අඳුර හෙවත් ජීවිතයේ අක්ෂර වින්‍යාසය

සන්ධ්‍යාව
සීතලෙන්
අන්ධයි
සංසාරෙ
සළු ලිහා
අන්ඳයි
නන්නාඳුනන දුරක
ඉර තැබූ පය ලකුණු
සංතානයට අඳුර
කැන්ඳයි.

ව්‍යාකරණ
සිල් බිඳින
රාත‍්‍රිය
අකුරු
පද පේළි
උසි ගන්නයි
ව්‍යාකූල වළාකුළු
කැරළි කෙහෙරැුළි ලිහා
ව්‍යංජන ස්වර
පීලී පන්නයි.

ගිම් සමය අවසන්ව
බිම්බරක් කොළ පත‍්‍ර
නිම්තෙරට පාව යන
හින්දයි
මං මගේ කවුළු දොර
යන්තමින් හැර තියා
අන්ධ අඳුරට ඇදෙමි
මන්දැයි?

අවතාර පමණකිය
මහපාර
මධුපානයට බඳුන්
පුරවාන
හිත තාම සැළෙන විට
ඔබ ගාව
දුර ඈතවත් නොමැත
හඳපාන

හිස නමන වීදී කණුවට
හිස නමමි
ගොස නඟන මඳඳුරින්
ඇස පිසිමි

දීර්ඝ ඇදය සේ ඇද වුණ
මාර්ගය කෙළින් කර
පිය මැන
තාර්කික කහ ඉරක
නවතිමි

පැන්සයක්වත් නොදුටු
බඩවතකි
යන්යසයක් සේම
අකුරින් අඩකි

අම්බරය පෙළා ගෙන
ඉහළ නැගි
ලිංගයක දෙපා මුල
කොම්බුවක් විලස
ගුලි වී හිඳිමි
තුංග වූ කුළුණක් ය
වංකගිරි නුවර මැද
ඉන් කෙලෙස
කුළුණු ගුණයක් දකිමි?

ඉස්පිල්ල ගලවමින්
මොහොතකට
කෙස්ස ඇද
කන් අගුල්
බිඳ දමමි
දොස් කියන්නට
නොහැකි
ගෙවුණු පාපිලි
සමඟ
අස්වැසිලි ගණඳුරට
තනි රකිමි

සරනු හැකි
පියාපත් නැතුවාට
අයනු ආයනු පලි ද
මම සිතමි
නිවෙනු දැල්වෙනු
දැනෙන
පිළුණු
හද කුටිය මත
අඳුරු කවියක එළිය
සතපවමි.

10.10.10