පසන් නම් සුපසන් කව

pasan-kodikara2

මම තොප අවුළු මුහුලස
හැඩ පලු ලිහා – මිටි බැඳ
වූලෙක පටලවා
‘හැට්’ කිරීටය
පළන්දන්නෙමි.

“මම තොප නොහඳුනමි
මට තොප මතක නැත”*

දුම්බර සැහැල්ලු ම මොහොතක
තොප’තින් එ ‘රන්පත’ ගෙන
තෙතබත් තුඩග උහුලා
ඩම් දෙක තුනක් ඇද
ඇඟිලි අතරේ
යළිඳු රන්දමි.

‘‘මම තොප නොහඳුනමි
මට තොප මතක නැත‘‘

අනුපාන මඟහැර
ළඟ ළඟ නවන හවසක
උදුරා වීදුරුව
පෙම් සිප් එකක් ඇද
‘කැත’ හිනාවක්
පැහැර ගන්නෙමි.

“මම තොප නොහඳුනමි
මට තොප මතක නැත”

බඳ පටි සිදුරු මව මව
තුමුල ඩෙනිමෙහි හිරකර
විසල් නිල් චෙක් කමිසය
එ මතට උඩින් අත්හැර
චැප්ලින්මුවා මිරිවැඩි
සොයා දෙපතුල් ගන්වමි.

“මම තොප නොහඳුනමි
මට තොප මතක නැත”

ගුවන් පාළම් අසබඩ
මල් ලොලුන් විහිදන
පන්දම්පාලි විඳිමින්
හයිලෙවල් නුබ මඟ
තරණය පිණිස
ත්‍රෛරෝද දඬුමොණරය
නිහඬ අයිනෙක ඉන්දමි.

“මම තොප නොහඳුනමි
මට තොප මතක නැත”

මධු ලොලුන් සලුවෙන
වටරවුම් වට සරමින්
මඳ සුළඟටත් හෙළවෙන
කොඩිකාරමය මඳහස
අඩවන් ඇසෙහි ඇවිලී
සුපසන් වදන් නික්මෙන
ඉගැඹුරු හඬට කන්දෙමි.

“තොප මා හඳුනයි
තොපට මා මතකයි”

මඳහස පැළඳගත්
වේදනාමය ඇස් ඇර
කැලුම් අඩකුඹු කර
තොප එසේ කීව ද
අනිත්‍යය’** වර නඟමින්
සැලුම් වෙවුලුම් කන
මතක ඇහැරෙනු පෙර
යළිඳු පවසන්නෙමි.

“මම තොප නොහඳුනමි
මට තොප මතක නැත”

– මංජුල වෙඩිවර්ධන

*”මම තොප නොහඳුනමි” ජී.බී.සේනානායකගේ කවියකි.

**‘අනිත්‍යය’ පසන් කොඩිකාරගේ එකම කාව්‍ය කෘතිය.

ඔව්, ඉතින්, මේ ඒ මොහොත…

© Miles Cleveland Goodwin

නින්දගං අතැර යන මිනිසා
ගෙන්දගං වලාකුළු නො තකයි
නින්නාද නැඟුවාට
තබන පියවර ලකුණු
යන්තමින්වත් හැරී නො බලයි

පෙබරවාරිය වගේ
කොළ හැලෙන මතකයට
දැන් ඉතින් මතකය ම විතරයි.

මංජුල වෙඩිවර්ධන
2018 පෙබරවාරී 17

මාතලං

මාතලං මාතලං මං කරන්නෙ සූරවීර කං
මාතලං මාතලං දුප්පතාගෙ හිතවතානෙ මං
-ඇම්මැසුවාණන්ගේ බයිලාවකින්

 

මාතලං උඹට බොරු කිව්වෙද කවුරු
පා ගමං ගොහිං ළෙලවන්නට අකුරු
හීතලෙංම උණුහුම උපදින අයුරු
ආදරෙං ඉතිං පහදාපං සොයුරු

බිනර අහස හැමදා අඳුරු බියකරූ
නුවර පාර ගොරතර රුදුරු විසකුරූ
පඳුරු ලලා වැඩෙනා අඳුරෙ සැරිසැරූ
ගොදුරු සොයනු නුදුටිද රුහිරු රණවිරූ

ඉඹුල්ගොඩය ඒ පෙනෙන කඩවත
නැඹුල් යකුන්මය අතගගා බඩවත
අගුල් වැටුණු අහසෙහි, කොහිද සඳවත
මඟුල් ලකුණු දුටුවෙද පයෙක හිතවත

ටොක්කා සමඟ යන විට තුරඟකු දක්කා
සුක්කානමක් නැති රථයක එළි දැක්කා
රැක්කා කියන උන් ඇවිදින කණු එක්කා
මක්කා කොළාදැයි කියපන් මට ලොක්කා

කැළණි කන්ද නැඟැ එන නවක පිරිවර
පැරණි සිහින දැක්කත් නවමු ඇස් ඇර
සිහින බිඳෙන තැනමය සරුප බිත්තර
ඉතිනි මෙහෙම කියනෙමි සොඳුරු සොහොයුර

නැමුණු හිස් නැඟෙයි සොහොයුරු ගංතීරේ
දැමුණු හිත් දිනෙක ඇවිලෙයි මහ පාරේ
සමුගැනීම උරුමයි වමේ සංසාරේ
හමු නොවීමමයි හමුවීම බණ්ඩාරේ

-මංජුල වෙඩිවර්ධන
2016 සැප්තැම්ර් 27

(‘සුළඟට අවනතව’ 2017)

මතක මත…මතක මත.

© Björn Norberg

පැහැය නොපෙනෙන මුදු…
මලෙක හෙවණැල්ල
ඇහැට හැඩ නැද්ද,

සුවඳ නොදැනෙන මුදු…
මතක සිතිවිල්ල
සුවඳ නො ගෙනෙද්ද?

– මංජුල වෙඩිවර්ධන

සදාකාලික තරුණිය

Girl with a Pearl Earring by Johannes Vermeer

හබුරු කොළයක රටා විසුරුණ
බෙලෙක්මය ‘රන් තැටිය’ කෙළවර
පෙළට බයියං ගුලි තානාගෙන
පුතුව කපුටෙක් බවට පත්කළ

පුතුන් හැංඟෙනකොට තැනින් තැන
‘කාක්’ කිය කිය ළඟට කැඳවන
කොළඹ කපුටන් කොළඹ ඇ හැටි
බයි කටින් කට කියා පහදන
තරුණියට අද වයස කීයද?

දඟබවේ කටු ඔටුණු පැළඳුව
බොකුටු කොන්ඩය පතුළ සැඟවුණ
කරඬු හොය හොය රැඳෙන මොහොතක
උකුනුවන්ටත් තටු පළන්දන

කතා නැතිකොට ඔලුව පද්දන
දුෂ්ට වසවර්ති ම ආත්මය
ශුද්ධවරභාවයට ඔසවන
තරම් ඉවසීමක් වගාකළ
තරුණියට අද වයස කීයද?

වතුර දැක්කම පණ කඩාගෙන
දුවන ඌරිත්තකු හොයා යන
කොහිල ගාලෙන් මඩ විමානෙන්
ඌ හොයාගෙන ළිඳට දක්කන

වතුර ඇද ඇද චරිත මව මව
පෙඟුණ අතපය කුණු අතුල්ලන
අලුත උපදින කතන්දරයට
සන්ලයිට් ගා යළිඳු නාවන
තරුණියට අද වයස කීයද?

හස්ති රජවුණු භීම සමයෙක
ගෙදර ඉදිකර මොන්ටිසෝරිය
අතිනි අල්ලා අකුරු හැඩකර
පළමු ගුරුවර චරිතයට බට

අකුරු වචනව කතා ලියැවෙන
අතීතයකට කතා කර කර
අනාගතයට කතා මැවුමට
කතා දහසක් හද නිධන් කළ
තරුණියට අද වයස කීයද?

වයිබරේ අත්තටු මවාගෙන
කතා අහුරක් තුඩින් අරගෙන
පියාඹාවිත් ළඟින් ඉඳගෙන
කතා මැද අඬ අඬ හිනාවෙන

යොහන්නස් ඒ සොඳුරු තෙලිතුඩ
සකල හැඟුමන් ඇහේ දියකර
මුතු කරාබුව ගෙන පැළැන්දුව
තරුණි රුවටත් වඩා ලස්සන
තරුණියට අද වයස කීයද?

-මංජුල වෙඩිවර්ධන
2017 ජූනි 23

මැයි මල් සිලිටි පෙති මත

by Zdzislaw Beksinski

මැයි මල් සිලිටි පෙති මත
ඇයි මේ සිහින පිනි බිඳු?

නො සන්සුන්වද හිමිදර
ඇහැර ගන්නට බැරි
ඇසතු ගසකින් ඇසුවෙ‍ද
රෑ පුරා නිදි වැරූ
සන්සුන් ම හිත ගැන?

නේරංජනේ ඉවුරත
සිහිසන් නොවුණු සිහිනෙක
දෑසින් ගලන මඳහස
දෝතින්ම ගෙන පුදනෙමි
මෑතින් ඇහෙන කඳුළට.

හිස කෙස් සිඳින විට
සවන් පෙති දිගැරී
පුළුල් උරහිස මත
හෙමින් සැතපෙන මොහොතක
සවන් පතුළත කැළඹුන
නිවන් එළැඹුම මෙහෙම ද?

නෙළුමින් නෙළුම පියමැන
සත් වසක් පසුකළ
සත් නෙළුම් විඳි දෙපයට
බිම්බරක් දිවි හළ තැන
පස් මිටක්වද මතකය?

සමන් ගිර මුදුනත
මඟුල් සුළකුණු දියැවෙන
පතුල් පුදසුන එයම ද
වෙසක් සඳ සපැමිණ
නලල් අඩසඳ අතුරන.

මැයි මල් සිලිටි පෙති මත
ඇයි මේ සිහින පිනි බිඳු?

2017 මැයි 18

ම්‍යු​ගේ සැමරුම් සුවඳක

MUGUET © Manjula Wediwardena

සීත මීදුම් තිරපට
ලිහි ​ලිහී විසිරෙන
රිදී නිම්නය ඇහැරෙයි
ම්‍යුගේ* සැමරුම්​ සුවඳට…..

වසන්තය එන බව
සීනුව ගසා කීවද
නිහතමානී සුවඳින්
හිස පහත් කරගෙන….

​’​මැයි පළමු දා’​ දවසක
ඇයි ඔය දෑත් බැඳගෙන
එන්න අත් විහිදන්
ම්‍යු​ගේ මුකුටය ​තුරුළට…

සිලිටි පත් හැඳගත්
වසන්ත දසන් මැදගත්
කිනිති සුද ඉහිරන
මේ මල් කළඹ ඔබට ය

අත් හැරලන්න බැරියෙන්
​ආදරය සමරමු……………….
තෙත්බර සිලිටි මල් පෙති
නෙත් පියන් යට අහුරමු. ​

* (ඉංග්‍රීසියෙන් ​ ​’ලිලී ඔෆ් ද වැලී’ ​ලෙස මෙන්ම ‘මේ ලිලී’ සහ ​’මේ බෙල්ස්’ ලෙසින්ද හැදින්වෙන ​’ම්‍යුගේ’ මල,​ ෆ්‍රන්සයේ​ ​මැයි පළමුදා ​සැමරුම් මල ලෙස යොදා ගැනේ.)

මෝසම් දෙකිඳ

 

By Maurice Sapiro

ඇහැ ළඟ
ගලන සඳකැන් මෝසම
ඈ ළඟ.

ඒ අත්ල
මේ අත්ල මෙන්
සිය සිය සියවරක්
පිරිපහදු වර නංවා
සුළැගිලි තුඩ පවා
සිලිටි මැටියෙහි සනහා
ඇහැ අගට ළං කර
උණුහුම විඳින්නට
මෝසමට නො හැකිද?

මූකලන්බත්වුණු
ඇහි පිල්ලමක් යට
ගිම්හාන මැත දොඩවන
වස්සාන කවියක
නටඹුන් දකින මෝසම
‘වැහි මූකලන්’ සොය සොය
වෙන කොහේ යන්නද?

මහදෙහි නිරිතදිග
‘නිවර්තන’ එළඹුම
ඈ ඇස අගින් නැවතී
දිවැසි වැකි කිය කිය
‘වේරම්භ වා’ කළඹා
ගලන සඳකැන් ම ය.

ඈ ළඟ
ගලන සඳකැන් මෝසම
ඇහැ ළඟ.

(2017 අප්‍රේල් 07)

වැස්ස පටං අරං

by Malcolm T Liepke

නටන වැස්සක් යට
නටන මිනිහෙක් දුටුවොත්
ඔබ නටනවද ඔහු හා
අඬනවද නැත්තං…

හංගන්නෙ මොකටද
අතෑරලන්න ඇත්තම
වැහි නැති දිනෙක පුපුරණ
සොඳුරු අකුණක් ලෙස

නටාගෙන එන වැස්සට
සිසිල දුන් ඇස් දෙක
කාටවත් වැඩියෙන්
දන්නව නේද ඔබ?

වේදනාවෙන් උපදින
ඔහු නටන රිද්මය
උත්කර්ෂයක රඳවන
කවි ලියා මොකටද?

කට කමසිරියාව
තැතිගැන්ම විතරද
ආදරය මෙලැවුණු
දුර්ග මඟ කෙළවර

පොප්ලර මතක බිම කැණ
ඉන්දූ විලෝ ගස මත
මැයි මාර කවුඩෙක්
කරව් කරනා, මෙහෙව් වැස්සක

නටන මිනිහෙක් දුටුවොත්
ඔබ නටනවද ඔහු හා
අඬනවද නැත්තං
වැස්ස නවතිනකං

(2017 අප්‍රේල් 06)