තිරුකෝණමලෛ සඳ

©Valeria Prosseda
©Valeria Prosseda

සදුර්ෂන්
රාජන්ගෙ පොඩි කොල්ලා
හැමදාම හවසට
දෑසින් අහස අල්ලා
හඳට අඬගහනවා
අත් පොඩි හොල්ල හොල්ලා

.. නිලා නිලා ඕඩි වා
නිල්ලාමල් ඕඩි වා
මලෛ මීදු ඒරි වා
මල්ලි හෛපූ කොන්ඩු වා ..

ඔන්න එතකොට
කෝනේෂ්වරන් දෙවොල මුදුනට
අත තියාගෙන
සඳ නැගී එනවා
තිරුකෝණමලෛ අහසට

දුරුතු සීතල දවසක
රැයට සඳ අමතකව
අහසේ දමා ගොස් තිබුණා
හිරු කබ කඩන මොහොතේ
පිච්ච මල් නෙතු බරව
රේණු අතරින් කඳුළු සැලූවා

යන එන මං නැතුව
චයිනා බේ පතුළට
නැංගුරම් ලෑ සඳවත
තුහින එක එක එකතු කෙරුවා
ට්‍රින්කො එක් මංසලක
රුහිරු බිඳු තැවරුණ
පිච්ච මලකින් සුවඳ ගැලූවා

කුරුලූ කූජන නෑසෙන
තිරුකෝණමලෛ උදෑසන
ගෙමිදුලට බට පුතුහට
සඳුගෙ අසරණ දෙනෙත පෙනුණා
ළහිරු කිරණට නොපෙනෙන
සුමුදු අතැඟිලි තුඩගින
පුතුගෙ හිස මත සෙමෙර සැලූණා

ඒ දුරුත්තේ සිට
හිරු වැඩ ඇරෙන හවසට
පුංචි දෑසක් අහස අල්ලා
සඳට අඬ ගහනවා
සිඟිති අත් පොඩි සොල්ල සොල්ලා

(මාතෘකාවක් නැති මාතෘභූමිය හෙවත් දෙමළ කවි 2010)

මිත්‍ර මාධ්‍යවේදියකු වූ සුබ්‍රමනියම් සුගීර්තරාජන් මරා දැමුණේ 2006 ජනවාරි 24 වැනිදා ය. ත්‍රීකුණාමලයේ ඝාතනය කළ සරසවි සිසුන් පස් දෙනාගේ ශරීර මත සටහන් වූ සාධක සිය කැමරාව තුළට ග්‍රහණය කර ගත් සුගීර්තරාජන් ඒවා ප්‍රකාශය පත් කිරීම ඔහු ඝාතනයට ලක්වීමට ආසන්නතම හේතුවයි.

මමත්, අතුල විතානගේ මිත්‍රයාත් වෘත්තීමය කටයුත්තක් පිණිස 2007 වසරේ දිනක ඔහුගේ නිවසට ගියෙමු. රාජන්ගේ පුංචි පුත්‍රයා සදූර්ෂන් ගෙමිදුලට වී සිටි අප සමුගන්නා අයුරු බලා සිටිනා රූපය කිසිදිනක මතකයෙන් දුරස්ව නොයේ.

ඉකුත් කළු ජනවාරිය මාධ්‍ය විරෝධතාවේ වූ ස්මරණ පුවරුවල සදහන් වූයේ සුගීර්තරාජන් මරා දමා වසර 4ක් ගතවී ඇති බවයි. ඒත් සහසුද්දෙන් ම නම් රාජන් මරා දමා 6 වසරක් ඉක්මී ඇත. දෙමළ මිනිසාට ඉතිහාසය පුරා කළ වරද සිංහලයේ අපි තවදුරටත් සිදු කරමින් හිදිමු.

වෙල්ලෛ රෝජා පූ හෙවත් මගේ සිංහල පෙම්වතිය

by Hall Groat II
by Hall Groat II

සුදු රෝස මල ඔබද
ගෙන්දගම් පොලවක
මල් පෝච්චියක කුස ජනිත වුණ

සිංහල මලක අසිරිය
දැනේ මට පෙත්තෙන් පෙත්ත
පිනි විසුළ

ළමා සාරියකි ඔබ
රැලි නැගුණ

මකරන්ද නගනතර
නටුව මත කටු මවමි

කටු නැතුව
මේ කටුක ලොව
කොහොම දිනන්නද

රෝස මල
මම ඔබට සොෆී යැයි අමතමි

හිසෙහි වන නට්සිවාදී වැස්ම ගලවමි
සැබෑ ජර්මානු සුවඳකින් ඔබ සරසමි
සුදු රෝස පත‍්‍රිකාවක
ජීවිතය තවරමි

ගිලටීනයට හැකිය
සිඳලන්න
මල
නටුවෙන්

ආත්මය ?

මියුනික් හි සරසවිය
අවසන් නොවූ කවිය
ලියන්නට ඔව් ඔබට පිළිවන්ද
අවකාශයේ සැරිසරන සුදු රෝස ආත්මය
සිප වැළඳ

එසේ නම්
භෞතිකවාදයේ හැව අතැර
සබත ගැන සපථ කර
මට හැකිය ඔබ සමග
මඩු පල්ලි යන්නට

ඉදින් සුදු රෝස මල මම ඔබට
මග්දලේනා කියා අමතමි

දෙමළ කඳුළක තෙත
දැනෙනවා නම් නෙතගට
දෙමළ අකුරක හැඩය
දැනෙනවා නම් ඇඟිලි තුඩකට
එන්න තම්බපන්නිය මත
එ ඇඟිලි තුඩගින් ලියන්නට
මියුනික් හි අවසන් නොකළ
ජීවිතයෙ නිබන්ධය

sophie_schollසටහනඃ

සුදු රෝස පත්‍රිකාල වූ කලී අවිහිංසාවාදී වූත්, නාට්සි විරෝධී වූත් ව්‍යාපාරයකි.

ජර්මනියේ මියුනිච් සරසවියෙහි ජර්මන් ජාතික දර්ශනය පිළිබඳ මහාචාර්යවරයකු සහ එහි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප්‍රයත්නයක් වූ මෙම ව්‍යාපාරය නාට්සි මර්ධන යන්ත්‍රය විසින් සාහසික ලෙස සහමුලින්ම විනාශ කරන ලදී.

මියුනිච් සරසවියේ ශිෂ්‍යාවක වූ සොෆී මග්දලේනා ෂොල් එහි ප්‍රබල ක්‍රියාකාරිණියක වූ අතර 1943 පෙබරවාරි 22 දා රාජ්‍ය ද්‍රෝහී චෝදනා යටතේ ඇය ගිලටීනගත කොට ඝාතනය කරන ලදී.

සුදු රෝස පත‍්‍රිකාල වූ කලී අවිහිංසාවාදී වූත්, නාට්සි විරෝධී වූත් ව්‍යාපාරයකි. ජර්මනියේ මියුනිච් සරසවියෙහි ජර්මන් ජාතික දර්ශනය පිළිබඳ මහාචාර්යවරයකු සහ එහි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප‍්‍රයත්නයක් වූ මෙම ව්‍යාපාරය නාට්සි මර්ධන යන්ත‍්‍රය විසින් සාහසික ලෙස සහමුලින්ම විනාශ කරන ලදී.

මියුනිච් සරසවියේ ශිෂ්‍යාවක වූ සොෆී මග්දලේනා ෂොල් එහි ප‍්‍රබල ක‍්‍රියාකාරිණියක වූ අතර 1943 පෙබරවාරි 22 දා රාජ්‍ය ද්‍රෝහී චෝදනා යටතේ ඇය ගිලටීනගත කොට ඝාතනය කරන ලදී.

ද්වාරකා

By Januz Miralles

සහෝදරත්වයෙන්, අවිශිබම කැඳවුම්කරු උඳුල ප්‍රේමරත්න සහෝදරයා වෙත..

උඳුල සඳ මඬළ සැතපුන හිරගෙදර
කඳුළ සියුමැලි ද රිදුණි ද හද මඬළ
පතල අරගලය වියැකුණ රෑ කලෙක
දෙමළ සෝයුරිය ගැන ඇයි කලබලය

සිහින පෙරමුණට හැබැහින් වෙඩි වැදුන
දාක කඳුළ පෙල ගැහුනයි මග දිගට
මහණ දමක් ලෙස රැකගත් රතු කොඩිය
කාගෙ ලෙයින් රතු වී දැයි අමතක ද

යුද්ධෙ නමට මිනිසුන් කඳු ගැහෙන විට
සද්ද නොකර පිළිකනු වල හති ඇරිය
රෙද්ද ලිහා ගෙන මතු කොට ගිනි අවිය
විද්ද විදිලි හද පතුළෙන් ඇහෙනවද

කෙසර අක් බඹරු පමණක් හිස වැතිරූ
දෙමළ හෝඩියට ගිනි බින්ද ද කවුරූ
අඳුර ඉරාගෙන සඳ පොබයන අයුරූ
සඳලූතලාවල අරගල නැත සොයුරූ

නියඟලා මලෙක අසිරිය ඇසට දැනී
පියඹලා එන්ට සිතුනා ද දෙබරුනී
සඟවලා ගසන කොලයක ලකුණු පෙනී
හිනැහිලා පසුව ඉකිබිඳිමු සකියනී

විසිරුණු කවියක ඒකමිතිය

Like a snail by Lookha Bark

වේගයෙන් ඇවිද ගොස්
නැවතුන
ගොළු බෙල්ලකු
හතිලනු මෙනි
මතකය.

නිමග්නව සිටියද
කල්පනා මහ සයුරක
රළ නගන්නෙම
කැබලි සිතිවිලි පමණි.

මල් නොවේ නම් බඳුනක
මල් බඳුනක් ද එය ?

අමාවක කළුවර බව
සඳට වැඩියෙන් දන්නෙ කවුරුද ?

උදෑසන
සයනෙන් මිදෙන්නට
ඉරට දැන්විය යුතුද ?

හදේ සවිකළ
මාලිමාවෙන් පාර අහගෙන
ගමන යළි අරඹමි ….

බූට් පතුළක්
හමුවනා තුරු.

ඔහු අලුත් දෙමළෙක්

ඔව් ඇත්ත මං සිංහලයෙක්
ඔව් සිංහලයෙක්
මං සිංහලයෙක්
ඇත්ත සිංහලයෙක්.

දෙමළින් දකින හීනය
දෙමළින් දකින්නට ඉඩ හළ
නිසාවෙන් හෙළදිව
වසන්නට ඉඩ නොම ලද.

මම හිතන්නේ සිංහලෙන්.
හෙළදිවෙන් අතුගා දැමෙන
අන්තිම දෙමළා ගැනත්
කවි ලියන්නේ සිංහලෙන්.

සිංහල ම වූ නිසා
කවි ලියන මගෙ අත් වලත් ලේ.
පෑනෙන් උනන්නෙත් ලේ.

සිංහලෙන් හිනාවෙන්නයි මං කැමති.
ඒ නිසාමයි මට හිනාවෙන්නට බැරි.

සයිවර් කඩෙන් කන ගමන්
හිතෙන් මුලතිව් අල්ලන මගේ මිතුරා
ඊ තැපෑලෙන් මට
උලුඳු වඩයක් එවා තිබුණා.

ජීවිතය අන් තැනක ගෙවුණාට කම් නැත මිතුර
මව් බිමෙත් පිටුවහල්ලු ම නම්.

අලුත් කවියක් සිතේ නළියයි
ඒත් දෙමළකු ගැනමයි.
ඔහු අලුත් දෙමළෙක්.
සිංහලට හිනාවෙන දෙමළෙක්.

මම ඔහුට සිංහලෙන් සුබ පතමි.

පා අටකින් නැගී සිටි සඳක්

human-war

දුවන්න විතරයි මට බැරි උත්සහ කළොත් ඒකත් බැරිකමක් නෑ.ඒත් ඉතිං දුවන්නෙ මොකටද?

දන්නවද
පේ‍්‍රමචන්ද්‍රන් කියන
මල්ලි
පදිංචිය
අංක එක කුඩිල්ලේ
සාම්බල්තිව් කඳවුරේ
‘සල්ලී’

වේගයට වේරම්භ වාතයත් පරදියි
වලාකුළු ඉරා සඳ සකක් වී කැරකෙයි
හත ගෙවෙයි
හතේ හත
පාදයට රිදවයි
මේ අටයි
සැබැවින් ම
මේ අලුත් කකුළයි

‘සල්ලි’වල වැල්ලබඩ පල්ලිමඩමෙ
කල්ලි නොගැසුණු ළමා
හත් වැනියෙ සිප්සතර ලබද්දි
පංතියේ පළමුවැනියා තමා
වැල්ලබඩ රවුන්ඞ්ඩප් කරපුදා
පොත් ගොන්නෙ කොළ
කඩල ගොටු වුණා

රැඳවුමෙන් රැඳවුමට යන අතර
තුරුණු විය නැගුවා අතු පතර

කළුතර සිට නැගෙනහිරට යළි එනවිට
ගෙයි ඔක්කොම
‘සල්ලි’ අතැර
යන්න ගිහින්
වන්නිකරෙට

වන්නිකරේ වනන්තරේ
අහස්තෙරේ පායලා
එ කඳවුරේ ගණ අඳුරේ
දෙමාපියන් තේරුවා

දෝත නගා සිඳ බිඳලා අඳුරු රැය
දෝත මුදුන් බැඳ වැඳලා දෙමාපිය
දෝත නඟාගෙන සතපා සෙනේහය
දෝත පුරා ගෙන ආවයි කඳුළු දිය

හත් දෙනෙක් රැකිය යුතු මාවතේ
කල්පයක් ගිය හැකිද හාමතේ
සද්දයක් වත් නැතිද මාරුතේ
යුද්ධයක් නොවෙද මේ ජීවිතේ

මූදු රළ ඔස්සේ
ඔරු පැද දවස තිස්සේ
වෙරළතට බැස්සේ
මෝටාර් අසෙනි වැස්සේ

පාදයක් අහිමිව
බිම හොත් එ සඳවත
බලන් පේ‍්‍රමෙනි අවදිව
යෝධයෙක් සදිසිව

ඔරු කඳෙන් තෙප්පමට මාරුවී
ජීවිතේ එ ළෙසින් ම දියත් වෙයි
අටවක නොවී කිසිම කිසි දිනෙක
පුන් සඳක් සේ ම නුබ මුදුන් වෙයි

වේගයට වේරම්භ වාතයත් පරදියි
වලාකුළු ඉරා සඳ සකක් වී කැරකෙයි
හත ගෙවෙයි
හතේ හත
පාදයට රිදවයි
මේ අටයි
සැබැවින් ම
මේ අලුත් කකුළයි

දඹකොළ පටුන

SandFingers

අප්පාට හොඳටම අසනීපයි.එයා කියනවා මැරෙන්න ඉස්සර එක පාරක් හරි ගේ දොර වත්තපිටිය බලා ගන්න තිබුනොත් හොඳයි කියල. ඒත් කොහොමද ඒක කරන්නෙ.
– මිත‍්‍රයෙක් එවන ලද ලිපියකින් –

දඹකොළ පටුන
රතු වැලි අතුළ වෙරළත
ඇඟිල්ලෙන් ලියමි මම
ජීවිතයෙ කෙටි පටුන.

පටුන පදනමට ගෙන හෝ නො ගෙන
ඔබ කැමති විදිහකට
ලියා ගන්නට හැකිය
මුළු පොත ම.

දැන් ඉතින්
ඔබ කැමති විදිහකට
පොතේ පිටු පෙරලන්න.

මුල ඉඳන් අගට වුව
අග ඉඳන් මුලට වුව
මැද ඉඳන් පෙරට හෝ පිටුපසට
කැමති ලෙස
කියවන්න.

පිටක් මඟ හැර පිටක්
කියවුවද
හුඟක් මඟහැර ටිකක්
කියවුවද
කම් නො මැත.

ඔබ කැමති විදිහකට
පොතේ පිටු පෙරලන්න.

ගමින් අප යන්ට ගිය කතාවද
එවිට දුම් ගොබ නැගූ රටාවද
පිටු අතර තිබුණාද?
ගමට යළි යන්ට බැරි කතාවට
ලකුණක් තියා හෙමින් පොත වසා
හැකි විටෙක යළිඳු ගෙන කියවන්න.

බලූ කපුටුවෙකුටවත්
ඇතුළු වන්නට නොදී
අපේ ගෙය රකින්නට
ඔබ දරන මහන්සිය.
පොතේ පිටු පෙරලන්න
මඟ හැරේ කාන්සිය.

තාත්තා පොඩි දොහේ ඉන්ද වූ
යාපනේ අඹ ගහේ අඹ රස ද?
ගමේ යනකොට ටිකක් ගෙනියන්න
පැහුණු ගෙඩි කඩාගෙන ඉදවන්න.
ඉදෙනතුරු
පැත්තකින් ඉඳගන්න.
කැමති තැනකින් ටිකක් කියවන්න.

ගෙයි පිලේ ලණු ඇඳේ
රැල් බුරුල් වෙලානම්
ටිකක් තදකර ගන්න.
ලණු ඇඳේ ඇලවෙලා
රන් පතක් උර උරා
තව පිටක් පෙරලන්න.

සඟමිත්ත තෙරණිය
ශ‍්‍රී මහ බෝධි අංකුරය
හිසින් ගෙන පය තැබුව
පුලින තල
ඇඟිල්ලෙන් ලියමි මම
මගෙ පටුන.
පටුන තුළ නො මැත්තේ
ඒ කතාව ම පමණි
මඟ හැරුණ.

හුදෙකලාවේ කටහඬ

 

Friedrich_Caspar_David-Monk_by_the_Sea
By Casper David Friedrich

තුවක්කුවකට පුළුවන්
හීනයක් වුණත් හිනස්සන්නට
හීනයකට පුළුවන්
උණ්ඩයක් වුණත් නවත්තන්නට

අමාවක දවසක වුණත්
අහම්බෙන්
මහ රෑක
හිරු උදා වූවොත්
නවත්තන්නද ?

ඒ වගේමයි
පාළොස්වකේ රෑ
අසිනි වර්ෂාව
සඳ නෑ – කළුවරයි – වැස්ස විතරයි.

කොකා ගස්සන
ඇඟිල්ලම තමයි
දිගුවන්නේ
හෘදය සාක්ෂිය දෙසට.
මිටි මෙළවෙනා අත් තමයි දන්නේ
මරණයේ වේදනාව.

හිස පහත් කරගෙන ඇවිදින
මිනිසකුගෙන් අහන්න
මොනවද බිම වැටී ඇත්තේ කියා
ඔහු කියයි
” ජීවිතය!”

ඇතැම් විට
හුදෙකලාව රමණීය විය හැකිය
කවියට …….
කවිය වුව ස්මරණීය විය හැකිය
දිවියට……
අවසන මරණය.
එහෙත් ස්තිර ලෙසම
මරණය අමරණීයයි
අවියට.

චෙම්මිනි

absolute_sadness_by_virtud

අත්තටු  නගා සූරිය  ගිර     නැග්ගාම
චෙම්මනි කඳුළු විල ඇත්තේ  අත ගාව
විල් තෙර සරන දෙබරුනි කිම මඳහාස
චුන්ඩිකුලි නෙළුම සිහිනෙන්    දුටුවාද

තුවක්කුවත් මල් පූදින         ඉසව්වේ
විලක්කුවක් කවුරුද      ඇවුලුවෙව්වේ
සාක්කියක්වත් නැති       පළහිලව්වේ
තවත් විලක් පමණිද මේ   කොදෙව්වේ

සීතල  අතින්  අත පිරිමැද    බැලූවාම
දෑතම උණුහුමක පැටලෙයි   පෙරසේම
සූරිය ගිරි මතක  යලි වල       දැමුවාම
දෑසට සැනසුමද සැනසිල්ලද     කෝම

චෙම්මිනි විල් අරා  මල් වල කොපුල් පුරා
ඇල්මෙනි පුන්සරා  ඉහිරන   කැළුම් උරා
කැල්මෙනි සුන්දරා -විහිදෙන  සුසුම් යුරා
අම්මෙනි පෙම්බරා   සුවඳද    අනුත්තරා

කනයා Kanaya

! Flower

කනේෂන් අයියාගෙ කෙටි නමයි
කනයා
ඌ අපිට පණ වුණත් දෙනවා

පත්තරකාර කනයෝ
පෑන පොඞ්ඩක් දීපං
පෑනට වයසකුත් නෑ
ජාතියකුත් නෑ බං
උඹ ලිය ලියා හිටි ලිපියේ
ඉතුරු බාගය මං ලියන්නම්

තාත්තගෙ වයසෙමයි
තාත්තා වාගෙමයි කනයා
කට ඇරපු හැටියෙම
අවවාද දෝරෙ යනවා

නවත්තහං බං ෂිකරට්
බොන්නෙපා බං අරක්කු
බොලා ඇවිත්
අපෙ ආයිෂත් ඇරගෙන
ඉන්ඩෝන මිනිස්සු

බැණ බැණ එකට බොන
සිගරට් බාගෙ දෙන
කනයාගෙ රුව ගුණ
කවකට කෙළෙස හකුළන

අරක්කු බොන කොට හවසට
කටට රහට
සරක්කු වැඩිවෙන පදමට පැමිනුණාම
මුරුක්කු මෙන් බයිට් කළත්
ඔරොප්පු නොවනා
කොලූක්කට්ටෛ වගේ
උගුරැටය සොළවා
සින්දුවක තාලෙ අල්ලයි
අපේ කනයා

ගැඹුරු හඬ මන බැන්ඳු
කියන්නෙ බෙග්ගෙම සින්දු
බුදු ගුණය ළය රැුන්දු
අපේ කනයා හින්දු

අපිටත් මචං කියනා
අපිත් මචං ම කියනා
මචංවරයෙකි කනයා
ඌ අපිට පණ වුණත් දෙනවා