ගෙත්සෙමෙනියේ ගීතිකාව

Christ - Gethsemane 1 - Harry Anderson

ගෙත්සෙමෙනි උයන සේ නිහඬයි
හිත් සැලෙන හඬ පවා නොනඟියි
නෙත් කෙවෙනි අතර හිඳ වැගිරෙයි
ඇත්තමයි නිහඬ පෙම සොඳුරුයි

ඒදන් උයන් කොණෙක හිඳ හමන
මිහිදන් නොවුණු මතක මඳ පවන
රහසින් දොඩන වචන මත රැඳෙන
ආදම් සමඟ ඒව අත වනන

නිල් අහස දෑස විනිවිද පෙනෙන
කල්වාරි කන්ද ඔබ ළය මඬල
විශ්වාසයේ නිමල ඔරසමට
නින්නාද නැගෙන හඬ ඇහෙනවද

Advertisements

ගොල්ගොතාවේ කඳුළු ඇහිඳින්නී

 

“Penitent Magdalene” by Maestro della Maddalena di Capodimonte

ගොල්ගොතාවේ කඳුළු ඇහිඳින්නී
පෙම් කතාවේ මළුව අමදින්නී
මග්දලාවේ මරියනී
වන්දනාවේ
වංක ගිරියේ
අම්බපාලී
මග්දලාවේ මරියනී

කැට මුගුරු ගෙන පසුපසින් ආ උවැසුනේ
ඝන අඳුරු රෑ කවුද ඈ හා තනිවුණේ
සොඳුරු රූ සිරි දකින දෙනයන ගොළුවුණේ
අනේ මරියා රුදුරු කතරක තනිවුණේ

සංසාර අසපුවේ ගීතිකාවෝ රැව් නැගී
කම්මුලේ අත ගසාගෙන සඳ ඉකිබිඳී
ඔරසමේ හද විලාපය මත මල් පිපී
ජීවිතේ හැටි කියා දුන්නෙද මරියනී

හඬ    – අමරසිරි පීරිස්
ස්වර  – දර්ශන රුවන් දිසානායක
පද      – මංජුල වෙඩිවර්ධන

අවසාන කවිය The Last Poem

dkct_david-koloane_refugees_2008

‘‘කොටි පාලන ප‍්‍රදේශ හැරදා තවත් 423ක් හමුදා පාලන ප‍්‍රදේශයට’’
‘‘විශේෂ දළදා ප‍්‍රදර්ශනය ඇරඹේ’’
-එකම දින ප‍්‍රවඃත්ති දෙකක්-

එන්න බෝඩර් පැනගෙන
දළදා වඳින්නට.

මැදින් පුරහඳ මැදින්
සිහ ධජය ළෙලදෙයි.
සඳින් වුව සැළෙන්නේ රැස් නොවේ කෙසරයි.
හදින් හද සෙත් පිරිත් නිනද වෙයි.

එන්න බෝඩර් පැනගෙන දකුණට
ඒ නයින් මඟ විවරයි.

මිනිස් පළිහෙන් මෑත්වුණු මිනිසුනි
දුටුවාද මුලතිව් වනයෙන් එතෙර පෙන්වන
සඳ කෙසර එළියේ
සඳ වුවත් දෙපලු කළ හැකි
සඳේ ළෙලදෙන අසිපත.

වනය පීරා එනවිට
අතේ පොඩිවෙන නියඟලා මල
අතින් පිසහැරලන්න.
පයේ හැපෙනා නියඟලා අල
අතින් අරගෙන එන්න.

වන්නියට වසන්තය ලබන විට
නුවර ගිම්හානයයි
වැසි නොඑයි.

එන්න බෝඩර් පැනගෙන
දළදා වඳින්නට.

බුදුන් මුව වූ දන්ත ධාතුව
ඔබට සරණයි.
සඳේ ළෙලදෙන සිංහ දත් පෙළ
සිතට නිවනයි.

කුහුඹු කවක්

Paris_Eiffel_Tower_by_Faqy

අයිෆල් කුළුණ පාමුල
කුහුඹු පිළිරුව කාගෙ ද?
කාගෙවත් ඇස නො ගැසෙන
තණ පතක් මත තනි වුණ..

නිකිණි සඳවත අහසට
ඇවිත් වියපත් රෑ කල
හෙළන කඳුළක සීතල
තිබෙන තනිකම කාගෙ ද?

දුර ඈත සිට පා වෙන
ඇවිත් හිත අග යා වෙන
සුසුම් මග හැර යාවි ද
කුහුඹුවකුගේ සිහිනය…

මගේ ජන්මය

blackfathers12

නෙතින් නෙත ගැටෙන්නැතිවද
සිතින් හිස නැමෙන නිතියෙන
මැදින් සඳ මැදින් පෙනුනේ
තාත්තේ ඔබයි….
මලක සේ මෙලෙක මව් කුස
ගුලි ගැසී උන්නු එ දවස
සෙනෙහසේ සුවඳ වූයේ
ඔබේ කටහඬයි ….

හිරු මැරි වැටී අවරග
තුරු ලතා පවා මිලිනව
සරු පොලෝ තලේ ඉකිබිඳි
සැඳෑවරුවකයි……
තරු කඩා වැටුණු බිම මත
කුරුලූ දරු සිඟිත්තෙකු ලෙස
තරු දෙනෙත් ඇරී දුටුවේ
රතු ගුවන් ගැබයි…..

බිඳෙන් බිඳ සිතුම් අවදිව
පැතුම් බර මගේ දෙනයන
නැවුම් බග සඳක් වූයේ
ඔබේ දෙනයනයි……
ඒ නැවුම් සඳුන් නෙළනට
පා නගා ඇදෙන ගමනට
ආදරේ සුවඳ නොමියෙන
තාත්තේ ඔබයි……

(නිරුත්තර සමාධිය)

කනයා Kanaya

! Flower

කනේෂන් අයියාගෙ කෙටි නමයි
කනයා
ඌ අපිට පණ වුණත් දෙනවා

පත්තරකාර කනයෝ
පෑන පොඞ්ඩක් දීපං
පෑනට වයසකුත් නෑ
ජාතියකුත් නෑ බං
උඹ ලිය ලියා හිටි ලිපියේ
ඉතුරු බාගය මං ලියන්නම්

තාත්තගෙ වයසෙමයි
තාත්තා වාගෙමයි කනයා
කට ඇරපු හැටියෙම
අවවාද දෝරෙ යනවා

නවත්තහං බං ෂිකරට්
බොන්නෙපා බං අරක්කු
බොලා ඇවිත්
අපෙ ආයිෂත් ඇරගෙන
ඉන්ඩෝන මිනිස්සු

බැණ බැණ එකට බොන
සිගරට් බාගෙ දෙන
කනයාගෙ රුව ගුණ
කවකට කෙළෙස හකුළන

අරක්කු බොන කොට හවසට
කටට රහට
සරක්කු වැඩිවෙන පදමට පැමිනුණාම
මුරුක්කු මෙන් බයිට් කළත්
ඔරොප්පු නොවනා
කොලූක්කට්ටෛ වගේ
උගුරැටය සොළවා
සින්දුවක තාලෙ අල්ලයි
අපේ කනයා

ගැඹුරු හඬ මන බැන්ඳු
කියන්නෙ බෙග්ගෙම සින්දු
බුදු ගුණය ළය රැුන්දු
අපේ කනයා හින්දු

අපිටත් මචං කියනා
අපිත් මචං ම කියනා
මචංවරයෙකි කනයා
ඌ අපිට පණ වුණත් දෙනවා

බයිසිකල් කතාවක් A Story About a bicycle

cycle2

සාමිනාදන්
සයිකලයක් නොවේ ඔය
නිමලරාජන්

සිංහල අවතාර ඇවිදින
කොළොම්තොට
ගෙන්දගම් පාරක
ඉඳහිට
පාර වැරදුණු පාපැදියක්
සිහිනයෙන් මතුවෙයි.

” බොන්න යං ”
කොළොම්බු රෙස්ට් එකේ
අඩ අඳුරු මුල්ලක
මූඩියක් කැරකෙයි.

”  තල්
අවංක අරක්කු ”
මම කියමි.

නිමල්ගේ
දෑස නලියයි.
” ඒත් බං
මං ආස ගල් ”

මළකඩ කෑ
පත්තර පිටු අතර
කලබලෙන් පැද යන
මළ නො කෑ
සයිකලේ
අතරමඟ නවතියි.

”  කොහෙද යන්නෙ ”
දඩාවතේ යන බල්ලෙක්
පෝක් අත ලෙවකයි.

” කොහෙ යන්න බැරිද
මේ මගේ ගම ”
නිමල්ගේ තොල් ඇරී
උඩු ඇන්ද හිනැහෙයි

” බීලද ”
එවර බල්ලා
බර බූට් අඩි අතර.

” ඇයි
අහලද බොන්න  ඕනෙ ”

බැරියර් කඩාගෙන
පත්තරේ පිටු ඉරාගෙන
බ්රේක් නැති සයිකලේ ඉගිලෙයි.

සාමිනාදන්
ඒ තමා බං
නිමලරාජන්.

ඒ කොහොම වුණත් උඹ
පරිස්සම් වෙයන් බං
සාමි
සයිකලේ
වටේටම
ආමි.