උපත වර නැඟීම

111408%20(18) 

කවියකුට හැම දිනය ම
උපන් දිනයකි උපදින.
 

නෙතෙහි උපදින කඳුළක
හැඩය අරගත් කවියකි.
අරුණ පැමිණෙනු පළමුව
යළිදු උපදින කවියෙකි.
 

වියපත් නොවන පන්හිඳ
සුරතෙහි දරන සකිසඳ
කව් මව් කුසෙහි පිළිසිඳ
ගෙනෙන්නෙද මේ කවි පද
 

කුකවින් සභා මැද
සිහසුන් අරා වැජඹෙන
ජරපත් ඔවා පදබැඳ
නිරිඳුන් නිවා සනහන.
 

කවියෙක් වෙසේ හදවත
මැරුවත් නැවත උපදින
සුනරුත් වදන් මඟහැර
ජවයත් රැගෙන පැමිණෙන.
 

කවියකුට හැම දිනය ම
උපන් දිනයකි උපදින
ඔහු සමග යළි ඉපදෙන
ලොවත් සමඟින් හිනැහෙන.

සූස්ති වෙළෙන්දාගේ විසංවාදී පැනය

51

තණ කොළ නොවෙයි මන පිනවන ඉනාවා
තණ මල්විලෙන් පොදි බැඳගෙන ගෙනාවා
තණ බිස්සේ ඉඳ රවුමට සැඳෑවා
සැන සෙනු රිසි සියොතුනි එනොපමාවා

සිප සිප නළ රැලීය සැලි සැලීය
සන සන පෙණ හැලීය පිපි මලීය
උර උර දුම් ගුලීය නෙතු සැලීය
හද හද සැන සිලීය සැන කෙළීය

පලින් පල බලන් නාඹර කුරුල්ලෝ
තුඩින් තුඩ අරන් ගින්දර හුරුල්ලෝ
නෙතින් නෙත දරන් සුන්දර සරැල්ලෝ
සිතින් දැහැන් ගත වෙන්නට ඇවිල්ලෝ

සන් තොසින් මනින සඳ පිය සඳ වතුරේ
වන් නයින් රනේ වඩිනා පිය මිතුරේ
පින් මඳුන් මෙවුන් ඉපැදුණු රළු නගරේ
කන් යොමන් මඳක් ඈතින් වී නතරේ

තඹයක් අත නැතුව වේලෙන සියොතුන්ට
දෙවියන් දුන්නු ඔසුවයි මෙ සැනසෙන්ට
දෙනුවන් ලැබී නුඹගෙන් ලැබ දුක් ගැහැට
දුටුවොත් එවුන් ලොව හෙට පාඩුව කාට

අන්‍යාගමික බිරිඳගේ දෛනික ඔරසං පාඩම

Adam-And-Eve-$28the-Fall-Of-Man$29

බෙංතිඤ්ඤෙ දාගන්න බෙලලේ
ඔය කොන්තෙ ගලවන්න කෙල්ලේ

ඔරවං ඉන්න නොවෙයි කිව්වේ
ඔරසං කියන්න

“අපගේ එදිනෙදා භෝජනය
අද අපට දානය කළ මැනව!”

ශුද්ධ වූ ලූක් පොත පෙරළන්න
විසි දෙකේ හ‍තේ සිට කියවන්න

“මේ මාගේ ශරීරයයි
මේ මාගේ රුධිරයයි”

හරි! ඒ තමයි වැදගත්ම ‍පේළි දෙක

ප්ලේන් රොටියක් කන්න, ඉඳගන්න
සීනි සම්බල් එක්ක

දැන් ඉතින් වතුර උගුරක් බොන්න

ආදරය කුරුසියක බරයි
විවාහය කල්වාරි කන්ද තරමට උසයි
ගැළවීම කියන්නේ මුදුනටයි

සුගති උද්යා්නයත් පටුවෙලා, පටුවෙලා
පුංචි කාමරවලට
ජීවිතය ඉටිපන්දමක් වෙලා
දැන් ඉතින් නිදා ගමු – රෑ වෙලා

නිදා ගන්නට ඉස්සර
කියන ඔරසම මතක ද?

“පාප අවස්ථාවන්ට හසුවීමට
අපට ඉඩ නොදී
අයහපතෙන් අප මුදාගත මැනව!”

අන්න හරි!
…………………………….
…………………………….
හෙට උදේ වැඩ
කොහොම හරි ඇහැරන්න මට

කුහුඹු කවක්

Paris_Eiffel_Tower_by_Faqy

අයිෆල් කුළුණ පාමුල
කුහුඹු පිළිරුව කාගෙ ද?
කාගෙවත් ඇස නො ගැසෙන
තණ පතක් මත තනි වුණ..

නිකිණි සඳවත අහසට
ඇවිත් වියපත් රෑ කල
හෙළන කඳුළක සීතල
තිබෙන තනිකම කාගෙ ද?

දුර ඈත සිට පා වෙන
ඇවිත් හිත අග යා වෙන
සුසුම් මග හැර යාවි ද
කුහුඹුවකුගේ සිහිනය…

මගේ ජන්මය

blackfathers12

නෙතින් නෙත ගැටෙන්නැතිවද
සිතින් හිස නැමෙන නිතියෙන
මැදින් සඳ මැදින් පෙනුනේ
තාත්තේ ඔබයි….
මලක සේ මෙලෙක මව් කුස
ගුලි ගැසී උන්නු එ දවස
සෙනෙහසේ සුවඳ වූයේ
ඔබේ කටහඬයි ….

හිරු මැරි වැටී අවරග
තුරු ලතා පවා මිලිනව
සරු පොලෝ තලේ ඉකිබිඳි
සැඳෑවරුවකයි……
තරු කඩා වැටුණු බිම මත
කුරුලූ දරු සිඟිත්තෙකු ලෙස
තරු දෙනෙත් ඇරී දුටුවේ
රතු ගුවන් ගැබයි…..

බිඳෙන් බිඳ සිතුම් අවදිව
පැතුම් බර මගේ දෙනයන
නැවුම් බග සඳක් වූයේ
ඔබේ දෙනයනයි……
ඒ නැවුම් සඳුන් නෙළනට
පා නගා ඇදෙන ගමනට
ආදරේ සුවඳ නොමියෙන
තාත්තේ ඔබයි……

(නිරුත්තර සමාධිය)

සිතුවිලි

 

by Dan Quintana

සිතුවිලි අහුරකට අත තියා
වළාකුළු වෙන්නැයි පවසමි

දැන් මගේ ඒ සිතුවිලි
ආකාශයේ ඇවිද යයි

අහසේ පාවෙන
මගේම සිතුවිල්ලක් බලා මා දෙස
කියයි මේ ලෙස හිමිහිට
“උඹ තිතක්”

“කියමි මම මගේ ඒ සිතුවිල්ලට
විශ්වයේ තිතක් වන් ලෝකයක
ලෝකයේ තිතක් වන් දූපතක
තිතක්වත් නොවෙනා කොදෙව්වක
හිතක් වන්නේ කෙලෙසද?”

ඒත් සිතුවිලි මිත්‍රය!
ඔබ තිතක්
හිතක් පපුවක් තියෙන

(බත්තලංගුණ්ඩුව)