ආදරය සොයන බත්තලංගුණ්ඩුව

by Ria Nieswaag

බත්තලංගුණ්ඩුව නව කතාව තුළ නිරූපිත මෙරට කි‍්‍රස්තියානි සංස්කෘතිය හා කිතු දහමේ සාරාර්ථය සාහිත්‍ය කෘතියක් විචාරයේදි හෝ ඇගයීමේදි සාමාන්‍යයෙන් සලකා නොබලන මානයක් ඔස්සේ මංජුල වෙඩිවර්ධනගේ කුළුදුල් නව කතාව වන බත්තලංගුණ්ඩුව දෙස බැලීම මේ කෙටි ලිපියේ අරමුණයි. එනම් බත්තලංගුණ්ඩුව නව කතාව තුළ කොයිතරම් දුරට මෙරට කි‍්‍රස්තියානි සංස්කෘතිය හා කිතු දහමේ සාරාර්ථයන් නිර්මාණාත්මකව ඉදිරිපත්ව තිබේද යන කාරණාව විමසීමයි.

මංජුලගේ කි‍්‍රස්තියානි දැක්ම ස්ව අධ්‍යයනයනිරීක්ෂණය හා ස්ව අත්දැකිම් තුළින් උපන් පරිකල්පනයෙන් නිර්මාණය වුවකැයි මම සිතමි. බත්තලංගුණ්ඩුව නවකතාව තුළ මංජුල බහුතරය කිතුනුවන් වන දූපත් ගත වු ධීවර ප‍්‍රජාවකගේ ජීවන විලාසය තමා අභිමත නිදහස්කාමි ජීවන දර්ශනය ඇසුරින් චිත‍්‍රණය කරයි.
එහිදී ඔහු කථාවේ පාත‍්‍ර වර්ගයාගේ සිතුවිලි හා කථාබහට ශුද්ධ වු බයිබලයේ පාඨඡේදසිදුවීම් උපුටා ගනිමින් කරන විග‍්‍රහයන්මත දැක්වීම් අප ඉහත කි පරිදි ඔහු තුළ ගොඩනැගි තිබෙන ස්වාධීන චින්තනයට අයත් වේ.
නව කථාවේ කතා නායකයා වන ඇන්ටනී කොළඹ සිට බත්තලංගුණ්ඩුව දූපතට යන්නේ තම පියාව කොළඹට කැඳවාගෙන ඒමටය. ඒ ඔහුගේ විවාහය ස්ථීර කරගනු පිණිස විවාහ වීමට සිටින පෙම්වතියගේ (?) මව්පියන් ඇතූළු ඥාතින් හට තමා  ඕපපාතිකයෙකු නොවන බව තහවුරු කිරිමට ය. නමුත් ඇන්ටනී තුළ විවාහය ගැන ඇත්තේ දෙගිඩියාවකි. ඔහු විවාහය දකින්නේ අවුලක් ලෙසිනි. ඒ අවුල වෙත ඇති අවිඥානික කැමැත්ත ඔහු තුළම ප‍්‍රතිරෝදයකි.
‘‘ ආදම් හා ඒවාගේ සිට මගේ අම්මා හා තාත්තා තෙක් වන ජීවිත කියවීමෙන් මට විවාහය වහකඳුරු මෙනි. ඒත් ඒ කඳුරු ගෙඩියෙන් කි‍්‍රකට් ගැසීමට ඇති අවිඥානික සිහින සිතුවිල්ල මගේ සියලූ මතවාද සුන්නදුලි කරවයි.’’
ශුද්ධ වු බයිබලයේ උත්පත්ති පොතේ එන ආදම් හා ඒවගේ පුවත ඇසුරින් විවාහය පිළිබඳ අදහස් මාලාවක් ඇන්ටනිගේ සිතුවිලිවල දවටා ඉදිරිපත් කෙරේ.

‘‘…විවාහය විහිලූවක් බව ඇත්තකි. ඒත් ඒ විහිළුවෙහි ගිලීයමින් ජීවිත කාලය ම ඉකිබිඳීමට මිනිසා තුළ ඇත්තේ අප‍්‍රමාණ කැපවීමකි. ඉකිබිඳිමසිනහව ලෙස තර්ක කරිම වරු ගණන් එක දිගට නොකා නොබී වුව කළ හැක්කකි. පේ‍්‍රමයේ ව්‍යාජ සර්පයා ලෝකය මැවු දා සිටම හදවතේ වෙලී එයටම දෂ්ඨ කරමින් සිටියේය. පේ‍්‍රමයේ නග්න බව වසා ගැනිමට අත්තික්කා කොළ අතුවලට නොහැකි බව ආදම්ට පසක් වන විට පෙරහැර ගොසිනි. ආදම් දත් ගගහ සිටි දැවැන්ත ඇපල් ගෙඩිය විසි කර දැමීය. ඒදන් උයනෙන් ගලා ගිය ඇපලය උයනින් පිටතදී යුප‍්‍රටීස්ටයිගී‍්‍රස්පිෂොන් හෝ ගිහොන් යන ගංගාවන්ගෙන් කුමක් ඔස්සේ ඉදිරියට ගියේ දැයි කිසිවෙක් නොදනිති…’’

තහනම් ගහේ ගෙඩිකෑමමිනිසා නග්න බව දැකිම ආදි බයිබලීය කථා පුවතේ එන සංකල්ප සාමාන්‍ය ලෝක ව්‍යාවහාරය තුළ යෙදෙන්නේ ද නිත්‍යානුකූල බිරිඳ හෝ සැමියා හැර වෙනත් අයෙකු සමඟ ලිංගික සබඳකමක් පැවැත්වීම හැඟවීමටයි. නමුත් එම සංඛේතාර්ථවලින් හැඟවෙන සධාර්මික අරුත් ඊට සපුරා වෙනස්  ගැඹුරකින් යුක්ත වේ.
ඒවා ග‍්‍රහණය කර ගැනීම සඳහා බයිබලයේ එන විමුක්ති දැක්මට නැඹුරුවු අධ්‍යයනයක් අවශ්‍ය වේ. එවැනි අධ්‍යයනයක් මංජුල සතු වුවා නම් ඇන්ටනීගේ සිතුවිලි සමුදාය තුළින් ගැඹුරු ආලෝකයක් පරාවර්ථනය වන්නට ඉඩ තිබිණි.
ඇන්ටනීට වහ කඳුරු වන විවාහය අද මිනිස් වර්ගයා හටම අවුලක් බවට පත් වන සැබෑ හේතුව ඇන්ටනීට හමු නොවේ. එය හමුවීමට ඉඩක් නොමැත්තේ එය අපට හමුවන්නේ විවාහ ජිවිත කියැවීම ඉක්මවා ගිය සමාජීය කියවීමක් මගින් වන නිසාය. එවැනි කියැවීමක් ඇන්ටනිට හමු වී තිබුණේ නම් ආදම් දත් ගගහ හිටි ඇපල් ගෙඩිය ඇපලෝ දෙවියන්ඇපලෝ යානය හෝ ඇපලෝ රෝහල තුළ සොයන්නට අවශ්‍ය නොවේ. ඇන්ටනී තමා හා විවාහ වීමට කැමැත්තෙන් සිටින පෙම්වතිය (?) ති‍්‍රසා ව උපමා කරන්නේ සැලෝමිටය.
‘‘..පේ‍්‍රමාලිංගනයේ උච්චස්ථානයකට එළැඹි මොහොතක වුව මම ඇයට මාරදූතිකාවයි පවසමි. එය සුන්දර ආමන්ත‍්‍රණයක් නොවෙතැයි කවුරු පවසත්දමට මගේ තී‍්‍රසා සිහිවන හැම නිමේෂයකම හොරෝද් රජු විසින් කරකාර බැඳගත් ඔහුගේම සොහොයුරාගේ බිරිඳ වු හෙරොදියාස් ගේ දියණියගේ මුහුණ සිහිපත් වේ. ඒ මන්දැයි මම නොදනිමි. එය මට නොවැටහේ. සන්ධ්‍යා අල්ලාප සල්ලාපයක අතරතුර මම මේ බව ඇයට කීවෙමි…’’
‘‘මට ඔයාව පේන්නේ සැලොමි රාජ කුමරිය වගේ’’
ඇය බෙහෙවින් සතුටු වූවාය. රජ දියණියක් වීමෙන් සංතෘප්තව දෙවුර හකුළා ගත්තීය. මා සුරත ඇගේ සියුමැලි දෑතින් වැළඳ ගත්තීය. නැගිට ගෙට ගිය ඈ මොහොතකින් ස්ට්‍රෝබෙරි වීදුරුවක් රැගෙන මා වෙත එමින් සිටියාය. මට ඇය පෙනුණේ ස්නාවක ජුවාම් තුමාගේ කැරලිකාර හිස බන්දේසියේ තබාගෙන එන සැලෝමි සේ මය. මම මහත් සේ තැති ගතිමි. බය භිරාන්ත වුයෙමි. එතැන් සිට ඒ ඇයම බව මට ප‍්‍රත්‍යක්ෂ විය. කුමක් කරන්නදඒවා දුන් පේ‍්‍රමයේ ඇපලය රස බැලූම් ආදම් සේ මම ස්ට්‍රෝබෙරි තොල ගන්නට පටන් ගතිමි….’’
ති‍්‍රසාව සැලෝමිට උපමා කරමින් ඇන්ටනි දක්වන අදහස් අතිශයින් කාව්‍යමය වේ. අදාල අවස්ථාව හා ප‍්‍රස්තුතය විග‍්‍රහ කිරිමෙහි ලා ප‍්‍රබල ‍ෙඖචිත්‍යයක් දක්වයි. මේ ප‍්‍රාබල්‍යය හොඳින් දැනෙනුයේ ස්නාවක ජුවාම් හා සැලෝමිගේ පුරාවෘත්තයන් හොඳින් හඳුනන අයෙකු තුළය. මෙහිදිද ආදම්ට ඇපලය දුන් ඒව හෙවත් ස්තී‍්‍රය ම වරදෙහි වග උත්තරකරු කරන ජනපි‍්‍රය මතවාදය අතික‍්‍රමණය කිරිමට ඇන්ටනීට නොහැකි වීමද අප පෙර කී දහමේ විමුක්ති දැක්ම හා නිසි සමාජ විග‍්‍රහය අහිමි වීමේ ම ප‍්‍රතිඵලයකි.
මව මිය ගිය පසු පියාද ගමෙන් පිටවී දූපත් ගතවු පසු කුඩා ඇන්ටනි ගත කළ එලොවටත් මෙලොවටත් නැති ජීවිතය ගෙනහැර දැක්වීමට යොදා ගන්නේ පරලොව ජිවීතය ගැන විවාදිත සම්ප‍්‍රදායික කිතුනු සංකල්පයකි.
‘‘..අම්මාගේ නිසල දෙණට ද උර දුන් තාත්තා අට දොහේ දානයත් සමඟම යළිත් මුන්නක්කරෙන් දුරින්භූත වී තිබුණි. ඉනික්බිති මම ගෙහන්නාවත් පාරාදීසයත් අතර වු ලිම්බෝවේ සැරිසරනා අනගාමික ධර්මිෂ්ඨයෙකුගේ තත්වයට පිරිහෙළනු ලදිමි…’’
ස්වර්ගයත් නරකාදියත් අතර පවතින ලම්බෝගිනි’ ස්ථානය නම් වු කි‍්‍රස්තු ධර්මයේ නැති කිතුනු සම්ප‍්‍රදායේ ඇති සංකල්පය ඇතැම් කිතුනුවන්ට පවා අද දවසේ ආගන්තුකය. බත්තලංගුණ්ඩුව නවකතාව කියැවීමේදි එහි ඇතැම් වැකිවල අරුත් ග‍්‍රහණය කර ගැනිමට උදෙසා බයිබලීය පුවත ගැන මෙන්ම කි‍්‍රස්තියානි ඉගැන්වීම් ගැනද පුළුල් අවබෝධයක් තිබීම අවශ්‍ය වේ.
by Ria Nieswaag
කිතු දහමට අයත් සධාර්මික කරුණු පිළිබඳ බත්තලංගුණ්ඩුවේ අන්තර්ගත සිතුවිලි සමස්තය සලකා බැලීමේදි කතා පුවතට හානියක් නොවන ප‍්‍රබල බවක් පෙන්නුම් කළද ඇතැම් සීමා සහිතකම් සලකුණු වී පවතී. නමුත් කි‍්‍රස්තියානි සංස්කෘතියට අයත් හෙවත් ජනපි‍්‍රය කිතු දහමට අයත් කරුණු ඇසුරින් බත්තලංගුණ්ඩුව නව කථාවේ එන පාත‍්‍ර වර්ගයා දක්වන අදහස් කරුණු කාරණා විග‍්‍රහයන් අතිශය නිර්මාණාත්මකය. සැබැවින්ම මෙතෙක් ලාංකීය නවකථාව තුළ කිසිවෙක් එය මෙතරම් ප‍්‍රබලව යොදාගෙන නැත. ලාංකේය කි‍්‍රස්තියානිය ඇසුරු කොටගත් නවකථා අල්ප වන අතර එකී අල්පය වුව නිර්මාණාත්මක ගුණයෙන්ද හීන ය. එනයින් ගත් කළ එම විෂය ක්ෂෙත‍්‍රයෙහිලා බත්තලංගුණ්ඩුව පුරෝගාමි කෘතියෙකි.
ලිපියෙහි ඉඩ කඩ අනුව මෙකී දෙවන කරුණ සනාථ කරන නිදර්ශන කීපයක් පමණක් සලකා බලමි.
ඇන්ටනි සිය මව මිය යාම විස්තර කරන මේ ඡේදය බලන්න.
‘‘….කෙසඟ වී කෙසඟ වී ඉරටු වු ඇගේ ආදරණීය අතැඟිලි අතර කොන්තය පටලැවු දා පවා ඈ සදාකාලික නින්දෙන් අවදි වි ඇගේම නුවානයට සහභාගි වු බව මම දැඩිව අදහමි. ඇගේ භක්තිය ඒතරම්ම ශක්තිමත් විය…’’
මෙහිදි මව මිය ගිය දා වෙනුවට මංජුල යොදන අතැඟිලි අතර කොන්තය පැටලැවු දා යන්න අතිශය ප‍්‍රබල නිර්මාණාත්මක යෙදුමකි. කතෝලිකයෙකු මිය ගිය විට මළ මිනියේ දෑත් එකට එකතු කළ පසු ඒ දෑත් මත කොන්තයක් පටලවනු ලැබේ. ජීවත් ව සිටින අය කොන්තය තම ඇගිලි අතර තමා විසින්ම පටලවා ගෙන ජපමාලය උච්චාරණය කරයි. මෙහිදි පටලැවුයනු අනෙකෙකු විසින් කරන ලද්දකි. එය ඔහු/ඇය ට කළ නොහැකිය. මන්ද දැන් ඇය/ඔහු මිය ගොසිනි. මෙහි සඳහන් කොන්තයනුවානය යන වචන කතෝලික සංස්කෘතියට විශේෂ වු ඒවාය.
කතෝලික සංස්කෘතියෙන් ජන ජීවිතයට එක් වු සුවිශේෂි අංගයකි මංගල්‍යයය. මංගල්‍යය යනු දෙව්මැදුර කැපකර ඇති සාන්තුවරයාසාන්තුවරිය හෝ දෙව් මව් ගේ (ජේසුතුමාගේ මව )  උපත මරණය හෝ ස්වර්ගාරෝහණය වැනි සිදුවීමක් ජයෝත්සවයෙන් සැමරීමෙකි. සෑම කතෝලික පල්ලියකම වාර්ෂිකව මෙය පැවැත්වේ. මෙකි සැමරුම් ප‍්‍රායෝගිකව කි‍්‍රයාවට නැංවෙන්නේ කිතු දහමේ මූලික හරයන් කනපිට හරවමිනි.
බත්තලංගුණ්ඩුව නවකථාව තුළ මංගල්‍ය සංස්කෘතිය කදිමට විවරණය කරන සිදුවීම් කීපයක් ඇන්ටනිගේ ගම වන මුන්නක්කරය හා බත්තලංගුණ්ඩුව පසුබිම් කරගෙන ඉදිරිපත් කෙරේ. වර්තමානයේ පවතින අන්තවාදි දෘෂ්ඨිකෝණ වලින් කලා කෘති සලකා බලන ප‍්‍රවණතාවය තුළ කෙනෙකුට මෙය කි‍්‍රස්තියානිය අපකීර්තියට පත් කිරීමක් ලෙස වුවද අර්ථ දැක්විය හැකිය.
‘‘…..ගමේ චණ්ඩියා මියගොස් සිටියේ පල්ලියේ මංගල්‍යය දිනක බමන රාතී‍්‍ර හෝරාවක ය. සොරොලේ ගිය මඟ දෙපස සිටුවා තිබු මුල් නැති උණ පඳුරක් යට කුරුසියට වෙඩි වැදුණු ඔහුගේ සද්දන්ත සිරුර සැතපී තිබුණි. සර්පයෙක් බඳුව උන පඳුරේ එතී හුන් විදුලිය බුබුළු වැලින් ගිලිහුණු ආලෝක කදම්භ කුරුසියෙන් මතු වු රුධිරය විටින් විට වෛවර්ණ කරවීය. කොටි හෝබා ඝාතනය නන්නාදුනන තුවක්කුකරුවනකුගේ මංගල්‍යය සැමරිම විය.
ප‍්‍රාතිහාර්යයේ මුනින්ද්‍රයා අනුමත නොකළ ද අහක බලා සිටි අනිවාර්ය අංග කිහිපයක් පල්ලියේ මංගල්‍යය හා බැඳි පැවතුණි. මංගල්ලයට පෙරදා රාතී‍්‍රයේ බොහෝ නිවෙස් පිළිකණුවල මාරාන්තික ඌ වකින් මොර දෙමින් බැඳ සිටින කණු වටේ දුවනඌරන් දැක්ක හැකි විය. ශුද්ධවර අන්තෝනිතුමන්ගේ ප‍්‍රාතිහාර්යයීය ජීවිතයේ ජන්මය සැමරිම වෙනුවෙන් උහු මරණදණ්ඩනයට කැප වී සිටියහ. ඇතැම් ගැඹුරු කි‍්‍රස්තු භක්තිකයන් පවා මුන්නක්කරේ වායුගෝලය පුරා පැතිරි ගිය ඌරන්ගේ මරණයේ විලාපයට ඇහුන්කන් දීගෙන සිටියේ ගීතිකාවකට සවන් දෙන්නා මෙන් ප‍්‍රමෝදයෙනි.
ඌරු මස් කා තෙල වැඩි වුවන් අත පා සරඹ කඩු පොලූ හරඹ දැක්වීම අතිශයින් ස්වාභාවිකබව සිතමි. තෙල් මන්ද මේරු මදු මතින් බමන ආගමික ශ‍්‍රද්ධාවන්තයින්ගේ අනාගාමික කෙරුවාවන්ගෙන් මංගල්ලේ සන්ධ්‍යාව ඒකාලෝක වේ. ගම් වැසියන් ද ගමට පිටින් පැමිණි ඥාති හිතමිත‍්‍රාදීන් ද මේ විකුම් නරඹන්නේ සොරෝලය නරඹන්නාට වඩා වැඩි ආස්වාදයකිනි. හර්බට් මාමාගේ ඝාතනයද එක් විශේෂ සැමරුම් ලක්ෂණයක් විය….’’
මංගල්‍ය සංස්කෘතියේ ප‍්‍රධාන යොමුව ඇත්තේ කෑම බීම ඇඳුම් පැළඳුම් වෙතය. සංගීත ප‍්‍රසංග රතිඤ්ඤා සැරසිලි වෙතය. භාරහාර ඉටිපන්දම් පත්තු කිරිම් වැනි ආමිස පූජාවන් වෙතය. සින්බෑඞ්ගේ ස්තී‍්‍ර විරෝධයේ පදනම ඔහුගේම බිරිඳ මංගල්‍ය දාට පෙරදින බල්ලෙකු විසින් සපා කෑම අමතක කොට බඩජාරි කමට මංගල්‍යය දා ඌරු මස් කෑම නිසා මිය යාමෙන් ඇති වු කෝපය හා ශෝකයයි.
‘‘….එදා මංගල්ලෙට ඉස්සරින්දා මේකිගේ කකුල බැල්ලියෙක් අල්ලලා. මේ බැල්ලි මට කිව්වෙත් නෑ. මොකෙකුටවත් කියලත් නෑ. පට්ට බැල්ලි. මේකි කඩුපහර කොළ ටිකක් කොටල කකුල බැඳගෙන හංගගෙන ඉඳලා…’’
පස්සෙන්දා මංගල්ලේ. මේකි ගෙදර සේරම කටයුතුත් කරලා,පල්ලියේ ගිහිල්ලා ඔය හොඳට හිටියේ. හිතේ හයිය තියෙන ගෑනි. ඒ වගේමයි උයන්ඩ පිහන්ඩත්. ඒකි මාළුවක් ඉව්වොත් ආයි ගොරොක් කෑල්ලත් කතෑකි. පිහන්ඩ වගේමයි කන්ඩත්. කනකොට බලා ඉන්ඩ ලෝබයි. ඌරු මස කිව්වොත් පෙරේතී. මංගල්ලේටත් නැති ඌරු මස් මොකටදඑදා අපෙ දිහාත් ඉස්ටුව. මේකිට හැන්දෑවේ අමාරු වුණා. මීගමු ගෙනිච්චා එච්චරයි. බඩජාරි හැත්ත…’’
ක‍්‍රිස්තියානි සංස්කෘතිය තුළ හැදෙන වැඩෙන ඉතා රළු මදාවි මිනිසෙකු තුළ වුවද විශ්වාසයේ අංශු මාත‍්‍රයක් ගැබ්වී පවති. මංජුල මවන කොටි හෝබා ගේ පච්ච දෙක මගින් ඒ බව මනාව ඉස්මතු කෙරේ.
‘‘…..එකල මුන්නක්රේ චණ්ඩියා වු කොටි හෝබා’ හෙවත් හර්බට් මාමගේ මවිලින් තොර පපුවේ වම් ළැමේ උල්දත් විදහා ගොරව ගොරවා සිටින ව්‍යාඝ‍්‍ර හිසක විසල් කැටයමක් දක්නට ලැබිණ’ සියුම්ව ද සංයමශීලිව ද ළමැද සම රිදවා රිදවා නිමවා තිබු එම ව්‍යාඝ‍්‍ර හිස කෙතරම් රෞද්‍ර පෙනුමක් ගත්ත ද හර්බට් මාමගේ මුහුණට වඩා සෞම්‍ය විය. ව්‍යාඝ‍්‍ර හිසට යාබද දකුණු ළැම තීරය මත ජේසු පිහිටයි’ යන්න දක්වා තිබුණේ කුඩා කැටයම් කුරිසියට පහළිනි. ඔලිව් ඉත්තක් තුඩින් ගත් පරෙවියෙකුමසින් අනුන දකුණු බාහුවේ වසා සිටි අතර හර්බට් මාමා ඇවිදින වේගයේ දෑත් චලනයට අනුව පරෙවියා ඉගිළෙනු පෙනිණි….’’
කි‍්‍රස්තියානි සංස්කෘතියේ ජනපි‍්‍රය මතය තුළ මත්පැන් පානය වරදක් සේ නොදකියි. ඇන්ටනි සහ ගුණ්ඩුවේ අනිකුත් චරිත මත්පැන් පානය දකින්නේ ඒ ජනපි‍්‍රය මතය තුළ සිටිමිනි. මත්පැන් පානය සාධාරණීකරණය සඳහා ජේසු තුමන් අන්තිම රාතී‍්‍ර භෝජනයේදි  තම ගෝලයින්ට වයින් පානය කිරිමට දීමත්විවාහ මංගල්‍යයකදි වයින් මදි වු විට ජේසු තුමා විසින් වතුර වයින් බවට හරවා පානය කිරිමට දීමත් යන කිතු සිරිතේ සිදුවීම් බත්තලංගුණ්ඩුව තුළ උපුටා දක්වා ඇත.
‘‘ජේසු ස්වාමිදරුවෝ ඉස්සිස්සෙල්ලාම ප‍්‍රාතිහාර පෙන්නුවේ කොහෙදකානාත් නුවර සරණ මංගල්ලේදි. මොකක්ද කෙරුවේ?’’?
‘‘වතුර වයින් කළා’’ සින්බෑඩ් මැදට පැන උත්තර සපයයි.‘‘උත්තරීතර වයින්’’ ඔහු පපුව මත කුරුසිය ඇඳ ගනී.
‘‘එදා ජේසු ස්වාමිදරුවො බිම අනුමත කළා. දේවමෑණියෝ තමයි ඉල්ලූවේ පුතේ! වයින් ටිකක් මවලා මේ තිබහා නිමන්න කියලා. ඒ කියන්නේ දේවමෑණීයොත් බිම අනුමත කළා. ඒ හින්දා අපිත් බීම අනුමත කරනවා. අපි කරන්නේ එදා ඉඳන්ම කරගෙන ආපු කරුමාන්තයක්. සහතික තියෙන කරුමාන්තයක්. අපිට මවන්න බෑ. ඒ හින්දා අපි පෙරනවා.’’
‘‘මිදිවලින් මිදියූෂ. පළතුරුවලින් පලතුරු යුෂ’’ වීදුරුව අතින් ගෙන ඉහළ ඔසවා එසේ පවසන සින්බෑඩ් වීදුරුව කටට හළා ගනී. වීදුරුව පසෙක තබා කුරුසිය ඇඳ ගනී. 
     
‘‘බොනවා කියන්නේ විනය. ඒක දේවාසිර්වාදෙ තියෙන වැඩක්’’ ලිලීනෝනා මගේ උරහිසට තට්ටු කර කියයි.
නමුත් සමස්ත කිතු දහම තුළ එවැනි සාධාරණිකරණයට ඉඩක් නොමැත. ශුද්ධ වු බයිබලයේ පැරණි ගිවිසුමේ මෙසේ සඳහන් වේ.
‘‘දුක කාටදකාලකණ්ණිකම කාටදඅඬදබර කාටද?මැසිවිලි කාටදරතු ඇස් කාටදබීම බෝතලය ළඟ පමා වන මිනිසාටය. තව තවත් බොන්නට යන මිනිසාටය. මද්‍යසාරය රතට රතේ දිලිසෙන විට වීදුරුවේ පෙණ දමන විට ලස්සනට වැක් කෙරෙන විට ඒ දෙස නොබලන්න.
අන්තිමේදි එය නයෙකු මෙන් සපා කයි. පොළගෙකු මෙන් දෂ්ඨ කරයි.
සුරා සොඩුන්දමස් මාංසයට කෑදර වුවන්ද ඇසුරු නොකරන්න. මන්ද බේබද්දාත් කෑදරයාත් දිළිඳු බවට පැමිණෙති. ඔබත් වෙරි මතින්  හිඟමනට වැටෙනු ඇත.’’

මධුවිත සමඟ දිග හැරෙන සංවාදය තුළ බොහෝ සාධනිය කරුණු කාරණා ඉස්මතු වුවද බේබදුකම මනුෂ්‍යයාගේ උදාර බව කෙලසා දමයි. බත්තලංගුණ්ඩුවේ මෙන්ම බොහෝ ධීවර ප‍්‍රජාවන්ගේද දිළිඳුකම හා පවුල් ජීවිත අවුල් වීම කෙරෙහි බලපා ඇති එක් සාධකයක් ලෙස බේබඳුකම බලපා තිබේ. ඇන්ටනි දකින්නේ සරල සුන්දර සෞන්දර්යයකට මඟ පාදන මත්පැන් මධුසාද භජනය ගැන පමණි. නිසැකවම බීමත්කම කිතුනු ධීවර ප‍්‍රජාවගේ ජීවිත සමඟ බැඳි තිබේ. ඒ බැඳී තිබීම වඩ වඩා සාධාරණිකරණය කර ගැනීම මෙන්ම එය අවඥාවෙන් හා ව්‍යාජ සුචරිතවාදයෙන්  බැහැර කිරිම ඇති කරන්නේ එකම ආකාරයක අඳුරක් පමණි.

 

බත්තලංගුණ්ඩුව නවකථාව තුළ සියුම්ව ගලා යන තේමාවක් වන්නේ නිදහස් ලිංගික ජීවිතයයි. විවාහය නැමැති නෛතික රැහැන් පට ට ඔබ්බෙහි දිගහැරෙන ලිංගික ජීවිතය බත්තලංගුණ්ඩුව ජන ජීවිතය තුළ එක් අතකින් සාමාන්‍යකරණය වී පවතින බවක් ඇතැම් සිදුවීම් තුළ ගම්‍ය වේ. ඇන්ටනි බත්තලංගුණ්ඩුවට පැමිණි පළමු දවසේම රාතී‍්‍රය ගත කිරිමට එක් වතාවක් පමණක් හමු වු අනාමරියාගේ නිවසට යාමඒ ගමන සඳහා ඇන්ටනිගේ ම තාත්තා මං ලකුණු පෙන්වීම ඒ පිළිබඳ එක් නිදසුනකි.
by Ria Nieswaag
ආනමරියා සමඟ ගෙවෙන පළමු රාතී‍්‍රයේදි ඇන්ටනී ගේ සිතුවිලි පොකුරක් මෙසේය.
‘‘නිරුවත් දෙපා වැල්ලෙහි ඔබමින් පැමිණි ආනමරියා කෙළින්ම කළපු රළ බිදෙන මා ඉමට පිය මැන සාය තරමක් ඔසවා පා තෙමයි.
නාගරීක පේ‍්‍රම දුක්ප‍්‍රාප්තියකට සාපේක්ෂව නිවහල් කොදෙව්වක පේ‍්‍රමයේ එළිපත්ත වුව කෙතරම් හෘදයාංගම ද?මා මෙතරම් ම නිදහස් ව ප‍්‍රශ්වාස සුසුම් හා මුසු කොට පාකොට හරින්නේ මෙතෙක් මා අත්විදි හෘදයේ අධි පීඩනය නොවේදහෘදයේ කැටි ගැසුණු පිළුණු මතකයේ මේද ස්ථරය කළපු සුළගින් දියව ගිය පසු ඉතිරි වන්නේ හෘදයාංගමභාවය මිස අන් කවරක්ද?
මම සභ්‍යත්වයේ ඉබිකට්ට බිඳ ස්වභාවධර්මයට අනන්‍යවෙමින් සිටිමි. ප‍්‍රකෘතියට ආසන්න වෙමින් සිටිමි. පේ‍්‍රමය මනුෂ්‍ය ස්වරූපයයි. එහි ස්වභාවයයි. පේ‍්‍රමය ම කරණ කොටගෙන ඈත ඈත කොදෙව්වකට සම්ප‍්‍රාප්තව සිටින මම තරු බර හෝරාවක නිසල නෙත්කළු වෙරළක නන්නාඳුනන යුවතියකගේ දෝවනය වන දෙපා තුඩු දෙස බලා සිටිමි. ඒ දෙපා මත ගැටී විසුණු වී යන දිය සරැළි දෙස බලා සිටිමි. පේ‍්‍රමය විසින් මා රැගෙන එන ලද දුර. මසිත සැහැල්ලූවෙන් බර වේ.”
නමුත් මේ නිවහල් කොදෙව්ව කිසිසේත් ලිංගික බලහත්කාරය නොඉවසන බව පෙන්වාදෙන සිදුවීමක් අපට හමුවේ. ඒ බත්තලංගුණ්ඩුවේ පොලිස් ප‍්‍රධානියා සටකපට ලෙස එහි ස්තී‍්‍රන්ගෙන් තම ආශා ඉටු කර ගැනීමට ධීවරයින් දක්වන විරෝධයයි.
එකී සිදුවීම විස්තර කරද්දී සින්බෑඞ් නම් ධීවරයා උපමා කොට ගත්තේ බයිබලයේ එන දාවිත් රජු තම සිත ගත් යුවතියක් අපහරණය කිරිමට ඇගේ සැමියාව යුද්ධයට යැවූ පුවතයි.
‘‘දාවිත් රජ්ජුරුවෝ සෙන්පතියව යුද්ධෙට යවලා ගෙට රිංගුවා වාගේ මූත් හැමදාම මොක හරි වාඩියක’’
මේ ලොක්කා ධීවර බිරිඳක් සමඟ යහන්ගතව සිටියදිම අල්ලාගෙන ඔහුට පහර දී වෙනත් ස්ථානයකට ගෙන ගොස් විසිකර දමන ධීවරයෝ ඔහුට අනුබල දුන් පොලිස් ගෝලයාටද දඩුවම් කරති.
….ගෝලයාගේ ඇඳුම් ලිහල මහ පල්ලිය ඉස්සරහ ගස් බැන්ද . ගැහුවා බෝඞ් එකක් ඔළුවට උඩින් ‘‘පරදාර සේවනයට අනුබල දීම නිසා දෙවියන් වහන්සේ දුන් දඬුවමකි.’’
‘‘බොලාට තිබුණේ පිස්තෝලෙත් එක්කම ඌවත් කළපුවට තල්ල කරලා දාන්න’’ හිසෙහි අත් බැඳ වැල්ලෙහි දිගා වී සිටින කැහැට්ටා පවසයි.
‘‘මිනි නොමරව’’ ඒක දේව ආඥාවක්. කොහොමටත් මං ඌව මරනවට විරුද්ධයි. මොකෝබාගෙට බාගයක් වැරැද්ද කෙකර ගාන අම්මණ්ඩිලගේ’’
සින්බෑඩ් සෘජු බැල්මෙන් මදෙස බලයි. ‘‘ඇන්ටනි මහත්තයා දන්නවද’’ ඔහු අල්ල පොළොවේ ගස ගසා දිවුරන්නාක් මෙන් පවසයි. ‘‘ඩොනා අද තව වෙනකන් දන්නේ නැ අපි ඕකව ඉස්සුවේ උගේ වාඩියෙන් කියලා. අපේ එකෙක්වත් ඒ ගැන කෙළ බිංඳුවක් හැලුවේ නෑ. ඌ තව ෂෝක් එකට පවුල් කනවා.’’
නිදහස් පේ‍්‍රමය හා ලිංගිකත්වය ගැන ඇන්ටනිගේ සිතුවිලි ධාරාව ඔහු ආනමරියා හා සමඟ සම්භෝගයේ යෙදීම් අවස්ථා සමඟ විවරණය වෙයි.
‘‘.සම්භෝගයේ කුඨප‍්‍රාප්තිය තුළ සිතුවිලි අතුරුදහන් වී යයි. සිත ශුන්‍යත්වයේ ගැලෙයි. සංතෘප්තිය යනු ඒ අවකාශයම නොවේදදෙවියන් වඩින්නේ සංතෘප්තියෙ නැවුම් අවකාශයටය. රමණයේ පවතින දේවත්වයේ සලකුණ නොදන්නෝ සතුටසංතෘප්තිය වෙනුවෙන් නිරාහාරව යාච්ඥා කරති. මනුෂ්‍යභාවයේ ප‍්‍රාථමික ස්වභාවය දේව සමානාත්මතාවයි. එය පැහැදිලිවම බයිබලයේ උප්පත්ති පොත දක්වයි. පේ‍්‍රමයේ ලිංගිකත්වය මර්දනය කරගත්තෝ දෙවියන්ගේ පැමිණිම පතා දෑත් ඔසවාගෙන යදිති.
එහෙත් උන් වහන්සේ රමණයේ සත්කාර්යෙන් සතුටට පත් වු ආනමරියාගේ උපස්ථායක කුටියෙහි සක්මන් කරනවා ඇසේ…..‘‘
ශුද්ධ වු බයිබලයේ එන මූලික ඉගැන්වීමක් වන්නේ මිනිසා මවා ඇත්තේ දේව සමානකමට හා ස්වරූපයටය යන්නය. එහිදි දේව සමානකමේ මූලික ලක්ෂණයක් වන්නේ නිදහසයි.
‘‘දෙවියන් වහන්සේ තම ස්වරූපය අනුව මිනිසා මැවු සේක. දෙවියන් වහන්සේගේම ස්වරූපය අනුව ඔවුන් මවා වදාල සේක. පුරුෂයාද ස්තී‍්‍රද වශයෙන් ඔවුන් මැවු සේක.’’
 (උත්පත්ති පොත 1/27)
ස්තී‍්‍ර පුරුෂ ඇසුර පූජනීය එකකි. මිනිසාගේ පූර්ණත්වය ඇත්තේ ඒ තුළය. සම්භෝගය කුණුහරුපයක් හෝ පාපයක් නොවේ. එය යාච්ඥාවක් ද විය යුතුය. ඇන්ටනි සම්භෝගය තුළ දිව්‍යමය බව සොයයි. නමුත් නිදහස් පරිපුර්ණ ජීවිතය තුළ දිව්‍යමය බව මතු කරන පවුල් ජීවිතය හෝ ලිංගිකත්වයදේපල ක‍්‍රමය ඇති සමාජයක කුණුහරුපයක් බවට පත්වීම ඇන්ටනිගේ නිරික්ෂණයට හසු නොවේ.
තම වයසේ පසුවන නමුත් තමාගේ පියාගේ අඹුව බවට පත් වි ඔහුට දාව පුතෙකුද බිහිකර සිටින තමාට පුතා යයි අමතන ගේ‍්‍රටා හා ඇන්ටනි සම්බන්ධතාවයක් ඇති කර ගනී. අසරණ කම මගින් තම පියාවන් මිනිසෙකු සමඟ අඹුසැමියන්ව ජීවත් වීමට ඉරණම් ලබා සිටින ගැහැණියක් තුළ කැකෑරෙන,සමාජය විසින් නොකියවන හැඟිම් සමුදායක කථාවක් නොකියා කීම බත්තලංගූණ්ඩුව නව කථාවේ ප‍්‍රබලතාවයකි. ඇන්ටනි හා ගේ‍්‍රටාගේ සම්බන්ධය පේ‍්‍රමයදනොමැතිනම් මර්ධිත හැගුම් සමුදායක් ඉඩ ලද මොහොතක මතු වී ඒමක්ද?
ඇන්ටනි ගේ‍්‍රටාගේ කලින් කසාදයේ දියණියඅකුරු නොදන්නා ජසින්නාට තමා කැමැති බයිබල් පාඨය හඬ නගා කියවයි. ඒ පාඨය වනාහි පේ‍්‍රමය පිළිබඳ විශ්ව සාහිත්‍යයේ පවා  දැකිය හැකි ප‍්‍රබල කාව්‍යයකි. ශුද්ධ වු බයිබලයේ නව ගිවිසුමේ 1කොරින්ති 14 වන ඡේදයයි.
-පේ‍්‍රම පාරමිතාව-
‘‘මා මිනිසුන්ගෙන් දදේව දූතයන්ගේද,
භාෂාවලින් කතා කරතත්
පේ‍්‍රමය මට නැත්නම්
මම ගෝෂා කරන ගන්ඨාරායකට හෝ
කටුක රාවය දෙන
කයිතාලමකට හෝ සමාට වෙමි.
දිවැසි වැකකි දෙසීම වරම මට තිබුණත්
සියලු අභිරහස් ගැන අවබෝධයක් ද
සකල ඥානයද මට ඇතත්
කඳු සෙලවීමට තරම් බලවත් විශ්වාසයක් මට තිබුණත්
පේ‍්‍රමය මට නැත්නම්
මම හිස් තැනැත්තෙක්මි.
දන්දීම සඳහා මා සතු සියල්ල වෙන් කළත්
මගේ සිරුර ගිනි පූජාවක් සඳහා බිලි දුන්නත්
පේ‍්‍රමය මට නැත්නම්
මට කිසි පලක් නැත.
පේ‍්‍රමයඉවසිලිවන්තය. කරුණාවන්තය.
පේ‍්‍රමයඊර්ෂ්‍යාව වන්නේ නැත.
පාරට්ටු කරගන්නේ නැත.
උඩඟු වන්නේ නැත.
පේ‍්‍රමය අවිනීත නොවේ.
ආත්මාර්ථකාමි නොවේ.
හනික නොකිපේ.
නපුර සිතේ ධාරණය කර නොගයි.
පේ‍්‍රමය අනුන්ගේ වරද ගැන පී‍්‍රති නොවේ.
හරිදේ ගැන පී‍්‍රති වේ.
පේ‍්‍රමය සියල්ල උසුලයි.
පේ‍්‍රමයෙහි විශ්වාසයට ඉමක් නැත.
බලාපොරොත්තුවට නිමක් නැත.
ඉවසීමට අගක් නැත.
පේ‍්‍රමය සදාතනිකය.
දිවැසි වැකි වුවද පහව යන්නේය.
විවිධ ශබ්ද දෙසුම් වුවද නිම වන්නේය.
ඥානයද නැතිවන්නේ ය.
මන්ද අපේ ඥානය අසම්පූර්ණය.
දිවැසි වැකි දෙසීම ද අසම්පූණය.
මේ දිගු පාඨය සම්පූර්ණයෙන්ම කියවා නිමාවු පසු ගේ‍්‍රටාගේ ප‍්‍රතිචාරය විසින් නොකියන දෙය කියවීමට කතුවරයා අපට බලකරයි.
‘‘ මම සුසුමක් පිටකර හරිමින් ළය සැහැල්ලු කරගනමි. ජසින්තා මේසය මත ගල් ගැසී ඇත. උළුවස්සෙහි හේත්තු වී මා දෙස බලා හිඳින්නී ගේ‍්‍රටාය. මා හිස ඔසවත්ම බිම බලාගන්නීහැරි මුලුතැන් ගේ දෙසට පියමනී.’’
බත්තලංගුණ්ඩුව නව කථාව නිමාවන්නේ තාත්තා හා පුතාට මැදිවු ගේ‍්‍රටා කේන්ද්‍රකර ගනිමිනි. මැද ගැබ්බරවී සිටින ගේ‍්‍රටාය. දෙපස තාත්තා හා තාත්තාව කැඳවා ගෙන යාමට පැමිණි පුතා වන ඇන්ටනිය. අයිස් බෝට්ටුව යනු ඔහුට ආපසු යාමට ඇති බෝට්ටුවය. සිදුවන්නේ කුමක්ද?
‘‘ අයිස් බෝට්ටුව සෙමින් දියත් කරලීම අරඹයි. මම වාඩිය දෙස බලමි. තාත්තා මාළු පෙට්ටියක් මත වාඩිවී ඒ මත ඔසවා තබා ගත් කකුලක් මත අත් බැඳ බෝට්ටුව දෙස බලා හිදී.
වම් අත නමා පුළුල් වටොරෙහි රඳවා සිටින ගේ‍්‍රටාදකුණතින් පිපීගෙන එක ගැබ පිරිමදින්නීදෑස අහසෙහි පා කර හරි.
ඉමක් නොපෙනන කළපුවේබිඳි විසිරෙන රළ රැළින් ඇස මුදා ගන්නා මමහැරි වාඩිය තුළට පිවිසෙමි.’’
නගරයේදි තමාට හමු නොවු පේ‍්‍රමය ඇන්ටනීට බත්තලංගුණ්ඩුවේදි හමුවීදඇන්ටනි ආපසු නගරය වෙත නොගොස් සිටීම ගේ‍්‍රටාගේ කැමැත්තය. ඒ කැමැත්ත තුළ ඇත්තේ පේ‍්‍රමයද?
කි‍්‍රස්තියානියේ මූලික ධර්ම ගුණය එසේත් නැත්නම් ඉගැන්වීම වන පේ‍්‍රමය බත්තලංගුණ්ඩුව නව කථාව තුළ අපට ස්පර්ශ වේදඉගැඹුරු පේ‍්‍රමය මතු පිට කාව්‍යමය වචනවලින් හා නිදහස්කාමි ලිංගික ජීවිතයක විඳීම් තුළින් පමණක් හසුකර ගත හැකිද?

බත්තලංගුණ්ඩුවේ ජන ජීවිතය එහි කිතුනු සංස්කෘතියේද ධීවර ජන ශ‍්‍රැතියේ සුවිශේෂි හැඩතල තුළින් ද ඉතා නිර්මාණශීලිව හා කාව්‍යමය ලෙස සිතුවම් කිරිමට මංජුල මෙම නවකථාව තුළ සමත්වෙයි. විශේෂයෙන් මෙරට ජනගහනයෙන් 7%ක් පමණ වන කි‍්‍රස්තියානින්ගේ ජීවන විලාසයේ ඇතැම් අංශ සංස්පර්ශ කිරිම මගින් ඔහු ලාංකේය සාහිත්‍යයට නව මානයක් එකතු කරයි.

 

බත්තලංගුණ්ඩුවේ ජනතාවගේ ජීවිතය කෙරෙහි බලපාන එම ජනතාව පවා අවධි නොවු සමාජ ආර්ථික කාරණාවන් විග‍්‍රහ කිරිම නව කථාවක කාර්යභාරය නොවන බව සැබැ මුත් එකී කාරණා එල්.ටී.ටී. ය ධීවර බෝට්ටු ගැනිමඑල්.ටී.ටී.ය විල්පත්තු කැලැව ආරක්ෂා කිරිම හමුදාව හා පොලිසිය කප්පම් ගැනිම ආදි සිදුවීම්වල මතුපිටින් ඔබ්බට මඳක් හසුකරගත හැකි වූයේ නම් සුසංවර්ධිත ජීවිතයක් උදෙසා ඉමහත් ආලෝකයක් සම්පාදනය වන කථාවක් අපිට හමුවනු ඇත.
අද බත්තලංගුණ්ඩුවේ ධීවරයා ඔහුගේ ප‍්‍රාථමික ජීවිතයෙන් ගලවා දමා වෙළඳ පොල සංවර්ධනයේ ගොදුරක් බවට පත් කරමින් සිටී. කල්පිටිය දූපත් එම සංවර්ධනයේ දඩබිම් බවට පත්කොට ඇත. ඉදිරියේදි ඔවුන්ට හමුවීමට නියමිත වන්නේ ඔවුන් මෙතෙක් ගත කළ සරල ජීවිතයේ අත්දුටු පේ‍්‍රමය වෙනුවට අලවි භාණ්ඩයක් වන පේ‍්‍රමයයි. පේ‍්‍රමය ලිංගිකත්වය හා නිදහස එහි උත්තරීතර ස්වභාවයෙන් මුදවා වියවුලක් බවට පත් කරන ක‍්‍රමයේ නරුමකම නගරයෙන් බත්තලංගුණ්ඩුව වැනි හුදකලා ලෝකයන් වෙතද ගමන් කිරිමේ යථාර්ථය අද එම දූපත්වාසින්ට අභිමුඛ වෙමින් තිබේ.
පපු කැවුත්තෙන්ම අව්‍යාජව ජීවිත සටනට උරදෙන පේදුරු නම් ජේසුස්ගේ අග‍්‍ර ශ‍්‍රාවකයාගේ පරපුර සතු අහිංසක ඇදහිල්ලේ පොල්මඃකරුවන් වන සභාව මේ සංවර්ධන ව්‍යාධිය ඉදිරියේ ධීවරයා නිවට කර බලවතුන්ගේ ව්‍යාපෘතිය කෙරෙහි ඔහුව බැඳ තැබීමට සහය වනු ඇත. බත්තලංගුණ්ඩුව නව කථාව තුළ අන්තෝනි මංගල්‍ය පවත්වන්නට සභාව දායකවන තරමින් අංශූ මාත‍්‍රයකින්වත් ගුංඩුවේ අධ්‍යාපනය නැංවීමට සභාව කි‍්‍රයාත්මක නොවීම මගින් පෙන්වන යථාර්ථය එයයි.
‘‘පඳුරු ලලා වැඩුණු තණකොළින් අතරින් පතර වික්ෂෝප මාතා පාසලේ අත්තිවාරම දිස්විණ. එය ගොඩනැඟිල්ලක් නොමැති පාසලකි.
ඇමතිවරයෙකු අතින් රෙදි ඇරුණු සිහිවනට ඵලකය,උස්තෘණ පඳුරු අතර සැඟවී සිටියේ ලැජ්ජාවෙන් බේරි සිටීමට මෙනි’. වික්ෂෝප මාතාව අහසේ කොතැන හෝ සිට බත්තලංගුණ්ඩුව දෙස බලා සිටියේ නම්ඇය බොහෝ සේ වික්ෂෝප වන්නට ඇත්තේ මෙහි පාසලක් නැති නිසා නොව දේශපාලක අහිනක් අතර ඇගේ ශී‍්‍ර නාමය ද කොටා තිබුණු නිසාවෙනි.
‘‘ඇයි මේක හදන්න බැරි’’ මම ධීවර සමිතියේ රේගන්ගෙන් ඇසුවෙමි.
‘‘මුදලාලිලගෙබෝට්ටු අයිතිකාරයන්ගේ ළමයි මීගමුවේඉස්කෝල නැත්තේ රස්සාකාරයන්ගෙයි,අත්උදව්කාරයන්ගෙයි ළමයින්ට’’ රේගන්ගේ පිළිතුර වූයේ එයයි.
‘‘ ඒ අයට තමයි ඉස්කෝලේ  ඕනේ’’
‘‘මේ වගේ තැන්වලට එන්න ගුරුවරු කැමති නෑලු’’
ප‍්‍රශ්නයක් දැනෙන්නේඊට මුහුණ දෙන්නා හා ප‍්‍රශ්නය අතර ඇති සම්බන්ධයේ පරිමාණයට සාපෙක්ෂවයි. රේගන් සමිතියේ කවර නිලයක් උසුලන්නේ වුව ඉස්කෝල ප‍්‍රශ්නය ඇත්තේ ඔහුගේ ජීවිතයට සාපෙක්ෂව බොහෝ ඈතිනි’ ඔහු මුදලාලි කෙනෙකි. දරුවන් සිටින්නේ මීගමුවේය.
‘‘මේකේ සීයට අනුවක් කි‍්‍රස්තියානිකාරයෝ. ඇයි බැරි සභාවට කියලා කෙනෙක් ගෙන්න ගන්න?”
සරල ඇදහිල්ලේ සැඟව ඇති විමුක්තිදායක ගිනි පුළිගූ දල්වමින් ඉහත කී යථාර්ථයට ගුංඩුවේ ජනයා ඉසියුම්ව අවදි කරන දූතයෙකුගේ සම්ප‍්‍රාප්තියක් බවට ඇන්ටනිගේ පැමිණිම පත් නොවන්නේ ඔහු මේ මොහොතේ පසුකරන ජීවිත අරගලයෙන් එය දුරස්තර බැවිනි. නමුත් ඇන්ටනි බත්තලංගුණ්ඩුවේ නැවතීම එවැන්නක ආරම්භයක්  විය නොහැකිද?
ඇන්ටනිටගේ‍්‍රටාටතී‍්‍රසාටආනමරියටසින්බෑඩ්ට මෙන්ම අපටද ආදරය හමුවන්නේආදරයෙන් තොර සමාජ ආර්ථීක මෙන්ම ආගමික ව්‍යුහයන්ගෙන් මිඳුනු ජීවිතයක් ලෝකය තුළ ප‍්‍රතිෂ්ඨාපනය කර ගැනිමෙනි. ඇන්ටනි ඇතුළු පාත‍්‍ර වර්ගයා සොයන්නේ ඒ ආදරයි.
-මහින්ද නාමල්
කිතුසර ප්‍රධාන සංස්කාරක


Advertisements

ඒ ගුප්ත ගැඹුරු හුදෙකලාව

Fireflies on Water by Yayoi Kusama
Fireflies on Water by Yayoi Kusama

සිතට නැඟෙන ඇතැම් දේ කුරුටු ගෑමට මා ඇබ්බැහි වූයේ කියවීමෙන් ලත් ආවේශයෙන් වුවද, ඒ තුළ දෘෂ්‍යමාන වූයේ ජීවිතයේ ම ප්‍රතිබිම්බය යි. හුදෙකලාවේ ගැඹුරු ගුප්තභාවය යි.

හුදෙකලාවේ හිර ගෙට
එළිය වෑහේ ඉඳ හිට
කදෝපැණි මිතුරාණෙනි,
මඟ හැරුණා ද මඟතොට

– බත්තලංගුණ්ඩුව 44 පිටුව

පඨිතයන් අතර අවකාශයක්: මංජුල වෙඩිවර්ධන ගේ “බත්තලංගුණ්ඩුව”, හෝමර් ගේ “ඔ‍ඩිසි” හා ජේ.එම් කට්සෙයර් ගේ “ෆෝ”

My Soul to Keep:  Victoria Pinney
My Soul to Keep: Victoria Pinney

මංජුල වෙඩිවර්ධනගේ බත්තලංගුණ්ඩුව කථා අවකාශය සැලකීමේදී නිතැතින්ම මනසට ආ පඨිතයන් දෙකකි, හෝමර්ගේ ඔඩිසී සහ ජේ.එම් කට්සෙයර්ගේ ෆෝ. දූපත් තුනක කේන්ද්‍ර තුනක් අරමුණු කොට තුන් ආකාරයකට වියෙන මෙම පඨිතයන් සමපාත වන හා එකිනෙක විනිවිද යන අවස්ථා ගණනාවක් දැකිය හැක. තම ලමාවියෙහිදිම තමාගෙන් වෙන්වුනු පියා සොයා ඉතාකාවලින් පිටත්වන තරුණ ටෙලිමාකස් ගේ ප්‍රතිබිම්භය තමාගේ ජීවිතයෙන් දුරස්ථ වී ලංකා දූපතේ ද දූපතක බත්තලංගුණ්ඩුවේ වෙසෙන බවට විශ්වාස කරන තම පියා වන ඇඩ්ඩින් මුදලාලි සොයා එන ඇන්ටනී මත පතිත වේ. ඇන්ටනී හට හමුවෙන දූපත, ශ්‍රීලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය නැමැති මනඃකල්පිතයේ ප්‍රජාතන්ත්‍රවාදී ද සමාජවාදී ද නොවන ජනරජ තීරුවක්ද නොවන පරිධියකි. කට්සෙයර්ගේ ෆෝ කතාවේ මිස්ටර් කෲසෝ තම දිවයිනට අදාල වන පරිදි එහි බිම්ගත සංස්කෘතියක් සිතියම්ගත කරන්නේ කෙසේ ද, ශිෂ්ටාචාරයේ කේන්ද්‍රයට විකල්ප වන, එම කේන්ද්‍රයේ පරිධියට කේන්ද්‍රගත වන සංස්කෘතියක හා සභ්‍යත්වයක මහා ආඛ්‍යානය අපට බත්තලංගුණ්ඩුවේ දී හමුවේ.

the-odysseybookcoverහෝමර්ගේ ඔඩිසී කාව්‍යය සවිඥානිකව ඇසුරු කරගනිමින් 1922දී ජේම්ස් ජොයිස් විසින් ලියවුනු යුලිසිස් ද, ජේ.එම් කට්සෙයර්ගේ ෆෝ වෘතාන්තයට අන්තයක් වන ඩැනියෙල් ඩෙෆෝ ගේ රොබින්සන් කෲසෝ ග්‍රන්ථයද මෙහිදී සැලකිය යුතුය.ඔඩිසී හි ටෙලිමාකස් හා සමපාත වන ලෙස නිර්මිත යුලිසිස් හි ස්ටීවන් ඩෙඩලස් මෙන්ම කට්සෙයර්ගේ මිස්ටර් කෲසෝ හා එපරිද්දෙන්ම අනුපාත වන රොබින්සන් කෲසෝ ගේ ද අවතාර බත්තලංගුණ්ඩුවේ වැල්ලෙහි අප හමුවන්නේ ඇන්ටනී හා ඇඩ්ඩින් මුදලාලිගේ වේශයෙනි. ඇඩ්ඩින් මුදලාලි යනු සම්භාව්‍ය ඊඩිපල් පියාගේ මූර්තියකි. නමුත් මෙම පිය චරිතය හා ඈදුනු තවත් භූමිකා කිහිපයක් ඔහු අතින් ඉටුවේ. මුහුදට බිලිවූ “රස්සාකාරයෙකුගේ” තරුණ වැන්දඹුව වන ග්‍රේටා තම සහකාරිය කරගන්නා ඇඩ්ඩින් මුදලාලි “මුනිවරයෙක් ද”, “ආප්තය ද” “ආරක්ෂකයෙක් ද” වේ. සම්භාව්‍ය ඊඩිපල් පියාගේ භූමිකාව හා මනාව බැදෙන මෙම විචල්‍යයන් අතරින් කතාවේ “ඊලග කොටස” ගැන පේන කීමට ඔඩිසියෙන් නෙස්ටර් කෙනෙක්ගේ අවශ්‍යතාවයක් නැත. මන්ද යත්, එය “විය යුතු පරිදි”ම, ඊඩිපල් පියාගේ මරණය හෙවත් ග්‍රේටා හා රමණයත්, ඒ හරහා ඇන්ටනී ගේ සංකේතාත්මක “ආගමනය”ත් (නා‍යකයෙකු ලෙස) තුලින් සාක්ෂාත් වන බැවිනි. ඇන්ටනී JM Coetsee-Foeක්‍රමයෙන් බත්තලංගුණ්ඩුවේ ප්‍රධාන භූමිකාව වනු අවස්ථා කීපයක් තුලින් පෙන්වා දී ඇත. ඔහුගේ ලිංගිකත්වය හා ශරීරය වෙනුවෙන් ග්‍රේටා හා අනා මරියා අතර ඇතිවන සියුම් ඝර්ෂනය මින් එක් අවස්ථාවකි. වෙඩිවර්ධන, ඇන්ටනීගේ ලිංගිකත්වය ඉතා ඕනෑකමින් මතුකර දක්වන්නෙකි. ග්‍රේටාගේ අයිතිය හා පැවැත්ම වෙනුවෙන් ද ඇගේ තාරුන්‍යයෙන් ඇතිකෙරෙන තෙරපුමෙන් ද බලකෙරෙන ලිංගික වරණයක් ලෙස ඇන්ටනී ඇය හා සම්බන්ද වේ. මෙම මුල් ලිංගික එක්වීම ග්‍රේටාගේ වැඩි උවමනාව මත වූ බවට — මෙහිදී රචකයා ඇන්ටනීගේ උවමනාව බේරාහැරීමක් කරයි — ඕනෙවට වඩා වැඩි කරුනු දැක්වීමක් කෙරෙයි. මීට සමාන්තරව ඇන්ටනී හා අනා මරියා අතර ඇතිවන සබදතාවයද වැදගත් වේ. අනා මරියාගේ (ඒ අර්ථයෙන්) දූපතට වන “අවජාතක බව” හා “අයත් නොවන බව” සජාත කරගැනීමක් හෙවත් ඇගේ අයිතිය හා පැවැත්ම සාක්ෂාත් කරගැනීමක් මේ හරහා සිදුවේ. මෙහි සංකේතාත්මක භාවිතය අප දකින්නේ අනා මරියාගේ අනියම් සේවා පත්වීම ස්ථීර කරදීමට ඇන්ටනී තම මිතුරෙකුට ලියන ලිපිය හරහාය.

2_baththalangunduwa_sinhala_novel_by_manjula_wediwardena_rj_re“වල්වැදුනු” පියා සොයා යන ටෙලිමාකස්, පියා හමු වී ඔහුගේ ද සහ‍ය ඇතිව තමන්ට පිය උරුමයෙන් ලැබීමට නියමිත ඉතාකාවෙන් තම සතුරන් තුරන් කොට බලය ස්ථාපනය කරගනියි. “සැන් ඇන්තනීස් අයිස් වාඩිය” පිලිසකර කෙරෙනු ද, නව ජීවයකින් කරුණු කාරනා කෙරෙනු ද බත්තලංගුණ්ඩුවේඅවසන් අදියරෙහිදි දැක්වේ. ග්‍රේටා ගැබ්ගෙන ඇති බවට ඉගියක් සැපයෙන අතර, ඇන්ටනී න‍ව යුගයක නියමුවෙකු ලෙසටද සටහන් කොට ඇත. ස්වකීය පියා සුපුරුදු අයිස් පෙට්ටියක් මත ඉදන් සිටිද්දී වාඩිය දෙසට හැරෙන ඇන්ටනී ගේ ඇත්තේ රැලට අලුතෙන් පත්වූ ද, රැල තම කායික බලයෙන් දමනය කරගත්තාවූ ද නායකයෙකුගේ පෞරුෂයකි. ග්‍රේටාගේ ගැබ්ගැනීම එම නව යුගයේ මං සලකුනකි.

ජේ.එම් කට්සෙයර්ගේ ෆෝ හි මිස්ටර් කෲසෝ තම දූපත දමා යාම සහමුලින්ම ප්‍රතික්ෂේප කරයි. සූසන් (දූපතට “පාවී” එන අමුත්තිය සහ කතාවේ නායිකාව) ගේ කඩිසරබව සහ දූපතෙන් පිටව යෑමට ඇය කරන කියන දේ සියල්ල මිස්ටර් කෲසෝ නිශ්ප්‍රභා කරයි. මිස්ටර් කෲසෝ අසාධ්‍ය අවස්ථාවක ඔහුව දූපතෙන් පිටමං කරන්නේ ද සූසන්මය. දශකයකට අදික කාලයක් අනේක කම්කටලු මැද, තම වහල් සේවක ෆ්‍රයිඩේ සමග දූපතේ කුඩා අට්ටාලයක ජීවත් වූ මිස්ටර් කෲසෝ දූපතෙන් පිටකල කල්හි නොබෝ දිනකින් මියයයි. තම පියා සොයා එන ඇන්ටනීටද ඇත්තේ තම පියා දූපතෙන් පිටත් කරගෙන යෑමේ අවශ්‍යතාවයකි. නමුත්, “යථාර්තය” නැමැති කල්පිතයෙන් බැටකා බත්තලංගුණ්ඩුවට එන ඇන්ටනී එයටම අවශෝෂණය වී එහිම ‍ඓයින්ද්‍රීය කොටසක් බවට පත්වෙයි; බත්තලංගුණ්ඩුවේ මහා ආඛ්‍යානය කේන්ද්‍රගත කරයි.

බත්තලංගුණ්ඩුව යනු ලිංගිකත්වය මානුෂකරනය කෙරුනු අවකාශයකි. එහිදී, “ලිංගික එක්වීම” යන්න අවශ්‍යයෙන්ම නිර්ව්‍යාජ “මනුෂ්‍ය වීමේ හේතුවෙන්” පවතින ක්‍රියාවලියක එක් පථයක් ලෙස දක්වා ඇත. වෙඩිවර්ධනගේ මෙම නිරූපනය තුල — “යථාවාදී” දෘෂ්ටියකින් බලන්නේ නම් — ගැටලු රැසක ඌනපූර්ණය නිධාන වී ඇතත්, මෙම ලියමනෙහි එවැනි දැක්මක් අවශ්‍යයෙන්ම ස්ථානගත නොකෙරෙන හෙයින් ඒ පිලිබද ඇගයුමක් කෙරෙන්නේ නැත. නමුත්, නැවත අගනුවර බලා යෑමේ අරමුණකින්ම බත්තලංගුණ්ඩුවට එන ඇන්ටනී එහි රදවා ගැනීමට යත් දරන ග්‍රේටා හා ඔඩිසි හී සර්සී අතර කම්පනයක් සලකුනු කල යුතුය. එමෙන්ම, වෙඩිවර්ධන විසින් වියවෙන ඒ “පරමාදර්ශී නිර්ව්‍යාජ ලිංගිකත්වය” මෙන්ම එම ලිංගිකත්වයේ “භාෂාව” ද පරම මනුෂ්‍ය සහ-සම්බන්ධතාවයක හා එවැන්නක පමණක්ම කැඩපතක් ලෙස දක්වා ඇත. මෙය තරමින් ස්ථූල ලිලී නෝනාගේ සිට, රූමත් ආනා මරියා හා ඇන්ටනී දක්වා ම පොදු වූවකි. බත්තලංගුණ්ඩුවේ ගත කරන මුල් දින රාත්‍රියේම ඇන්ටනී ආන මරියාගේ වාඩිය වෙත ඇදෙන්නේ එය ස්වභාවිකවම “වියයුතු” දෙය නිසයි. ශිෂ්ටාචාරයේ කල්පිතය තුල “සිදුවිය යුතු” කෝලකම්, බෑ-එපා කීම් කිසිවක් සිදුනොවේ. රාත්‍රියේ සිදුවන්න දහවල සිදුවූ සියලු බැලුම්-ඇහුලුම් වල දිගුවක් පමණක්ම ලෙස ක්‍රියාවට නැගේ. ෆෝහි සූසන් බාර්ට්න් එක් වරක මිස්ටර් කෲසෝට තම ශරීරය වින්දනය කරගැනීමට සලස්වයි. මෙය (සූසන්ට අනුව) කෲසෝ ගැන අනුකම්පාවෙන් (මමත්වයෙන් තොරව) ලබා දුන් අවසරයකි. එසේම, නැවේ කපිතාන් ද “ඔහුගේ කාමරයේදී වීදුරුවක් හිස් කරන්නට” සූසන්ට ආරාධනා කරත් ඇය ඊට එකග වන්නේ නැත. මෙම “පරමාදර්ශී” අවස්ථාවන් හා ඔඩිසි සංකලනය වන්නේ තම පුරුෂයා ට්‍රෝයි දේශයේ යුධ බිමේ සිට මාලිගය වෙත නැවත එනතුරු වසර විස්සක් තිස්සේ “පතිවත” රැකි පෙනෙලපී හරහාය. මෙම පෙනෙලපී ගේ විපරිතයක් ජොයිස්ගේයුලිසිස් හි මොලී බ්ලූම් මත ප්‍රතිවර්තිතයි. මොලී සිය පෙම්වතුන් විසි අටදෙනෙකු සිහි කොට ස්ව‍යං-රමණයක යෙදෙන එම නවකතාවේ අවසන් කොටස මේ සදහා හොදම උදාහරණයයි.

-විහඟ පෙරේරා
https://slwakes.wordpress.com/

බත්තලංගුණ්ඩුව…. අවසාන බෝල්කන් ටැංගෝ ව සහ මම

By Dorothea Tanning
By Dorothea Tanning

බොරිස් කොවැක් ‘අවසාන බෝල්කන් ටැන්ගෝව’ නමින් අපූරු සංගීත සංග්‍රහයක් කළේය. එය හමු වූ දා සිට මා සිතේ නටන්න වූ ආසාව දළු ලා වැඩෙයි. ‘කර්ලොස් සවුරා’ ගේ ‘ටැංගෝ’ චිත්‍රපටියේ එන අති ප්‍රබල ටැංගෝ නැටුම් කිහිපය මගින් අවසාන බෝල්කන් ටැන්ගෝව මනස් රූපණය කිරීමට උත්සාහ ගතිමි. බොරිස් අතින් ‘ශෝකී නම් ඇස්ටරොයිඩය පතිත වීමට පෙර’ කෙරෙන ටැංගෝ ආරාධනාව පැහැර හැරිය නොහැකිය.

ටැංගෝවක් මා මුලින්ම දුටුවේ ‘ස්ත්‍රියකගේ පුසුඹ’ නම් අපූරු චිත්‍රපටියෙනි. එහි ‘අල් පචිනෝ’ නම් අන්ධ කල්නල් ලපැටි සොඳුරු යුවතියක හා මිනිත්තු එක හමාරක ටැංගෝ නර්තනයක යෙදේ.

මංජුල; බොරිස් කොවැක් මෙන්ම හා ඊට වඩා වෙනස් ව වචන හා රූපක අතර අපූරු සීරු මාරුවක යෙදෙයි. ටෙනර් (උච්ච ) සැක්සපෝන දෙකකුත්, වයලීනයකුත්, ඇකොර්ඩියනයකුත් අතර පැයකට වඩා සීරු මාරු අල්ලයි. බැඳුණු ඇඟිලි, අඩි උස පාවහන්, වේගයෙන් හා ඉතා සෙමින් එහා මෙහා වන ශක්තිමත් ජංඝා යුග්මයන් මනසෙහි ඇතිවී වෙනස් වී නැතිවී යයි.

බත්තලංගුණ්ඩුවේ මුල් කොටස ‘ජුලියා සඳහා විලම්බය’ නම් සංගීත ඛණ්ඩය මෙනි. සෙමෙන් හා ස්ථිරව කොදෙව්වක වෙසෙන විප්‍රවාසී පියෙකු හා පුතෙකු අතර ඇති තානමක් ගොඩ නඟයි. මංජුල ඒ සඳහා අලංකාරික බහුල ප්‍රබල බසක් යොදා ගනී. (මංජුල මට මෙහිදී සිහි කරන්නේ ‘ග්‍රෙගරි ඩේවිඩ් රොබට්’ ගේ ශාන්තාරාම් හි දෙවනි පරිච්ඡෙදයයි )

මංජුල සූදානම් වන්නේ ‘අසීරු’ වාදනයක යෙදීමට හෝ ‘අසීරුවක්’ නැටීමට හෝ බව මම සිහිනෙනුදු නොසිතීම්. නමුත් ඔහු ‘පිය පුතු සබඳතා, ප්‍රෙමාලිංගන, සංකීර්ණ ලාලසාවන්, පුද්ගල දෘෂ්ඨින්’ පාවිච්චි කොට ටැප් නැටුම් අලංකාරයක් එකතු කරයි. (මංජුල චිකාගෝ හි ‘රිචර්ඩ් ජිය’ නටන ටැප් නැටුම සිහි කරයි ). නැතහොත් ‘ස්ට්‍රික්ට්ලි බෝල් රූම්’ හි එක තැනෙක බෝල් රූම් අතර නැටවෙන ‘ෆ්ලැමෙන්කෝ’ අඩි කිහිපය සිහි කරවයි.

මට ඇස් කෙවිල්ලක් හැදෙයි. කතා කරුවෙකු වෙහෙස වී සොයා තනා නිමහම් කළ වචන, වාක්‍යාංශ, වාක්‍ය, ඡේද, පරිච්ඡේද කියවන විට මට ඇස් කෙවිල්ල හැදේ.

11/11/2009
උදේ කෝච්චියේ එනවිට මංජුල කියවමින් ආමි. බොරිස් කොවැක් ගේ Last Balkan Tango පසුබිම් වාදනයට මංජුල කියවීම ඇස් කෙවෙන වැඩකි. බොරිස් එහි සංගීත ඛණ්ඩයෙන් ඛණ්ඩයට සැක්සෆෝන දෙකක් හා ඇකෝර්ඩියනයක් සීරුමාරු කරයි, බත්තලංගුණ්ඩුවේ පිටුවෙන් පිටුව මංජුල සිය ආඛ්යාන ශෛලිය සීරු මාරු කරයි. හැත්තෑවෙනි පිටුවෙන් කෝච්චිය මරදානට සේන්දු විය. මගේ ඇස් කෙවීම පොත කියවා ඉවරවෙන තෙක් ඉවර නොවනු ඇත!

ජීව ගුණයෙන් පිරි ඉතිරී යන මංජුලගේ කතාන්දරය නෙත් කෙවෙණි බොඳ කරයි. හැත්තෑවෙනි පිටුවෙන් මරදානට ආ කෝච්චිය මට ඇස් වසා ගන්නට බල කළේය. මංජුලගේ කවි ගුණය ඔහුගේ ගද්‍යය අතරින් ද ඉපිලී පැමිණෙයි. ඔහුගේ පාත්‍ර වර්ගයා මුහුදු ‘පකුල්’ තාලයට රංගනයක නිරත වෙති. ඒ අතරින් මට සොවෙටො තත් චතුර්ථ යේ හඬ ඇසෙයි. මෙකී පසුබිමෙන් පුපුරණ ගිටාරයක තාලයට ඇන්ටනී, ඉතා දැඩිව පුහුණු කළ ‘ෆ්ලැමෙන්කෝ’ රංගනයක යොදවයි. ඇන්ටනී ගේ පා ගැටෙන ගැටෙන තන්හී වැලි කැට කුඩා රැළි සාදමින් විසිර යයි. මංජුල ප්‍රතිභා කවියෙකි. ඔහු ‘අදම’ කවියෙකි. දමනය නොවූ මුරණ්ඩු කමක් ඔහුගෙන් පිට ව එයි. ඔහු  විෂය ලෝකය ඉක්මවා යන මනුස්ස උදාරත්වය ඇන්ටනී-ඇඩ්ඩින් ද්විත්වය, යුගල බන්ධනිය අතරින් මවයි.

12/11/2009
අද කෝච්චියේ එන විට මංජුල ‘රෙගේ’ කළෙමි. සොවෙටො තත් චතුර්ථය (Soweto String Quartet) මංජුලට අපූරු පසුබිම් වාදනයක් සැපයීය. රොඩ්නි ජොන්ක්ලාස් ත්‍රාස යාත්රිකයෙකි. ‘වාලම්පුරි’ය ට පසු මන්නාරම් බොක්ක පොතකට එන්නේ මංජුලගෙනි. මංජුලගේ පොත ත්‍රාස යාත්රාවකි. මංජුල ‘අධම’ කවියෙකි. බත්තලංගුණ්ඩුවේ පිටුවෙන් පිටුවට ඔහු එය සනාථ කරයි. එය කෙනෙක් ඊරිසියාවෙන් පිස්සු වැට්ටීමට සමත්ය.

අද 144 රාජගිරියට එනවිට බත්තලංගුණ්ඩුව ඇත්තේ නවගත්තේගමට වයඹින් මහ මුහුදේ බව මට සිහි විය!

-හෂිත අබේවර්ධන

http://rasawathiya.blogspot.com/

 

බත්තලංගුණ්ඩුව; කාව්‍යමයත්වය සහ නවකතාමයත්වය අතර අසිරිමත් බන්ධනයක්

 

by Manjula Wediwardena
by Manjula Wediwardena

ලේඛකයෙකුගේ ප්‍රථම නවකතාවක් මංජුල වෙඩිවර්ධනගේ බත්තලංගුණ්ඩුව  තරම් විශිෂ්ට වන්නේ ඉතා කලාතුරකිනි. කවර බසකින් වුව එවැනි ප්‍රථම නවකතාවක් කියවීමට ලැබීම ඉතා දුර්ලභ දෙයකි. කවියෙක් සහ කෙටි නාට්‍ය රචකයෙක් ලෙස සාහිත්‍ය ජීවිතය ඇරඹූ වෙඩිවර්ධන නවකතා මාධ්‍ය වෙත එන්නේ අර මාධ්‍ය දෙකේම වූ ශිල්පීය අංග ද රැගෙන ය යන කාරණය සඟවන්නේ නැත. ඔහු ඒ අංග, නවකතාවක කතාව ඉදිරිපත් කරන ආකර්ෂණීය ශෛලියක් නිපදවීම සඳහා භාවිතා කරයි.

සිංහල නවකතාවට අලුත් බසක් නිපදවීම අලුත් පරම්පරාවේ නවකතාකරුවන්ට ඇති අභියෝගයකි. සාම්ප්‍රදායික යථාර්ථවාදී ආඛ්‍යාන ක්‍රමය ඉක්මවා ගත නොහැකි අපගේ නවකතාකරුවන් තමන්ට කීමට ඇති දේ ප්‍රකාශ කිරීම සඳහා සරල වූද ප්‍රකාශනීය වූද ක්‍රම අත්හදා බලන්නේ කලාතුරකිනි. අජිත් තිලකසේන, සිරි ගුණසිංහ, සයිමන් නවගත්තේගම, ටෙනිසන් පෙරේරා යන අයගේ සාහිත්‍ය ජීවිත වල ඇති “තරුණකම” තරුණ ලේඛකයන්ට නැත්තේ මන්ද යන්න ගැටළු සහගත කාරණයකි.  තමන්ගේ අත්හදා බැලීම්  හරි ගියා නොගියා මේ ලේඛකයෝ නිරන්තරයෙන් වෙනස් වෙන්නට තැත් කළහ. පශ්චාත්- යථාර්ථවාදී  නවකතාව සඳහා බසක් නිර්මාණය කිරීම කළ හැක්කේ ඒ ඒ නවකතාකරුවන් තමන්ගේ කතාව කියන අලුත් tissa abe roots-bබස සෙවීමට වෙහෙස වුවහොත් පමණි.  තිස්ස අබේසේකර සිය නවතම ඉංග්‍රීසී පොත වන රූට්ස්, රිෆ්ලෙක්ශන්ස් ඇන්ඩ් රෙමිනිසන්ස් කෘතියේ කිහිප තැනකම මෙම ගැටළුව ගැන සඳහන් කරයි. සිංහල යථාර්ථවාදී නවකතාව සඳහා බසක් නිර්මාණය කිරීමට වික්‍රමසිංහට හැකි වුවද ඉන් පසු  කිසිම ලේඛකයෙකුට ඔහු ඉක්මවා යන්නට නොපුළුවන් වූ බව අබේසේකර කියයි. වික්‍රමසිංහගේ විරාගය සිංහල නවකතා එතෙක් මෙතෙක් ගමන් කර ඇති උපරිමය බව ඔහු කියයි. මෙය සත්‍යයෙන් එතරම් ඈත් වූවක් නොවන බව මැදහත් සිතින් බලන කල පෙනේ. විරාගය වැනි අමරණීය නවකතාවක් තාමත් ලියැවී නැත. එහෙත් අබේසේකරගේ නිගමනයෙහි ඇති අඩුව නම් වික්‍රමසිංහ කතා කලාව ඉක්මවා යාමට තැත් කළ බොහෝ අය ගැන වචනයක්වත් සඳහන් නොකිරීමයි. වෙඩිවර්ධන ගේ නවකතාවේ ඉදිරිපත් කිරීමේ විලාසය නැවත නැවත යෙදීමෙන් රසහීන වූ, ස්තිතික, නොවෙනස් යථාර්ථවාදී නවකතා බසට අලුත් බවක් එක් කරයි.

නවකතාව නමැති මාධ්‍ය ළගන්නා ලෙස හැසිර වීමට කවිකම්වලින් ඉමහත් ප්‍රයෝජන ලැබිය හැකි බව නොරහසකි. කවියන්ද වන ලේඛකයන් ලියන නවකතා කියවීම සමහර විට  අපූරු අත්දැකීමක් වන්නේ එහෙයිනි. මයිකල් ඔන්ඩච්චි ගේ නවකතා සියල්ලම පාහේ දිගු කවි වැන්න. ඔහුගේ අනිල්ස් ගෝස්ට් නවකතාව අනවශ්‍ය තරම් කාව්‍යමය යැයි වරක් බ්‍රිතාන්‍ය විචාරකයෙක් මැසිවිලි කීය. බ්‍රිතාන්‍ය ලේඛිකා ඒ. එස්. බයාට් ලියන නවකතා බෙහෙවින්ම කාව්‍යමයය. ඇගේ පොසෙශන්  නවකතාව වඩාත් කාව්‍යාත්මක වන්නේ එය කවියන් ගැන ලියන ලද නවකතාවක් නිසාය. එවැනි නවකතාවක් කවිකම් නැතිව ලියන්නට බැරිය. එහි බයාට් ලියන කවි වෙන් කරගත් කල ද කවි වැන්න. ඒවා කෙතරම් හොඳ කවි ද යත් නවකාවේ කවි ගතිය වැඩි යැයි කෙනෙකුට සිතෙන්නට පුූළුවන. තවත් බ්‍රිතාන්‍ය ලේඛිකාවක පෙනිලොපී ෆිටස්ජෙටලඩ්ගේ බ්ලූ ෆ්ලවර්  නවකතාවද ජර්මානු කවියෙකු සහ දාර්ශනිකයෙකු ගේ සැබෑ ජීවිතය පදනම් කර ගත් මනරම් නවකතාවකි. එහි ගද්‍යය ද සියුම් කාව්‍යමය බවකින් යුක්ත වුවද එය නවකතාමය බවට මැනවින් හික්මවා ඇත. බොරිස් පැස්ටර්නැක්ගේ ඩොක්ටර් ශිවාගෝ නවකතාවද කවියෙකු  ප්‍රධාන චරිතය කර ගත්තකි. එහෙත් එහි ගද්‍ය තුළ කිසිම තැනක කවි ඇතුළත් නොවේ. එ් වෙනුවට පැස්ටර්නැක් කරන්නේ ශිවාගෝගේ කවි නවකතාව අගට උපග්‍රන්ථයක් ලෙස එක් කිරීමයි. පසු කලෙක එ් කවි වෙනම පොතක් ලෙසද පළ විය. බයාට්ගේ පොසෙශන්  නවකතාවේ මෙන් ශිවාගෝ ගේ කවි නවකතාවේ ආඛ්‍යානයට දැඩි සේ සම්බන්ධ නොවන නිසා එසේ වෙන් කරන්නට පුළුවන. සරච්චන්ද්‍ර ගේ විලාසිනියකගේ ප්‍රේමය චම්පු කාව්‍යයක් නිසා එහි කවි ආඛ්‍යාන ව්‍යූහයේද කොටසකි. එහිදී කවිය හැඟීම්, අන්තර් භාෂණ ප්‍රකාශ කිරීමටත්, පණිවුඩ යැවීමටත් යොදා ගන්නා නිසා ආඛ්‍යානය සමග ඓන්ද්‍රිය ලෙස බද්ධ වී තිබේ. කවියා, කවිකම් සහ කවියන් කේන්ද්‍රිය කාරණා වන තවත් නවකතාවකි, LifeIsElsewhereකුන්දේරා ගේ ලයිෆ් ඉස් එලස්වෙයාර්  කෘතිය. මෙය මංජුල වෙඩිවර්ධන ට ආවේශය සපයන කෘතියක් බව බත්තලංගුණ්ඩුවේ ප්‍රකාශිතය. වෙඩිවර්ධන ගේ නවකතාව කියවන කල කාව්‍යමයත්වය සහ නවකතාමයත්වය නොයෙක් ආකාරයෙන් මිශ්‍ර කරන හෝ සම්බන්ධ කරන කෘති මාලාවක් නිතැතින් සිහි වේ. ඔහු සිය කෘතියෙහි බස හසුරුවන ආකාරය අතින් එය යටකී විශිෂ්ට කෘති හා සන්සන්දනය කළ යුතු තරම් උසස් ලක්ෂණ පළ කරයි.

හොඳ නවකතාව නවකතා බස අලුත් කරන සුළු ශෛලියක් නිපදවයි. වෙඩිවර්ධන ගේ නවකතාව සිංහල නවකතා බස අලුත් කරයි. නවකතාවක් කියන සැටි කෙතරම් සුන්දර වන්නට පුළුවන්ද යන්න පෙන්නා දෙයි. මෑත කාලයේ නොයෙක් දෙනා නවකතාකරණයට එළඹිය ද නවකතා ලියන සැටි වෙත අලුත් බවක් ගෙන දෙන්නට සමත් වූයේ ටික දෙනෙකි. අනුලා විජයරත්න මැණිකේ ගේ සුජාත පුත්‍රයින්ගේ කතා වස්තුව,  සුනේත්‍රා රාජකරුණානායක ගේ සඳුන් ගිර ගිනි ගනියි,  වීරපොකුණේ උපරතන හිමි ගේ පැලෑනෙන් වෙන් කළ ඉඩම්,  ගුණසිරි ජයවර්ධන ගේ සින්නදොරේගේ පුංචි ලෝකය,  ටෙනිසන් පෙරේරාගේ සක්වල දඩයම, සේපාලි මායාදුන්නේ ගේ දෙබෙදුම  යනාදී නවකතා ඒවා පළ වූ අවදියේ රසිකයන් ආකර්ෂණය කළේ ඒවා කියන කථන ක්‍රමයේ, ශෛලියේ අපූර්වතාව නිසාය. එහෙත් මේ නවකතාවලින් සිංහල නවකතා බස අලුත් කිරීමට දුන් පොරොන්දුව කඩ වී ගොස් ඇත්තේ ඇයි? ශෛලියෙන් පමණක් අන්තර්ගතමය ගැඹුරක් ලබා ගත නොහැකි නිසාද? මිනිස් ජීවිතය සහ සමාජය පුළුල් සහ සංකීර්ණ පඨිතයක් ලෙස ගැඹුරු චින්තා සහගත ලෙස නවකතා මාධ්‍ය භාවිතා කරන්නට අප අසමත් වී ඇති බවද? ඇතැම් සිංහල ලේඛකයන් හොඳින් ලිව්වද සිතන්නේ සහ කල්පනාවේ යෙදෙන්නේ ඉතා සරලවය. මෙම අර්බුදයට වෙඩිවර්ධන මුහුණ දෙන්නේ කෙසේද යන ප්‍රශ්නය මම මෙම රචනයේදී මගහැර යමි. ඉතා අලුත් නවකතාවක් වන එය බරපතල පාඨකයන් අතර කලක් කියවනු ලැබුණ පසු ඊට උත්තරද මතු වනු ඇත. එහෙත් දැනට මට නිසැකව කිවහැකි දෙයක් තිබේඃ  ශෛලිය සහ අන්තර්ගතය අතර මනා පෑහීම අතින් වෙඩිවර්ධන ගේ කෘතිය අද්විතීය වෙයි.

dr schivagoවෙඩිවර්ධන ගෙ නවකතාව අන්තර්ගතය අතින් අල්පය. කාලමය, අවකාශමය සහ විෂයමය වශයෙන් එහි අන්තර්ගතය අල්පය. ඒ නිසාම එම නවකතාවට ප්‍රාණය දෙන ප්‍රාණ සංරචකය එහි ශෛලියයි. නවකතාකරුවා නිපදවන නව බසයි. සාමාන්‍යයෙන් කෙටි කාලයක්, අවකාශයක් සහ කුඩා ජීවිත ප්‍රදේශයක් විෂය කරගන්නා නවකතා පාඨක අවධානය රඳවා ගැනීමටත්, නවකතාවක් ලෙස පූර්ණත්වය ලබා ගැනීමටත් එ්වායෙහි ඉදිරිපත් කිරීමේ විලාසය මත රඳා පවතී. එසේ විශිෂ්ටත්වයට පත් නවකතා කෙතෙකුත් ඇත. විලියම් ෆෝක්නර් ගේ ඈස් අයි ලේ ඩයිං, ජේ.ඩී. සැලින්ජර් ගේ කැචර් ඉන් ද රයි සහ ෆ්‍රැනී ඇන්ඩ් සුයී, උපමන්යු චැචර්ජි ගේ ඉංග්ලිශ් ඕගස්ට්, ආදී නවකතා කාල-අවකාශමය වශයෙන් කුඩා නවකතා විශිෂ්ටත්වය අත් කරගන්නේ ඒවායෙහි ශෛලිය සහ ඉදිරිපත් කිරීම නිසාය. කරමසෝ සහෝදරයෝ, ඇනා කැරනිනා, යුද්ධය හා සාමය ආදී නවකතාවලට කාල-අවකාශමය වශයෙන්,  විෂයමය වශයෙන් දැවැන්ත නවකතා ඒවායෙහි ශෛලියෙහි, ඉදිරිපත් කිරීමෙහි අමුතු විශේෂත්වයක්  නැතිව විශිෂ්ටත්වය අත් කරගත හැකිය.

ලංකාවේ වයඹ දිග කුඩා දූපතක් වන බත්තලංගුණ්ඩුවේ, උප සංස්කෘතික ප්‍රජාවක් ගැන කෙටි කාලයක් තුළ දිවෙන කතාවක් කියන වෙඩිවර්ධන ගෙ නවකතාවට එම වස්තු විෂයෙහි වන අලුත් possessionbyasbyattබව නිසාම අපූර්වත්වය ද ලැබුණත්, සාපේක්ෂ වශයෙන් සීමිත වස්තු විෂයක් පොදු පාඨකයාගේ සිත් ගන්නා ලෙස ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය භාෂාවක් සහ ශෛලියක් සපයා ගැනීමේ අභියෝගයට මුහුණ දෙයි. කර්තෘ මෙම අභියෝගය ජයගන්නා ආකාරය ඉතා සිත් ගන්නා සුළුය. මෙම නව බස නිර්මාණය කිරීමේදී ඔහුට ඇති අභියෝගය  සංකීර්ණ එකකි. ලංකාවේ මහා සංස්කෘතික, එනම් සිංහල බෞද්ධ සංස්කෘතියෙන් සේම, ප්‍රධාන ධාරාවේ සිංහල ක්‍රිස්තියානි සංස්කෘතියෙන් ද තීරණාත්මකව වෙනස් මෙම කුඩා කතෝලික  ධීවර ප්‍රජාව සිංහල බසින් නවකතා කියවන අය හමුවේ විස්වසනීය ලෙස සහ වටහා ගත හැකි ලෙස ඉදිරිපත් කරන්නේ කෙසේද යන්න එක අභියෝගයකි. සිංහල බස ප්‍රධාන වශයෙන් බෞද්ධ සංස්කෘතියෙහි නිෂ්පාදනයක් නිසා සිංහලයෙහි එන සෑම සංකීර්ණ වචනයක්ම පාහේ බොහෝ විට බෞද්ධ ධ්වනි නගයි. එසේම සිංහලයෙන් නවකතා කියවන බහුතරය බෞද්ධයෝ වෙති. අනෙක් අතට සාමාන්‍ය සිංහල පාඨකයා අතර අතිශයින් උප සංස්කෘතික ධීවර ප්‍රජාවන්ගේ සංස්කෘතික ලක්‍ෂණ ගැන ඇත්තේ ඉතා අල්ප අවබෝධයකි. ඇතැම් විට ඒ අනවබෝධය අර අභ්‍යන්තරයෙහි වසන සිංහලයාගේ ආඩම්බරයටද හේතු වෙයි.

වෙඩිවර්ධන මුහුණ දෙන අභියෝගයේ අනෙක් පැත්ත ඊටත් වැඩි සංකීර්ණය. ඒ මෙයයි. මෙම නවකතාවේ ප්‍රධාන චරිතය, එනම් anils ghostකථක චරිතය කොළඹ සිට සිය පියා සොයා බත්තලංගුණ්ඩුවට යන්නේ පශ්චාත් නූතන ලෝක තත්වයට අනාවරණය වූ චරිතයක් ලෙස, මිලාන් කුන්දේරාගේ ජීවිතය අන් තැනක කෘතියට රැගෙනය. බත්තලංගුණ්ඩුව දූපත සහ එහි ජනයා අප වෙත ඉදිරිපත් කෙරෙන්නේ මෙම චරිතය ඔස්සේය. ඒ නිසා රචකයා මුහුණ දෙන ශෛලිමය අභියෝගය තවත් සංකීර්ණ වෙයි බත්තලංගුණ්ඩුවේ නූගත් ධීවර ප්‍රජාවගේ ලෝකයත් පශ්චාත් නූතන නාගරික තරුණයාගේ ලෝකයත් දෙකම එකවර දරා සිටිය හැකි ශෛලියක් නිපද විය යුතුය. මෙම කථක-චරිතය කවියෙකු ද වන බැවින් එම ශෛලිය කාව්‍යමයත්වයට පහසුකම් සපයන එකක්ද විය යුතුය.

වෙඩිවර්ධන ජයගන්නේ මේ සංකීර්ණ අභියෝගයයි. ඇතැම් විට අති-කාව්‍යත්වය සහ අති නාටකීය සංවාද නවකතාමයත්වය මරා දමන අවස්ථා ඇතත් සමස්තයක් වශයෙන් ඔහුගේ ශෛලියට පශ්චාත් නූතන ඇන්ටනී (කථකයා)ටත්, බත්තලංගුණ්ඩුව වාසීන්ටත් ජීවය දීමට මෙම ශෛලියට පුළුවන. ධීවරයන්ගේ මුහුද ගැන ඥානය එහි ඥානවිභාමය පදනම් සුණුවිසුණු නොකර නවකතා ව්‍යූහය වෙත ඇද ගැනීමට වෙඩිවර්ධන හරි අපූරු දක්ෂයෙකි. ඒ නිසා මා මුහුද ගැන සිංහලයෙන් කියවා ඇති ඉතාම රසවත් විස්තර ධීවර චරිතවල මුවින් නවකතාවට එයි.

නවකතාවක චරිත පවතින්නේ භාෂාව මත වුවද, චරිත නිරූපණය බෙහෙවින්ම කතා වින්‍යාසයට අයිති කාරියකි. චරිත වල සංකීර්ණතා මතු වන්නේ යම් යම් සිද්ධි වලට ඒ ඒ චරිත සම්බන්ධ වන ආකාරය මතය. බත්තලංගුණ්ඩුව නවකතාවේ ඉතා සිත් ගන්නා ලෙස අප හමුවේ ඉදිරිපත් වන්නේ වෙඩිවර්ධන ගේ ශෛලිය තුළිනි. බත්තලංගුණ්ඩුව වාසීන්ගේ බස වෙඩිවර්ධන  සිය නවකතා බස වෙත උකහා ගන්නා ආකාරය නිසා වැකියකින් දෙකකින්, කෙටි සංවාදයකින් සිත් ගන්නා චරිත මතු වී එයි. දැවැන්ත නාටකීය සිදුවීම් වලින් තොර මෙම නවකතාවේදී අපූර්ව චරිත, අපූර්ව ශෛලියක් ඔස්සේ නිරූපණය කිරීම වෙඩිවර්ධන ගේ ප්‍රතිභාවට සාක්ෂියකි. මෙම අපූරු ධීවර චරිත සමූහය ළගන්නා ලෙස අප හමුවේ මතු වන්නේ, තමන් නිරූපණය කරන ජනසමාජය වෙත වෙඩිවර්ධන දක්වන අවංක ආදරය නිසාය. එහෙයින් ඔහු කතාවේ ඇන්ටනී සේම ඒ ජනයා සමග අව්‍යාජ ලෙසම මිශ්‍රවන රචකයෙකි. ඔහු ඒ ජනයා වෙතට කොළඹ සිට එන සංචාරකයෙක් නොවේ. ඇන්ටනී කොළඹ සිට එන ප්‍රභූවරයෙකු සේ බත්තලංගුණ්ඩුවේ ජනයාගෙන් ඈත්ව ඔවුන්ගේ දුරස්ථ නිරීක්ෂකයා ලෙස ජීවත් නොවී ඔවුන් හා කයි බොයි, ඔවුන් හා ලිංගික සම්බන්ධතා පවත්වයි. ඒ සියලු කාරණා වලදී ඔහු අනුයන ආචාර ධාර්මික තර්කනය ඔහු කොළඹ සිට ගෙන එන එකක් නොවේ. බත්තලංගුණ්ඩුවේ වධ අචාරධාර්මික තර්කනයකි. කෑම ද, බීම ද, ලිංගිකත්වය ද පියා සහ පුතා බෙදා ගෙන රස විඳින, බෙදා ගෙන ජීවත් වන ආකාරය නවකතාව තුළ නිරූපණය වන්නේ සිත් ගන්නා විස්වසනීයත්වයකින් යුක්තවය. මෙම බත්තලංගුණ්ඩුව සදාචාරවාදී  ඇසට පෙනිය හැක්කේ පාපයේ දිවයිනක් ලෙසය. එහෙත් මෙම නවකතාවේ ආදර්ශ පාඨකයා, එනම් ඉන් අපේක්ෂා කෙරෙන පාඨකයා නම් මෙම දූපත අහිමි වූ අහිංසකත්වයේ දිවයිනක් ලෙසය. මෙම නවකතා හොඳින් විිඳිය හැකි තරම් ගතානුගතිකත්වයෙන් මිදුණ පාඨකයාට එහි  ධීවරයන් හා හැලී අරක්කු බොන්නට ද, ඔවුන්ගේ මාළු හොදි කන්නට ද, ඔවුන් සේම නිදහසේ පෙම් කරන්නට ද ආසාවක් ඇති වීම පුදුමයක් නොවේ. එසේ වන්නේ තම නවකතාව කිව හැකි හොඳම ශෛලිය වෙඩිවර්ධන ට හසු වී ඇති නිසාය.

මෙම දූපතේ අරුම පුදුම අව්‍යාජ්‍යයත්වය මෙම නවකතාව මත කෙතරම් හොඳින් මතු වී ඇත්ද යත් ඇතැම් විට එය නවකතාවේ සමබරතාව නසන අද්භුතත්වය වෙත යන්නට ඔන්න මෙන්න තරම් වෙයි.

51rVYKLHHjL._AC_UL320_SR198,320_සිංහලකම ද, බෞද්ධකම ද, සිංහල ජාතිය ද උදේ හවා තොරොම්බල් කරන ගිහි පැවිදි ටෙලි බණකාරයන්ගේ කෑකෝ ගැසීම් මැද සිංහල සංස්කෘතිය යැයි ඒ අය කියන “නිර්මල සංස්කෘතිය” අධි නිශ්චය වී ඇත. අප බෞද්ධ බව ද, සිංහල බව ද නිරන්තරයෙන් අපට මතක් කර දෙනු ලැබේ. මෙවන් පසුබිමක බත්තලංගුණ්ඩුව සිංහල සංස්කෘතියෙහි තවත් සුන්දර මුහුණතක් පෙන්වයි. කතෝලික දහමිනුත්, ධීවර වෘත්තියෙනුත්, මුහුද නම් විස්මිත ලෝකය හා සසහවාසයෙනුත් සැදුණ සංස්කෘතිය ද, සිංහල සංස්කෘතියටම අයිති විය යුතුය. මෙම දූපතෙහි ඇතැම් සිංහලයන් කතා කරන්නේ දෙමළ බස පමණි. මේ සංස්කෘතිය දූපතකට සීමා වී ඇත, එහෙත් එය මිලාන් කුන්දේරාට ද විවෘතය. සංස්කෘතින් කිසිවක් නිර්මලවත් අනිර්මලවත් නැති බව මෙම දූපතෙහි සංස්කෘති පවතින සැටියෙනුත්, එය මිශ්‍ර වන සැටියෙනුත් පෙනේ. ලංකාවේ බහු සංස්කෘතිකවත් බව ළගන්නා ලෙස මතක් කරදීම මෙම නවකතාවෙන් කෙරෙන තවත් වැදගත් දෙයකි. මෙය මෙම නවකතාවෙන් ප්‍රකටව මතු කරගන්නට තිබුණ තේමාත්මක මානයකි.

මෙම දූපතේ උප-සංස්කෘතික ලෝකය ගැන ධාරණාවාදී සාහිත්යික චිත්‍රයක් ඇඳීමේ කාර්යෙහි රචකයාම වශී වී යාම මෙම නවකතාවේ අන්තර්ගතය සහ තේමාත්මක අදහස් වෙත අඩු අවධානයක් යොමු කිරීමට හේතු වී ඇති ද යන ප්‍රශ්නය ඇති  වෙයි. ඇන්ටනි සිය පියා සොයා එන ගමන, ඔහු හමු වීම, ආපසු ඔහු හැරයාම හො නොයෑම නවකතාවේ අන්තර්ගත කතා පුවතයි. මෙම ගමනෙහි, සොයා යාමෙහි, හමුවෙහි සහ පියාගේ ලිංගික සහකාරිය ආක්‍රමණය කිරීමෙහි ඇති තේමාත්මක අර්ථ මොනවාද, මේ කතා පුවත සංකීර්ණ සමස්තයක් ලෙස ගොඩ නගන්නේ කෙසේද යන ප්‍රශ්න ගැන රචකයා යොමන්නේ අඩු අවධානයකි. තම බිරිඳගේ සහ මවගේ කුණු වෙමින් පවතින මළ කඳ වැලලීමට එය රැගෙන හැතැම්ම සිය ගාණක් ඈත ඇගේ මව් ගමට යන සැමියා සහ පුත්තු ෆෝලක්නර්ගේ ඈස් අයි ලේ ඩයිං නවකතාවට දෙන්නේ මිත්‍යා කතාවක ගැඹුරකි. එය සත්‍ය සොයා ඉඩිපස් යන ගමන ද, ආදරය සෙයා යුලිසිස් යන ගමන ද සිහි කරයි. සිය පියා සොයා ඇන්ටනී යන ගමන ද, පියා බත්තලංගුණ්ඩුවට පසු බැස සිටීමද යන කතා පුවතේ කොටස් යම් තේමාත්මක සමස්තයක් වෙත එක් කළ නොහැකිද? මේ ප්‍රශ්නය මා සිත ඇති කළද බත්තලංගුණ්ඩුව  මෑතකදී මා කිය වූ අපූරු නවකතාවක් බව ලියන්නේ හරිම සතුටිනි.

– ආචාර්ය ලියනගේ අමරකීර්ති

2008 ජූලි

සිතුවිලි

 

by Dan Quintana

සිතුවිලි අහුරකට අත තියා
වළාකුළු වෙන්නැයි පවසමි

දැන් මගේ ඒ සිතුවිලි
ආකාශයේ ඇවිද යයි

අහසේ පාවෙන
මගේම සිතුවිල්ලක් බලා මා දෙස
කියයි මේ ලෙස හිමිහිට
“උඹ තිතක්”

“කියමි මම මගේ ඒ සිතුවිල්ලට
විශ්වයේ තිතක් වන් ලෝකයක
ලෝකයේ තිතක් වන් දූපතක
තිතක්වත් නොවෙනා කොදෙව්වක
හිතක් වන්නේ කෙලෙසද?”

ඒත් සිතුවිලි මිත්‍රය!
ඔබ තිතක්
හිතක් පපුවක් තියෙන

(බත්තලංගුණ්ඩුව)