ඇහැළ ඇමතුමකට ඇහැරෙමි

කකුළක් කැඩුණු
මේසෙක
කවියක් ලියන
මොහොතක
ඔබ
කතා කර කියයි
“එපා ඔය
අකුරු
කැත කර ගන්න”

හැඟීම් පවා ඇද වුණ
දැනීම් විහඟ තටු වුණ
සිතීම් වලට හැකි වෙද
දෙපයින් හිට ගන්න..

බත් කූරෙකුට
හැකි නම්
ගුවන් බසයක්
වන්නට
ඇමීබාවකු වී
විනිවිදිමි
ඒ හදවත..

කැත අකුරු
මගෙ හදවත
නෙත රැඳෙන විට
සතුටු ද?

විසල් කුළුණක යට
කුහුඹුවකුටත්
ඉඩ නැත
කුසල් නැති
අතකුරු
යහළුකමටත්
අකැප ද?

ඇහැළ සඳටම
ඇහැළ මාසය
පවරමි
නිසල කුටියක
කවි මත
ඇහැළ පිනි දිය
තවරමි.