මෝසම් දෙකිඳ

 

By Maurice Sapiro

ඇහැ ළඟ
ගලන සඳකැන් මෝසම
ඈ ළඟ.

ඒ අත්ල
මේ අත්ල මෙන්
සිය සිය සියවරක්
පිරිපහදු වර නංවා
සුළැගිලි තුඩ පවා
සිලිටි මැටියෙහි සනහා
ඇහැ අගට ළං කර
උණුහුම විඳින්නට
මෝසමට නො හැකිද?

මූකලන්බත්වුණු
ඇහි පිල්ලමක් යට
ගිම්හාන මැත දොඩවන
වස්සාන කවියක
නටඹුන් දකින මෝසම
‘වැහි මූකලන්’ සොය සොය
වෙන කොහේ යන්නද?

මහදෙහි නිරිතදිග
‘නිවර්තන’ එළඹුම
ඈ ඇස අගින් නැවතී
දිවැසි වැකි කිය කිය
‘වේරම්භ වා’ කළඹා
ගලන සඳකැන් ම ය.

ඈ ළඟ
ගලන සඳකැන් මෝසම
ඇහැ ළඟ.

(2017 අප්‍රේල් 07)

වැස්ස පටං අරං

by Malcolm T Liepke

නටන වැස්සක් යට
නටන මිනිහෙක් දුටුවොත්
ඔබ නටනවද ඔහු හා
අඬනවද නැත්තං…

හංගන්නෙ මොකටද
අතෑරලන්න ඇත්තම
වැහි නැති දිනෙක පුපුරණ
සොඳුරු අකුණක් ලෙස

නටාගෙන එන වැස්සට
සිසිල දුන් ඇස් දෙක
කාටවත් වැඩියෙන්
දන්නව නේද ඔබ?

වේදනාවෙන් උපදින
ඔහු නටන රිද්මය
උත්කර්ෂයක රඳවන
කවි ලියා මොකටද?

කට කමසිරියාව
තැතිගැන්ම විතරද
ආදරය මෙලැවුණු
දුර්ග මඟ කෙළවර

පොප්ලර මතක බිම කැණ
ඉන්දූ විලෝ ගස මත
මැයි මාර කවුඩෙක්
කරව් කරනා, මෙහෙව් වැස්සක

නටන මිනිහෙක් දුටුවොත්
ඔබ නටනවද ඔහු හා
අඬනවද නැත්තං
වැස්ස නවතිනකං

(2017 අප්‍රේල් 06)

සීතා

by Thomas Saliot
by Thomas Saliot

කවුරු නුඹ රජරටින්
පැහැරගෙන ආවාද සීතා
මඟහැරුණු සිහිනයක දඬුමොණර වාහනේ සාදා
රජරටින් නුඹ කවුරු පැහැරගෙන ආවාද සීතා?

දැක ගන්න බැරි වෙච්ච හිනයක හිත පාර පාරා
ගෙන්දගං අහස යට තිත්ත කවි හොයනවද සිතා

කෝ කොහිද අනුරපුර ඒ පූජ නගරයෙද රාමා
මේ කියන රාවණා කොළඹ නමු වෙන්න බෑ සීතා

ලංකාපුරේ ඉතින් සංසාරෙ වගේ දුර ඈතා
ඒ නමුදු මාදිවෙල සීත එළිය ම තමයි සීතා

පිකට් මැද කියූවත් හටන් කවි උගුර කට පාදා
මේ කොටුව රාවණා කොටුව නම් වෙන්න බැහැ සීතා

මොහොතකට ළෙලවන්න හැකි වුණොත් චිරන්තන දෑසා
එහි සැළෙන ආයෝමය මතකයට ඉඩදෙන්න සීතා

පුරිස හිතකින් හිතා පුරිස අතකින් ලියූ ගීතා
පුරිස හඬකින් ගැයූවද නුඹයි එහි තනුව සීතා….

පුරිස සන්තානයේ විළිබරව වර නඟන ගාථා
මැද එකම එක වරක් හිනැහෙන්න පුළුවන්ද සීතා
යළි එකම එක වරක් හිනැහෙන්න පුළුවන්ද සීතා……

2016 අගෝස්තු 30

පැරිස් මිමෝසා හෙවත් වසන්තයේ වේදනාව

Forsythia by Sookja Rho
Forsythia by Sookja Rho

අහස් විමානෙට මේ කුළු රොද බඳින
වසන්තයට එන්නට හරි මඟ කියන
දහස් දසදහස් ගණනින් වැළඳගෙන
පැරිස් මිමෝසා අතපය දිග හරින

අත්ත බිඳුණ කල ජීවන ඉළව්වේ
ෆ‍්‍රැන්ක කොළ වලට පේ‍්‍රමය හිළව්වේ
කවුද ඔබම මිස හදවත හෙළෙව්වේ
වත්ත එරන්වන් නටඹුන් වළව්වේ

ඇස් අගින් ගලන් එන්නෙම අපහාස
රත්තරන් දිළෙයි හොඳටම ළඟපාත
අත් වලින් දරන් ඉන්නට බැරුවාද
කොච්චරක් බරද සුළඟට මඳහාස

මිළක් මොටද මිළ නොකළැකි රන්වනට
කලක් ගෙවෙනවා කොළ නැති ගස් අතර
කොළත් දලුත් මොකටද මේ පිංකමට
මලුත් කැමති වෙනසක් ඇති ලස්සනට

( මගේ ආදරණීය යක්ෂණී පිටුව 382, 383 )

වසන්ත අයියා ගිහින්ද…..?

the-shapes-of-emptiness-patricia-velasquez-de-mera
පැට්‍රීෂියා වෙලාස්කස් දු මේරාගේ සිත්තමක්

වසන්තයට මඟ කිය කිය
පැරිස් මිමෝසා හිනැහුණ
වසන්ත සුළඟෙහි පාවී
වසන්ත අයියා ගිහින්ද…..?

පැරිස් අහස ළං වෙනකොට
විසල් කුලුණ සසැලෙන හැටි
සැහැල්ලුවෙන් කියාදුන්න
වසන්ත අයියා ගිහින්ද…..?

අනන්තය ළඟට කැඳවා
සුසුම් කපොල්ලක රඳවන
ඉන්ද්‍රජාල කතා කිව්ව
වසන්ත අයියා ගිහින්ද….?

වයින් බිඳු පිරී ඉතිරෙන
වසන්තමය සිහින බඳුන
බිඳෙන්නට නොදී රැකගත්
වසන්ත අයියා ගිහින්ද…?

ඇසින් උසුලගන්නට බැරි
වසන්තය ඉතින් මෙහෙමැයි
හිමින් කියා දී – නොකියම
වසන්ත අයියා ගිහින්ද….?

2016 මැයි 06

සුනිලා හෙවත් මනුෂ්‍යත්වයේ කවිය

sunila-abesekara-22

කටහඬේ සොඳුරු පියපත් බිඳුණාද
හදවතේ අඳුර විතරක් රැඳුණාද
මඳහසේ සුවඳ අරගෙන ඇදුණාද
නිදහසේ තනිව ඉන්නට හිතුණාද

කැවුඩියන් කරව් නඟනා පිළිරාව
යුග සවන් පෙලයි, පවසන්නද කාට
ඔය හඬින් ගලන් එනකොට අනුරාග
ඉර වුණත් දණින් වැටෙනව හඳ ගාව

දෑස් හීන් කර කොපුළත සුලි එක්කා
රහස් ලිහන මනුසත්කම අපි දැක්කා
රාත්රිිය දිගයි, එළඹෙද උදනැක්කා
කාන්සිය ඇවිත් හීනෙට තනි රැක්කා

නෙතු පියන් වැසී නෑ, ඔය තවම ඇරී
යන ගමන් මඳක් බලනට හැකිද හැරී
කඳුළකින් හුස්ම ගන්නට මොකද බැරී
පෙනහලුත් බෙදා දුන් විට සහෝදරී

‘මරා’ ගන්න කොට ගණඳුරු වනන්තරේ
දරා ඉන්න බැරි අතකය සඳුන් හරේ
කතා කරනකොට සටනට නිරන්තරේ
පියා විදාගෙන එනවද හෙමින් සැරේ

නිදන් නැති නදිය නිදි අපි ගං තීරේ
පැතුම් දරා හිටියද හදවත පෑරේ
ඉතින් කොහේ යන්නෙද දැන් නොම තේරේ
උදුම්බරා හිනැහෙන්නැති සංසාරේ

(2013 සැප්තැම්බර් 09)

නිදි නැති නිර්මල ඇසක අගිස්සක කඳුළක

by Lindsay Rapp

හිස රිදෙන විට මහ රෑ
තරු එළියකට බර වෙමි
ඇසග දිළිහෙන සඳ දිය
සොඳුරු අඳුරෙහි සඟවමි

යොර්දානයෙහි ගැඹරට
අකුරක් දමා ගසනෙමි
නැඟෙන දහසක් රැළි මත
දහසක් අකුරු විසුරමි

ගලීලෙට යන මංසල
කුරුස කණුවක් ඉන්දමි
ඉතින් කොයි අත යන්නද
කිසිත් නො කිය ම ඉන්නෙමි

ලිහී විසුරුණ කොන්තය
අත්ලෙහි රුවා ගන්නෙමි
අත්තටු ලැබුණ ඔරසම
අහසට මුදාලන්නෙමි.

පින්න විතරක් දොඩමළු
ගොල්ගොතාවට ළංවෙමි
නින්ද නුපුරුදු සිහිනය
ගෙහන්නාවට දන්දෙමි.

ගීතාවලියෙ ගී වල
අරුත අතහැර යන්නෙමි
වැරදි වෙන්නට ඉඩ හැර
වැරදිකරුවෙකු වන්නෙමි