කොළරාව සහ පේ‍්‍රමය

 

Ventzislav Piriankov's painting
Ventzislav Piriankov’s painting

ෆර්මිනා,
කල්පයක් ඇස මිදුණ
හිම බිඳුව
මග්දලේනා ගඟට මුහුවුණා.
ඉරී ගිළිහුණ පිටක
ඔබ ලියූ කවි පදය
නෙත් කෙවෙණි අගිස්සෙන් පීදුණා.

මලට
සළුපිළි
සිළිටි පෙති බව දන්නවා
සොඳුරු
අබරණ
රෙහෙණු බව පිළිගන්නවා
දෙබර
විස දළ
හිතක නිරුවත පෙන්නුවා.

සසඟ වියරුයි
සසර දිගු කරණා
නිසඟ හැඟුමකි
ආදරය කියනා.

දයිරියාවත් හරිම අගෙයි
ඔක්කාරෙ කුස සරැලි නැඟෙයි
කාලත‍්‍රය මෙතැන
මේ මොහොත
කොළරාව වුණත්
එය මගෙයි.

ඇගේ ත්‍රිකෝණමිතිය පාඩම?

 

Blowing Bubbles

පිපිරුණ සබන් බෝලයකින්
බිම වැටුණු කවියක
වියරණ දොස් තිබුණු බව
ඇය ලියා එවා තිබුණා.
 
හොර නිධන් හාරන්නකු මෙන්
හිත් පතුළ පාරා මතුකරගත්
අවසාන හැඟුමත්
හැඟුම්බරවුණු මොහොතක
වියරණ දෝස.
 
ඇයටත් හිතෙන දේවල්.
 
බෝල අතකුරු වුණත්
කැලැත්තෙන විට අවකාශයේ
ඇද වෙන්න පුළුවනි.
 
පේ‍්‍රම කවියක් වුණත්
රිදුම්දෙන විට සන්තානයේ
ඇති වෙන්න පුළුවනි.
 
මිරිඟුවනො පවතින දෙයක් නම්
ඒ වචනය මොකටදැ?” යි
ඇගේ ලියමන අවසානයේ
ඇය ප‍්‍රශ්න කර තිබුණා.
 
මා ඇගෙන් නොව
ඔබෙන් විමසන්නේ එකමෙක දෙයයි
ආදරයගැන
ඔබ හිතන්නේ කොහොමද?