Shadows of Silence | කෙටි චිත්‍රපටයක දිගු වේදනාව

Kishna Subramaniya- Main charactor

අන්තර්භාෂණයම සංවාදය වූ කල කටහඬ නිෂ්ප්‍රභා වී රූපය ප්‍රභාමත් වී ආලෝලනය වෙයි. ඒ ප්‍රභාමත් බව තුළ ඇත්තේ නින්නාද නැඟෙන ගණ අන්ධකාරයයි. අන්ධකාරය තුළ සෙවනැලි නො නැඟෙන්නේ යැයි ඔබට තර්ක හැකිය. එබැවින් නිහැඬියාව තුළ හඬක් නොවෙතැයි සිතීමට ද ඔබට බාධාවක් නැත.

සියලු මානව හිමිකම් සුණුවිසුණු කරන ලද්දේ වුව පරපුරෙන් පරපුරට අඛන්ඩව නො නසා රැක ගත් සාමූහික ජීවිතය උපන් දිනයක රාමුගත කළ නිෂ්චල ඡායාරූපයක් පමණක් බවට පත් කරනු ලැබ ඇත. එවිට ස්වයං හුදෙකලාව මරණීය තුවාල ලත් සුව කළ නො හෙන හදවතක පරම විමුක්තිය බවට නිරායාසයෙන් පත් වේ. සිහිනය යථාර්තය බවට පත්වීමත්, යථාර්තය සිහිනය බවට පත් වීමත් අතර ඇති අන්තරය ශුන්‍යය වනුයේ අන්තර්භාෂණයේ ඓක්‍යය ලෙසය. බහුතරය නම්වන මහ ජාතිකත්වයේ අනුකම්පා විරහිත සුවිසල් බැකෝ යන්ත්‍රයෙන්-

-බලහත්කාරයෙන් මුලිනුදුරා උපන් භූමියෙන් තලා පිටමං කොට ආත්මීයව අනන්‍ය විය නො හෙන භූමියක ඉන්දන්නට තැත් කරන වෘක්ෂයක් මුදුන් මුල සොයා ගත නො හැකිව වේදනාවෙන් ඇඹරෙයි.

ඉදින් ප්‍රොයිඩියානු විෂ්ලේෂණයට අනුකූල විභව ආසය මඟහැර විමුක්තිය අත්පත් කර ගැනීමට නො හැකි යැයි සිතෙනා තරමටම ජීවිතය ව්‍යාකූල වෙයි. දෙපයේ මාපටැඟිලි එක්කර බඳින ලද මිනිසෙකුට ඩැක්කි සපත්තු යුගලක යථාර්තය සඟවා ඉබාගාතේ ඇවිද යා හැකිද?

රවීන්ද්‍රන් ප්‍රදීපන්ගේ ”නිහැඬියාවේ සෙවනැලි” (Shadows of Silence) – මහත් සේ හඬනඟමින් පුපුරා යන රූපාවලියකි. සවන් ගුගුරුවන ඒ විසල් නිහැඬියාව තුළ මතු වන සංවාදයේ විසංවාදයත්, විසංවාදයේ සංවාදයත් පාර භෞතික ”සීතල සිහිනයන්ට” භෞතික දෑසක් පළඳවයි. ප්‍රදීපන් සිය පරිකල්පනයේ තෙලිතුඩ ඉසියුම්ව හසුරුවමින් ඔහු අබියස ඇති සමාජ කැන්වසය මත නිමවන මානව සමීප රූපය හැඟීම් විරහිත වන්නේ වෙයි. ඒත් එකී පැතලි මුහුණේ ගැඹුරුතර පත්ලින් විනිවිද නැඟෙන්නේ මිදී ගිය අසංඛේය හැඟුම් සමුදායයකි. ජිවිතයෙන් අත්මිදෙන්නට වෑයම් කරන මිනිසකුට නාඳුනන සමාජ පරිසරය විසින් ජීවත් වන්නට අණ කරනු ලබන විට ඔහුගේ මානසික ඉරණම හෙවත් භෞතිකය වඩාත් සංකීර්ණ වන බව ප්‍රදීපන් කලාත්මක සන්දර්භයක ගොණු කරයි. මෙකී අණ නැඟෙනුයේ ජීවන පංගුකාරයන්ගේ ආදරණීය කටහඬින් වන විට වේදනාව කෙතරම් දරුණු වනු ඇද්ද?

ඉතා උස්ව නැඟුණු ගොඩනැගිල්ලක ඉහළ මාලයක වන පටු බැල්කනි තීරුවට වී අසීමිත ආතතියෙන් මිදෙනු වස් වේගයෙන් දුම්වැටියක් උරන මිනිසෙකුට පහළ සුසුදු හිම තලාවක රුහිරු ලපයක් මැද පතබෑවී සිටින ඔහුගේම මළකඳ පෙනෙන විට සැතපුම් සිය ගණනක් දිග දුම් වැටියක් උගුරට දෙකට බී හමාර කළ නො හැකිද? අතරමඟදී තමන්ගේම මෘත ශරීරය හමුවන මිනිසෙකුට තම රුධිරය ගලා ගිය මඟ ඔස්සේ රැකියාවකට යා හැකිද? ජීවිතය කෙතරම් වේගයෙන් ගෙවී යන්නේ වුවද මතකය දිය වී නොයන සංසිද්ධියකි. නිෂ්චිතව පවතින පරම බලවේගය අවිනිෂ්චිතභාවයම පමණි.

මරණය ලුහුබැඳ යන මිනිසෙකු පසුපස ජීවිතය ලුහුබැඳ පැමිණෙයි. මූකලන් ගැන්වුණු මුහුණක් හෙළිපෙහෙළි කළ විට කැටපත තුළින් අතීත ජීවිතය හමුවී සමස්ථ ආත්මය යළිදු මූකළන් ගත වේ. ශාරිරිකව අවතැන් කරන ලද මිනිසුන්ගේ මානසික අවතැන් වීම ප්‍රදීපන්ගේ රූප සෞන්දර්යය තුළ ගිලිහී නොයන කඳුළක් ලෙස මිදී පවතී. එය මිදී පවතින කඳුළක් බැවින් කිසිවෙකුටත් ඉන් මිදීමට නො හැකිය. බලහත්කාරයෙන් සිරගත කරන ලද දේශ දේශාන්තර සීතල සිහින ජීවිතය සර්පයකුගේ කිලිපොළා යන සුසුදු බඩවත සේ පෙනුනද පිටත පෘෂ්ඨය මත කැටයම් කපන ලද කළු කාෂ්ටකභාවයේ හංවඩුව විෂ ශරීරගත කොට ක්ෂණික මරණයක් ලබා නො දුන්නද ජීවිතය පුරා වෙලෙමින් ආත්මයේ දරණ ලා හිඳී.

මිනිසකුගේ ප්‍රශ්වාසී ළයමානය අවසන් මොහොත තෙක් සමස්ථ රූපාවලිය පුරා සංධ්වනියක් සේ දිගහැරෙන විට දුම්රියක හඬ නිෂ්චිත අරුත් නො නඟන පද මාලාවක් සහිත සරල ගීතයක් බවට පත් වේ. විසිර ගිය රුධිරය මත වැතිර සිටිනා ප්‍රාණ නිරුද්ධ මිනිසකුගේ සමීප රූපය තෙරක් නො පෙනෙන හිම තලාවක දුර රූපයක් බවට පත් වන විට වක්‍රෝත්තිය තුළ දුර රූපයක ඇති ඉන්දියන් සයුරේ මුතු ඇටය ඉරිතැලී ගිය සමීප රූපයක් බවට පත් වේ.

ඔබේ ජංගම දුරකථනය අඛන්ඩව නාද නැඟී ඇස ඇරෙන විට ඔබ දකිමින් සිටි සිහිනයේ හිම තලාවක වැතිර සිටින මිනිසකු සිටිය හැකිය. ඒ මරණය යැයි නො සිතන්න. ඒ අවතැන් කරන ලද ජීවිතයයි. ඉදින් ”නිහැඬියාවේ සෙවනැලි” අතරින් පැන නැඟෙන කටහඬ නිහැඬියාවම බව කීමට ඔබට පිළිවන්ද?

Advertisements

“Shadows of Silence | කෙටි චිත්‍රපටයක දිගු වේදනාව” වෙත එක් සිතුවිල්ලක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )