නිදිකුම්බා මල

Image
ජෝන් කොස්ටාන්සාගේ සිත්තමක්

කුරුලු දරුවන් ඉකිලන
අරුණු දොරනඩ ඉඳගෙන
අහස් ඉදිකඩ පැනගෙන
හිරුන් එන මඟ බලනෙමි!

විදුලි මළබෙර හඬවන
කළු වලා අවි අරගෙන
ඉදිකඩ යකුන් සේ ඇති කල
හිනාවී එන්ට බැරිවද හිරුනි.

පැතුම් මල් පොඩි මැළවෙන
සෝකී දෙනෙත්හරවමි
ඩෝසර හොඬෙන් ඉදිරුණ
රබර යායම විනිවිද……..සීරුවට………..

සිය දහක් හිරු අනුරූ
හිනාවේ වියලි කර්කශ බිම
අහා! කෙතරම් සතුටක්ද හිතට
මම එවෙත ඇවිද යමි……….

නිරුවත් දෙපා මත
වේදනා කටු තුඩු ඇනී – රිදුම් දේ……

මම ඒ වේදනා පොදි
හද සම බිමේ සතපා
කටු තුඩු මතම දණ ගා
ඉන් මලක්
අපරිමිත ආදරෙන් සිඹිමි.

සිතගිස්සෙන්ම නැඟැ ආ
නෙතිස්මත්තෙන් මේ දැන් වට
සීතල කඳුළු බිඳ
එමල් සුසිහින් කෙඳි මත රැඳී
ප්‍රභාවින්තව බැබැළේ.

මම
සෙමින්
හිසොසවා
බලමි.

කළු වලා අවි මැඬගෙන
අහස් ඉදිකඩ පැනගෙන
අන්න! හිරු
හිනාවීගෙන……

 
(මෙකව ලියැවු‍ණේ 1994 අවුරුද්දෙ. මේක ඒ අවුරුද්දේ දවසක හිරු පත්තරේ පළවුණා.  යළි 2002 අවුරුද්දේ පළ කළ පිළිහුඩුවී කවි එකතුවටද ඇතුළත් වුණා)

සික්කා සහ වෙසක් මඟුල

© වින්සන් වැන් ගෝ
© වින්සන් වැන් ගෝ

වෙසක් සඳ නැගී ගුවනේ වළා පිට
වෙසක් බලන්නට එනකොට සැඳෑවට
වෙසක් හඬ නඟන වෙසතුරු විලාපෙට
දුකක් නැඟේ මගෙ ජාතක කතාවට

පන්සලුත් ඇතේ සිතු ලෙද වඳින්නට
දන්සලුත් ඇතේ බඩ කට පිරෙන්නට
මංසලුත් ඇතේ විසිතුරු දකින්නට
තුන්හුලස් වෙතේ හදවත විටින් විට

පාට එරන් සව්කොළ ඇල වූ කූඩූ
ආල හැඟුම් නෙත් තොරණේ රැඳි ජෝඩූ
ඈත ගම් දොරින් ආ අය කිරි කෝඩූ
මාව පහු කරන් යනවා අනෙ සාධූ !!

ටයිට් එකට දන්සැල් වැඳ එන දතර
බයිට් එකට මා අරගත් හිත මිතුර
ලයිට් එකට වත් දාගන්නට බඩට
ඩයිට් එකට මොකවත් නෑ අද රැයට

දැක්කා නේද බුදුරැස් විහිදෙන වෙසඟ
මක්කා කරන්නද දොස් දුරලනු මිසක
ලොක්කා ඉහළ මාලෙන් රූටන දිනෙක
සික්කා ලොව්තුරා බුදු වෙනවා නිසැක

(1997 මැයි)

පියාඹන කුකුළා

Malcolm Liepke
By Malcolm Liepke

දුටුවාද
පියාඹන කුකුළා

ඔන්න ඌ සුදු වලාකුළු පොකුරු තුළින් පියඹනවා
මෙන්න ඒ වළාකුළු එකපාර රතුපාට වෙනවා

සිතන්නත් වෙලාවක් නැතුවා
නිදන්නත් වෙලාවක් නැතුවා
දුටුවාද පියාඹන කුකුළා
හැමදාම ඌ පියාඹනවා

එලාමය තියා හිමිදිර වදින්නට
වෙලාවට අරී නෙතු මදටිය දෙ ඇට
සලා තටු සඟල එබිලා කැටපතට
විලාපය නගයි පාදා උගුර කට

බලනු හිස මත
පිපෙනු කරමල
රුසිරු කෝමල
සොඳුරු කරමල

හැමදාම දකින කරමල වුණත්
හැමදාම අලුත්

පියාඹනු
දුටුවාද
කුකුළා..

උගෙ හොට තමයි හොට..

කෙකර ගාන්නෙත්
අහුලන් කන්නෙත්
හොටෙන්…
ඇයි, ප්‍රශ්න අහන්නෙත් ?
උත්තර දෙන්නෙත් ?
තව….
හුස්ම ගන්න
හුස්ම ලන්න
වස් වදින්න
දෙස් කියන්න
හොට!

බෝ ගසේ පැද්දෙනා වවුලා
කපුටු කූඩුචේ ලගින කොවුලා
කුකුළන්ට හිනැහෙනා සිවලා
දුටුවාද පියාඹන කුකුළා..?

පිළිහුඩුවී -2002-

සූස්ති වෙළෙන්දාගේ විසංවාදී පැනය

51

තණ කොළ නොවෙයි මන පිනවන ඉනාවා
තණ මල්විලෙන් පොදි බැඳගෙන ගෙනාවා
තණ බිස්සේ ඉඳ රවුමට සැඳෑවා
සැන සෙනු රිසි සියොතුනි එනොපමාවා

සිප සිප නළ රැලීය සැලි සැලීය
සන සන පෙණ හැලීය පිපි මලීය
උර උර දුම් ගුලීය නෙතු සැලීය
හද හද සැන සිලීය සැන කෙළීය

පලින් පල බලන් නාඹර කුරුල්ලෝ
තුඩින් තුඩ අරන් ගින්දර හුරුල්ලෝ
නෙතින් නෙත දරන් සුන්දර සරැල්ලෝ
සිතින් දැහැන් ගත වෙන්නට ඇවිල්ලෝ

සන් තොසින් මනින සඳ පිය සඳ වතුරේ
වන් නයින් රනේ වඩිනා පිය මිතුරේ
පින් මඳුන් මෙවුන් ඉපැදුණු රළු නගරේ
කන් යොමන් මඳක් ඈතින් වී නතරේ

තඹයක් අත නැතුව වේලෙන සියොතුන්ට
දෙවියන් දුන්නු ඔසුවයි මෙ සැනසෙන්ට
දෙනුවන් ලැබී නුඹගෙන් ලැබ දුක් ගැහැට
දුටුවොත් එවුන් ලොව හෙට පාඩුව කාට

මම ලිඟුමාල වෙමි

sadness

සටහන – පොලිස් පාදඩයින් දස දෙනෙකු විසින් දූෂණය කරනු ලැබ අවසන යෝනිය තුළට අත්බෝම්බයක් දමා පුපුරවා හැර අමානුෂික ලෙස මරා දැමූ කෝනේශ්වරී අම්පාරේ දිවි ගෙවූ තෙදරැ මවකි. මෙම සිද්ධිය සිදු වූයේ 1996 ජුනි මාසයේදී  ය. එදා මෙම සිද්ධිය සැලවීමෙන් අකම්පිතව සිටි දකුණේ සිංහල සිත්වලින් අද වන විට මෙම සිද්ධිය සම්පූර්ණයෙන්ම ක්ෂය වී ගොසිනි

අත ගසාගෙන නළලත
වෙසක් සඳ වැළපෙයි.
ජනේලෙන් හොටු පෙරෙයි.

ළඟපාත ගෙදරක
තෙමඟුල පිණිස නිමැවූ
නෙළුම් මල් සත
තවම පරවී නැත.

පන්සිය පනස් ජාතක
එක පතට සින්දා තැනූ
නූතන වි-ජාතකයක
විරිඳු සුරල් රාවය
විටින් විට
තොරණකින්
ඈතින් ඇසේ.

මා ඉදි‍රියෙහි
හිස් ම හිස් කඩදාසියකි
කවියක් පිණිස අහැරී බලා ඉන්නා.

එකෙණෙහි ම
පියාඹා ආ මස් කැබැල්ලක්
කඩදාසියෙහි පතිතව
යෝනියක
හැඩතල මවයි.
නිසැකවම ඒ කෝ‍නේශ්වරීගේ විය යුතුයි.

අම්පාර සිට කොළඹට
පියාඹා එන්නට
මේ හැටි කාලයක්?

ඒ තරම් අපි ඈතය.
දෑස කඳුලින් සීතය.

කඳුලු අතරින් මම
අංගුලිමාල නොව
ලිඟුමාල වෙමි
මට ඇඟිලි අනැවැසි ය
ඕනෑ පුරැෂ නිමිති ය.

බැතින් වමතින් ගත්
මස් කැබැල්ලෙන් යුතුව ද
දකුණතින් තරවැ ගත්
තියුණු සැතෙකින් යුතුවද
නික්මෙමි.

මග දිගට හමු වන
ගෙයින් ගෙට සන්කොට
සෑම සිංහල ලිඟුවම
කපා හුයෙකින් අමුණමි
අවසන මගේත්…
ආ…හ් …..

වේදනා ද‍රාගෙන
සමනොළ ගිර ගෙලට
ලිංග මාලය පළදමි.

නවතාලනු පිණිස මා
බුදු කෙනෙකු නැතියෙන්
නිසැකවම මෙය කළ හැක.

සහෝදර සිත් නැති
හැඟුම් නැති
ජාතියක් කුමට ද?

මා ඉදිරියෙහි
හිස් ම හිස් කඩදාසියකි.
ඒ මත ලේ පැල්ලමකි.
එය කවියකි.
ඒත් ඒ දෙමළෙනි.
සිහළුන්ට නොතේරෙන්නේ එබැවිනි

නිමලරාජන් ගේ අම්මා

nimals mom

ආත්මය මිලානව තිබිණ.

මම නිමල්ගේ අම්මාට ලියුමක් ලී මි.

“කිසිදාක දැක නැති
දයාබර අම්මේ
ඔබ දකින්නත් ආසයි
ඔබ දැක යන්න එන්නවත්
මුන් අපිට ඉඩ දෙන්නෑ
අම්මාවරැන්වත් මෙහේ වුන් හඳුනන්නෑ
දරුකම කියන දේවත්
මේ කිසි කෙනෙක් දන් නෑ”

ඈ හැරෙන තැපෑලෙන්
මා අමතා තිබුණා ය.
“පුතේ උඹෙ අත් අකුරැ
නිමල්ගේ අත් අකුරැ ‍වගෙමයි
උඹ බලන්නත් ආසයි”

ඇගෙ ලිපියෙන්
මගේ ආත්මය යළි වරක් විකසිත විය.

සියලු බැරියර් බිඳගෙන
මම ඈ දකින්නට ගියෙමි.

ඇගේ ප්‍රේමය අභියස
දෙ දණින් වැටී
ඉරි තැලුණු දෙපා සිම්ඹෙමි
“අම්මේ ඔබෙ දෙපා
අපේ අම්මගේ දෙපා වගෙමයි”

ඇය නැඹුරැ වී
ස්නේහයේ සුරතින්
මහිස පිරිමැද්දාය
“පුතේ උඹෙ හිස
නිමල්ගේ හිස වගේමයි”

මම සීරැවෙන්
ඈ අභියස සිට ගතිමි
“අම්මේ ඔබෙ සුරත
අපේ අම්මගේ සුරත වගෙමයි”

ඇය නොසෙල්ලී
නෙතු පියන් නොසොල්ලා
මා දෙසම බලාගෙන උන්නා ය.

මම සිනහසීමට යත්න දැරීමි.
“පුතේ උඹෙ සිනහව
නිමල්ගේ සිනහව වගෙමයි”

ඉක්බිති
ඈ දෙනෙත් අගිහෙන්
සිහින් දිය දහරක් ගලා හැළිණි.

“අම්මේ ඔය කඳුළු
අපේ අම්මගෙ කඳුළු වගෙමයි”