ජනේරුව හෙවත් ඇරඹුම හෝ අවසන

 

pic by manjula wediwardena

ළමැද්දට අත තියා හිත සොයන
වැරැද්දට ස්නේහයම විසිකරන
පුරුද්දට අත් අකුරු වැසි වසින
දුරුත්තට කවි ලියා තනි රකින

කඳුළු විළිලන සොඳුරු මඳහසක
පතුළ විනිවිද දකින හදවතක
අතුළ හැඟුමන් ගෙනෙන පියපතක
විසිර ඇත කඳුළුබිඳු සියවසක

ගිරවියක ගොළු වුණොත් පව් නැද්ද
කෙතරම්ද දුක මිදුණ නිස්සද්ද
පිනි බිඳිති හිමිදිරියෙ ඇහැරෙද්ද
කළුපැහැති වුණෝතින් කිරි ඉද්ද

මෙය මගෙ හදයි එයට පිවිසෙන්න
බය නැතුව පය තියා ඇවිදින්න
පය රිදෙයි නම් පසෙක ඉඳගන්න
නිය තුඩින් කවියකට ඇහැරන්න

ජනේරුව ඇරඹුමද අවසනද
පෙනේ නොපෙනෙන ඇසක නිදිවැරුම
දැනේ නම් සසලබව පද අතර
සෙනේහය ඇද හැලෙයි ඇස පිපිර

කව් සිළුමිණෙන් ඇසෙන කවියකට
කවුළු දොර අරින්නට ඉඩ නොදෙන
කවුරුවත් නොවෙයි මේ මඳ පවන
කවුළු දොර පියන් මත ඇණ ගසන

සදාදර අනන්තය අත ගාව
පියාඹන සිතුම් තටු අතගෑව
මලානික කවියකට අත පෑව
සිනාසෙන කඳුළුබිඳු දුටුවාද

2011 ජනවාරි 03

“වන්නියේ කවියාට ලියමනක්”

‘‘ඔව් සහෝදරයා උඹ එවූ කවිය ලැබුණා’’

 

© Ken Bushe
© Ken Bushe

‘‘මෙහෙ සීතලයි
ඔහෙත් සීතලද’’

ඇණ ගැසූ අතකින් දුක අනන්නේ කොහොමද
ඇණ ගැසූ අතකින් ඇස පිසින්නේ කොහොමද
ඇණ ගැසූ අතකින් අත වනන්නේ කොහොමද
ඇණ ගැසූ අතකින් කවි ලියන්නේ කොහොමද

උදුරලා දැමුයෙන් මුල් අදින්නේ කොහොමද
ඉරිතලා ඇතියෙන් වැව් පිරෙන්නේ කොහොමද
පරඬලා හඳකින් එළිය දෙන්නේ කොහොමද
නියඟලා මලකින් සුවඳ එන්නේ කොහොමද

බිඳ දැමූ දෙපයින් නැගිට ඉන්නේ කොහොමද
වෙඩි තැබූ ළයකින් හුස්ම ගන්නේ කොහොමද
තටු කැපු හිතකින් පිය හඹන්නේ කොහොමද
නම කෙටූ බිමකින් ඉවත යන්නේ කොහොමද

මලානික ඇසකින් තෙත උනන්නේ කොහොමද
වලාකුළු අතරින් තරු ලිහෙන්නේ කොහොමද
වෙලාවට කලියෙන් හද ගැහෙන්නේ කොහොමද
විළාපය අතරින් කවි ඇහෙන්නේ කොහොමද

වදන් වැල සැකෙවින් ගොණු කරන්නේ කොහොමද
නිවන් මඟ සැතෙකින් නො රිදවන්නේ කොහොමද
දුරින් හිඳ සැණෙකින් ළඟ රැඳෙන්නේ කොහොමද
ඉතින් අප සැබැවින් හමු නොවන්නේ කොහොමද

2010 ඔක්තෝබර් 06

The Fall

By Keith Webber jr

ඉවසීමය සටන
කොහි වෙද කමටහන

මේ විසල් තුරු හිස
ලිහන විට මුහුලස
අතු පතර සරතැස
නිවනු නොහෙනුය අසිනි වැසි වැස

අවසන් හුස්ම පොද
පවනට පොවන පත් මත
මතක දෙනුවන් මැද
මතකයන් ඇත ඉසිඹුවක් ලද

ගිලිහෙන අතරතුර
බෙනෙනුය කනට කර
සුළඟෙනුත් හිරිහැර
ආදරයටද මෙබඳු අනදර

පේ‍්‍රමය ළැමද රැගෙනා
පාමුල රැඳෙනු නොදෙනා
පා කර හරිනු කොතැනා
සීතල දෙණකි මෙතැනා

පඬු පෑ ය ලවනත
ගුරු පෑ ය කොපුලත
අවසාන මඳහස
රිදවීද හදවත

සළුපිළි මසා ඇඟලන
හිසේ කුසුමන් පලඳින
සංසාරය මෙතැන
නිරුවත පවා උසුලන

වෙහෙස යනු සතුටය
පහස නොලසව ලබනුය
රහස පවසන දෙය
අහස දැක ගනු පිණිසය

මන්දාරමත් එළියයි
සංතාපයත් සොඳුරුයි
නින්නාදයත් නිහඬයි
සංවේගයත් සමඟයි

මහා ගණඳුර අරුණය
බැඳීමම වේ උරණය
වියපත් බවම තරුණය
ජීවිතයමද මරණය

අලුත් දලුවක් විළිලන
දිනෙකට ඇඟිළි ගැන ගැන
සිටින විට නොහැඟෙන
හැඟුම් ගිළිහෙන පතෙක නොරැඳෙන

ඉවසීමය සටන
කොහි වෙද කමටහන

2010 සැප්තැම්බර් 25

ෆිල්ටර් නොකළ කවියක්

By Vik Muniz

දුම පවා පෙරහන් කොට
ඇඟිළි තුඩගින් විසි වුණ
ෆිල්ටරයක් ද මම
මහ මඟ
පයට පෑගෙන?

හිස් කුහරයේ විළිලන
සිතුම් මෝචනයට
සුසුමන් පවා අසරණ
කල්පයක් දුර මොහොතක
දෙතොල් පහසට පමණ ද
මගේ උණුසුම?

දැන් ඉතිං
සිලින්ඩරාකාර
ආඩම්බරය
ඉවර ද?

ජීවිතය
එතරම්
පැතලි ද?

කට කැඩුණු උගුරු අතරින්
කාරා නැඟෙන
කැහි පිඩක් වුව
හිස ගාව
නතර වන විට
අතීතය සේ
සොඳුරු ද?.
ඇස ගාව
නොතනියට
පරෙවි වසුරු ද?

ඒත්
යළි කිසිදාක
වැරදිලාවත්
සිගරට්ටුවක් වීමට
ෆිල්ටරයකට
නොහැකි ද?

තෙරේසා හෙවත් ලොකු පුංචි

St. Therese Mini Painting
ඩෙනිස් ලීන්ච්ගේ සිත්තමකි

(මගේ ලොකු පුංචි ස්වර්ගස්ත වුණා. මං ඒ බව තාම දන්නෙ නෑ.)

දේවදාර ගස් හිමිදිර සෙමෙර සලපු
පාරෙ පයිප්පෙන් නාගෙන වරල උනපු
මාව වඩා අඩ හඳ හා මොට්ටු තියපු
හාදු කඳු ගසා කොපුළත වැඩට දුවපු

රෑට එනවිටයි කුප්පිය පණ එන්නේ
පාට ලොසින්ජර ඇස් වල විසිරෙන්නේ
ඊට වඩා ඔබෙ කම්මුල රතු වෙන්නේ
කාට සමානද නෑ තව වැටහෙන්නේ

පුංචි ඇඟිළි ඇති පුංචිගෙ පුංචි ඇඟිල්ලේ
පල්ලි ගියේ එල්ලීගෙන සබත මුළුල්ලේ
කන්නි මරිය මව් හැබැහින් සිටිය ඇසිල්ලේ
පුංචි වුණා නම් තවමත් නිවි හැනහිල්ලේ

තෙරේසා ශුද්ධවරියකි
ඇගේ ඇස් ගෙත්සෙමෙනියකි
විඩාපත් නොවන වුවනත
සිනාවන් දුක්ඛ කවියකි

පුංචි කුටියෙ කවුළු දොරකි
පාළු කනත්තට දෑසින් තනි රකිනා
කන්ද නැඟන් ටෙරන්ස් මාවතේ එන රුව
හීනයෙන් වගේ දෑසට ඇණ ගසනා
පුංචි පියාපත් කුළියට
ගන්න බැරිව
පුංචි නෙතින් ඉඟිමරනා
පුංචි කුරුල්ලෙක්
නිසසල සුරුවමකට
උර දෙන්නට තටු සොයනා

අතීතයට යන පාරේ ගොක්කොළ එල්ලා
නිදා සිටින දෙව් මැදුරේ සීනුව හොල්ලා
මුදා හැරෙන පූජාවේ පූපය ඉල්ලා
හඬා වැටෙන සිහිනයකට සිහිය ඇවිල්ලා

පාස්කුවත් වියැකී ගිය සැඳෑවක
දෑස් බොඳ වුණා ඔරසන් තලාවක
දෑත් රැඳුණු බෙංතිඤ්ඤෙද මළානික
මාත් අඳිමි කුරුසිය හුදෙකලාවක

පුතුන් වදන කුස තරමට දුක් වින්ඳ
ඔවුන් කවන්නට දෙතනින් ඉකි බින්ඳ
සවන් පුරාවෙම ගැරහුම් පොදි බැන්ඳ
මවුන් තරම් දිගු අහසක් කොයිබින්ඳ

අප්‍රේල් 30, 2010

(ඇහැළ ඇමතුමකට ඇහැරෙමි 2011)

නිල නොවන කවියක්

by Malcolm Liepke
by Malcolm Liepke

නිල නොවන පෙම් කවක අසිරිය
නිල වෙබ් අඩවි අඳුරු කුටියක
පළ වෙලා තිබි නිසල පිටුවට
නිල කඳුළු මුහු වුණේ කෙලෙස ද

කොයි කව්රු නෙතේ හැපෙතැයි නොදැන
සයිබර් අවකාශයේ සැරිසරන
මයිනෙකුට පවා ඇති කටහඬින
කයි නමින් අසෙනි වැහි ඇද හැළෙන

අත්අඩංගුවට පත් සිතුවිල්ල
නෙත් කෙවෙනි බිඳ ගලන සැනසිල්ල
සිත් පුරා දිග හැරෙන ඇතිරිල්ල
සිත්තමට නගන්නද දැඟලිල්ල

දාහයට සිසිල් පැන් දෙන කවිය
සීතලට තේ කහට රස සරිය
මීවිතක් පුරන්නට නැති දිරිය
කාටවත් බෙදන්නට මට බැරිය

කෙළසුවහසක් වචන ඔබ ගන්න
නිළ නොවන මගෙ කවිය මට දෙන්න
සැලෙන සිතුවිලි සමඟ තනි වෙන්න
මළ බැඳුණු හදවතට ඉඩ දෙන්න