පශ්චාත් යථාර්ථවාදී ප‍්‍රබන්ධ කතාවේ භාවිතය රූපකය

“බත්තලංගුණ්ඩුව”

මංජුල වෙඩිවර්ධනගේ ”බත්තලංගුණ්ඩුව” නවකතාව යථාර්ථවාදී නවකතාවක ස්වරූපයක් පෙන්නුම් කරයි. එහෙත් එය අතිශය සියුම් ලෙස යථාර්ථවාදී රීතිය සමතික‍්‍රමණය කරන නවකතාවකි. ලංකාව නැමති යථාර්ථවත්, දේශපාලනික හා සංස්කෘතික භූමියේ සිට නවකතාවේි කථකයා පියන`ගන්නේ ”බත්තලංගුණ්ඩුව” නැමති සැබැවින්ම ලංකාවේ පවත්නා වූ දූපත් භූමියකටයි. එහෙත් කල්පිටි වෙරළින් බෝට්ටුවට නැඟීමෙන් පසු කථකයා ක‍්‍රමයෙන් පිවිසෙන්නේ යුටෝපියානු භූමියක් වැන්නකටයි. එහි පුද්ගල හැසිරීම්, චරිත, චින්තන රටා, විවිධ සිදුවීම් ආදී සියල්ල කතුවරයා විස්තර කරන්නේ තථ්‍ය ලෝකය මදක් ඉක්මවා යන ආකාරයෙනි. අප නවකතාව තුළ බත්තලංගුණ්ඩුව නැමති දූපත රූපකයක් ලෙස කියවන විට එය එක්තරා අන්දමක දෘෂ්ටාන්තයක හැඩ රුව ගනී. කතුවරයාගේ අභිපේ‍්‍රරිත තේමාත්මකයෙහි මූල බීජ රඳා පවත්නා භූමිය එයයි. එබැවින් බත්තලංගුණ්ඩුව නවකතාව ”බත්තලංගුණ්ඩුව” නම් වූ, කතුවරයා විසින් ෆැන්ටසිගත කරන ලද දූපත නිසා පශ්චාත් යථාර්ථවාදය වෙතට නැඹුරු වෙයි.

මෙම නවකතාවේ කථකයා ඇන්තනී නම් තරුණයෙකි. ඔහු වසර ගණනාවකින් ඇයිහොඳයිකම් නොපැවැත්වූ සිය පියා සොයාගෙන බත්තලංගුණ්ඩුව නැමති දූපතට යන්නේ යළි ඔහු කොළඹ කැඳවාගෙන යාමේ අදහසිනි. එහෙත් ඔහු එම අදහස දැඩි අධෂ්ඨානශීලී ස්වරූපයකින් දරා සිටින්නේ නැත. කතාවේ දිවෙන්නේ ඔහු බත්තලංගුණ්ඩුවට පැමිණි ඉක්බිති කථකයා මුහුණ දෙන තත්ත්වය සහ හැසිරෙන සැටියයි. කථකයා බත්තලංගුණ්ඩුවට යන්නේ තමා පෙර නොඇසූ විරූ රටකට යන්නෙකු පරිද්දෙනි. එහි ඇතුළු වීමට පෙරාතුවත් ඇතුළු වූ පසුවත් ඔහු මුහුණ පාන, විස්තර කරන විවිධ අද්දැකීම් තුළින් නිරූපණය වන්නේ කථකයාගේ ජීවිතයේ එක්තරා මොහොතකි. නැතහොත් විකාශනය වෙමින් පැවති ජීවන ගමනේ එක්තරා නැවැත්මකි. සමහර විට ඒ නැවැත්ම තාවකාලික විය හැකිය. නැතහොත් දීර්ඝකාලීන විය හැකිය. කෙසේ වෙතත් එය නැවැත්මකි.

කතුවරයා විසින් නවකතාවේ අර්ථ වහනය පිණිස ”රූපකය” ඉතා සරල ලෙස භාවිත කරන බව පෙනේ. නවකතාවේ එන ”බත්තලංගුණ්ඩුව” නම් දූපත සහ ඇන්තනී නිතරම තම අතෙහි රඳවාගෙන සිටින ”ජීවිතය අන් තැනක” නම් මිලාන් කුන්දේරාගේ නවකතා පොත අපට රූපක ලෙස කියවිය හැකිය. එම කියවීම් නවකතාවේ තේමාත්මක අර්ථය කුළුගන්වයි.

බත්තලංගුණඩුවේ එන මූලික සාරාර්ථය සේ මට පෙනෙන්නේ සම්මත සමාජ, ආර්ථික, සංස්කෘතික බන්ධනයන්ගෙන් වියුක්තව පුද්ගල ප‍්‍රකෘතිය දෙස බැලීමෙහිලා මිනිසුන් පෙළඹවීමට කතුවරයා දරන උත්සහයයි. මෙබඳු දහසක් බාහිර සාධකයන්ගෙන් ගැට ගැසී ඇති මිනිසා ඉන් වියුක්ත වී මොහොතකට තමා දෙස නොබැලීම අතිශය ඛේද ජනක තත්ත්වයකි. එසේ වියුක්ත වීම පුද්ගල ජීවිතයේ පැවැත්ම…, හුදු පැවැත්ම පිණිස වත_මාන ජීවිතයක පමණක් හිමිකරුවෙකු වීමේ භාග්‍යය මිනිසාට උදාකර දෙයි. ඇන්තනී කොළඹ සිට පැමිණෙන්නේ බැඳීම් ගණනාවක් කර තබාගෙන වුවද ( තී‍්‍රසා-විවාහය-පියා-සෙනෙහස-වගකීම) බත්තලංගුණ්ඩුවට පය තබන්නට පෙර සිටම ක‍්‍රමයෙන් ඔහුගේ බැඳීම් එකිනෙක දියවී යන සැටි අපට පෙනේ. අවසන බත්තලංගුණ්ඩුවේ ජීවිතයට ඇතුළු වී ටික දිනකින්ම ඔහුගේ එකී බැඳීම් සියල්ල සුණු විසුණු වී යයි. එහිදී නවකතාකරුවා ඇන්තනීගේ චරිතයේ හෝ අනෙක් චරිතවල විකාශනාත්මක ස්වරයක් නොදක්වයි. බිත්තියක ඇඳි නිශ්චල ප‍්‍රකාශන චිත‍්‍රයක් සේ් ඇන්තනී ඇතුළු දූපත් වාසී පුද්ගලයන්ගේ චරිත මැදහත් විග‍්‍රහයකට ලක් කරයි. කතුවරයා එය සිදු කරන්නේ ගමන් විත්ති සාහිත්‍යකරුවකුගේ ඇසින් වන හෙයින් එම චරිත පිළිබඳ සෘණ හෝ ධන ආකල්ප කතාව තුළ නොපැනෙයි. එසේම එම චරිතවල ප‍්‍රකෘතිය නිරූපණය එනම් පැවැත්ම නිරූපණය ඉස්මතුවී පෙනෙන්නට කතුවරයාගේ මෙම ක‍්‍රියාකලාපය හේතුවී ඇත. මෙහිදී මනුෂ්‍ය පැවැත්ම හා පැවැත්මේ වැදගත්කම අවධාරණය කරන කතුවරයා සංස්කෘතික සමාජ සාධක ආදී තිමිර පටල අතිශය සියුම් ලෙස උපහාසයට ලක්කරයි.

කතුවරයා කුන්දේරාගේ ජීවන දර්ශනයට සම්බන්ධ වන්නේ මෙතැනදීය. කථකයාගේ පි‍්‍රයතම ලේඛකයා කුන්දේරායි. ඔහුගේ දර්ශනය කථකයාගේ ගෞරවයට පාත‍්‍රවෙයි.

”මිලාන් කුන්දේරා මගේ ප‍්‍රියතම නවකතාකරුවන් අතරින් පෙරමුණේ වැජඹෙයි. ජීවිතය උගුලක් බව ගම්‍ය කරන ඔහුගේ කෘති තුළ ඔහු මිනිසාගේ පැවැත්ම ගවේෂණය කරයි..”

එම ගෞරවය තුළින් ඇඟනෙුයේ එම අදහස් වෙතට කථකයා දක්වන ලැදියාවයි. එය කථකයාගේ ජීවිතයේ රැුඳී පවත්නා අතෘප්තිය හෝ එබඳු යම් දෙයක් අඟවයි. මතුපිටින් බලන කල කතාවේ ප‍්‍රධාන චරිතය පොතක් කියවමින් යයි. එය ඉතාමත් යථාර්ථවත් සිදුවීමකි. එහෙත් යථාර්ථය තුළ සිදුවන පොත් කියවීමේ කාර්යය, එම පොතේ නම පොතේ කර්තෘ නිසා වඩා ගැඹුරු වෙයි. හුදෙක් ප‍්‍රබන්ධ කතාවේ ඉඩ පිරවීමකට ව්‍යුහීය පැලැස්තරයක් සේ කි‍්‍රයාකරනවාට වඩා එහා ගිය දෙයක් තුළින් සිදු වෙයි. එසේ වන්නේ නවකතාවෙන් ගම්‍යමාන යථාර්ථයට එකී කෘතිය රූපකයක් සේ ගැඹුරු අර්ථයක් එකතු කරන නිසාය. මෙමඟින් ප‍්‍රධාන නවකතාවේ අර්ථය ද්විගුණ වෙයි. රූපකය සතු අර්ථ විභවතාව නම් මෙයයි.

ඇන්තනී නම් කථකයා සිය පියා දැක ගැනීමට බත්තලංගුණ්ඩුව නම් දූපතට යයි. කල්පිටියේ සිට බෝට්ටුවට නඟින ඔහු අතේ ඇති බෑගයේ, ඔහු ඉතාමත් කැමති ලේඛකයා වන මිලාන් කුන්දේරාගේ ”ජීවිතය අන්තැනක” නම් නවකතාව ඇත. සිය පඨිතය තුළට තවත් පඨිතයක් ඇතුළු කර ගැනීමෙන් වෙඩිවර්ධන ප‍්‍රකාශ කිරීමට යත්න දරන යථාර්ථයට ඉටුවන්නේ කවර මෙහෙවරක්ද? ඔහුගේ නවකතාව පිටු 216කින් අවසන් වුව ජීවිතය අන් තැනක කතාවේ සාරාර්ථයද කුන්දේරාගේ ජීවන දර්ශනයේ සාරයද බත්තලංගුණ්ඩුවට ඇතුළු කරගැනීමට කතුවරයා සමත් වෙයි. රූපකයේ ප‍්‍රබල අර්ථ විභවතාවේ ස්වරූපය මෙයින් හඳුනාගත හැකිය. මෙසේ බත්තලංගුණ්ඩුව නවකතාව තුළ වෙඩිවර්ධන ඉදිරිපත් කරන්නට යත්න දරන යථාර්ථය කුන්දේරාගේ ජීවන දර්ශනයෙන් තවත් පණ ලබයි.

”පස් මහ බැලූම්” බලා ඉපදීමට අවකාශය නොලත් යථාර්ථ ලෝකයේ මිනිසා තමාගේ වගකීමකින් තොරව තමා ලත් ශරීරයේ, ජීවිතයේ සියලූ දුක් අඳෝනාවන්ට, පී‍්‍රති ප‍්‍රාමෝද්‍යයන්ට මුහුණ දිය යුතුය. එනම් ඔහුට සිදුවී ඇත්තේ තමාගේ පාලනයකින් හෝ අනුමැතියකින් තොර වූ ශරීරයක සිර වී හිඳීමටයි. එබැවින් සැබෑ ලෙස ඔහුගේ ජීවිතය පවතින්නේ ඔහුවෙත නොව ‘අන්තැනක’ය. කතුවරයා ඇන්තනීගේ අතට දී ඇති ”ජීවිතය අන් තැනක” කෘතිය රූපකයක් සේ නංවන්නේ එම අර්ථය විය හැකිය. ”ජීවිතය අන් තැනක” නිතර ඔහු අතේ තබා ගැනීම ඇන්තනී නිරන්තරයෙන් සිය ජීවිතය පිළිබඳ අතෘප්තිය තමා සමඟින් රැුගෙන යන අයුරු අඟවයි. ඇන්තනීගේ මව ඔහු කුඩා කලම මිය යයි. පියා ඔහු සමග ‘සාමාන්‍ය’ පිය පුතු සබඳතාවක් නොපවත්වයි. ඔහු කොළඹ සිටියදී පියා ඔහු හැරදමා යයි. අවසන ඇන්තනී ජීවත්වන්නේ අතෘප්තිකර ආවේගයකිනි. එහිදී තී‍්‍රසා ඔහුගේ ”වේදනා බර” ජීවිතයට යම් සතුටක් ලබාදෙයි. එහෙත් ඇන්තනීගේ ජීවිතය ඇත්තේ ”අන් තැනක” ය.

එබැවින් රූපකයක් ලෙස ජීවිතය අන් තැනක යන කෘතිය හුදු වාච්‍යාර්ථයෙන් ලබා දෙන රූපකර්ථය වුවද ප‍්‍රබලය. ඉනික්බිති එම කෘතිය කුන්දේරාගේ දර්ශනය වෙඩිවර්ධනගේ දර්ශනය සමඟ මුසු කරන්නට දරා ඇති උත්සාහය කෙතරම්දැයි විමසා බලමු. බත්තලංගුණ්ඩුව නවකතාවේදී ඇන්තනී දූපතට පැමිණීමෙන් අදහස් වන්නේ ඔහුගේ පැවති දේශපාලනික, සාමාජික, ආර්ථික, අධ්‍යාපනික සබඳතා ගොන්නෙන් මදකට වියුක්ත වී සම්මත බැඳීම් විරහිත අවකාශයකට පැමිණීමේ කතාන්තරයයි. මෙතැනදී බත්තලංගුණ්ඩුව නම් දූපත රූපකයක් බවට පෙරැුළෙයි.

දූපතට පැමිණීමෙන් පසු කථකයාගේ වියුක්ත ක‍්‍රියා කලාපය විස්තර කරන කතුවරයා ඔහුගැන සාම්ප‍්‍රදායික විස්තර කථනයක් නොදෙයි. කුන්දරා මෙසේ පවසයිි.

”චරිතයක් සජීවීකිරීම යනු: ඔහුගේ පැවැත්ම පිළිබඳ ගැටලූවේ පතුළටම ළඟාවීමයි. එනම් විවිධ තත්ත්වයන්ගේ, අවස්ථාවන්ගේ, ආරම්මණයන්ගේ, ඔහුව හැඩ ගස්වන වචනයන්ගේ පවා පතුලට එබී බැලීම මිස අන් කිසිත් නොවේ.”

පුද්ගල පැවැත්ම ගවේෂණය කිරීමේ කුන්දේරාගේ අරමුණ හා දර්ශනය බත්තලංගුණ්ඩුවේ කතුවරයා වෙතින්ද දිස් වෙයි. හයිඩෙගර් පවසන පරිදි පැවැත්ම යනු ලෝකය තුළ හිඳීම (being in the world) ය. කුන්දේරාගේ කෘතියේද අවධාරණය වන්නේ පුද්ගල පැවැත්මයි. බත්තලංගුණ්ඩුවද පුද්ගල පැවැත්ම අවධාරණය කරයි. ”බත්තලංගුණ්ඩුව” තුළ ”ජීවිතය අන් තැනක” අන්තර්ගත වීම නිසා පළමුවැන්නේ අර්ථය දෙගුණයකින් පොහොසත් වෙයි. මෙම ද්වීගුණාත්මකභාවය නවකතාවේ චරිත සම්බන්ධයෙන්ද දිස් වෙයි. විශේෂයෙන් ජෙරොමිල්ගේ චරිතයෙන් ආනමරියාද ද්විගුණ වේ.

ජෙරොමිල් කවියෙකි, ඇන්තනීද කවියෙකි. ජෙරොමිල් උත්සහ කළේ ඔහුගේ වර්තමාන ජීවිතයෙන් පලා යාමටයි, ඈත්වීමටයි. වියුක්ත වීමටයි. ඇන්තනීද සිය ජීවිතයෙන් වියුක්ත වීමට ආයාසකර උත්සහයක යෙදෙන්නෙකි. ”පියා” ජෙරොමිල්ගේ ජීවිතයේ නොපවත්නා පැවැත්මක් විය. ඇන්තනීද සිය පියා පවත්නා නොපැවැත්මක් සේ සලකයි. කතුවරයා මෙසේ ඇඟවීමෙන් නතර නොවී සෘජුවම ආනමරියා ලවා ”ජෙරොමිල්” නමින් ඇන්තනී අමතවයි. එයින් ඇන්තනී චරිතය තුළට ජෙරොමිල්ද රිංගවයි. කතුවරයා මෙය තීව‍්‍ර කරන්නේ ජෙරොමිල් මෙන්ම ඇන්තනීද ආනමරියා සම්බන්ධයෙන් ඊර්ෂ්‍යාවෙන් පෙළෙන ආකාරය දැක්වීමෙනි. ”ජීවිතය අන් තැනක” කෘතියේ ”කවියා ඊර්ෂ්‍යාවෙන් පෙළෙයි”පරිච්ෙඡ්දයේ රතු කොණ්ඩකාරිය වෛද්‍යවරයෙකු හමුවටවත් යනවාට තමා අකැමැති යයි ජෙරොමිල් හා ඈ අතර ඇතිවන අරගලය මඟින් ඇන්තනී ආනමරියා වෙත දක්වන පේ‍්‍රමනීය ඊර්ෂ්‍යාව තීව‍්‍රකරණය කෙරෙයි. ”ජීවිතය අන් තැනක” කෘතියේ් එන රතු කොණ්ඩකාරිය පිළිබඳ උපුටනයක් දක්වා එය අවසන් වූ විගස කතුවරයා බෝට්ටුවේ යන ආනමරියා නම් තරුණිය දෙසට ඇන්තනීගේ දෑස යොමු කරවයි. මෙසේ රතු කොණ්ඩකාරිය හා ආනමරියා අතර මනෝමය වශයෙන් ඇන්තනී ගොඩනඟන සම්බන්ධය නවකතාවේ අවසාන භාගයේ ආනමරියා ඇන්තනී සමඟ පවත්වන ලිහිල් ලිංගික හා ආදර සබඳතාවන්හිදී තීව‍්‍රකරණය වෙයි. එතැනදී ජෙරොමිල් හා ඇන්තනීද එක් අයෙකුු වන හෙයින් අවසානයේදී ජෙරොමිල්-රතු කොණ්ඩකාරිය සහ ඇන්තනී ආනමරියා යන යුවළ දෙක එකිනෙක සමපාත වෙයි. මෙලෙස ”ජීවිතය අන් තැනක” නම් කෘතිය රූපකයක් ලෙස කියවීමේදී බත්තලංගුණ්ඩුව නවකතාවේ තේමාතමක අර්ථය වඩා පෝෂණය කරනු පිණිස ”ජීවිතය අන් තැනක” නවකතාවේ චරිතවලින් බත්තලංගුණ්ඩුවේ චරිත පුරවන සැටි අපට පෙනේ. මෙලෙස වෙඩිවර්ධන සිය ප‍්‍රබන්ධය තුළ අතිශය පොහොසත් විභවයකින් යුක්ත වන සේ රූපක භාවිත කර ඇති සැටි අපට දැක්ක හැකිය.

මෙලෙස ”ජීවිතය අන් තැනක” නමින් ජීවිතය පිළිබඳ අතෘප්තිය දෝතින් දරාගෙන බත්තලංගුණ්ඩුවට යන කථකයාගෙන් නිරූපණය වන්නේ තමාගේ පැවැත්ම හඟින්නට ඇති අනවරත ආශාව, උනන්දුව තුරුළු කොට ගත්, එය සොයා යන පුද්ගල යථාර්ථයයි. කථකයා දූපතට පයගැසූ ඉක්බිති ‘ජීවිතය අන් තැනක’ කෘතිය ආනමරියාට දෙයි. කථකයාට ස්වකීය සොයා යෑම හමු වූ බව ඉන් ගම්‍ය කරනු විය හැකිය. නවකතාවේ අවසන් භාගයේ ජසින්තා (ඇන්තනීගේ නැගණිය-half sister) ඇන්තනීගෙන් මෙසේ අසයි.

”‘අයියා ආ දවස්වල කියව කියවා හිටපු අර නිල් පාට පොත කෝ?’”

ඇය අසන්නේ මා ආනමරියාට දුන් පොත ගැනය. ‘ජීවිතය අන් තැනක’ පිළිබඳව මා කිවයුත්තේ කුමක්ද? ”

ජසින්තාගේ පැනය කථකයාගෙන් අසන්නේ වෙනත් පැනයකි. ඇන්තනී පැමිණියේ තම පියාද කැඳවා ගෙන යළි කොළඹ යාමට වුවද එය ඔහුටත් නොදැනීම අමතක වී ගොසිනි. ඇන්තනී ජීවිතය ඇති තැන සොයා ගෙන ඇත. ඒ ‘බත්තලංගුණ්ඩුව’යි. තවත් ඔහුට ”ජීවිතය අන් තැනක” කුමටද?

එයනුව කථකයාගේ ජීවිතය, පැවැත්ම යනු බත්තලංගුණ්ඩුවයි. මෙම දූපත නවකතාව තුළ පුද්ගල පැවැත්මේ දේශය, ජීවිතය ලෙස රූපකාර්ථ නංවයි. පියා සොයා ගෙන පැමිණියද ඔහුගේ මනසෙහි වු සෙලවීම තුළින් එම සොයා ඒමම පවා නිරර්ථක ක‍්‍රියාවකැයි වටහා ගන්නා කථකයා මුළුමනින්ම පාහේ දූපත් යථාර්ථය අන්තර් ග‍්‍රහණය කර ගනී.

”බත්තලංගුණ්ඩුව ජීවිතය හා සමාන වදනකි.”

බත්තලංගුණ්ඩුව ලංකාවේ යථාර්ථවත් දූපතක් වුවද එම දූපතේ වසන්නන්ගේ චරිත ස්වභාවය කතුවරයා දිගහරින්නේ තරමක් යථාර්ථය ඉක්ම වූ ආකාරයෙනි. ලංකාව නම් රාජ්‍යයේ දේශපාලන සමාජ යථාර්ථයන්ගෙන් වෙන් වූ වෙනමම අනන්‍ය යථාර්ථයක් සහිත දේශයක් හැටියටයි කතුවරයා බත්තලංගුණ්ඩුව විස්තර කරනුයේ. එහි පුද්ගල සබඳතා සංස්කෘතික සබඳතාවලට වඩා ප‍්‍රකෘති සබඳතාවල ස්වරූපයක් ගනී. ලිංගිකත්වය, විවාහය ආදී දැඩි සංස්කෘතිකමය අර්ථකථනයන් තුළ සිරවන සංසිද්ධි බත්තලංගුණ්ඩුවේදී ලිහිල් වෙයි. එහි වසන මිනිසුන්ට තමාගේම ලෝක තිබේ. ඇන්තනී තමා ලත් අධ්‍යාපනයද හිස දරාගෙන එහෙත් මහත් හිස් බවකින් යුතුව පැමිණෙන්නේ මෙබඳු තැනකටය. ඔහුට ස්වකීය පැවැත්ම දැනෙනුයේ, හැඟනුයේ බත්තලංගුණ්ඩුවට පැමිණි පසුවයි. එනම්, පැවැත්ම අත්විඳි පසුවයි. සාම්ප‍්‍රදායික සිරිත් විරිත් හර පද්ධතිවල පීඩනයෙන් බොහා්දුරට ඈත්ව සිතැඟි පරිදි තම පැවැත්ම තහවුරු කර ගැනීමේ අවස්ථාව මෙන්ම පැවැත්ම පිළිබඳ නීතිමය සහ සංකේතමය තහවුරුව වන පියාගේ රූප මාත‍්‍රය ඇන්තනීට හමුවන්නේ බත්තලංගුණ්ඩුවේදීය.

”කොහොමත් මං දැනං හිටපු එක් දෙයක් තිබුණා. මං දැනන් හිටියා උඹ බත්තලංගුණ්ඩුවට එන පාර හොයා ගන්න බව.”

ඇන්තනීගේ පියාගේ උක්ත ප‍්‍රකාශනය අඟවන්නේ ඇන්තනී සිය ජීවිතය අත්පත් කරගෙන ඇති බවට, ජීවිතය අවබෝධ කර ගනු ඇති බවට පියා තුළ පවත්නා විශ්වාසයයි.

බත්තලංගුණ්ඩුවට පැමිණීමෙන් පසු ඇන්තනී පෙර නිරන්තරයෙන් තමා අත තබාගෙන හුන් කෘතියෙන් කොතෙක් දුරට ඈත් වීද යත් ආනමරියා වරක් ඔහුට ජෙරොමිල් යනුවෙන් ඇමතූ විට ඒ නම හිමි වෙනත් කිසිවෙකු සමඟ ඈ සබඳකම් පැවැත්වී යැයි ඔහු සිතයි. එයින්ම ”බත්තලංගුණ්ඩුව” නැමති අවකාශය ඇන්තනීට තම ”පැවැත්මේ දේශය” බවට පත්ව ඇති සැටි අපට සිතා ගත හැකිය.

මෙයනුව බත්තලංගුණ්ඩුව නවකතාව රූපක ගුණයෙන් අතිශය පොහොසත් ප‍්‍රබන්ධයක් බව හඳුනාගත හැකිය.

චමිලා සොමිරත්න – ගම්පහ

Advertisements