හිම නොවන මම හෙවත් අවසාන කවිය

මේ රුදුරු අඳුර තුළ
ඇදහැලෙන හිම පියල්ලක පවා කළු පාට
පෙනහල්ල මිය යා නොදී පෙමින් රැක ගන්න
දුම් වළලූ නඟන්නෙත් කළු පාට
දේදුන්න සදිසි අහසට නැගුණ
සිතුම් හේඩාවකිය කළු පාට
ඔබේ කෙටි පණිවිඩය
මේ තරම් දිග ඇයිද
කඳුළුවල දකින්නද මදහාස

දුරුතු සඳ නිම්තෙරට
නො’එනා බව දැනුණාම
සිහිනයෙන් දකින්නෙමි සඳපාන
මං මුලාවුණ රැයක
සීතලට තුරුලූ වන
සෙවනැල්ල පමණකිය අතගාව
හැඩපලූ ගෙතුණු කැරලි මුහුලසේ කිමිදෙනා
අතැ’ඟිලි තුඩග පහස දැනුණාම
සිහිනයට තටු ලැබී
කවුළු දොර හැර දමයි
මගෙ නින්ද නොබිඳෙන්න රහසේම

හිම බිමක පය පැකිල වැටුණාම
හිම සමඟ සීතලෙන් වෙළුණාම
හිම විලස හදවතම මිඳුණාම
හිම නොවන මම සොයමි මම තාම

ඇස් දෙකින් හුස්ම ගන්නට බැරුව
නිදි බිඳුණ සිතුවිල්ලකට දාව
ජනිත වන මිය ඇදෙන
යළි යළිඳු ජනිත වන
කවියකට වාසගම් මොනවාට
වෙව්ලනා සුරතකට
පන්හිඳත් බර වැඩිය
මම ඇඳෙමි මට හොරෙන් දුර ඈත
මගේ අවසන් කවට
පස් පිඬක් දමන්නට
ඔබට එන්නට හැකිද අද රෑ ම…….

(2010 ජනවාරි 13, පාන්දර 3.55ට)