පැරිස් මිමෝසා හෙවත් වසන්තයේ වේදනාව

Forsythia by Sookja Rho
Forsythia by Sookja Rho

අහස් විමානෙට මේ කුළු රොද බඳින
වසන්තයට එන්නට හරි මඟ කියන
දහස් දසදහස් ගණනින් වැළඳගෙන
පැරිස් මිමෝසා අතපය දිග හරින

අත්ත බිඳුණ කල ජීවන ඉළව්වේ
ෆ‍්‍රැන්ක කොළ වලට පේ‍්‍රමය හිළව්වේ
කවුද ඔබම මිස හදවත හෙළෙව්වේ
වත්ත එරන්වන් නටඹුන් වළව්වේ

ඇස් අගින් ගලන් එන්නෙම අපහාස
රත්තරන් දිළෙයි හොඳටම ළඟපාත
අත් වලින් දරන් ඉන්නට බැරුවාද
කොච්චරක් බරද සුළඟට මඳහාස

මිළක් මොටද මිළ නොකළැකි රන්වනට
කලක් ගෙවෙනවා කොළ නැති ගස් අතර
කොළත් දලුත් මොකටද මේ පිංකමට
මලුත් කැමති වෙනසක් ඇති ලස්සනට

( මගේ ආදරණීය යක්ෂණී පිටුව 382, 383 )

පඨිතයන් අතර අවකාශයක්: මංජුල වෙඩිවර්ධන ගේ “බත්තලංගුණ්ඩුව”, හෝමර් ගේ “ඔ‍ඩිසි” හා ජේ.එම් කට්සෙයර් ගේ “ෆෝ”

My Soul to Keep:  Victoria Pinney
My Soul to Keep: Victoria Pinney

මංජුල වෙඩිවර්ධනගේ බත්තලංගුණ්ඩුව කථා අවකාශය සැලකීමේදී නිතැතින්ම මනසට ආ පඨිතයන් දෙකකි, හෝමර්ගේ ඔඩිසී සහ ජේ.එම් කට්සෙයර්ගේ ෆෝ. දූපත් තුනක කේන්ද්‍ර තුනක් අරමුණු කොට තුන් ආකාරයකට වියෙන මෙම පඨිතයන් සමපාත වන හා එකිනෙක විනිවිද යන අවස්ථා ගණනාවක් දැකිය හැක. තම ලමාවියෙහිදිම තමාගෙන් වෙන්වුනු පියා සොයා ඉතාකාවලින් පිටත්වන තරුණ ටෙලිමාකස් ගේ ප්‍රතිබිම්භය තමාගේ ජීවිතයෙන් දුරස්ථ වී ලංකා දූපතේ ද දූපතක බත්තලංගුණ්ඩුවේ වෙසෙන බවට විශ්වාස කරන තම පියා වන ඇඩ්ඩින් මුදලාලි සොයා එන ඇන්ටනී මත පතිත වේ. ඇන්ටනී හට හමුවෙන දූපත, ශ්‍රීලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය නැමැති මනඃකල්පිතයේ ප්‍රජාතන්ත්‍රවාදී ද සමාජවාදී ද නොවන ජනරජ තීරුවක්ද නොවන පරිධියකි. කට්සෙයර්ගේ ෆෝ කතාවේ මිස්ටර් කෲසෝ තම දිවයිනට අදාල වන පරිදි එහි බිම්ගත සංස්කෘතියක් සිතියම්ගත කරන්නේ කෙසේ ද, ශිෂ්ටාචාරයේ කේන්ද්‍රයට විකල්ප වන, එම කේන්ද්‍රයේ පරිධියට කේන්ද්‍රගත වන සංස්කෘතියක හා සභ්‍යත්වයක මහා ආඛ්‍යානය අපට බත්තලංගුණ්ඩුවේ දී හමුවේ.

the-odysseybookcoverහෝමර්ගේ ඔඩිසී කාව්‍යය සවිඥානිකව ඇසුරු කරගනිමින් 1922දී ජේම්ස් ජොයිස් විසින් ලියවුනු යුලිසිස් ද, ජේ.එම් කට්සෙයර්ගේ ෆෝ වෘතාන්තයට අන්තයක් වන ඩැනියෙල් ඩෙෆෝ ගේ රොබින්සන් කෲසෝ ග්‍රන්ථයද මෙහිදී සැලකිය යුතුය.ඔඩිසී හි ටෙලිමාකස් හා සමපාත වන ලෙස නිර්මිත යුලිසිස් හි ස්ටීවන් ඩෙඩලස් මෙන්ම කට්සෙයර්ගේ මිස්ටර් කෲසෝ හා එපරිද්දෙන්ම අනුපාත වන රොබින්සන් කෲසෝ ගේ ද අවතාර බත්තලංගුණ්ඩුවේ වැල්ලෙහි අප හමුවන්නේ ඇන්ටනී හා ඇඩ්ඩින් මුදලාලිගේ වේශයෙනි. ඇඩ්ඩින් මුදලාලි යනු සම්භාව්‍ය ඊඩිපල් පියාගේ මූර්තියකි. නමුත් මෙම පිය චරිතය හා ඈදුනු තවත් භූමිකා කිහිපයක් ඔහු අතින් ඉටුවේ. මුහුදට බිලිවූ “රස්සාකාරයෙකුගේ” තරුණ වැන්දඹුව වන ග්‍රේටා තම සහකාරිය කරගන්නා ඇඩ්ඩින් මුදලාලි “මුනිවරයෙක් ද”, “ආප්තය ද” “ආරක්ෂකයෙක් ද” වේ. සම්භාව්‍ය ඊඩිපල් පියාගේ භූමිකාව හා මනාව බැදෙන මෙම විචල්‍යයන් අතරින් කතාවේ “ඊලග කොටස” ගැන පේන කීමට ඔඩිසියෙන් නෙස්ටර් කෙනෙක්ගේ අවශ්‍යතාවයක් නැත. මන්ද යත්, එය “විය යුතු පරිදි”ම, ඊඩිපල් පියාගේ මරණය හෙවත් ග්‍රේටා හා රමණයත්, ඒ හරහා ඇන්ටනී ගේ සංකේතාත්මක “ආගමනය”ත් (නා‍යකයෙකු ලෙස) තුලින් සාක්ෂාත් වන බැවිනි. ඇන්ටනී JM Coetsee-Foeක්‍රමයෙන් බත්තලංගුණ්ඩුවේ ප්‍රධාන භූමිකාව වනු අවස්ථා කීපයක් තුලින් පෙන්වා දී ඇත. ඔහුගේ ලිංගිකත්වය හා ශරීරය වෙනුවෙන් ග්‍රේටා හා අනා මරියා අතර ඇතිවන සියුම් ඝර්ෂනය මින් එක් අවස්ථාවකි. වෙඩිවර්ධන, ඇන්ටනීගේ ලිංගිකත්වය ඉතා ඕනෑකමින් මතුකර දක්වන්නෙකි. ග්‍රේටාගේ අයිතිය හා පැවැත්ම වෙනුවෙන් ද ඇගේ තාරුන්‍යයෙන් ඇතිකෙරෙන තෙරපුමෙන් ද බලකෙරෙන ලිංගික වරණයක් ලෙස ඇන්ටනී ඇය හා සම්බන්ද වේ. මෙම මුල් ලිංගික එක්වීම ග්‍රේටාගේ වැඩි උවමනාව මත වූ බවට — මෙහිදී රචකයා ඇන්ටනීගේ උවමනාව බේරාහැරීමක් කරයි — ඕනෙවට වඩා වැඩි කරුනු දැක්වීමක් කෙරෙයි. මීට සමාන්තරව ඇන්ටනී හා අනා මරියා අතර ඇතිවන සබදතාවයද වැදගත් වේ. අනා මරියාගේ (ඒ අර්ථයෙන්) දූපතට වන “අවජාතක බව” හා “අයත් නොවන බව” සජාත කරගැනීමක් හෙවත් ඇගේ අයිතිය හා පැවැත්ම සාක්ෂාත් කරගැනීමක් මේ හරහා සිදුවේ. මෙහි සංකේතාත්මක භාවිතය අප දකින්නේ අනා මරියාගේ අනියම් සේවා පත්වීම ස්ථීර කරදීමට ඇන්ටනී තම මිතුරෙකුට ලියන ලිපිය හරහාය.

2_baththalangunduwa_sinhala_novel_by_manjula_wediwardena_rj_re“වල්වැදුනු” පියා සොයා යන ටෙලිමාකස්, පියා හමු වී ඔහුගේ ද සහ‍ය ඇතිව තමන්ට පිය උරුමයෙන් ලැබීමට නියමිත ඉතාකාවෙන් තම සතුරන් තුරන් කොට බලය ස්ථාපනය කරගනියි. “සැන් ඇන්තනීස් අයිස් වාඩිය” පිලිසකර කෙරෙනු ද, නව ජීවයකින් කරුණු කාරනා කෙරෙනු ද බත්තලංගුණ්ඩුවේඅවසන් අදියරෙහිදි දැක්වේ. ග්‍රේටා ගැබ්ගෙන ඇති බවට ඉගියක් සැපයෙන අතර, ඇන්ටනී න‍ව යුගයක නියමුවෙකු ලෙසටද සටහන් කොට ඇත. ස්වකීය පියා සුපුරුදු අයිස් පෙට්ටියක් මත ඉදන් සිටිද්දී වාඩිය දෙසට හැරෙන ඇන්ටනී ගේ ඇත්තේ රැලට අලුතෙන් පත්වූ ද, රැල තම කායික බලයෙන් දමනය කරගත්තාවූ ද නායකයෙකුගේ පෞරුෂයකි. ග්‍රේටාගේ ගැබ්ගැනීම එම නව යුගයේ මං සලකුනකි.

ජේ.එම් කට්සෙයර්ගේ ෆෝ හි මිස්ටර් කෲසෝ තම දූපත දමා යාම සහමුලින්ම ප්‍රතික්ෂේප කරයි. සූසන් (දූපතට “පාවී” එන අමුත්තිය සහ කතාවේ නායිකාව) ගේ කඩිසරබව සහ දූපතෙන් පිටව යෑමට ඇය කරන කියන දේ සියල්ල මිස්ටර් කෲසෝ නිශ්ප්‍රභා කරයි. මිස්ටර් කෲසෝ අසාධ්‍ය අවස්ථාවක ඔහුව දූපතෙන් පිටමං කරන්නේ ද සූසන්මය. දශකයකට අදික කාලයක් අනේක කම්කටලු මැද, තම වහල් සේවක ෆ්‍රයිඩේ සමග දූපතේ කුඩා අට්ටාලයක ජීවත් වූ මිස්ටර් කෲසෝ දූපතෙන් පිටකල කල්හි නොබෝ දිනකින් මියයයි. තම පියා සොයා එන ඇන්ටනීටද ඇත්තේ තම පියා දූපතෙන් පිටත් කරගෙන යෑමේ අවශ්‍යතාවයකි. නමුත්, “යථාර්තය” නැමැති කල්පිතයෙන් බැටකා බත්තලංගුණ්ඩුවට එන ඇන්ටනී එයටම අවශෝෂණය වී එහිම ‍ඓයින්ද්‍රීය කොටසක් බවට පත්වෙයි; බත්තලංගුණ්ඩුවේ මහා ආඛ්‍යානය කේන්ද්‍රගත කරයි.

බත්තලංගුණ්ඩුව යනු ලිංගිකත්වය මානුෂකරනය කෙරුනු අවකාශයකි. එහිදී, “ලිංගික එක්වීම” යන්න අවශ්‍යයෙන්ම නිර්ව්‍යාජ “මනුෂ්‍ය වීමේ හේතුවෙන්” පවතින ක්‍රියාවලියක එක් පථයක් ලෙස දක්වා ඇත. වෙඩිවර්ධනගේ මෙම නිරූපනය තුල — “යථාවාදී” දෘෂ්ටියකින් බලන්නේ නම් — ගැටලු රැසක ඌනපූර්ණය නිධාන වී ඇතත්, මෙම ලියමනෙහි එවැනි දැක්මක් අවශ්‍යයෙන්ම ස්ථානගත නොකෙරෙන හෙයින් ඒ පිලිබද ඇගයුමක් කෙරෙන්නේ නැත. නමුත්, නැවත අගනුවර බලා යෑමේ අරමුණකින්ම බත්තලංගුණ්ඩුවට එන ඇන්ටනී එහි රදවා ගැනීමට යත් දරන ග්‍රේටා හා ඔඩිසි හී සර්සී අතර කම්පනයක් සලකුනු කල යුතුය. එමෙන්ම, වෙඩිවර්ධන විසින් වියවෙන ඒ “පරමාදර්ශී නිර්ව්‍යාජ ලිංගිකත්වය” මෙන්ම එම ලිංගිකත්වයේ “භාෂාව” ද පරම මනුෂ්‍ය සහ-සම්බන්ධතාවයක හා එවැන්නක පමණක්ම කැඩපතක් ලෙස දක්වා ඇත. මෙය තරමින් ස්ථූල ලිලී නෝනාගේ සිට, රූමත් ආනා මරියා හා ඇන්ටනී දක්වා ම පොදු වූවකි. බත්තලංගුණ්ඩුවේ ගත කරන මුල් දින රාත්‍රියේම ඇන්ටනී ආන මරියාගේ වාඩිය වෙත ඇදෙන්නේ එය ස්වභාවිකවම “වියයුතු” දෙය නිසයි. ශිෂ්ටාචාරයේ කල්පිතය තුල “සිදුවිය යුතු” කෝලකම්, බෑ-එපා කීම් කිසිවක් සිදුනොවේ. රාත්‍රියේ සිදුවන්න දහවල සිදුවූ සියලු බැලුම්-ඇහුලුම් වල දිගුවක් පමණක්ම ලෙස ක්‍රියාවට නැගේ. ෆෝහි සූසන් බාර්ට්න් එක් වරක මිස්ටර් කෲසෝට තම ශරීරය වින්දනය කරගැනීමට සලස්වයි. මෙය (සූසන්ට අනුව) කෲසෝ ගැන අනුකම්පාවෙන් (මමත්වයෙන් තොරව) ලබා දුන් අවසරයකි. එසේම, නැවේ කපිතාන් ද “ඔහුගේ කාමරයේදී වීදුරුවක් හිස් කරන්නට” සූසන්ට ආරාධනා කරත් ඇය ඊට එකග වන්නේ නැත. මෙම “පරමාදර්ශී” අවස්ථාවන් හා ඔඩිසි සංකලනය වන්නේ තම පුරුෂයා ට්‍රෝයි දේශයේ යුධ බිමේ සිට මාලිගය වෙත නැවත එනතුරු වසර විස්සක් තිස්සේ “පතිවත” රැකි පෙනෙලපී හරහාය. මෙම පෙනෙලපී ගේ විපරිතයක් ජොයිස්ගේයුලිසිස් හි මොලී බ්ලූම් මත ප්‍රතිවර්තිතයි. මොලී සිය පෙම්වතුන් විසි අටදෙනෙකු සිහි කොට ස්ව‍යං-රමණයක යෙදෙන එම නවකතාවේ අවසන් කොටස මේ සදහා හොදම උදාහරණයයි.

-විහඟ පෙරේරා
https://slwakes.wordpress.com/

සනී නම් වූ අධ්‍යාත්මික උපස්ථාදායකයාට

වේටරවරයා; රොබට් හෙන්රිගේ සිත්තමක්
වේටරවරයා; රොබට් හෙන්රිගේ සිත්තමක්

‘පර්ලින්‘ එකට පාළුද?
අඩ අඳුර යට අල බැදුම ළඟ
ශුද්ධ සිංහල ගීත රැව්දෙන
පර්ලින් එකට පාළුද?

ටොනික් පියනක් පෙරලි පෙරලී
අතීතයෙ හිඳ
පඩි බහී
ලිඳෙන් කිසිදා ගොඩ එන්න බැරි
ජින්ම පප්පෙකු
ඇල්කොහොල් සිහිනෙක කහී

දොරින් දොර
‘ෆ්‍රෙන්ච් ප්‍රයිස්‘ බැදෙනා රටකට
උඹ අරන් එන අල බැඳුම් වල
සුවඳ එන්නේ කොහොමද?

දොඩනු හැකියෙන් කටමැත
ගල් වල ය හදවත
ෂොට් දෙකෙන් මුහුණ ම ඇඹුල් වන
‘දෙහිවල‘ ය හිතවත.

ඇටෙන් පොත්තෙන් යන්න ඉස්සර
ඔතන දිගහැරි කඩල ගොටු ගැන
පොත් දනී.
අපිට සර්විස් දුන්න හැටි ගැන
පළල් නළලෙහි රැලි නඟා
කියපන් සනී.

බෙන්සාරු කළ උඹේ කටහඬ
හදවතේ පතුළත ඇනී
ලෙමන් ජින් කාලකට ටිප් එක
තබා ඇහැරෙමි
සිහින කහමඳ රස දැනී

මේසෙ මද්දල පාර පැද්දෙන විටදි හිටියත් පෙනි පෙනී
ගීත රිද්දන විටදි උඹෙ හදවතට කොහොමත් මළ පනී
ප්‍රේමෙ අද්දර මූණ රතුවෙන රාග හොඳහිත වෙනුවෙනී
ප්‍රාණෙ ‘බිත්තර නෝනෙ‘ තාමත් හීන අහුලනවද සනී

බිත්තර කට්ටෙ ප්‍රේමෙට
වැටුන්නැතිවද තව නඩු
තැම්බු බිත්තර තීරු මත්තට
ගම්මිරිස් කුඩු ලුණු කුඩු
ඉහා ගෙන ආ බයිට් එක ළඟ
උස්මහත් වුණි කරදඬු

මට මතකයි උඹ,
අති විශේෂ හේතුවකට
අති විශේෂ පල් වල ඉස්සා
බිත්තරේට තුරුල් වෙන්න
ජින් ඉහිරෙන ලිඳකට බැස්සා

‘‘ගල් ගහල ගිය දාට දෙන්නෑ
ඒ හින්දා මං ඒවා බොන්නෑ
ජින් ගහල ගිය දාට දන්නෑ
වැඩ දහම දානකල් යන්නෑ‘‘

මෙන්න මෙහෙම අවංකවම
ළය පලලා අතට අරන් දඹරන් කරඬුව
ලෝස් නැතුව පෙන්නනවා
පර්ලින් ගල් ගුහාව දෙක කර.

අධ්‍යාත්මික අඳුරෙ පතුළත
‘ත්‍රීරෝස්‘ පුසුඹක් දැනී
අතගගා පිට තටු හොයනකොට
පිටම වණවිය කවි ඇනී
ශුද්ධ සිංහල ගීත රහ මිස
ශුද්ධවර කවි නැහැ සනී.

– නිදි නැති නිර්මල ඇස්ක අගිස්සක කඳුළක – 2014

චූටි නම් වූ විසල් මිනිසා

© Willem de Kooning
© Willem de Kooning

චූටි චූටි හීන වලට
චූටි ඉඩක් හොයාගන්න
චූටි දෙනෙත් පියාගන්න
චූටි වෙලාවක් මදිවිද
චූටි……………………?
චූටි කුරුල්ලන් අතරේ
චූටි චූටි සටන් පාඨ
චූටි හොටින් මුදාලන්න
චූටි උගුරෙ හිරි ඇරපන්
චූටි……………………..
චූටි පියාපත් තුරුලට
චූටි සිඟිත්තිය අරගෙන
චූටි හිනා පොදි ගහගෙන
චූටි කැදැල්ලෙන් බැහැපන්
චූටි……………………..
චූටි හදවතින් ඉහිරෙන
‘චූටි‘ කවක හඬ වෙනුවෙන්
චූටි පපුව පිරිමදින්න
චූටි වෙලාවක් දීපන්
චූටි……………………..
චූටියට දෙකක් ඇණගෙන
චූටියට දුමක් ඇද ඇද
චූටි කඩල ඇට ගනින්න
චූටි ඇඟිලි දිග ඇරපන්
චූටි.
2014 අප්‍රේල් 19.

වසන්ත අයියා ගිහින්ද…..?

the-shapes-of-emptiness-patricia-velasquez-de-mera
පැට්‍රීෂියා වෙලාස්කස් දු මේරාගේ සිත්තමක්

වසන්තයට මඟ කිය කිය
පැරිස් මිමෝසා හිනැහුණ
වසන්ත සුළඟෙහි පාවී
වසන්ත අයියා ගිහින්ද…..?

පැරිස් අහස ළං වෙනකොට
විසල් කුලුණ සසැලෙන හැටි
සැහැල්ලුවෙන් කියාදුන්න
වසන්ත අයියා ගිහින්ද…..?

අනන්තය ළඟට කැඳවා
සුසුම් කපොල්ලක රඳවන
ඉන්ද්‍රජාල කතා කිව්ව
වසන්ත අයියා ගිහින්ද….?

වයින් බිඳු පිරී ඉතිරෙන
වසන්තමය සිහින බඳුන
බිඳෙන්නට නොදී රැකගත්
වසන්ත අයියා ගිහින්ද…?

ඇසින් උසුලගන්නට බැරි
වසන්තය ඉතින් මෙහෙමැයි
හිමින් කියා දී – නොකියම
වසන්ත අයියා ගිහින්ද….?

2016 මැයි 06

සැළසුම්සහගත අහම්බයකින් කැමිලියා මලක් හමුවෙන අකීකරු සුළං දහරකට කීකරුකම ගැන හිතෙන්නට බැරිද?

COLORFUL CAMELIA BLOSSOM 7 X 5 100

සිත්තම © එළිසබෙත් බ්ලේලොක්

‘‘මල් සුවඳ
නොවිමසයි
සුළඟ යන මඟ !’’
         -කැමිලියා කවෙකිනි

සුළඟ යන මඟ දැන
සුවඳ ළයෙහිම තදකර
වේදනාවෙන් මිය යන
මල් ඇස ගැසී නැතිවද…..!

ඔව් ඇතැම් දවසක
ඉන්ද්‍රජාලික මොහොතක
සසල කර අතු ඉති
පැතු සුළඟ එනු ඇති

බැඳි ඇකුරෙක රැඳුණු
ශ්‍රැද්ධාවෙහි බැඳුණු
එවිට යට කී සුසුවඳ
එ නිමල ළයෙන් නික්මෙන

විකසිත මලෙක ළය
එදා රැකගත් සුවඳම
සුළඟෙහි වෙලෙනු ඇත
ළය පිපිරෙනා තරමට….

මෙන්න මෙබඳු ය මෙ සසර
දන්න හඳුනන කුසුමෙක
නන්නාඳුනන පිනිබිඳු
මන්ද්‍ර ස්වරයෙනි ඉකිළන

රාත්‍රිය යනු සිහිනෙකි
දෑස් නොපෙනෙන හදවත
දිගු ‘තීත්රෙක* කෙළවර
ඒ තීර්ථය හමුවෙද?

කීකරුකමෙහි උණහුම
සීත සුළඟට අකැපද
කවක කිසිවිට නොරඳියි
ආදරය නම් එළැඹුම

ඉන්ද්‍රජාලික ඇස්සැති
හිමාලෙන් බැසි මියුලැසි
සිලිටි මුකුටය කව්ලැකි
අසිරිමත් කව් මැව්වැකි.

*තීත්රෙක = ශිර්ෂ පාඨය/හෙඩිම

නටරාජ්

Natajar © Niennaa
Natajar © Niennaa
ඔයාට මතකද එතන තිබුණ නටරාජ් රූපෙ
–ඇය එවූ අවසන් ලියුමෙන්-
පියෙවි සිතිවිලි මතට මධු දියර හළාගෙන
බමන හිත සීරුවෙන් බඳුනකට මුවා කර
කැරලි කෙහෙ පිරිමදින අඩහඳක දෙ පාමුල
නිදන විට වත ඉසිණ පිනි බිඳිති හළාහළ

දෙපය පැටලුණු හිතක මුවවිටෙහි දුටුවාද
අසමබර කඳුළු මත විසිර යනු මඳහාස
තනි පයෙක අසම සම අභිනයකි ඇස ගාව
ඔබ කොහෙන් පැමිණියෙද කියනු මැන නටරාජ

අපස්මරු මහදවත මහ පොළොව වෙලා ගෙන
පයත් මට සැනසුමකි වේදනා මුදාළන
රුපුන් මැද ස්නේහයේ මධු බඳුන් පුරාලන
විසංවාදය මම ය ඔබ තුළින් ගලා එන

ආනන්ද තාන්දව දකින නෙත් නැති රෑක
මා මෙන්ම කඳුළකට කවුරු නෙත් ඇරියාද
යාවෙන්න හැකි නෙතක් තිබිණිනම් ළඟපාත
මා ගන්න මඟ විවර කළ දෙවිඳු ඔබ නේද

තර්ක අසිපත් වලින් කැපෙන සඳ ගත නහර
අග්නි වමතින් කෙසේ සැරසුවෙද ඔබ මහද
නග්න හිත වෙලෙන විට එරන්වන් දිය දහර
රශ්මි පමණෙකි ඉසිඹු නැඟෙන සිහිනෙක පහස

දමරු හස්තය ගෙනෙන හඬ පරම සුමියුරු ය
අඳුරු කවකට සුවය ඔබය ඔබ දිනිසුරුය
සොඳුරු බව සොඳුර මුවගින් දෙඩුව සුරගුරුය
රුදුරු මිනිසකු වුවත් මගෙ පෙමද පිවිතුරුය

මුහුලසින් සුරලියන් මිහිමතට කැඳවාන
රැගෙන ආ නටරාජ අමතකද ඇගෙ මූණ
විශ්වයේ මැද රැඳෙමි ශිඛර මත කෛලාස
තනි පයෙන් පේ‍්‍රමයේ සියලු බර උසුලාන
(ඇහැළ ඇමතුමකට ඇහැරෙමි 2011)