මාතලං

මාතලං මාතලං මං කරන්නෙ සූරවීර කං
මාතලං මාතලං දුප්පතාගෙ හිතවතානෙ මං
-ඇම්මැසුවාණන්ගේ බයිලාවකින්

 

මාතලං උඹට බොරු කිව්වෙද කවුරු
පා ගමං ගොහිං ළෙලවන්නට අකුරු
හීතලෙංම උණුහුම උපදින අයුරු
ආදරෙං ඉතිං පහදාපං සොයුරු

බිනර අහස හැමදා අඳුරු බියකරූ
නුවර පාර ගොරතර රුදුරු විසකුරූ
පඳුරු ලලා වැඩෙනා අඳුරෙ සැරිසැරූ
ගොදුරු සොයනු නුදුටිද රුහිරු රණවිරූ

ඉඹුල්ගොඩය ඒ පෙනෙන කඩවත
නැඹුල් යකුන්මය අතගගා බඩවත
අගුල් වැටුණු අහසෙහි, කොහිද සඳවත
මඟුල් ලකුණු දුටුවෙද පයෙක හිතවත

ටොක්කා සමඟ යන විට තුරඟකු දක්කා
සුක්කානමක් නැති රථයක එළි දැක්කා
රැක්කා කියන උන් ඇවිදින කණු එක්කා
මක්කා කොළාදැයි කියපන් මට ලොක්කා

කැළණි කන්ද නැඟැ එන නවක පිරිවර
පැරණි සිහින දැක්කත් නවමු ඇස් ඇර
සිහින බිඳෙන තැනමය සරුප බිත්තර
ඉතිනි මෙහෙම කියනෙමි සොඳුරු සොහොයුර

නැමුණු හිස් නැඟෙයි සොහොයුරු ගංතීරේ
දැමුණු හිත් දිනෙක ඇවිලෙයි මහ පාරේ
සමුගැනීම උරුමයි වමේ සංසාරේ
හමු නොවීමමයි හමුවීම බණ්ඩාරේ

-මංජුල වෙඩිවර්ධන
2016 සැප්තැම්ර් 27

(‘සුළඟට අවනතව’ 2017)

මතක මත…මතක මත.

© Björn Norberg

පැහැය නොපෙනෙන මුදු…
මලෙක හෙවණැල්ල
ඇහැට හැඩ නැද්ද,

සුවඳ නොදැනෙන මුදු…
මතක සිතිවිල්ල
සුවඳ නො ගෙනෙද්ද?

– මංජුල වෙඩිවර්ධන

සදාකාලික තරුණිය

Girl with a Pearl Earring by Johannes Vermeer

හබුරු කොළයක රටා විසුරුණ
බෙලෙක්මය ‘රන් තැටිය’ කෙළවර
පෙළට බයියං ගුලි තානාගෙන
පුතුව කපුටෙක් බවට පත්කළ

පුතුන් හැංඟෙනකොට තැනින් තැන
‘කාක්’ කිය කිය ළඟට කැඳවන
කොළඹ කපුටන් කොළඹ ඇ හැටි
බයි කටින් කට කියා පහදන
තරුණියට අද වයස කීයද?

දඟබවේ කටු ඔටුණු පැළඳුව
බොකුටු කොන්ඩය පතුළ සැඟවුණ
කරඬු හොය හොය රැඳෙන මොහොතක
උකුනුවන්ටත් තටු පළන්දන

කතා නැතිකොට ඔලුව පද්දන
දුෂ්ට වසවර්ති ම ආත්මය
ශුද්ධවරභාවයට ඔසවන
තරම් ඉවසීමක් වගාකළ
තරුණියට අද වයස කීයද?

වතුර දැක්කම පණ කඩාගෙන
දුවන ඌරිත්තකු හොයා යන
කොහිල ගාලෙන් මඩ විමානෙන්
ඌ හොයාගෙන ළිඳට දක්කන

වතුර ඇද ඇද චරිත මව මව
පෙඟුණ අතපය කුණු අතුල්ලන
අලුත උපදින කතන්දරයට
සන්ලයිට් ගා යළිඳු නාවන
තරුණියට අද වයස කීයද?

හස්ති රජවුණු භීම සමයෙක
ගෙදර ඉදිකර මොන්ටිසෝරිය
අතිනි අල්ලා අකුරු හැඩකර
පළමු ගුරුවර චරිතයට බට

අකුරු වචනව කතා ලියැවෙන
අතීතයකට කතා කර කර
අනාගතයට කතා මැවුමට
කතා දහසක් හද නිධන් කළ
තරුණියට අද වයස කීයද?

වයිබරේ අත්තටු මවාගෙන
කතා අහුරක් තුඩින් අරගෙන
පියාඹාවිත් ළඟින් ඉඳගෙන
කතා මැද අඬ අඬ හිනාවෙන

යොහන්නස් ඒ සොඳුරු තෙලිතුඩ
සකල හැඟුමන් ඇහේ දියකර
මුතු කරාබුව ගෙන පැළැන්දුව
තරුණි රුවටත් වඩා ලස්සන
තරුණියට අද වයස කීයද?

-මංජුල වෙඩිවර්ධන
2017 ජූනි 23

ආදරය සොයන බත්තලංගුණ්ඩුව

by Ria Nieswaag

බත්තලංගුණ්ඩුව නව කතාව තුළ නිරූපිත මෙරට කි‍්‍රස්තියානි සංස්කෘතිය හා කිතු දහමේ සාරාර්ථය සාහිත්‍ය කෘතියක් විචාරයේදි හෝ ඇගයීමේදි සාමාන්‍යයෙන් සලකා නොබලන මානයක් ඔස්සේ මංජුල වෙඩිවර්ධනගේ කුළුදුල් නව කතාව වන බත්තලංගුණ්ඩුව දෙස බැලීම මේ කෙටි ලිපියේ අරමුණයි. එනම් බත්තලංගුණ්ඩුව නව කතාව තුළ කොයිතරම් දුරට මෙරට කි‍්‍රස්තියානි සංස්කෘතිය හා කිතු දහමේ සාරාර්ථයන් නිර්මාණාත්මකව ඉදිරිපත්ව තිබේද යන කාරණාව විමසීමයි.

මංජුලගේ කි‍්‍රස්තියානි දැක්ම ස්ව අධ්‍යයනයනිරීක්ෂණය හා ස්ව අත්දැකිම් තුළින් උපන් පරිකල්පනයෙන් නිර්මාණය වුවකැයි මම සිතමි. බත්තලංගුණ්ඩුව නවකතාව තුළ මංජුල බහුතරය කිතුනුවන් වන දූපත් ගත වු ධීවර ප‍්‍රජාවකගේ ජීවන විලාසය තමා අභිමත නිදහස්කාමි ජීවන දර්ශනය ඇසුරින් චිත‍්‍රණය කරයි.
එහිදී ඔහු කථාවේ පාත‍්‍ර වර්ගයාගේ සිතුවිලි හා කථාබහට ශුද්ධ වු බයිබලයේ පාඨඡේදසිදුවීම් උපුටා ගනිමින් කරන විග‍්‍රහයන්මත දැක්වීම් අප ඉහත කි පරිදි ඔහු තුළ ගොඩනැගි තිබෙන ස්වාධීන චින්තනයට අයත් වේ.
නව කථාවේ කතා නායකයා වන ඇන්ටනී කොළඹ සිට බත්තලංගුණ්ඩුව දූපතට යන්නේ තම පියාව කොළඹට කැඳවාගෙන ඒමටය. ඒ ඔහුගේ විවාහය ස්ථීර කරගනු පිණිස විවාහ වීමට සිටින පෙම්වතියගේ (?) මව්පියන් ඇතූළු ඥාතින් හට තමා  ඕපපාතිකයෙකු නොවන බව තහවුරු කිරිමට ය. නමුත් ඇන්ටනී තුළ විවාහය ගැන ඇත්තේ දෙගිඩියාවකි. ඔහු විවාහය දකින්නේ අවුලක් ලෙසිනි. ඒ අවුල වෙත ඇති අවිඥානික කැමැත්ත ඔහු තුළම ප‍්‍රතිරෝදයකි.
‘‘ ආදම් හා ඒවාගේ සිට මගේ අම්මා හා තාත්තා තෙක් වන ජීවිත කියවීමෙන් මට විවාහය වහකඳුරු මෙනි. ඒත් ඒ කඳුරු ගෙඩියෙන් කි‍්‍රකට් ගැසීමට ඇති අවිඥානික සිහින සිතුවිල්ල මගේ සියලූ මතවාද සුන්නදුලි කරවයි.’’
ශුද්ධ වු බයිබලයේ උත්පත්ති පොතේ එන ආදම් හා ඒවගේ පුවත ඇසුරින් විවාහය පිළිබඳ අදහස් මාලාවක් ඇන්ටනිගේ සිතුවිලිවල දවටා ඉදිරිපත් කෙරේ.

‘‘…විවාහය විහිලූවක් බව ඇත්තකි. ඒත් ඒ විහිළුවෙහි ගිලීයමින් ජීවිත කාලය ම ඉකිබිඳීමට මිනිසා තුළ ඇත්තේ අප‍්‍රමාණ කැපවීමකි. ඉකිබිඳිමසිනහව ලෙස තර්ක කරිම වරු ගණන් එක දිගට නොකා නොබී වුව කළ හැක්කකි. පේ‍්‍රමයේ ව්‍යාජ සර්පයා ලෝකය මැවු දා සිටම හදවතේ වෙලී එයටම දෂ්ඨ කරමින් සිටියේය. පේ‍්‍රමයේ නග්න බව වසා ගැනිමට අත්තික්කා කොළ අතුවලට නොහැකි බව ආදම්ට පසක් වන විට පෙරහැර ගොසිනි. ආදම් දත් ගගහ සිටි දැවැන්ත ඇපල් ගෙඩිය විසි කර දැමීය. ඒදන් උයනෙන් ගලා ගිය ඇපලය උයනින් පිටතදී යුප‍්‍රටීස්ටයිගී‍්‍රස්පිෂොන් හෝ ගිහොන් යන ගංගාවන්ගෙන් කුමක් ඔස්සේ ඉදිරියට ගියේ දැයි කිසිවෙක් නොදනිති…’’

තහනම් ගහේ ගෙඩිකෑමමිනිසා නග්න බව දැකිම ආදි බයිබලීය කථා පුවතේ එන සංකල්ප සාමාන්‍ය ලෝක ව්‍යාවහාරය තුළ යෙදෙන්නේ ද නිත්‍යානුකූල බිරිඳ හෝ සැමියා හැර වෙනත් අයෙකු සමඟ ලිංගික සබඳකමක් පැවැත්වීම හැඟවීමටයි. නමුත් එම සංඛේතාර්ථවලින් හැඟවෙන සධාර්මික අරුත් ඊට සපුරා වෙනස්  ගැඹුරකින් යුක්ත වේ.
ඒවා ග‍්‍රහණය කර ගැනීම සඳහා බයිබලයේ එන විමුක්ති දැක්මට නැඹුරුවු අධ්‍යයනයක් අවශ්‍ය වේ. එවැනි අධ්‍යයනයක් මංජුල සතු වුවා නම් ඇන්ටනීගේ සිතුවිලි සමුදාය තුළින් ගැඹුරු ආලෝකයක් පරාවර්ථනය වන්නට ඉඩ තිබිණි.
ඇන්ටනීට වහ කඳුරු වන විවාහය අද මිනිස් වර්ගයා හටම අවුලක් බවට පත් වන සැබෑ හේතුව ඇන්ටනීට හමු නොවේ. එය හමුවීමට ඉඩක් නොමැත්තේ එය අපට හමුවන්නේ විවාහ ජිවිත කියැවීම ඉක්මවා ගිය සමාජීය කියවීමක් මගින් වන නිසාය. එවැනි කියැවීමක් ඇන්ටනිට හමු වී තිබුණේ නම් ආදම් දත් ගගහ හිටි ඇපල් ගෙඩිය ඇපලෝ දෙවියන්ඇපලෝ යානය හෝ ඇපලෝ රෝහල තුළ සොයන්නට අවශ්‍ය නොවේ. ඇන්ටනී තමා හා විවාහ වීමට කැමැත්තෙන් සිටින පෙම්වතිය (?) ති‍්‍රසා ව උපමා කරන්නේ සැලෝමිටය.
‘‘..පේ‍්‍රමාලිංගනයේ උච්චස්ථානයකට එළැඹි මොහොතක වුව මම ඇයට මාරදූතිකාවයි පවසමි. එය සුන්දර ආමන්ත‍්‍රණයක් නොවෙතැයි කවුරු පවසත්දමට මගේ තී‍්‍රසා සිහිවන හැම නිමේෂයකම හොරෝද් රජු විසින් කරකාර බැඳගත් ඔහුගේම සොහොයුරාගේ බිරිඳ වු හෙරොදියාස් ගේ දියණියගේ මුහුණ සිහිපත් වේ. ඒ මන්දැයි මම නොදනිමි. එය මට නොවැටහේ. සන්ධ්‍යා අල්ලාප සල්ලාපයක අතරතුර මම මේ බව ඇයට කීවෙමි…’’
‘‘මට ඔයාව පේන්නේ සැලොමි රාජ කුමරිය වගේ’’
ඇය බෙහෙවින් සතුටු වූවාය. රජ දියණියක් වීමෙන් සංතෘප්තව දෙවුර හකුළා ගත්තීය. මා සුරත ඇගේ සියුමැලි දෑතින් වැළඳ ගත්තීය. නැගිට ගෙට ගිය ඈ මොහොතකින් ස්ට්‍රෝබෙරි වීදුරුවක් රැගෙන මා වෙත එමින් සිටියාය. මට ඇය පෙනුණේ ස්නාවක ජුවාම් තුමාගේ කැරලිකාර හිස බන්දේසියේ තබාගෙන එන සැලෝමි සේ මය. මම මහත් සේ තැති ගතිමි. බය භිරාන්ත වුයෙමි. එතැන් සිට ඒ ඇයම බව මට ප‍්‍රත්‍යක්ෂ විය. කුමක් කරන්නදඒවා දුන් පේ‍්‍රමයේ ඇපලය රස බැලූම් ආදම් සේ මම ස්ට්‍රෝබෙරි තොල ගන්නට පටන් ගතිමි….’’
ති‍්‍රසාව සැලෝමිට උපමා කරමින් ඇන්ටනි දක්වන අදහස් අතිශයින් කාව්‍යමය වේ. අදාල අවස්ථාව හා ප‍්‍රස්තුතය විග‍්‍රහ කිරිමෙහි ලා ප‍්‍රබල ‍ෙඖචිත්‍යයක් දක්වයි. මේ ප‍්‍රාබල්‍යය හොඳින් දැනෙනුයේ ස්නාවක ජුවාම් හා සැලෝමිගේ පුරාවෘත්තයන් හොඳින් හඳුනන අයෙකු තුළය. මෙහිදිද ආදම්ට ඇපලය දුන් ඒව හෙවත් ස්තී‍්‍රය ම වරදෙහි වග උත්තරකරු කරන ජනපි‍්‍රය මතවාදය අතික‍්‍රමණය කිරිමට ඇන්ටනීට නොහැකි වීමද අප පෙර කී දහමේ විමුක්ති දැක්ම හා නිසි සමාජ විග‍්‍රහය අහිමි වීමේ ම ප‍්‍රතිඵලයකි.
මව මිය ගිය පසු පියාද ගමෙන් පිටවී දූපත් ගතවු පසු කුඩා ඇන්ටනි ගත කළ එලොවටත් මෙලොවටත් නැති ජීවිතය ගෙනහැර දැක්වීමට යොදා ගන්නේ පරලොව ජිවීතය ගැන විවාදිත සම්ප‍්‍රදායික කිතුනු සංකල්පයකි.
‘‘..අම්මාගේ නිසල දෙණට ද උර දුන් තාත්තා අට දොහේ දානයත් සමඟම යළිත් මුන්නක්කරෙන් දුරින්භූත වී තිබුණි. ඉනික්බිති මම ගෙහන්නාවත් පාරාදීසයත් අතර වු ලිම්බෝවේ සැරිසරනා අනගාමික ධර්මිෂ්ඨයෙකුගේ තත්වයට පිරිහෙළනු ලදිමි…’’
ස්වර්ගයත් නරකාදියත් අතර පවතින ලම්බෝගිනි’ ස්ථානය නම් වු කි‍්‍රස්තු ධර්මයේ නැති කිතුනු සම්ප‍්‍රදායේ ඇති සංකල්පය ඇතැම් කිතුනුවන්ට පවා අද දවසේ ආගන්තුකය. බත්තලංගුණ්ඩුව නවකතාව කියැවීමේදි එහි ඇතැම් වැකිවල අරුත් ග‍්‍රහණය කර ගැනිමට උදෙසා බයිබලීය පුවත ගැන මෙන්ම කි‍්‍රස්තියානි ඉගැන්වීම් ගැනද පුළුල් අවබෝධයක් තිබීම අවශ්‍ය වේ.
by Ria Nieswaag
කිතු දහමට අයත් සධාර්මික කරුණු පිළිබඳ බත්තලංගුණ්ඩුවේ අන්තර්ගත සිතුවිලි සමස්තය සලකා බැලීමේදි කතා පුවතට හානියක් නොවන ප‍්‍රබල බවක් පෙන්නුම් කළද ඇතැම් සීමා සහිතකම් සලකුණු වී පවතී. නමුත් කි‍්‍රස්තියානි සංස්කෘතියට අයත් හෙවත් ජනපි‍්‍රය කිතු දහමට අයත් කරුණු ඇසුරින් බත්තලංගුණ්ඩුව නව කථාවේ එන පාත‍්‍ර වර්ගයා දක්වන අදහස් කරුණු කාරණා විග‍්‍රහයන් අතිශය නිර්මාණාත්මකය. සැබැවින්ම මෙතෙක් ලාංකීය නවකථාව තුළ කිසිවෙක් එය මෙතරම් ප‍්‍රබලව යොදාගෙන නැත. ලාංකේය කි‍්‍රස්තියානිය ඇසුරු කොටගත් නවකථා අල්ප වන අතර එකී අල්පය වුව නිර්මාණාත්මක ගුණයෙන්ද හීන ය. එනයින් ගත් කළ එම විෂය ක්ෂෙත‍්‍රයෙහිලා බත්තලංගුණ්ඩුව පුරෝගාමි කෘතියෙකි.
ලිපියෙහි ඉඩ කඩ අනුව මෙකී දෙවන කරුණ සනාථ කරන නිදර්ශන කීපයක් පමණක් සලකා බලමි.
ඇන්ටනි සිය මව මිය යාම විස්තර කරන මේ ඡේදය බලන්න.
‘‘….කෙසඟ වී කෙසඟ වී ඉරටු වු ඇගේ ආදරණීය අතැඟිලි අතර කොන්තය පටලැවු දා පවා ඈ සදාකාලික නින්දෙන් අවදි වි ඇගේම නුවානයට සහභාගි වු බව මම දැඩිව අදහමි. ඇගේ භක්තිය ඒතරම්ම ශක්තිමත් විය…’’
මෙහිදි මව මිය ගිය දා වෙනුවට මංජුල යොදන අතැඟිලි අතර කොන්තය පැටලැවු දා යන්න අතිශය ප‍්‍රබල නිර්මාණාත්මක යෙදුමකි. කතෝලිකයෙකු මිය ගිය විට මළ මිනියේ දෑත් එකට එකතු කළ පසු ඒ දෑත් මත කොන්තයක් පටලවනු ලැබේ. ජීවත් ව සිටින අය කොන්තය තම ඇගිලි අතර තමා විසින්ම පටලවා ගෙන ජපමාලය උච්චාරණය කරයි. මෙහිදි පටලැවුයනු අනෙකෙකු විසින් කරන ලද්දකි. එය ඔහු/ඇය ට කළ නොහැකිය. මන්ද දැන් ඇය/ඔහු මිය ගොසිනි. මෙහි සඳහන් කොන්තයනුවානය යන වචන කතෝලික සංස්කෘතියට විශේෂ වු ඒවාය.
කතෝලික සංස්කෘතියෙන් ජන ජීවිතයට එක් වු සුවිශේෂි අංගයකි මංගල්‍යයය. මංගල්‍යය යනු දෙව්මැදුර කැපකර ඇති සාන්තුවරයාසාන්තුවරිය හෝ දෙව් මව් ගේ (ජේසුතුමාගේ මව )  උපත මරණය හෝ ස්වර්ගාරෝහණය වැනි සිදුවීමක් ජයෝත්සවයෙන් සැමරීමෙකි. සෑම කතෝලික පල්ලියකම වාර්ෂිකව මෙය පැවැත්වේ. මෙකි සැමරුම් ප‍්‍රායෝගිකව කි‍්‍රයාවට නැංවෙන්නේ කිතු දහමේ මූලික හරයන් කනපිට හරවමිනි.
බත්තලංගුණ්ඩුව නවකථාව තුළ මංගල්‍ය සංස්කෘතිය කදිමට විවරණය කරන සිදුවීම් කීපයක් ඇන්ටනිගේ ගම වන මුන්නක්කරය හා බත්තලංගුණ්ඩුව පසුබිම් කරගෙන ඉදිරිපත් කෙරේ. වර්තමානයේ පවතින අන්තවාදි දෘෂ්ඨිකෝණ වලින් කලා කෘති සලකා බලන ප‍්‍රවණතාවය තුළ කෙනෙකුට මෙය කි‍්‍රස්තියානිය අපකීර්තියට පත් කිරීමක් ලෙස වුවද අර්ථ දැක්විය හැකිය.
‘‘…..ගමේ චණ්ඩියා මියගොස් සිටියේ පල්ලියේ මංගල්‍යය දිනක බමන රාතී‍්‍ර හෝරාවක ය. සොරොලේ ගිය මඟ දෙපස සිටුවා තිබු මුල් නැති උණ පඳුරක් යට කුරුසියට වෙඩි වැදුණු ඔහුගේ සද්දන්ත සිරුර සැතපී තිබුණි. සර්පයෙක් බඳුව උන පඳුරේ එතී හුන් විදුලිය බුබුළු වැලින් ගිලිහුණු ආලෝක කදම්භ කුරුසියෙන් මතු වු රුධිරය විටින් විට වෛවර්ණ කරවීය. කොටි හෝබා ඝාතනය නන්නාදුනන තුවක්කුකරුවනකුගේ මංගල්‍යය සැමරිම විය.
ප‍්‍රාතිහාර්යයේ මුනින්ද්‍රයා අනුමත නොකළ ද අහක බලා සිටි අනිවාර්ය අංග කිහිපයක් පල්ලියේ මංගල්‍යය හා බැඳි පැවතුණි. මංගල්ලයට පෙරදා රාතී‍්‍රයේ බොහෝ නිවෙස් පිළිකණුවල මාරාන්තික ඌ වකින් මොර දෙමින් බැඳ සිටින කණු වටේ දුවනඌරන් දැක්ක හැකි විය. ශුද්ධවර අන්තෝනිතුමන්ගේ ප‍්‍රාතිහාර්යයීය ජීවිතයේ ජන්මය සැමරිම වෙනුවෙන් උහු මරණදණ්ඩනයට කැප වී සිටියහ. ඇතැම් ගැඹුරු කි‍්‍රස්තු භක්තිකයන් පවා මුන්නක්කරේ වායුගෝලය පුරා පැතිරි ගිය ඌරන්ගේ මරණයේ විලාපයට ඇහුන්කන් දීගෙන සිටියේ ගීතිකාවකට සවන් දෙන්නා මෙන් ප‍්‍රමෝදයෙනි.
ඌරු මස් කා තෙල වැඩි වුවන් අත පා සරඹ කඩු පොලූ හරඹ දැක්වීම අතිශයින් ස්වාභාවිකබව සිතමි. තෙල් මන්ද මේරු මදු මතින් බමන ආගමික ශ‍්‍රද්ධාවන්තයින්ගේ අනාගාමික කෙරුවාවන්ගෙන් මංගල්ලේ සන්ධ්‍යාව ඒකාලෝක වේ. ගම් වැසියන් ද ගමට පිටින් පැමිණි ඥාති හිතමිත‍්‍රාදීන් ද මේ විකුම් නරඹන්නේ සොරෝලය නරඹන්නාට වඩා වැඩි ආස්වාදයකිනි. හර්බට් මාමාගේ ඝාතනයද එක් විශේෂ සැමරුම් ලක්ෂණයක් විය….’’
මංගල්‍ය සංස්කෘතියේ ප‍්‍රධාන යොමුව ඇත්තේ කෑම බීම ඇඳුම් පැළඳුම් වෙතය. සංගීත ප‍්‍රසංග රතිඤ්ඤා සැරසිලි වෙතය. භාරහාර ඉටිපන්දම් පත්තු කිරිම් වැනි ආමිස පූජාවන් වෙතය. සින්බෑඞ්ගේ ස්තී‍්‍ර විරෝධයේ පදනම ඔහුගේම බිරිඳ මංගල්‍ය දාට පෙරදින බල්ලෙකු විසින් සපා කෑම අමතක කොට බඩජාරි කමට මංගල්‍යය දා ඌරු මස් කෑම නිසා මිය යාමෙන් ඇති වු කෝපය හා ශෝකයයි.
‘‘….එදා මංගල්ලෙට ඉස්සරින්දා මේකිගේ කකුල බැල්ලියෙක් අල්ලලා. මේ බැල්ලි මට කිව්වෙත් නෑ. මොකෙකුටවත් කියලත් නෑ. පට්ට බැල්ලි. මේකි කඩුපහර කොළ ටිකක් කොටල කකුල බැඳගෙන හංගගෙන ඉඳලා…’’
පස්සෙන්දා මංගල්ලේ. මේකි ගෙදර සේරම කටයුතුත් කරලා,පල්ලියේ ගිහිල්ලා ඔය හොඳට හිටියේ. හිතේ හයිය තියෙන ගෑනි. ඒ වගේමයි උයන්ඩ පිහන්ඩත්. ඒකි මාළුවක් ඉව්වොත් ආයි ගොරොක් කෑල්ලත් කතෑකි. පිහන්ඩ වගේමයි කන්ඩත්. කනකොට බලා ඉන්ඩ ලෝබයි. ඌරු මස කිව්වොත් පෙරේතී. මංගල්ලේටත් නැති ඌරු මස් මොකටදඑදා අපෙ දිහාත් ඉස්ටුව. මේකිට හැන්දෑවේ අමාරු වුණා. මීගමු ගෙනිච්චා එච්චරයි. බඩජාරි හැත්ත…’’
ක‍්‍රිස්තියානි සංස්කෘතිය තුළ හැදෙන වැඩෙන ඉතා රළු මදාවි මිනිසෙකු තුළ වුවද විශ්වාසයේ අංශු මාත‍්‍රයක් ගැබ්වී පවති. මංජුල මවන කොටි හෝබා ගේ පච්ච දෙක මගින් ඒ බව මනාව ඉස්මතු කෙරේ.
‘‘…..එකල මුන්නක්රේ චණ්ඩියා වු කොටි හෝබා’ හෙවත් හර්බට් මාමගේ මවිලින් තොර පපුවේ වම් ළැමේ උල්දත් විදහා ගොරව ගොරවා සිටින ව්‍යාඝ‍්‍ර හිසක විසල් කැටයමක් දක්නට ලැබිණ’ සියුම්ව ද සංයමශීලිව ද ළමැද සම රිදවා රිදවා නිමවා තිබු එම ව්‍යාඝ‍්‍ර හිස කෙතරම් රෞද්‍ර පෙනුමක් ගත්ත ද හර්බට් මාමගේ මුහුණට වඩා සෞම්‍ය විය. ව්‍යාඝ‍්‍ර හිසට යාබද දකුණු ළැම තීරය මත ජේසු පිහිටයි’ යන්න දක්වා තිබුණේ කුඩා කැටයම් කුරිසියට පහළිනි. ඔලිව් ඉත්තක් තුඩින් ගත් පරෙවියෙකුමසින් අනුන දකුණු බාහුවේ වසා සිටි අතර හර්බට් මාමා ඇවිදින වේගයේ දෑත් චලනයට අනුව පරෙවියා ඉගිළෙනු පෙනිණි….’’
කි‍්‍රස්තියානි සංස්කෘතියේ ජනපි‍්‍රය මතය තුළ මත්පැන් පානය වරදක් සේ නොදකියි. ඇන්ටනි සහ ගුණ්ඩුවේ අනිකුත් චරිත මත්පැන් පානය දකින්නේ ඒ ජනපි‍්‍රය මතය තුළ සිටිමිනි. මත්පැන් පානය සාධාරණීකරණය සඳහා ජේසු තුමන් අන්තිම රාතී‍්‍ර භෝජනයේදි  තම ගෝලයින්ට වයින් පානය කිරිමට දීමත්විවාහ මංගල්‍යයකදි වයින් මදි වු විට ජේසු තුමා විසින් වතුර වයින් බවට හරවා පානය කිරිමට දීමත් යන කිතු සිරිතේ සිදුවීම් බත්තලංගුණ්ඩුව තුළ උපුටා දක්වා ඇත.
‘‘ජේසු ස්වාමිදරුවෝ ඉස්සිස්සෙල්ලාම ප‍්‍රාතිහාර පෙන්නුවේ කොහෙදකානාත් නුවර සරණ මංගල්ලේදි. මොකක්ද කෙරුවේ?’’?
‘‘වතුර වයින් කළා’’ සින්බෑඩ් මැදට පැන උත්තර සපයයි.‘‘උත්තරීතර වයින්’’ ඔහු පපුව මත කුරුසිය ඇඳ ගනී.
‘‘එදා ජේසු ස්වාමිදරුවො බිම අනුමත කළා. දේවමෑණියෝ තමයි ඉල්ලූවේ පුතේ! වයින් ටිකක් මවලා මේ තිබහා නිමන්න කියලා. ඒ කියන්නේ දේවමෑණීයොත් බිම අනුමත කළා. ඒ හින්දා අපිත් බීම අනුමත කරනවා. අපි කරන්නේ එදා ඉඳන්ම කරගෙන ආපු කරුමාන්තයක්. සහතික තියෙන කරුමාන්තයක්. අපිට මවන්න බෑ. ඒ හින්දා අපි පෙරනවා.’’
‘‘මිදිවලින් මිදියූෂ. පළතුරුවලින් පලතුරු යුෂ’’ වීදුරුව අතින් ගෙන ඉහළ ඔසවා එසේ පවසන සින්බෑඩ් වීදුරුව කටට හළා ගනී. වීදුරුව පසෙක තබා කුරුසිය ඇඳ ගනී. 
     
‘‘බොනවා කියන්නේ විනය. ඒක දේවාසිර්වාදෙ තියෙන වැඩක්’’ ලිලීනෝනා මගේ උරහිසට තට්ටු කර කියයි.
නමුත් සමස්ත කිතු දහම තුළ එවැනි සාධාරණිකරණයට ඉඩක් නොමැත. ශුද්ධ වු බයිබලයේ පැරණි ගිවිසුමේ මෙසේ සඳහන් වේ.
‘‘දුක කාටදකාලකණ්ණිකම කාටදඅඬදබර කාටද?මැසිවිලි කාටදරතු ඇස් කාටදබීම බෝතලය ළඟ පමා වන මිනිසාටය. තව තවත් බොන්නට යන මිනිසාටය. මද්‍යසාරය රතට රතේ දිලිසෙන විට වීදුරුවේ පෙණ දමන විට ලස්සනට වැක් කෙරෙන විට ඒ දෙස නොබලන්න.
අන්තිමේදි එය නයෙකු මෙන් සපා කයි. පොළගෙකු මෙන් දෂ්ඨ කරයි.
සුරා සොඩුන්දමස් මාංසයට කෑදර වුවන්ද ඇසුරු නොකරන්න. මන්ද බේබද්දාත් කෑදරයාත් දිළිඳු බවට පැමිණෙති. ඔබත් වෙරි මතින්  හිඟමනට වැටෙනු ඇත.’’

මධුවිත සමඟ දිග හැරෙන සංවාදය තුළ බොහෝ සාධනිය කරුණු කාරණා ඉස්මතු වුවද බේබදුකම මනුෂ්‍යයාගේ උදාර බව කෙලසා දමයි. බත්තලංගුණ්ඩුවේ මෙන්ම බොහෝ ධීවර ප‍්‍රජාවන්ගේද දිළිඳුකම හා පවුල් ජීවිත අවුල් වීම කෙරෙහි බලපා ඇති එක් සාධකයක් ලෙස බේබඳුකම බලපා තිබේ. ඇන්ටනි දකින්නේ සරල සුන්දර සෞන්දර්යයකට මඟ පාදන මත්පැන් මධුසාද භජනය ගැන පමණි. නිසැකවම බීමත්කම කිතුනු ධීවර ප‍්‍රජාවගේ ජීවිත සමඟ බැඳි තිබේ. ඒ බැඳී තිබීම වඩ වඩා සාධාරණිකරණය කර ගැනීම මෙන්ම එය අවඥාවෙන් හා ව්‍යාජ සුචරිතවාදයෙන්  බැහැර කිරිම ඇති කරන්නේ එකම ආකාරයක අඳුරක් පමණි.

 

බත්තලංගුණ්ඩුව නවකථාව තුළ සියුම්ව ගලා යන තේමාවක් වන්නේ නිදහස් ලිංගික ජීවිතයයි. විවාහය නැමැති නෛතික රැහැන් පට ට ඔබ්බෙහි දිගහැරෙන ලිංගික ජීවිතය බත්තලංගුණ්ඩුව ජන ජීවිතය තුළ එක් අතකින් සාමාන්‍යකරණය වී පවතින බවක් ඇතැම් සිදුවීම් තුළ ගම්‍ය වේ. ඇන්ටනි බත්තලංගුණ්ඩුවට පැමිණි පළමු දවසේම රාතී‍්‍රය ගත කිරිමට එක් වතාවක් පමණක් හමු වු අනාමරියාගේ නිවසට යාමඒ ගමන සඳහා ඇන්ටනිගේ ම තාත්තා මං ලකුණු පෙන්වීම ඒ පිළිබඳ එක් නිදසුනකි.
by Ria Nieswaag
ආනමරියා සමඟ ගෙවෙන පළමු රාතී‍්‍රයේදි ඇන්ටනී ගේ සිතුවිලි පොකුරක් මෙසේය.
‘‘නිරුවත් දෙපා වැල්ලෙහි ඔබමින් පැමිණි ආනමරියා කෙළින්ම කළපු රළ බිදෙන මා ඉමට පිය මැන සාය තරමක් ඔසවා පා තෙමයි.
නාගරීක පේ‍්‍රම දුක්ප‍්‍රාප්තියකට සාපේක්ෂව නිවහල් කොදෙව්වක පේ‍්‍රමයේ එළිපත්ත වුව කෙතරම් හෘදයාංගම ද?මා මෙතරම් ම නිදහස් ව ප‍්‍රශ්වාස සුසුම් හා මුසු කොට පාකොට හරින්නේ මෙතෙක් මා අත්විදි හෘදයේ අධි පීඩනය නොවේදහෘදයේ කැටි ගැසුණු පිළුණු මතකයේ මේද ස්ථරය කළපු සුළගින් දියව ගිය පසු ඉතිරි වන්නේ හෘදයාංගමභාවය මිස අන් කවරක්ද?
මම සභ්‍යත්වයේ ඉබිකට්ට බිඳ ස්වභාවධර්මයට අනන්‍යවෙමින් සිටිමි. ප‍්‍රකෘතියට ආසන්න වෙමින් සිටිමි. පේ‍්‍රමය මනුෂ්‍ය ස්වරූපයයි. එහි ස්වභාවයයි. පේ‍්‍රමය ම කරණ කොටගෙන ඈත ඈත කොදෙව්වකට සම්ප‍්‍රාප්තව සිටින මම තරු බර හෝරාවක නිසල නෙත්කළු වෙරළක නන්නාඳුනන යුවතියකගේ දෝවනය වන දෙපා තුඩු දෙස බලා සිටිමි. ඒ දෙපා මත ගැටී විසුණු වී යන දිය සරැළි දෙස බලා සිටිමි. පේ‍්‍රමය විසින් මා රැගෙන එන ලද දුර. මසිත සැහැල්ලූවෙන් බර වේ.”
නමුත් මේ නිවහල් කොදෙව්ව කිසිසේත් ලිංගික බලහත්කාරය නොඉවසන බව පෙන්වාදෙන සිදුවීමක් අපට හමුවේ. ඒ බත්තලංගුණ්ඩුවේ පොලිස් ප‍්‍රධානියා සටකපට ලෙස එහි ස්තී‍්‍රන්ගෙන් තම ආශා ඉටු කර ගැනීමට ධීවරයින් දක්වන විරෝධයයි.
එකී සිදුවීම විස්තර කරද්දී සින්බෑඞ් නම් ධීවරයා උපමා කොට ගත්තේ බයිබලයේ එන දාවිත් රජු තම සිත ගත් යුවතියක් අපහරණය කිරිමට ඇගේ සැමියාව යුද්ධයට යැවූ පුවතයි.
‘‘දාවිත් රජ්ජුරුවෝ සෙන්පතියව යුද්ධෙට යවලා ගෙට රිංගුවා වාගේ මූත් හැමදාම මොක හරි වාඩියක’’
මේ ලොක්කා ධීවර බිරිඳක් සමඟ යහන්ගතව සිටියදිම අල්ලාගෙන ඔහුට පහර දී වෙනත් ස්ථානයකට ගෙන ගොස් විසිකර දමන ධීවරයෝ ඔහුට අනුබල දුන් පොලිස් ගෝලයාටද දඩුවම් කරති.
….ගෝලයාගේ ඇඳුම් ලිහල මහ පල්ලිය ඉස්සරහ ගස් බැන්ද . ගැහුවා බෝඞ් එකක් ඔළුවට උඩින් ‘‘පරදාර සේවනයට අනුබල දීම නිසා දෙවියන් වහන්සේ දුන් දඬුවමකි.’’
‘‘බොලාට තිබුණේ පිස්තෝලෙත් එක්කම ඌවත් කළපුවට තල්ල කරලා දාන්න’’ හිසෙහි අත් බැඳ වැල්ලෙහි දිගා වී සිටින කැහැට්ටා පවසයි.
‘‘මිනි නොමරව’’ ඒක දේව ආඥාවක්. කොහොමටත් මං ඌව මරනවට විරුද්ධයි. මොකෝබාගෙට බාගයක් වැරැද්ද කෙකර ගාන අම්මණ්ඩිලගේ’’
සින්බෑඩ් සෘජු බැල්මෙන් මදෙස බලයි. ‘‘ඇන්ටනි මහත්තයා දන්නවද’’ ඔහු අල්ල පොළොවේ ගස ගසා දිවුරන්නාක් මෙන් පවසයි. ‘‘ඩොනා අද තව වෙනකන් දන්නේ නැ අපි ඕකව ඉස්සුවේ උගේ වාඩියෙන් කියලා. අපේ එකෙක්වත් ඒ ගැන කෙළ බිංඳුවක් හැලුවේ නෑ. ඌ තව ෂෝක් එකට පවුල් කනවා.’’
නිදහස් පේ‍්‍රමය හා ලිංගිකත්වය ගැන ඇන්ටනිගේ සිතුවිලි ධාරාව ඔහු ආනමරියා හා සමඟ සම්භෝගයේ යෙදීම් අවස්ථා සමඟ විවරණය වෙයි.
‘‘.සම්භෝගයේ කුඨප‍්‍රාප්තිය තුළ සිතුවිලි අතුරුදහන් වී යයි. සිත ශුන්‍යත්වයේ ගැලෙයි. සංතෘප්තිය යනු ඒ අවකාශයම නොවේදදෙවියන් වඩින්නේ සංතෘප්තියෙ නැවුම් අවකාශයටය. රමණයේ පවතින දේවත්වයේ සලකුණ නොදන්නෝ සතුටසංතෘප්තිය වෙනුවෙන් නිරාහාරව යාච්ඥා කරති. මනුෂ්‍යභාවයේ ප‍්‍රාථමික ස්වභාවය දේව සමානාත්මතාවයි. එය පැහැදිලිවම බයිබලයේ උප්පත්ති පොත දක්වයි. පේ‍්‍රමයේ ලිංගිකත්වය මර්දනය කරගත්තෝ දෙවියන්ගේ පැමිණිම පතා දෑත් ඔසවාගෙන යදිති.
එහෙත් උන් වහන්සේ රමණයේ සත්කාර්යෙන් සතුටට පත් වු ආනමරියාගේ උපස්ථායක කුටියෙහි සක්මන් කරනවා ඇසේ…..‘‘
ශුද්ධ වු බයිබලයේ එන මූලික ඉගැන්වීමක් වන්නේ මිනිසා මවා ඇත්තේ දේව සමානකමට හා ස්වරූපයටය යන්නය. එහිදි දේව සමානකමේ මූලික ලක්ෂණයක් වන්නේ නිදහසයි.
‘‘දෙවියන් වහන්සේ තම ස්වරූපය අනුව මිනිසා මැවු සේක. දෙවියන් වහන්සේගේම ස්වරූපය අනුව ඔවුන් මවා වදාල සේක. පුරුෂයාද ස්තී‍්‍රද වශයෙන් ඔවුන් මැවු සේක.’’
 (උත්පත්ති පොත 1/27)
ස්තී‍්‍ර පුරුෂ ඇසුර පූජනීය එකකි. මිනිසාගේ පූර්ණත්වය ඇත්තේ ඒ තුළය. සම්භෝගය කුණුහරුපයක් හෝ පාපයක් නොවේ. එය යාච්ඥාවක් ද විය යුතුය. ඇන්ටනි සම්භෝගය තුළ දිව්‍යමය බව සොයයි. නමුත් නිදහස් පරිපුර්ණ ජීවිතය තුළ දිව්‍යමය බව මතු කරන පවුල් ජීවිතය හෝ ලිංගිකත්වයදේපල ක‍්‍රමය ඇති සමාජයක කුණුහරුපයක් බවට පත්වීම ඇන්ටනිගේ නිරික්ෂණයට හසු නොවේ.
තම වයසේ පසුවන නමුත් තමාගේ පියාගේ අඹුව බවට පත් වි ඔහුට දාව පුතෙකුද බිහිකර සිටින තමාට පුතා යයි අමතන ගේ‍්‍රටා හා ඇන්ටනි සම්බන්ධතාවයක් ඇති කර ගනී. අසරණ කම මගින් තම පියාවන් මිනිසෙකු සමඟ අඹුසැමියන්ව ජීවත් වීමට ඉරණම් ලබා සිටින ගැහැණියක් තුළ කැකෑරෙන,සමාජය විසින් නොකියවන හැඟිම් සමුදායක කථාවක් නොකියා කීම බත්තලංගූණ්ඩුව නව කථාවේ ප‍්‍රබලතාවයකි. ඇන්ටනි හා ගේ‍්‍රටාගේ සම්බන්ධය පේ‍්‍රමයදනොමැතිනම් මර්ධිත හැගුම් සමුදායක් ඉඩ ලද මොහොතක මතු වී ඒමක්ද?
ඇන්ටනි ගේ‍්‍රටාගේ කලින් කසාදයේ දියණියඅකුරු නොදන්නා ජසින්නාට තමා කැමැති බයිබල් පාඨය හඬ නගා කියවයි. ඒ පාඨය වනාහි පේ‍්‍රමය පිළිබඳ විශ්ව සාහිත්‍යයේ පවා  දැකිය හැකි ප‍්‍රබල කාව්‍යයකි. ශුද්ධ වු බයිබලයේ නව ගිවිසුමේ 1කොරින්ති 14 වන ඡේදයයි.
-පේ‍්‍රම පාරමිතාව-
‘‘මා මිනිසුන්ගෙන් දදේව දූතයන්ගේද,
භාෂාවලින් කතා කරතත්
පේ‍්‍රමය මට නැත්නම්
මම ගෝෂා කරන ගන්ඨාරායකට හෝ
කටුක රාවය දෙන
කයිතාලමකට හෝ සමාට වෙමි.
දිවැසි වැකකි දෙසීම වරම මට තිබුණත්
සියලු අභිරහස් ගැන අවබෝධයක් ද
සකල ඥානයද මට ඇතත්
කඳු සෙලවීමට තරම් බලවත් විශ්වාසයක් මට තිබුණත්
පේ‍්‍රමය මට නැත්නම්
මම හිස් තැනැත්තෙක්මි.
දන්දීම සඳහා මා සතු සියල්ල වෙන් කළත්
මගේ සිරුර ගිනි පූජාවක් සඳහා බිලි දුන්නත්
පේ‍්‍රමය මට නැත්නම්
මට කිසි පලක් නැත.
පේ‍්‍රමයඉවසිලිවන්තය. කරුණාවන්තය.
පේ‍්‍රමයඊර්ෂ්‍යාව වන්නේ නැත.
පාරට්ටු කරගන්නේ නැත.
උඩඟු වන්නේ නැත.
පේ‍්‍රමය අවිනීත නොවේ.
ආත්මාර්ථකාමි නොවේ.
හනික නොකිපේ.
නපුර සිතේ ධාරණය කර නොගයි.
පේ‍්‍රමය අනුන්ගේ වරද ගැන පී‍්‍රති නොවේ.
හරිදේ ගැන පී‍්‍රති වේ.
පේ‍්‍රමය සියල්ල උසුලයි.
පේ‍්‍රමයෙහි විශ්වාසයට ඉමක් නැත.
බලාපොරොත්තුවට නිමක් නැත.
ඉවසීමට අගක් නැත.
පේ‍්‍රමය සදාතනිකය.
දිවැසි වැකි වුවද පහව යන්නේය.
විවිධ ශබ්ද දෙසුම් වුවද නිම වන්නේය.
ඥානයද නැතිවන්නේ ය.
මන්ද අපේ ඥානය අසම්පූර්ණය.
දිවැසි වැකි දෙසීම ද අසම්පූණය.
මේ දිගු පාඨය සම්පූර්ණයෙන්ම කියවා නිමාවු පසු ගේ‍්‍රටාගේ ප‍්‍රතිචාරය විසින් නොකියන දෙය කියවීමට කතුවරයා අපට බලකරයි.
‘‘ මම සුසුමක් පිටකර හරිමින් ළය සැහැල්ලු කරගනමි. ජසින්තා මේසය මත ගල් ගැසී ඇත. උළුවස්සෙහි හේත්තු වී මා දෙස බලා හිඳින්නී ගේ‍්‍රටාය. මා හිස ඔසවත්ම බිම බලාගන්නීහැරි මුලුතැන් ගේ දෙසට පියමනී.’’
බත්තලංගුණ්ඩුව නව කථාව නිමාවන්නේ තාත්තා හා පුතාට මැදිවු ගේ‍්‍රටා කේන්ද්‍රකර ගනිමිනි. මැද ගැබ්බරවී සිටින ගේ‍්‍රටාය. දෙපස තාත්තා හා තාත්තාව කැඳවා ගෙන යාමට පැමිණි පුතා වන ඇන්ටනිය. අයිස් බෝට්ටුව යනු ඔහුට ආපසු යාමට ඇති බෝට්ටුවය. සිදුවන්නේ කුමක්ද?
‘‘ අයිස් බෝට්ටුව සෙමින් දියත් කරලීම අරඹයි. මම වාඩිය දෙස බලමි. තාත්තා මාළු පෙට්ටියක් මත වාඩිවී ඒ මත ඔසවා තබා ගත් කකුලක් මත අත් බැඳ බෝට්ටුව දෙස බලා හිදී.
වම් අත නමා පුළුල් වටොරෙහි රඳවා සිටින ගේ‍්‍රටාදකුණතින් පිපීගෙන එක ගැබ පිරිමදින්නීදෑස අහසෙහි පා කර හරි.
ඉමක් නොපෙනන කළපුවේබිඳි විසිරෙන රළ රැළින් ඇස මුදා ගන්නා මමහැරි වාඩිය තුළට පිවිසෙමි.’’
නගරයේදි තමාට හමු නොවු පේ‍්‍රමය ඇන්ටනීට බත්තලංගුණ්ඩුවේදි හමුවීදඇන්ටනි ආපසු නගරය වෙත නොගොස් සිටීම ගේ‍්‍රටාගේ කැමැත්තය. ඒ කැමැත්ත තුළ ඇත්තේ පේ‍්‍රමයද?
කි‍්‍රස්තියානියේ මූලික ධර්ම ගුණය එසේත් නැත්නම් ඉගැන්වීම වන පේ‍්‍රමය බත්තලංගුණ්ඩුව නව කථාව තුළ අපට ස්පර්ශ වේදඉගැඹුරු පේ‍්‍රමය මතු පිට කාව්‍යමය වචනවලින් හා නිදහස්කාමි ලිංගික ජීවිතයක විඳීම් තුළින් පමණක් හසුකර ගත හැකිද?

බත්තලංගුණ්ඩුවේ ජන ජීවිතය එහි කිතුනු සංස්කෘතියේද ධීවර ජන ශ‍්‍රැතියේ සුවිශේෂි හැඩතල තුළින් ද ඉතා නිර්මාණශීලිව හා කාව්‍යමය ලෙස සිතුවම් කිරිමට මංජුල මෙම නවකථාව තුළ සමත්වෙයි. විශේෂයෙන් මෙරට ජනගහනයෙන් 7%ක් පමණ වන කි‍්‍රස්තියානින්ගේ ජීවන විලාසයේ ඇතැම් අංශ සංස්පර්ශ කිරිම මගින් ඔහු ලාංකේය සාහිත්‍යයට නව මානයක් එකතු කරයි.

 

බත්තලංගුණ්ඩුවේ ජනතාවගේ ජීවිතය කෙරෙහි බලපාන එම ජනතාව පවා අවධි නොවු සමාජ ආර්ථික කාරණාවන් විග‍්‍රහ කිරිම නව කථාවක කාර්යභාරය නොවන බව සැබැ මුත් එකී කාරණා එල්.ටී.ටී. ය ධීවර බෝට්ටු ගැනිමඑල්.ටී.ටී.ය විල්පත්තු කැලැව ආරක්ෂා කිරිම හමුදාව හා පොලිසිය කප්පම් ගැනිම ආදි සිදුවීම්වල මතුපිටින් ඔබ්බට මඳක් හසුකරගත හැකි වූයේ නම් සුසංවර්ධිත ජීවිතයක් උදෙසා ඉමහත් ආලෝකයක් සම්පාදනය වන කථාවක් අපිට හමුවනු ඇත.
අද බත්තලංගුණ්ඩුවේ ධීවරයා ඔහුගේ ප‍්‍රාථමික ජීවිතයෙන් ගලවා දමා වෙළඳ පොල සංවර්ධනයේ ගොදුරක් බවට පත් කරමින් සිටී. කල්පිටිය දූපත් එම සංවර්ධනයේ දඩබිම් බවට පත්කොට ඇත. ඉදිරියේදි ඔවුන්ට හමුවීමට නියමිත වන්නේ ඔවුන් මෙතෙක් ගත කළ සරල ජීවිතයේ අත්දුටු පේ‍්‍රමය වෙනුවට අලවි භාණ්ඩයක් වන පේ‍්‍රමයයි. පේ‍්‍රමය ලිංගිකත්වය හා නිදහස එහි උත්තරීතර ස්වභාවයෙන් මුදවා වියවුලක් බවට පත් කරන ක‍්‍රමයේ නරුමකම නගරයෙන් බත්තලංගුණ්ඩුව වැනි හුදකලා ලෝකයන් වෙතද ගමන් කිරිමේ යථාර්ථය අද එම දූපත්වාසින්ට අභිමුඛ වෙමින් තිබේ.
පපු කැවුත්තෙන්ම අව්‍යාජව ජීවිත සටනට උරදෙන පේදුරු නම් ජේසුස්ගේ අග‍්‍ර ශ‍්‍රාවකයාගේ පරපුර සතු අහිංසක ඇදහිල්ලේ පොල්මඃකරුවන් වන සභාව මේ සංවර්ධන ව්‍යාධිය ඉදිරියේ ධීවරයා නිවට කර බලවතුන්ගේ ව්‍යාපෘතිය කෙරෙහි ඔහුව බැඳ තැබීමට සහය වනු ඇත. බත්තලංගුණ්ඩුව නව කථාව තුළ අන්තෝනි මංගල්‍ය පවත්වන්නට සභාව දායකවන තරමින් අංශූ මාත‍්‍රයකින්වත් ගුංඩුවේ අධ්‍යාපනය නැංවීමට සභාව කි‍්‍රයාත්මක නොවීම මගින් පෙන්වන යථාර්ථය එයයි.
‘‘පඳුරු ලලා වැඩුණු තණකොළින් අතරින් පතර වික්ෂෝප මාතා පාසලේ අත්තිවාරම දිස්විණ. එය ගොඩනැඟිල්ලක් නොමැති පාසලකි.
ඇමතිවරයෙකු අතින් රෙදි ඇරුණු සිහිවනට ඵලකය,උස්තෘණ පඳුරු අතර සැඟවී සිටියේ ලැජ්ජාවෙන් බේරි සිටීමට මෙනි’. වික්ෂෝප මාතාව අහසේ කොතැන හෝ සිට බත්තලංගුණ්ඩුව දෙස බලා සිටියේ නම්ඇය බොහෝ සේ වික්ෂෝප වන්නට ඇත්තේ මෙහි පාසලක් නැති නිසා නොව දේශපාලක අහිනක් අතර ඇගේ ශී‍්‍ර නාමය ද කොටා තිබුණු නිසාවෙනි.
‘‘ඇයි මේක හදන්න බැරි’’ මම ධීවර සමිතියේ රේගන්ගෙන් ඇසුවෙමි.
‘‘මුදලාලිලගෙබෝට්ටු අයිතිකාරයන්ගේ ළමයි මීගමුවේඉස්කෝල නැත්තේ රස්සාකාරයන්ගෙයි,අත්උදව්කාරයන්ගෙයි ළමයින්ට’’ රේගන්ගේ පිළිතුර වූයේ එයයි.
‘‘ ඒ අයට තමයි ඉස්කෝලේ  ඕනේ’’
‘‘මේ වගේ තැන්වලට එන්න ගුරුවරු කැමති නෑලු’’
ප‍්‍රශ්නයක් දැනෙන්නේඊට මුහුණ දෙන්නා හා ප‍්‍රශ්නය අතර ඇති සම්බන්ධයේ පරිමාණයට සාපෙක්ෂවයි. රේගන් සමිතියේ කවර නිලයක් උසුලන්නේ වුව ඉස්කෝල ප‍්‍රශ්නය ඇත්තේ ඔහුගේ ජීවිතයට සාපෙක්ෂව බොහෝ ඈතිනි’ ඔහු මුදලාලි කෙනෙකි. දරුවන් සිටින්නේ මීගමුවේය.
‘‘මේකේ සීයට අනුවක් කි‍්‍රස්තියානිකාරයෝ. ඇයි බැරි සභාවට කියලා කෙනෙක් ගෙන්න ගන්න?”
සරල ඇදහිල්ලේ සැඟව ඇති විමුක්තිදායක ගිනි පුළිගූ දල්වමින් ඉහත කී යථාර්ථයට ගුංඩුවේ ජනයා ඉසියුම්ව අවදි කරන දූතයෙකුගේ සම්ප‍්‍රාප්තියක් බවට ඇන්ටනිගේ පැමිණිම පත් නොවන්නේ ඔහු මේ මොහොතේ පසුකරන ජීවිත අරගලයෙන් එය දුරස්තර බැවිනි. නමුත් ඇන්ටනි බත්තලංගුණ්ඩුවේ නැවතීම එවැන්නක ආරම්භයක්  විය නොහැකිද?
ඇන්ටනිටගේ‍්‍රටාටතී‍්‍රසාටආනමරියටසින්බෑඩ්ට මෙන්ම අපටද ආදරය හමුවන්නේආදරයෙන් තොර සමාජ ආර්ථීක මෙන්ම ආගමික ව්‍යුහයන්ගෙන් මිඳුනු ජීවිතයක් ලෝකය තුළ ප‍්‍රතිෂ්ඨාපනය කර ගැනිමෙනි. ඇන්ටනි ඇතුළු පාත‍්‍ර වර්ගයා සොයන්නේ ඒ ආදරයි.
-මහින්ද නාමල්
කිතුසර ප්‍රධාන සංස්කාරක


මැයි මල් සිලිටි පෙති මත

by Zdzislaw Beksinski

මැයි මල් සිලිටි පෙති මත
ඇයි මේ සිහින පිනි බිඳු?

නො සන්සුන්වද හිමිදර
ඇහැර ගන්නට බැරි
ඇසතු ගසකින් ඇසුවෙ‍ද
රෑ පුරා නිදි වැරූ
සන්සුන් ම හිත ගැන?

නේරංජනේ ඉවුරත
සිහිසන් නොවුණු සිහිනෙක
දෑසින් ගලන මඳහස
දෝතින්ම ගෙන පුදනෙමි
මෑතින් ඇහෙන කඳුළට.

හිස කෙස් සිඳින විට
සවන් පෙති දිගැරී
පුළුල් උරහිස මත
හෙමින් සැතපෙන මොහොතක
සවන් පතුළත කැළඹුන
නිවන් එළැඹුම මෙහෙම ද?

නෙළුමින් නෙළුම පියමැන
සත් වසක් පසුකළ
සත් නෙළුම් විඳි දෙපයට
බිම්බරක් දිවි හළ තැන
පස් මිටක්වද මතකය?

සමන් ගිර මුදුනත
මඟුල් සුළකුණු දියැවෙන
පතුල් පුදසුන එයම ද
වෙසක් සඳ සපැමිණ
නලල් අඩසඳ අතුරන.

මැයි මල් සිලිටි පෙති මත
ඇයි මේ සිහින පිනි බිඳු?

2017 මැයි 18

ම්‍යු​ගේ සැමරුම් සුවඳක

MUGUET © Manjula Wediwardena

සීත මීදුම් තිරපට
ලිහි ​ලිහී විසිරෙන
රිදී නිම්නය ඇහැරෙයි
ම්‍යුගේ* සැමරුම්​ සුවඳට…..

වසන්තය එන බව
සීනුව ගසා කීවද
නිහතමානී සුවඳින්
හිස පහත් කරගෙන….

​’​මැයි පළමු දා’​ දවසක
ඇයි ඔය දෑත් බැඳගෙන
එන්න අත් විහිදන්
ම්‍යු​ගේ මුකුටය ​තුරුළට…

සිලිටි පත් හැඳගත්
වසන්ත දසන් මැදගත්
කිනිති සුද ඉහිරන
මේ මල් කළඹ ඔබට ය

අත් හැරලන්න බැරියෙන්
​ආදරය සමරමු……………….
තෙත්බර සිලිටි මල් පෙති
නෙත් පියන් යට අහුරමු. ​

* (ඉංග්‍රීසියෙන් ​ ​’ලිලී ඔෆ් ද වැලී’ ​ලෙස මෙන්ම ‘මේ ලිලී’ සහ ​’මේ බෙල්ස්’ ලෙසින්ද හැදින්වෙන ​’ම්‍යුගේ’ මල,​ ෆ්‍රන්සයේ​ ​මැයි පළමුදා ​සැමරුම් මල ලෙස යොදා ගැනේ.)

දුෂ්ටයා ලිට්මස් පරීක්ෂණයෙන් සමත්ද?

 

by Zdzislaw Beksinski

ශෝකයත් රසයක් නම් දුෂ්ටකමත් සෞන්දර්යයකැයි ‘දුස්ටකමේ සවුන්දර්ය’ ගැන කෙටිකතා සංග්‍රහයක් ලියූ මේ ලේඛකයා සති කීපයකට එපිටදී පුවත්පතකට කියා තිබිණ.
පෙරදිග නාට්‍ය විචාරයට අනුව විභාව, අනුභාව සහ ව්‍යභිචාරී භාව සංයෝගයෙන් රස නිෂ්පත්තිය සිදු වේ. භරතමුනිගේ නාට්‍ය ශාස්ත්‍රයේ රස සිද්ධාන්තය පරිදි භාව අටක් ද ඒවායින් ජනනය වන රස අටක් ද ඉගැන්වෙන අතර, පසුව ධනංජය ලියූ දශරූපයේදී ඊට තවත් භාවයක් සහ රසයක් එක් කිරීමෙන් නව නාට්‍ය රස නිර්මාණය වේ. කලාව න්‍යායික ප්‍රවේශයන් ඔස්සේ සාකච්ඡා වන බොහෝ අවස්ථාවල රාමුගත ස්වරූපයක් ගන්නා බව සැබෑවකි. බොහෝ සාහිත්‍යකරුවෝ මේ අතීත සිද්ධාන්තයන්හි ආකෘතික වහල්ලු ය. නො සෙලවිය හැකි ගල් රූප බඳු අධිපති මතවාද අරක් ගත් විට සාහිත්‍යයේ කලා සංස්කෘතික අවකාශය වඩ වඩා ප්‍රමාණයෙන් කුඩාවෙමින් ආපසු ගමනක යෙදෙන්නට පටන් ගනියි. ඊට එරෙහි ව දේශපාලන අරගලයක් කරන නූතන ලෝකයේ කලාකරුවෝ සාම්ප්‍රදායික දෘෂ්ටීන් ප්‍රශ්න කොට ඉදිරිගාමී සංස්කෘතික අවකාශයක් වෙනුවෙන් නව්‍ය අදහස් සමාජගත කරන්නට උත්සුක වෙති. යහපත සහ අයහපත යනුවෙන් රේඛීය ව අධිනිශ්චය වූ සදාචාරවාදී අන්ත දෙක මධ්‍යයේ සවිඥානක ව හෝ අවිඥානක ව අමතක කෙරෙන, වඩා සෞන්දර්යවාදී අවකාශයක් ද පිහිටන බව නූතන සාහිත්‍යකරුවෝ පෙන්වා දෙමින් සිටිති. වලව්කාර වැඩවසම් න්‍යායයන් අභියෝගයට ලක් කරන ප්‍රගතිශීලී කලා සංස්කෘතික අවකාශයක හිඟකම මේ මොහොතේ ලාංකික සමාජය අත්දකින ඛේදනීය අඳුරු යථාර්ථයයි. එවන් නිමේෂයක දුෂ්ටකමේ ඇති සෞන්දර්යය ගැන මංජුල වෙඩිවර්ධන සිංහල පාඨකයාට නැවුම් අදහසක් යෝජනා කරමින් සිටියි.
අනූව දශකයේ දී පළ කළ ‘නිරුත්තර සමාධිය’ කෘතියේ පටන් මේ වසරේ දී පළ කළ ‘දුස්ටකමේ සවුන්දර්ය සහ රත්මලානේ තවත් කතා’ දක්වා වූ මංජුල වෙඩිවර්ධනගේ නිර්මාණ වපසරිය කවි ද ගීත ද කෙටිකතා ද නවකතා ද තිර නාටක ද හමුවන පැතිරුණු අවකාශයකි. ප්‍රථම කෙටිකතා සංග්‍රහය ලියා දහසය වසරකින් ඔබ්බේ හෝ ඔහු යළි තවත් කෙටිකතා සංග්‍රහයක් එළිදක්වන්නේ, ‘මේරි නම් වූ මරියා’ වාරණය කළවුන්ට රිදෙන්නට කනේ පාරක් ගසමිනි. ‘දුස්ටකමේ සවුන්දර්ය’ මේ කෘතියේ එන කෙටිකතා හයෙන් එක් කෙටිකතාවක් වුව, සැබැවින් ම කෙටිකතා හයේ ම සාහිත්‍යමය අන්තර්ගතය දුෂ්ටකමේ සෞන්දර්යය පිළිබඳ ව ම ය.
‘සැමියා විතැන් වූ අවකාශය වෙත වැටුණු ‘මල්ලී’ හා තාත්තා අහිමි අවකාශයට වැටුණු ‘අයියා’ එකම තැනැත්තකු වූ බැවින්, ඒ අම්මා සහ දුව, මා අත් දෙපසට ඇද කුරුසියක තබා ඇණ ගසනු ලද්දාහු ය. එසේ වූයේ, හිසට කටු ඔටුන්න වැටීමට තීන්දු වී තිබියදී ය.’
අම්මාගේ කනවැන්දුම් භාවය පිළිබඳ සිතිවිලි සහිත ව නෙල්කාට සැමියෙකු වන අතර ම ෆිලමිනාටත් ඇගේ දුව රොවිනාටත් මැදි වූ ‘පාන්දර වන තුරුම අද රෑ’හි කතා නායකයා බත්තලංගුණ්ඩුවේ ඇන්ටනී සිහිපත් කරවයි. මේ යුගයේ ලාංකික විඥානයේ පිළිලයක් තරමට ඔඩු දිවූ ඊනියා සදාචාරවාදයෙන් විතැන් වී නිර්මාණකරණයේ යෙදෙන්නට හැකි නිර්මාණකරුවන් සිටීම ම නූතන සාහිත්‍ය පරිශීලකයන් අස්වසන්නේ ය. මහා සමාජය නම් ජරපත් කුහකත්වය අතික්‍රමණය කර සංස්කෘතියේ හික්මවීමට යටත් නුවූ, ක්ෂුද්‍ර එහෙත් අසීමිත හුදෙකලා අවකාශයක් වන බත්තලංගුණ්ඩුව ස්වකීය නැවතුම්පළ කර ගන්නා ඇන්ටනී ද පරමාදර්ශී සමාජ සංකල්ප විසංයෝජනය කර ‘අන් තැනක ජීවිතයක්’ ආදරයෙන් වැලඳ ගනියි.     
‘ඒත් දැන් මෙතන වෙන අවුලක් වෙලා. මෙතන මගේ පෙනුම ම තියෙන මගේ නම ම තියෙන මිනිහෙක් ඉන්නවා. ඒත් දැන් මං නෑ.’

ආයතනගත සමාජ ව්‍යුහය විසින් මිනිසා මත ආරෝපණය කරන ලද හොඳ නරක සහ දුක සැප පිළිබඳ වූ සම්මත රාමුව සියුම් ව ප්‍රශ්න කරන නිදහස් මිනිස්සුත් ගැහැනුත් කතුවරයාගේ නිර්මාණ තුළ බහුල ව සැරිසරති. මේරි නම් වූ මරියාහි ජෝසප් නම් සැමියා විසින් කන්‍යාභාවය නො බිඳින ලද මරියා, සිය රහස් පෙම්වතා නිසා තමා ගැබ් ගතහොත් සමාජයට මුදා හරින්නෙමැයි සූදානම් ව සිටින පිළිතුර, ඉන්දීය ලේඛක ප්‍රේම්චාන්ද්ගේ ‘දරුවා’ කෙටිකතාවේ, විවාහ වී හයමසකින් ගෝමතී දේවියගෙන් ලැබෙන දරුවා තමාගේ ම දැයි සමාජය ප්‍රශ්න කරන විට ‘මගේ වෙන්නෙ කොහොමද? දරුවා දෙවියන් වහන්සේගේ නෙ?’ යනුවෙන් ගන්ගු බඳින පිළිතුරට සමාන්තර ය.
‘ඔයා ජෝසප්ට කියන්න දරුව දෙවියන් වහන්සේගෙ කියල.’

‘විප්ලවීය කෙට්ටු අතක ස්පර්ශය’ කෙටිකතාවේ කතා නායකයා සිය ජීවිතයේ පරමාදර්ශී චරිතය වන පිලුප් සහෝදරයාගේ බිරිඳ විසින් විවාහය රැක ගැනීමේ පරම චේතනාවෙන් කරන ලද ඉල්ලීම පිට පිලුප් සහෝදරයාගේ පෙම්වතිය වන නයගරා හා හාද වන අතර, ‘දුස්ටකමේ සවුන්දර්ය’ කෙටිකතාවේ කතා නායකයා සිය සතුරාගේ ප්‍රතික්‍රියාව පිරික්සනු පිණිස ම පමණක් ඔහුගේ පෙම්වතිය හා හාද වෙයි. තම සතුරාගේ පෙම්වතිය තම බිරිඳ වී හිඳිමින් ම සිය පැරණි ප්‍රේමය ද නඩත්තු කරද්දී මේ දුෂ්ටයා සාම්ප්‍රදායික දුෂ්ට භූමිකාව ආරෝපණය කර නො ගනියි. පදනම හෝ ස්වභාවය කුමනාකාර වුව මානව සබඳතා පැතලි නැති බව සහතික ය. කළු සුදු සමතල කියැවීමෙන් පාඨකයා මුදාගනු ලබන්නේ ඉන් ගම්‍ය කරන මනුෂ්‍ය අදහස විසිනි.
“සෙනසුරාදා හවස් වරුව ආයෙ බඩුම තමයි. පහ නමය අතර. ඌටත් දවස ගානෙ රස්තියාදු වෙන්න බෑනෙ පරණ සිද්ධි හින්ද. ඌ සෙනසුරාද හවස මැදගෙන ඉන්නෙ ඕකට. මගේ පැත්තෙන් ගත්තොත් අම්බ චාටර්. පට්ට නෝන්ඩි සීන් එක. මං කියන්නෙ මට. අනිත් පැත්තෙන් ගත්තොත් මාර බොක්කෙ සිද්ධියක්නෙ. නිකම් ඔටෝමැටික් ලෙස ගත්තොත්, තමන්ගෙ ගෑනි අඤ්ඤකොරොස් නම් එක්කො මර්ඩර්, නැත්තං ඩබල් මර්ඩර්. ඒක නම් ඕනි, ඒක අද දෙන්න බැරියෑ. නමුත් අනිත් පැත්තට හිතුවොත් ඇත්තටම අපෙ ඇන්ජියා උගේ කෑල්ලනෙ. මගේ යෑ? උන් දෙන්නට දෙන්නා ලව්නෙ. ඉතින් පව්නෙ.”

by Mooniak

කෙටිකතාවේ මූලික සාම්ප්‍රදායික මිනුම් දඬුව යැයි පිළිගැනෙන ඒකීය ධාරණාව අතික්‍රමණය කිරීමට දුස්ටකමේ සවුන්දර්යයේ දී කතුවරයා සවිඥානක ව පෙළඹෙයි. එක මිටකට ගත හැකි කෙටිකතාවක් වෙනුවට හේ හැම විට ම වඩා විසිරුණු, විචිත්‍ර දිශාවන්ට පෙරළා ගතහැකි කෙටිකතාවක් නිර්මාණය කරයි. ඇන්ටන් චෙකොෆ් සහ ගී ද මෝපසාං සමාජගත කළ කෙටිකතාවේ ආකෘතික සහ සන්දර්භීය ලක්ෂණ සිංහල කෙටිකතාවේ දී මුලින් ම සමතික්‍රමණය කළෝ අජිත් තිලකසේන සහ කේ. කේ. සමන් කුමාර වැනි කෙටිකතාකරුවෝ ය. ඉනිබ්බේ කෙටිකතා කලාවෙහි ලා මංජුල වෙඩිවර්ධන සලකුණු කරන භාෂා වර්ණය ඔහුගේ සාහිත්‍යය පිළිබඳ මඟහැර යා නොහැකි නැවතුම්පළකි. ඔහු ස්වකීය ලේඛනය නියෝජනය කරන දෘෂ්ටියට පක්ෂපාතී භාෂා රටාවක් කෘතියට අනන්‍ය ව අත්හදා බලයි. එය ලෝකය දූපතකට වඩා බෙහෙවින් විශාල බව ගම්‍ය කරවන උත්ප්‍රාසවත් භාෂාවකි.
“පොඩි හාමුදුරුවන් පෙනී සිටියේ බෝගහපලානේ වප්පිත නමිනි. ඔහු තරමක් මිටි ය. ඔවුන් අපට ධර්මය බෙදා දුන්නේ අප ඔවුන්ට ගිලන්පස පූජා කරද්දී මෙන් දුම් දමන ශ්‍රද්ධාවකිනි. ඔවුන්ගෙන් අපට මුලින්ම අනුශාසනා ලැබුණේ හැකි තරම් ‘පැකට්’ කෙරෙන් මිදී ‘මිටි’ වෙතට ළංවීමට ය. අපි හැන්දෑවට හැන්දෑවට උන්වහන්සේ සමඟ විසිතුරු අභ්‍යාස කළෙමු. එකී පෙන්නුම් මඟ ඔස්සේ යමින් මහත් වෙර වීරිය වඩමින් උස් තැන් කෙරෙන් මිදී මිටි තැන් වෙත ළඟාවෙමින් සිටියෙමු. ඒත් පිලුප් මහත්තයාගේ විප්ලවීය බැරියර වැටෙන තුරු වප්පිතයන්ගෙන් නම් කිසිසේත්ම දුමට තහංචි වැටුණේ නැත. වැඩි සීනි තේ බොන කිසි කෙනෙක් උන්වහන්සේ වැඩි සීනි ගිලන්පස බී වදාරන්නේ ඇයිදැයි සොයා බලා නැත. සඳගාමී මිනිසුන්ගේ කුහකකමක් නැත.”
නිර්මාණකරුවාට භාෂාව අමුද්‍රව්‍ය මැටි ගොඩකි. භාෂාවක් යනු නීතිරීති ඉබියතුරු දමා හිරකරන ලද පෙට්ටගමක් තුළ බහාලනු ලැබූ ශුද්ධ වස්තුවක් නො ව සකල භාෂකයන්ගේ නිදහස් පරිශීලනය පිණිස විසුළ විවෘත අවකාශයක් බවට කතුවරයාට ආවේණික නම්‍යශීලී භාෂා ශෛලිය දෙස් දෙයි. නාටකීය මනැස් රූප මවන, සීමා මායිම් නො හඳුනන බසක් සාහිත්‍යය අලංකෘත කරන්නේ ය.
“අප දෙදෙනා කාෂියා මාවතට එන විට බුනීල ඇන්ටි හිටියේ බුනීල මල් පෙති නෙළමිනි. ඇය සතියකට දෙතුන් වතාවක් උලුවස්ස අබියස වන මුව විට පළල කැටයම් මැටි බඳුනේ දිය මත, දියට ම දිය වී යන සිලිටි බුනීල පෙති අතුරයි. අප දෙදෙනා ඇගේ බුනීල සංසාරය අබියස හිටගන්නා විට මතු ව ආ සුළඟ අදත් ඇතැම් විට මා මනස කළඹයි. මොකෝ බොලා දෙන්නා සුළි සුළඟකුත් අරගෙන, බුනීල ඇන්ටි ඇසුවේ සිකි සිකි ගගා හිනා වී ගෙන ය. සුළඟ හැමූ අතට පිට දුන්නී, ඇය, දෑතෙහි වූ මල් පෙති රැක ගන්නට වෙර දැරුවා ය. චිචිරයා හෙණ ගැහැව්වාක් සේ ඩූලාගේ අසනීපය ගැන අම්මාට කිව්වේ මගේ ගැම්ම ඇඟට අරගනිමිනි. බුනීල ඇන්ටි අතේ වූ නන් පැහැ බුනීල පෙති, වියරු සුළඟෙහි වෙලෙමින්, ඒ මේ අත ගසාගෙන ගිය අයුරු විටින් විට මා මතකය කළඹාලයි. පැහැය නො පෙනෙන එක් සිලිටි පෙත්තක් තවමත් මා මනසේ ගැඹුරුතර ඉසව්වක ඇලී ඇති බව මම හඟිමි.”

රෝලන්ඞ් බාත්ගේ  The Death of the Author සංකල්පය ආදි වූ, කතුවරයා සම්බන්ධයෙන් පුද්ගලබද්ධ වී සාහිත්‍යය කියැවීම පිළිබඳ මතභේද එසේ ම තිබෙන්නට හැර, මේ ලේඛකයාගේ නිර්මාණ පරිචය ගැන යමක් සඳහන් කළ යුතු ම ය. කලාව කලා භාවිතය සහ පාඨකාගාර රසිකාගාර ද මේ ගෙවෙන මොහොතේ ලිට්මස් පරීක්ෂණයකට භාජනයවෙමින් තිබේ. ප්‍රතිභාව, ව්‍යුත්පත්තිය සහ සතතාභ්‍යාසය යන තුන් ඈඳුතු කාරණ පරිපූර්ණත්වයට පත්කර ගන්නා යමෙකු කලාකරුවා හෝ සාහිත්‍යකරුවා වශයෙන් සමාජ නිර්ණයකට ලක් කිරීම චිරන්තන කියැවීමකි. මේවා සපුරා ගත් බොහෝ සාහිත්‍ය කලාවේ නියැළෙන්නන්ට දෘෂ්ටි හීනතාව නම් ව්‍යාධියක් වැලඳී තිබේ. ලිට්මස් පරීක්ෂණය කළ යුත්තේ ඔවුන්ට ය. මේ මොහොතේ සාහිත්‍යකරුවා පමණක් නො ව, ඕනෑ ම රටක පුරවැසියා ද එකී පරීක්ෂණයෙන් සමත් වන්නේ නම් හෙතෙම මනුෂ්‍යයෙකි. ජාතිවාදී, ආගම්වාදී, කුලවාදී, වර්ගවාදී, ප්‍රාදේශීයවාදී, වර්ණවාදී කිසිවෙකු මනුෂ්‍ය සන්තානය පොහොසත් කරන සාහිත්‍යකරුවෙකු ලෙස නො සැලකිය යුතු ය. වෙඩිවර්ධන ලිට්මස් පරීක්ෂණය ජය ගත් බවට සාහිත්‍ය කෘති සාක්ෂ්‍ය සපයමින් සිටියි. කලාවේ නිෂ්පත්තියට විප්‍රයෝගය ප්‍රස්තුත වන බව සත්‍යයක් කරමින් මෙන් විප්‍රවාසීත්වය විසින් ම වෙඩිවර්ධනගේ සාහිත්‍යකරණය ඔපමට්ටම් කරනා සෙයකි. සමස්තයක් ලෙස ඔහුගේ සාහිත්‍ය ලියවිලිවල සන්දර්භීය ලක්ෂණ දුෂ්ටකම් ලෙස මහා සමාජයට දිස්වන බවට සැකයක් නැත.

විශාල හදවත් ඇත්තෝ ඒවා කිසි දින දුෂ්ටකම්වලට ලඝු නො කරති

– චතුපමා අබේවික්‍රම

(‘රාවය’, 2016 නොවැම්බර් 27)

මෝසම් දෙකිඳ

 

By Maurice Sapiro

ඇහැ ළඟ
ගලන සඳකැන් මෝසම
ඈ ළඟ.

ඒ අත්ල
මේ අත්ල මෙන්
සිය සිය සියවරක්
පිරිපහදු වර නංවා
සුළැගිලි තුඩ පවා
සිලිටි මැටියෙහි සනහා
ඇහැ අගට ළං කර
උණුහුම විඳින්නට
මෝසමට නො හැකිද?

මූකලන්බත්වුණු
ඇහි පිල්ලමක් යට
ගිම්හාන මැත දොඩවන
වස්සාන කවියක
නටඹුන් දකින මෝසම
‘වැහි මූකලන්’ සොය සොය
වෙන කොහේ යන්නද?

මහදෙහි නිරිතදිග
‘නිවර්තන’ එළඹුම
ඈ ඇස අගින් නැවතී
දිවැසි වැකි කිය කිය
‘වේරම්භ වා’ කළඹා
ගලන සඳකැන් ම ය.

ඈ ළඟ
ගලන සඳකැන් මෝසම
ඇහැ ළඟ.

(2017 අප්‍රේල් 07)

වැස්ස පටං අරං

by Malcolm T Liepke

නටන වැස්සක් යට
නටන මිනිහෙක් දුටුවොත්
ඔබ නටනවද ඔහු හා
අඬනවද නැත්තං…

හංගන්නෙ මොකටද
අතෑරලන්න ඇත්තම
වැහි නැති දිනෙක පුපුරණ
සොඳුරු අකුණක් ලෙස

නටාගෙන එන වැස්සට
සිසිල දුන් ඇස් දෙක
කාටවත් වැඩියෙන්
දන්නව නේද ඔබ?

වේදනාවෙන් උපදින
ඔහු නටන රිද්මය
උත්කර්ෂයක රඳවන
කවි ලියා මොකටද?

කට කමසිරියාව
තැතිගැන්ම විතරද
ආදරය මෙලැවුණු
දුර්ග මඟ කෙළවර

පොප්ලර මතක බිම කැණ
ඉන්දූ විලෝ ගස මත
මැයි මාර කවුඩෙක්
කරව් කරනා, මෙහෙව් වැස්සක

නටන මිනිහෙක් දුටුවොත්
ඔබ නටනවද ඔහු හා
අඬනවද නැත්තං
වැස්ස නවතිනකං

(2017 අප්‍රේල් 06)

එක්තරා නො එළඹුණු සිසිරයක

Autumn to Winter by Simon Fairless

‘මං’ නමින් ඔබ දන්න ඒ සිහිනයට
ඇස් පැළැන්දෙන දිනක් හමුවුණොත් හෙම
පත් බරින් ගස් මුදන සිසිරෙ කෙළවර
හිත් රිද්දගමු මතක, මතක නැති කර

නන්නාඳුනන කෝපි පියස්සක් යට
දුම් දමනසුළු කෝපි සිනහවන් මැද
හිත රහත් වෙයි කියා හිතනවද ඔබ
ඇස් පියන් නො සොල්ලන ඇස් කැළුම් ළඟ?

සිසිරයට අවනතව හමන සුළඟද
උණු කෝපි බඳුන ළඟ නතරවෙන කොට
එක ගසක් පෙන්නන්න පුළුවන්ද මට
දලු දමනු හැකි රුදුරු සීතලට පෙර

සිහිනෙකට බැහැ නේද ඇවිත් යන්නට
රැය ඇවිත් නොරැඳීම නික්ම යන ලෙස
සිසිර තුරු පත් ගණින ඔබ දන්නවද
මා මගෙන් අරන් ගිය වසන්තය ගැන?

අපි කවුද, සංසාරෙ සදිසි කෘතියෙක
වැකි දෙකක අග රඳන තිත් දෙකක් මිස
මොහොතකට අනන්තයෙ අතරමං වෙන
මේ ගමන නෑවිඳින් ඉන්න බැරුවද?.

2017 මාර්තු 26