදායකි.
ඒ කවර නම් හැඟුමන්දැයි
කවුරුන් හෝ කොයි කවරදාකවත් විමසා නො මැතියෙන්
ඈ නමින් ඔබට පවසාලන්න, ඉදින් අවසර දෙන්න!

කිංකිණි – සුසංවාදී සුසංයෝගී මොහොත ය; ස්වරමාධුර්ය කැළතෙන.
පංජරගත පන්දුව – සුරක්ෂිතයබව ය; නිරුපද්‍රිතබව ය; ආදරය උහුලන.
සකුණ – නිදහස ය; සැහැල්ලුව ය; අවාකාශයෙහි එළඹෙන.
දම්වැල – භක්තිමත්බව මත ශ්‍රද්ධාව බැඳි බැඳී නො බැඳෙන ආදරය ය.
කුරුසිය – ක්‍රිස්තෝපගත අචපල භක්තිය ය.
දියමන්තිය – සවාසනා ඓශ්චර්ය ය.
හාරතය මත හාරතය – ආදරය මත ආදරය ය.
අසුකුර – වාසනාවේ ඉරණම ය.
කාංකාල යතුර – දිදුළන මාවතෙහි එළැඹුම ය.
කඹගැටය- සනාතන බැඳීම ය.
දොරගුළ – සුරකීමේ පිළිණ දීම ය.
සමාවෘත තුරුබඳ – වෙන් වෙන්වැ වූ ආත්මය, ආත්මය ඒකාත්මිකවීම ය.
මකරා – ආදරය හමුවෙන මහීමා අවකාශය ය.

සමෝධානය

ආදරය නම්,
තනිය ඉසිලීම ය.
පෘථිවිය තරම් බර තනිකම, තනිව ඉසිලීම ය.
ආදරය නම්,
කුටුම්භමුක්ත වීම ය.
හිරගෙවල් තැනුමට අනුබල නො දීම ය.
ආදරය නම්,
බලා සිටිනා බව නො කියා සිටීම ය.
දරා සිටිනා බව සඟවා ගැනීම ය.

ඈ බැල්ම හිමි; ආශිර්වාද හිමි; රැකවරණ හිමි:
වෙල්ෂීය ආදරවන්තයන් හට පමණක් ද?
ආදරවන්තයිනි, ආදරවන්තියනි,
පුරුෂෝත්තම වැලෙන්තීනෝ විය ගසෙන් මිදී
ජනේරු සිතලේ පවා අතිමහත් උණුහුමෙන් ජ්වලිත
දිව්‍යමය ද්වයින්වෙන්මය ආදරය සොයා යන්න!
ඒ ආදරය සොයා ගන්න.

මෙලන් ඩ්‍රැෆොද්‍රිල් වෙමි.
ද්වයින්වෙන් නම් ශුද්ධවර පෙම්වතී
අහිමිවුණු විරහවී ඇස් වලින්
ශතවර්ශ සොළොසක ආදරයේ නාමයෙන්
තවමත් බලා ඉන්නේ වෙමි.

නො ලැබෙන බව දැන දැන ම වුව,
ඈ කියා පහදා දුන් ආදරය පිළිබඳ පාඩම
දේශා දේශාන්තර ඉක්මවා…
අහසත්, ස්වර්ගාවකාශයක් ඉක්මවා…
සකල මන්දාකිණි, චක්‍රාවාට උහුලනා
මුළු මහත් විශ්වය සපුරා
විශ්වීය හඬෙකින් වර නඟන්නට නො හැකි ද?
ආදරවන්තයිනි, ආදරවන්තියනි, ආදරෙන් පවසන්න…!

-මංජුල වෙඩිවර්ධන
ජනේරු 25, 2020

හේමාවෙනි, පෙමිනි.

 

17017056_388721611483470_3125406060692656473_o

දෙ ළැම දෙදරුවන්ටයි – කෘෂ වුවත් ළැමත් පිබිදිණ
සසර දුක නිවෙන්නයි – සෙනෙහසත් පෙමත් ඇහැරිණ
දෙ ඇස දැදුරු වෙන්ටයි – කඳුළටත් නමක් ලියැවිණ
අහස පඳුරුලන්ටයි – කවිකමත් වැහිත් වැගිරිණ

මුසා බසක නවතිමි ඔබ එපා වෙන්න විරසක
කසාදය තමයි සළුපිළි උණා දැමෙන කැඩපත
නිසාචර හිතට හිමිදිර උදාවෙන්න අකැපද
අසාධාරණයි තනියම පිටත් වෙලා ගිය එක

දුටුව දුටුව හැම සිහිනෙම සුවඳ පමණි ඉතිරී
නටුව අග පිපෙනු දුටුවෙමි කඳුළ නඟන අසිරී
පිටුව පිටුව ගිළිහෙන කවි පොතෙහි මතක විසිරී
කැටුව නො යාමද නුඹ ලද එකම සතුට සොඳුරී

ගාලු කොටු පවුර සදිසිව ගීත අතර පේවී
පාළු පත් ඉරට හදවත බාර කරපු දේවි
වේලපත්කඩයෙ නොතිබුණු ගීතවලට යාවී
මාළුපිනි ඉඳුණු මතකෙට හීන ඇද හැලේවී

මන්ද්‍රි දේවී නොවුණද හිමගිරේ නැග්ග සියවර
තන්ද්‍ර තිසර විලසින්මය බෙදාගත්තෙ දියවර
චණ්ද්‍ර මඬල සා පැටවුන් පැන්න කුන්දු පියවර
ඉන්ද්‍රජාල අත්පසුරින් බින්ද හැකිද කරදර

ලේන්බාන් වීදියෙ පවනැල්ලෙ හමපු හේමා
මහන්සි නැති දෑසක ඉවසිල්ල හොයපු හේමා
පාන්දරට කලියෙන් අරුණැල්ල දැකපු හේමා
රාත්තිරිය මට දී සැනසිල්ල විඳිනු හේමා

– මංජුල වෙඩිවර්ධන
(නිදි නැති නිර්මල ඇසක අගිස්සක කඳුළක – 2014)

 

 

පසන් නම් සුපසන් කව

pasan-kodikara2

මම තොප අවුළු මුහුලස
හැඩ පලු ලිහා – මිටි බැඳ
වූලෙක පටලවා
‘හැට්’ කිරීටය
පළන්දන්නෙමි.

“මම තොප නොහඳුනමි
මට තොප මතක නැත”*

දුම්බර සැහැල්ලු ම මොහොතක
තොප’තින් එ ‘රන්පත’ ගෙන
තෙතබත් තුඩග උහුලා
ඩම් දෙක තුනක් ඇද
ඇඟිලි අතරේ
යළිඳු රන්දමි.

‘‘මම තොප නොහඳුනමි
මට තොප මතක නැත‘‘

අනුපාන මඟහැර
ළඟ ළඟ නවන හවසක
උදුරා වීදුරුව
පෙම් සිප් එකක් ඇද
‘කැත’ හිනාවක්
පැහැර ගන්නෙමි.

“මම තොප නොහඳුනමි
මට තොප මතක නැත”

බඳ පටි සිදුරු මව මව
තුමුල ඩෙනිමෙහි හිරකර
විසල් නිල් චෙක් කමිසය
එ මතට උඩින් අත්හැර
චැප්ලින්මුවා මිරිවැඩි
සොයා දෙපතුල් ගන්වමි.

“මම තොප නොහඳුනමි
මට තොප මතක නැත”

ගුවන් පාළම් අසබඩ
මල් ලොලුන් විහිදන
පන්දම්පාලි විඳිමින්
හයිලෙවල් නුබ මඟ
තරණය පිණිස
ත්‍රෛරෝද දඬුමොණරය
නිහඬ අයිනෙක ඉන්දමි.

“මම තොප නොහඳුනමි
මට තොප මතක නැත”

මධු ලොලුන් සලුවෙන
වටරවුම් වට සරමින්
මඳ සුළඟටත් හෙළවෙන
කොඩිකාරමය මඳහස
අඩවන් ඇසෙහි ඇවිලී
සුපසන් වදන් නික්මෙන
ඉගැඹුරු හඬට කන්දෙමි.

“තොප මා හඳුනයි
තොපට මා මතකයි”

මඳහස පැළඳගත්
වේදනාමය ඇස් ඇර
කැලුම් අඩකුඹු කර
තොප එසේ කීව ද
අනිත්‍යය’** වර නඟමින්
සැලුම් වෙවුලුම් කන
මතක ඇහැරෙනු පෙර
යළිඳු පවසන්නෙමි.

“මම තොප නොහඳුනමි
මට තොප මතක නැත”

– මංජුල වෙඩිවර්ධන

*”මම තොප නොහඳුනමි” ජී.බී.සේනානායකගේ කවියකි.

**‘අනිත්‍යය’ පසන් කොඩිකාරගේ එකම කාව්‍ය කෘතිය.

ඒ ගැඹුරු මඳහස

 

පැරිසියේ ‘පෙර් ලෂේස්’ හෝන්පලෙහි වන ‘ඔනොරෙ ද බල්සාක්’ ථූපය
© Manjula Wediwardena

මානව ප්‍රහසනය
දෙ තොල මත ඇඳ පෙන්වන
බල්සාක්මය මඳහස…..

පිටතට ඇරුණු ඇස් මත
ඇතුළත අඳුර පෙන්වන
බල්සාක්මය මඳහස……

වේදනාවේ පතුළත
කඳුළු නැති බව පෙන්වන
බල්සාක්මය මඳහස…..

කඳු ගැහුණු පොත් මැද
සැහැල්ලුව පෙන්වන
බල්සාක්මය මඳහස…..

මඳහසක අර්ථය
මඳහස නොවන බව පෙන්වන
බල්සාක්මය මඳහස….

– මංජුල වෙඩිවර්ධන

(පිටුවහල් පිටු – 2015)

Arnav ….. ! ආනෆ් ….. !

By Cyril Rolando

කිරි සුවඳ, අන් සියලු සිහින අතරින් මිදෙන
සිහිනමය ඉසව්වක් සොයන්නද
නො සඟවා කියන් උඹෙ අම්මාව වෙලාගෙන
මුලා කළ සිහිනයෙහි ගිලෙන්නද
පියවරක් එසෙව්වේ එ පය ඒ සිහිනයෙහි
මුවවිටෙහිදි ම ඇයට පුදන්නද
පය පුදා උඹ ඇයට ආදරේ කළ තරම
සිහිනයක් නොවන බව කියන්නද

පියාපත් පැළඳගෙන පියාඹන සමනලුන්
හොයා දිව යන මොහොත එළඹෙද්දි
ගියා වෙද කිරිසුවඳ පරාදීසය අතැර
මලානික වලාකුළු කැළඹෙද්දි
සනාතන යැයි හිතූ වෙලාවෙහි කෝ කොහිද
සරා සඳ, සා පැටව් වැළපෙද්දි
හිනාවෙන පුතනුවනි හිනා දහසක අරුත
දැරිය යුතු ම ද ‍ කඳුළු හිනැහෙද්දි

අතීතය වර නැඟෙන හුදෙකලාවම පතන
හුදෙකලා හදවතට ඉඩ දෙන්න
හැමදාම ඔබ සොයා සිහිනයක සැරි සරා
නිනද දෙන නිහඬකම උහුලන්න
නිහඬ සිහිනෙක වුණත් හිත කොහොම ඉඩ දෙයිද
තනි පයින් එන ඔබව දැක ගන්න
මට බැරිද පුතනුවනි මෙ පය සිහිනෙට පුදා
දිව යන්න ඔබට මඟ ඉඩදෙන්න

-මංජුල වෙඩිවර්ධන
2017 ජූනි 16

 

ආනෆ් ගැන වචන සහ ඉන් ඔබ්බට….

ආනෆ් ඉන්දියානු සම්භවයක් තියෙන දරුවෙක්. වයස අවුරුදු එකොළහ යි.

ඔහු මගේ මිත්‍රවරියගෙ ශිෂ්‍යයෙක්. ආනෆ්ගෙ අම්මා නෑ. නැතිවෙලා.  ආනෆ් හිටියෙ තාත්තා එක්ක. අම්මත් තාත්තත් දෙන්නම වෙනුවෙන් තාත්තා ජීවත් වුණා ආනෆ් ළඟ. ආනෆ් කෙමෙන් අම්මා තරම්ම සමීප වුණා ඇගේ ගුරුවරියට. ඒ කියන්නෙ මගේ මිත්‍රවරියට. ඉකුත් 2017 අවුරුද්දෙ එක්තරා දවසක දැන ගන්න ලැබෙනවා ආනෆ්ගෙ කකුළෙත් කැන්සරමය (ඒ සිංහල වචනෙ දරුණුව දැනෙන හින්දා මට මෙහෙම ලියන්න අවසර දෙන්න) කාරණා පැතිරිලා කියලා. කරන්න තියෙන පළමු ප්‍රතිකාරය තමයි කකුළ සහ ආනෆ් වෙන් කිරීම.

ම විසින් මේ කවිය ලියැවුණේ මෙන්න මේ කියන තීන්දුව අබියස.

මේ කවිය සහ සටහන අතර පරතරය හරියට ම මාස නවය යි.

ඒ අතරතුර පුතාගෙ කකුළ බේරාගන්න තාත්ත ගෙනගිය අරගලය……
පුතාගෙන් කඳුළු හංගගන්න තාත්තා කරපු අරගලය…..

මේ මොහොත…..?

මම මගේ ‘සුළඟට අවනතව’ පොතට ආනෆ් ගන්නදැයි මගේ මිත්‍රවරියගෙන් අවසර පැතුවා. මට අවසර ලැබුණා. ඇතැම් විට ඒ ආනෆ්ට හෝ ඔහුගෙ තාත්තාට, මං ලිව්ව දේ කියවන්න නො ලැබෙන හින්දා වෙන්නත් පුළුවන්. කවි පොත මුලින්ම හැදෙද්දි ආනෆ් කවිය තිබ්බා. නමුත් මම හිටියෙ දෙගෙඩියාවක. මට හිත හදා ගන්න බැරි වුණා. ආනෆ් පොතට ගන්නවද? නැද්ද? අන්තිමේ මම නො පළ කවි ගොනුවෙ නිශ්චිත තැනක ආනෆ්ව තිබ්බා.

මේ ගෙවුණු ජනවාරියේ සෝබර දවසක මගේ මිත්‍රවරිය මට මෙහෙම කිව්වා. ‘ආනෆ් කැමති නෑ කියනවා මාව දකින්න.’ ඇගේ පපුව නවතින්න තරම් වේදනාවක් ඇගේ හඬේ තිබුණෙ.  ‘කොල්ලට අමාරු ඇති’

මං සුපුරුදු නිශ්ශබ්දතාවට ඉඩ දුන්නා.

ඒ වෙද්දි වෙන් නොකර ඉතිරි කරපු, කොල්ලගෙ කකුල දරුණු විදිහට ඉදිමිලා….. සියල්ල, සියල්ල පුරා පැතිරෙමින්…..

පෙබරවාරියේ මගේ මිත්‍රවරිය ඇගේ මව් රටට ගියා. මසක ඇවෑමෙන් යළි ගෙදර ආව දවසට පහුවැනිදා ඇය මට මෙහෙම ලියලා එව්වා ‘මගේ පුංචි කොලු පැටියා ආනෆ් මං එනකල් බලන් ඉඳලා. අද උදේ එයා එයාගෙ අම්ම ළඟට යන්න ගියා’

පොතට නො ගත්ත මේ කවිය ‘මෝසම් හඳ’ ට ගේන්න මම හිතලා තිබුණෙ නෑ. මේ කවිය ගැන දැනන් හිටිය‍ෙ මගේ මිත්‍රවරියත් මමත් විතරයි. නමුත් අවසානයේ, දැන්, ‘ආනෆ්’ පොදු අවකාශයක තියන්න මම තනියම තීන්දු කළා.  මගේ මිත්‍රවරියගෙ අවසර නො පතා ම.  ඇය මට සමාව දෙයි.

2018 මාර්තු 17

ඔව්, ඉතින්, මේ ඒ මොහොත…

© Miles Cleveland Goodwin

නින්දගං අතැර යන මිනිසා
ගෙන්දගං වලාකුළු නො තකයි
නින්නාද නැඟුවාට
තබන පියවර ලකුණු
යන්තමින්වත් හැරී නො බලයි

පෙබරවාරිය වගේ
කොළ හැලෙන මතකයට
දැන් ඉතින් මතකය ම විතරයි.

මංජුල වෙඩිවර්ධන
2018 පෙබරවාරී 17

කළු වළලු

(ඔබ එවූ කළු වළලු ලැබුණා)

කෙළ සුවහසක් විරිත් හදවතේ රළ නැඟෙන කළු වළලු
සඳ දියෙහි පෙඟෙන මුදු ගණඳුරක පැනැ නැඟෙන කළු වළලු
මධු විතක තොල රඳන මතකයක දඟ නැඟෙන කළු වළලු
අතහැරුණ සිහිනයක සිහිනයෙන් වර නැඟෙන කළු වළලු

සංසාර නැවතුමෙක අත ඇනුණ කටු ලිහන නිම නැතුව
මට ලැබුණ කළු වළලු සංතාප සයනයක නිදි නැතුව
වම් අතේ පටැලවී කරකැවෙන ඔබ එක්ක ඔබ නැතුව
හද ගැහෙන තැන ගැහෙන එක ‍කොහොම හැඟුමක්ද හද නැතුව

නිරසකර සුරත හිමි, එනිසා ම ‘වෙලා පැළඳුම’ දැරුව
ඉසිඹු නැති තත්පරද වෙහෙසකර අඩි තියා සැරිසැරුව
හද සැලෙයි නීරසම සුරතකට කවි කියා දෙනු බැරුව
කළු වළලු ලූ වමත දැන් ඉතින් පද මවන පෙරහුරුව

පෙති ඇරෙන පැදි පෙළක ඉසියුම්ම මඳහසක තල එළලු
එළිසමය දිළෙනවා සුකුමාල මධු සමය මෙන් සොඳුරු
හිටිවනම සිහින මත ඇදහැලෙන මාලතී මල් කැකුළු
මත හොයමි පිනි දියර, කොයි ඇසක සඟව ගත්තෙද කඳුළු?

-මංජුල වෙඩිවර්ධන
2017 මැයි 31

(සුළඟට අවනතව – 2017 සැප්තැම්බර්)