“ඒ සුසුම තවම මා ළඟ”

බෙදා ගන්නට
දෙයක් නැති බව
සුසුමක
කියා දී මට
හැරී පිය මැන
යන විට
ඒ සුසුම
ඔව්, ඔබේ දෑසින්
ගිලිහුණ
තවම මා ළඟ
එයයි නොනිදන
හදවත..

හැරී එන මඟ
නොදන්නා බව
දැන දැන
බලා සිටිනෙමි
කවි අරණ්ණෙක
තනියම
සඳට අලුතින්
නමක් දෙන්නට
ඇමිණුව
කවි එපා විද
ලියූ පත් ඉරු
වලටම

දවල් හඬළන
රැහැයියෝ
රෑ නිදියන
එකම කටහඬ
ඔබේ සුසුමේ
උණුහුම
නිසල තුරු පෙළ
කතා කරතැයි
සිතුණද
මහා සුළඟට
පවා නොනැඟෙයි
කටහඬ..

සීත පියමැන
ඈත එන බව
පවසන
රුසිරු තුරු පත්
ලිහෙයි රැකගෙන
මුනිවත
හිතේ තෙරපෙන
සුසුම දෝතට
අරගෙන
සෙමින් පිසලමි
නෙතින් ගිලිහුණ
පිනි දිය..

නිවී දැල් වී
නිවී යන්නෙද
තරු කැට
ඇහේ අත්තටු
සැලී ඒ ලෙස
පෙණුනි ද
බිනර සඳ දිය
හිස පොවන්නේ
කුටියට
අලුත් කවියක්
අරන් යන්නද
හිමිහිට..

හඳට පවසමි
වෙන නමක් නැත
ඔබ හට
අලුත් කවියක්
ලියන්නෙ ද මං
කෙලෙසක
බලන් සඳ දිය
ගොතනු අරඹන
කවි පද
“ඔය සුසුම් පොද
බෙදා ගන්නේ
නැතුව ද? ”

28 සැප්. 2010