Month: මා ව
“ඇහි පිල්ලමක් යට” 22 part 1
“හතා”
ඉතා අනගි හද මඬලකි නිසළ වුණේ
පතා නිදහසම හෙට දවස වෙනුවෙනේ
ගොතා සොඳුරු ගී නළු වීදි සෙනසුණේ
හතා නොමැති වීදිය කුමට සකියනේ
කඩ්ඩ මුවත් කැපුවේ නැති කිසි කෙනකු
පැත්ත ගියත් ඇත්තම කී රජ කෙනකු
යුද්ධ මැදත් උස් හඬ දුන් සෙනෙවියකු
ඇද්ද මෙවන් පාරට බට පියතුමකු
දෑස් පැළැන්ඳු යන එන මගියන්ට
කාත් කව්රුවත් නැති පීඩිතයන්ට
ඈත් කර දැමූ මහ මග දුගියන්ට
දෑත් විදාහළ අප වැනි කවියන්ට
වීදි කොණේ පිරිවර කැටුව හිනැහුණේ
පෑදි දියකි යට ගිලි නෙතු තුළ තිබුණේ
නාද නැගුණු අත් පොළසන් නො වියැකුණේ
සාදු !! දිසා පාමොක් වීදි ඇදුරණේ
“සිවා”
සිවා වුණත් නුඹ දෙවියෙක් නම් නොවුණී
දෙවියන් නැති බිමේ මිනිසත් බව නොවුණී
හදවත් නොමැති විරුවන් කැළ වියරු වුණී
මුගුරින් තලා සයුරේ පා කර හැරුනී
මජං මජර මත පෙම වියැකුණාදෝ
ඉතිං සිතම ඉන් ආතුර වුණාදෝ
පතන් බිමක සිහිනෙන් වැළපුණාදෝ
විකල් නොවුණ මනසක් මෙහි තියේදෝ
බම්බලපිටිය වෙරළේ ගල් වැටිය මත
බැස යන හිරුට ගල් ගැසුවේ වැටෙන්න ද
ඈතට ගල් ගසන්නට අත දිගු නැතුව
ළත වෙන විටදි ඇසුණි ද දුම්රියේ හඬ
පෙමක් නොමැති ලොවකින් පෙම පැතු පවට
නුඹත් එකතු විය නෑයින් ගිය ලොවට
කමක් නැතෙයි කීමට බැරි මගෙ දිවට
ලුණුත් රසක්දැයි පහදන්නට හැකිද?