හැම විහිළුවෙම කෙළවර

Alone in a Crowd by Shana Molt
Alone in a Crowd by Shana Molt

විහිළුවට මං එහෙම කිව්වෙ
ඇත්තටම ගත්තද?

ඔබ හිටියෙ
අඳුනන්නැති
සෙනඟ ගොඩක් මැද
විශේෂයක් නැති මුහුණක.
මතක තියාගන්න
ඔබට වුණත් පුළුවන්ද
මේපල් ගසක තුරුපත්
වෙන වෙනම?

අත්තැරුණු තුරුපත්
හම්බවෙන්නත් පුළුවනි
අහම්බෙන් හරි
දිරා නොගොසින් තිබුණොත්.

කතාව පටන් ගන්නෙම
තුරුපත අතට ගත්තම.

මුහුණ ගැන ඉවරයි.
දැන් ඔන්න හිනහව ගැන.

ඔය හිනාවට තැනක් ලැබුණේ
අතපහු වෙච්ච මතකෙක තමයි.

වේදනාවම ලඹ දෙන අතීතෙක
අමුත්තක් නැති හිනාවක් ගැන
මතක් කර ගන්න
වෙර දරන එකම
වැදගත් නැද්ද?

මතක් කරගන්න බැරිවද
ඔබ ඉන්න ඇති මතකයෙ.

දුග්ගන්නෝනි හෙට ගැන
අත්තැරලන්න මතකය.

ඔබ හිතන විදිහට
හැම විහිළුවෙම කෙළවර
අන්තිම අවම වශයෙන්
ඉතුරු වෙන්නැද්ද
බාගයක්වත් ඇත්ත.

විහිළුවට මං එහෙම කිව්වෙ
ඇත්තටම ගත්තද?

(නිදිනැති නිර්මල ඇසක අගිස්සක කඳුළක 2014)

සනී නම් වූ අධ්‍යාත්මික උපස්ථාදායකයාට

වේටරවරයා; රොබට් හෙන්රිගේ සිත්තමක්
වේටරවරයා; රොබට් හෙන්රිගේ සිත්තමක්

‘පර්ලින්‘ එකට පාළුද?
අඩ අඳුර යට අල බැදුම ළඟ
ශුද්ධ සිංහල ගීත රැව්දෙන
පර්ලින් එකට පාළුද?

ටොනික් පියනක් පෙරලි පෙරලී
අතීතයෙ හිඳ
පඩි බහී
ලිඳෙන් කිසිදා ගොඩ එන්න බැරි
ජින්ම පප්පෙකු
ඇල්කොහොල් සිහිනෙක කහී

දොරින් දොර
‘ෆ්‍රෙන්ච් ප්‍රයිස්‘ බැදෙනා රටකට
උඹ අරන් එන අල බැඳුම් වල
සුවඳ එන්නේ කොහොමද?

දොඩනු හැකියෙන් කටමැත
ගල් වල ය හදවත
ෂොට් දෙකෙන් මුහුණ ම ඇඹුල් වන
‘දෙහිවල‘ ය හිතවත.

ඇටෙන් පොත්තෙන් යන්න ඉස්සර
ඔතන දිගහැරි කඩල ගොටු ගැන
පොත් දනී.
අපිට සර්විස් දුන්න හැටි ගැන
පළල් නළලෙහි රැලි නඟා
කියපන් සනී.

බෙන්සාරු කළ උඹේ කටහඬ
හදවතේ පතුළත ඇනී
ලෙමන් ජින් කාලකට ටිප් එක
තබා ඇහැරෙමි
සිහින කහමඳ රස දැනී

මේසෙ මද්දල පාර පැද්දෙන විටදි හිටියත් පෙනි පෙනී
ගීත රිද්දන විටදි උඹෙ හදවතට කොහොමත් මළ පනී
ප්‍රේමෙ අද්දර මූණ රතුවෙන රාග හොඳහිත වෙනුවෙනී
ප්‍රාණෙ ‘බිත්තර නෝනෙ‘ තාමත් හීන අහුලනවද සනී

බිත්තර කට්ටෙ ප්‍රේමෙට
වැටුන්නැතිවද තව නඩු
තැම්බු බිත්තර තීරු මත්තට
ගම්මිරිස් කුඩු ලුණු කුඩු
ඉහා ගෙන ආ බයිට් එක ළඟ
උස්මහත් වුණි කරදඬු

මට මතකයි උඹ,
අති විශේෂ හේතුවකට
අති විශේෂ පල් වල ඉස්සා
බිත්තරේට තුරුල් වෙන්න
ජින් ඉහිරෙන ලිඳකට බැස්සා

‘‘ගල් ගහල ගිය දාට දෙන්නෑ
ඒ හින්දා මං ඒවා බොන්නෑ
ජින් ගහල ගිය දාට දන්නෑ
වැඩ දහම දානකල් යන්නෑ‘‘

මෙන්න මෙහෙම අවංකවම
ළය පලලා අතට අරන් දඹරන් කරඬුව
ලෝස් නැතුව පෙන්නනවා
පර්ලින් ගල් ගුහාව දෙක කර.

අධ්‍යාත්මික අඳුරෙ පතුළත
‘ත්‍රීරෝස්‘ පුසුඹක් දැනී
අතගගා පිට තටු හොයනකොට
පිටම වණවිය කවි ඇනී
ශුද්ධ සිංහල ගීත රහ මිස
ශුද්ධවර කවි නැහැ සනී.

– නිදි නැති නිර්මල ඇස්ක අගිස්සක කඳුළක – 2014

ඒ පොඩි පුතුගේ විසල් ප්‍රේමය

මට තව එක දවසක් තාත්ත හම්බ වුණොත් මං කියනව
‘තාත්තෙ මං ඔයාට ගොඩක් ආදරෙයි’ කියලා.

Martha-Wade-Moses1
මාර්තා වේඩ්ගේ සිත්තමක්

 

අයිෆලය තරම් උස මිනිහෙක්ට පුළුවන්ද 
සැඟවෙන්න අතීතය මකාගෙන
වලාකුළු සිතුම් පොදි ඇවිත් හිස හැපෙනකොට 
මරු කියවනා හඳකි හිනාවෙන
හිස කෙස්ස සිඳ දැමුව දෙව්දත්තරුන් පැමි‍ණ 
හිස සොයන විට ඔහුට පමාවෙන
හිත රිදෙන කවි ලියන රාහුල පුතෙක් හිඳී 
ආදරෙයි කියන්නට බලාගෙන

එකම මොහොතක් තියෙයි අතට ගෙන බලන්නට 
සංසාරෙ කොණක් ගෙන ලිහාගෙන
බන්දේසියක තියා ආදරය ගෙන යන්න 
කවුරුවත් නෑ දෑත විදාගෙන
අනාගතයට යන්න සිහිනෙකට බැරි ඇයිද 
පුතු දෑස ඔවුනොවුන් කතාවෙන
ජීවිතෙයි කියන්නේ අතීතය විතරමද 
මේ මොහොත කවුරු හරි හොරාගෙන

හිස හැරුණු අත ඇදෙන සුළඟ වුව පුතු අසල 
නතරවන විට සිහිල දරාගෙන
ප්‍රශ්වාසෙ සේ කොතෙක් සුසුම් පිටවී ඇද්ද 
සිය දහස් ගව් ඈත ගෙවාගෙන
පෙනහලුත් කැමති ඇති අලුත් හුස්මක් ගන්න 
හදවතෙහි පියාපත් මවාගෙන
ඕසෝන් වියනෙහිම එවන් හුස්මක් නැද්ද 
රිදුම්දෙන ළය මඬල නිවාලන.

විරිත් ගිළිහුණ කවක අරුත් නොරඳනු බැරිද 
හද ගැඹුරු ගිගිම් හඬ නඟාලන
පිරිත් මිමිණෙනු ඇසෙන දවල් දවසක වුණත් 
හිරුත් නැතිවෙන්න හිත හදාගෙන
‘සිරිත් මල් දම’ ගොතන රටක් නැති වුණු පුතුට 
මවක් ඇත ජීවිතය හොයා යන
‘හරිත්’* ගහ කොළ අතර සියල් මල් ඔබට ම ය 
නවතින්න වසන්තය දිනාගෙන

(නිදි නැති නිර්මල ඇසක අගිස්සක කඳුළක - 2014)

*හරිත් – ප්‍රගීත් එක්නැලිගොඩගේ පොඩි පුතා.

සයිමන්

 "Suba saha Yasa"
“Suba saha Yasa”

තොප්පියක් ඔබින්නේ හිසකට
හිස්වැසුම් සොයන්නේ කුමකට
ඇස් දෙකක් දකින්නේ කපකට
කල්පයක් කියන්නේ දිනකට

නිම්තෙරින් එබෙන්නේ සඳවත
දුම් රැලින් නැ‍ඟෙන්නේ මඳහස
ඇස් දෙකෙන් පෙරෙන්නේ මඳහස
ෆිල්ටරෙන් පෙරෙන්නේ සෙනෙහස

මූඩියක් අරින්නේ පවසට
උණුහමක් දැනෙන්නේ එතකොට
මීවිතක් පුරන්නේ හවසට
පාටියක් කියන්නෙ පොතකට

ප්ලැට් එකක් කියන්නේ පැලකට
සුද්දිලත් පෙනේනේ මඟතොට
බයියලත් දකින්නේ ඉඳහිට
වන්නියයි කියන්නෙත් කොළඹට.

(සයිමන් නවගත්තේගමයන්ගේ හිතුවක්කාර නික්මයාමේ වේදනාවෙන් ලියැවුණු කවියකි. එ සමයෙහි ම මුල්වරට රාවයෙහි පළවිය.)

සුනිලා හෙවත් මනුෂ්‍යත්වයේ කවිය

sunila-abesekara-22

කටහඬේ සොඳුරු පියපත් බිඳුණාද
හදවතේ අඳුර විතරක් රැඳුණාද
මඳහසේ සුවඳ අරගෙන ඇදුණාද
නිදහසේ තනිව ඉන්නට හිතුණාද

කැවුඩියන් කරව් නඟනා පිළිරාව
යුග සවන් පෙලයි, පවසන්නද කාට
ඔය හඬින් ගලන් එනකොට අනුරාග
ඉර වුණත් දණින් වැටෙනව හඳ ගාව

දෑස් හීන් කර කොපුළත සුලි එක්කා
රහස් ලිහන මනුසත්කම අපි දැක්කා
රාත්රිිය දිගයි, එළඹෙද උදනැක්කා
කාන්සිය ඇවිත් හීනෙට තනි රැක්කා

නෙතු පියන් වැසී නෑ, ඔය තවම ඇරී
යන ගමන් මඳක් බලනට හැකිද හැරී
කඳුළකින් හුස්ම ගන්නට මොකද බැරී
පෙනහලුත් බෙදා දුන් විට සහෝදරී

‘මරා’ ගන්න කොට ගණඳුරු වනන්තරේ
දරා ඉන්න බැරි අතකය සඳුන් හරේ
කතා කරනකොට සටනට නිරන්තරේ
පියා විදාගෙන එනවද හෙමින් සැරේ

නිදන් නැති නදිය නිදි අපි ගං තීරේ
පැතුම් දරා හිටියද හදවත පෑරේ
ඉතින් කොහේ යන්නෙද දැන් නොම තේරේ
උදුම්බරා හිනැහෙන්නැති සංසාරේ

(2013 සැප්තැම්බර් 09)

භානු

Bhanu Prasanna

 

මහන්සිය දුරුවෙන්න කොතැන හෝ රඟහලක මා ඉමේ
ප්ලෙන්ටිය විඳගන්න ෆිල්ටර් එකක් පෙඟෙන හීනයේ
රාත්රිය හොළවන්න සිකැරට් දුමක් නැඟෙන යාමයේ
සාක්කිය හදවත ම පමණක් ය සහෝදර පේ‍්‍රමය

පින්සලක් අතට ගෙන නෙක මුහුණු පින්තාරු කෙරුවාට
නිස්කලංක ව තිබුණු එක ම එක මුහුණකුදු දුටුවාද
මංසලුත් තිබේ පොකුණුත් තිබෙන, නෙළුම් මල් නැතුවාට
පින් බිමක් කොහිද බං පින්වතුන් සමුඅරන් ගිය දාට

අතීතයෙ ‘මල’ රඟයි සොඳුරු අවසන් පෙත්ත ගිළිහෙන්ට
පිපාසය සනහන්න කාඩිදිය දෙන මත්ත විඳගන්ට
හිනාවක් තියේවිද තරු අතර උඹ ගත්ත තැන ගන්ට
රිදී රැය නළුවන්ට, මරණෙ විතරයි ඇත්ත මිනිසුන්ට

මේනුවෙන් බලා මේ ජීවිතය තෝර ගත්තා නොවෙයි
සානුවක හමුවෙන්න දුෂ්කර ම මඟ ගෙවූවා හැඟෙයි
සාධුජන හඞ මැකී වේදනාව ම නිනද නැඟෙයි
භානුවෙනි අවසාන කඳුළු බිඳුවට පවා රිදෙයි

2013 ජූනි 25

නිදි නැති නිර්මල ඇසක අගිස්සක කඳුළක

by Lindsay Rapp

හිස රිදෙන විට මහ රෑ
තරු එළියකට බර වෙමි
ඇසග දිළිහෙන සඳ දිය
සොඳුරු අඳුරෙහි සඟවමි

යොර්දානයෙහි ගැඹරට
අකුරක් දමා ගසනෙමි
නැඟෙන දහසක් රැළි මත
දහසක් අකුරු විසුරමි

ගලීලෙට යන මංසල
කුරුස කණුවක් ඉන්දමි
ඉතින් කොයි අත යන්නද
කිසිත් නො කිය ම ඉන්නෙමි

ලිහී විසුරුණ කොන්තය
අත්ලෙහි රුවා ගන්නෙමි
අත්තටු ලැබුණ ඔරසම
අහසට මුදාලන්නෙමි.

පින්න විතරක් දොඩමළු
ගොල්ගොතාවට ළංවෙමි
නින්ද නුපුරුදු සිහිනය
ගෙහන්නාවට දන්දෙමි.

ගීතාවලියෙ ගී වල
අරුත අතහැර යන්නෙමි
වැරදි වෙන්නට ඉඩ හැර
වැරදිකරුවෙකු වන්නෙමි