“මධු සඳිනි මධු විත” 4.

4.

සිත් අහස් කුස ඝනඳුර
එකලූ කරනට සඳවත
මුදුන් වී එන මැදියම
සඳුන් සුවඳ ය හදවත

ජීවිතය දෝතින් ගෙන
දෙතොලින් සිඹින විට
ආදරය විනිවිද
දැනේ කඳුළක සිසිලස

සිඟුවළඟ අසබඩ
සියොලඟම සසල ය
සිප වැළඳ අවසන
සිපිරි ගෙදරක සෙනෙහස

ආත්මය අවසඟ
අරුචි මිනිසා වෙමි මම
නෙත් වැසුණු විට නො පෙනෙන
අධම සිහිනෙක සැඟවුණ

“මධු සඳිනි මධු විත” 3.

3.

දෙව් දාර තුරු පෙළ
දෙව් රූ අඳී බිම මත
සොඳුරු සෙවනැලි සොළවයි
බහුරූ නටන මඳනල

පියතුම රැකූ මුනිවත
බිඳුණි ඊයේ පෙර යම
දෙව් මෙහෙය අවසන
සීරුවෙන් පසුවිය
දෙව් මැදුරු හිස කුරුසිය

ගීතිකාවක මියැසිය
දුර බැහැර හිඳ සපැමිණ
නිවාලන සඳ සරතැස
නෙතේ විකසිත දුකඳුළු
මැකී මතුවිණ මඳහස

දෙව් මැදුරු ගර්භය
නිලස නිසසල බංකුව
සැලෙනු කැළඹෙනු පෙර
අපුල දෙව් දන නික්මිණ
රැගෙන උන් ශ‍්‍රී හෘදය
සොයා ලෞකික ස්වර්ගය

පිය තුමන් අබියස
පිළින දුන් පරිදි ම
රැකිය යුතු වෙද නොහැඟෙ ය
එ තුමන් පවා නො ගැළෙන
ගෙහන්නාවක උරුමය