සිහිනයක කටහඞ

390467939_7be51dc498

ඇහි පිල්ලමක් යට
සිහිනයකි.
කාටවත් නො පෙනෙන.
සිහිනයෙන්වත් නො දකින.

කල් ඉකුත්වුණු මලකට
මුද්‍රා තබන්නේ කුමටද?
කෙඳිරියක්වත් නො නඟා ම ගිලිහී
පාවී බිමට බැස එන.

පෙති දෙ පෙති නංවන
අලූත් පැතුමක් පොපියයි
තුර – පත් සළා සරු කළ
නිහඞ සීතල දෙරණත.

විරු සමරු උලෙළකි
හෙට මෙතැන
හැඟුම්බරවන
තුරු පතින් පත පවා
අත්පොලසන් නැඟෙන.
හැඞුම්බරවන
සුළං දහරින් පවා
ඔල්වරසන් නැඟෙන.

ඇහි පිල්ලමක් යට
කඳුළකි.
සිහිනයක සිනහවෙන් ඉපදුණ.
කොපුල් නිම්නයට පිවිසුණ.

Advertisements

පශ්චාත් යථාර්ථවාදී ප‍්‍රබන්ධ කතාවේ භාවිතය රූපකය

“බත්තලංගුණ්ඩුව”

මංජුල වෙඩිවර්ධනගේ ”බත්තලංගුණ්ඩුව” නවකතාව යථාර්ථවාදී නවකතාවක ස්වරූපයක් පෙන්නුම් කරයි. එහෙත් එය අතිශය සියුම් ලෙස යථාර්ථවාදී රීතිය සමතික‍්‍රමණය කරන නවකතාවකි. ලංකාව නැමති යථාර්ථවත්, දේශපාලනික හා සංස්කෘතික භූමියේ සිට නවකතාවේි කථකයා පියන`ගන්නේ ”බත්තලංගුණ්ඩුව” නැමති සැබැවින්ම ලංකාවේ පවත්නා වූ දූපත් භූමියකටයි. එහෙත් කල්පිටි වෙරළින් බෝට්ටුවට නැඟීමෙන් පසු කථකයා ක‍්‍රමයෙන් පිවිසෙන්නේ යුටෝපියානු භූමියක් වැන්නකටයි. එහි පුද්ගල හැසිරීම්, චරිත, චින්තන රටා, විවිධ සිදුවීම් ආදී සියල්ල කතුවරයා විස්තර කරන්නේ තථ්‍ය ලෝකය මදක් ඉක්මවා යන ආකාරයෙනි. අප නවකතාව තුළ බත්තලංගුණ්ඩුව නැමති දූපත රූපකයක් ලෙස කියවන විට එය එක්තරා අන්දමක දෘෂ්ටාන්තයක හැඩ රුව ගනී. කතුවරයාගේ අභිපේ‍්‍රරිත තේමාත්මකයෙහි මූල බීජ රඳා පවත්නා භූමිය එයයි. එබැවින් බත්තලංගුණ්ඩුව නවකතාව ”බත්තලංගුණ්ඩුව” නම් වූ, කතුවරයා විසින් ෆැන්ටසිගත කරන ලද දූපත නිසා පශ්චාත් යථාර්ථවාදය වෙතට නැඹුරු වෙයි.

මෙම නවකතාවේ කථකයා ඇන්තනී නම් තරුණයෙකි. ඔහු වසර ගණනාවකින් ඇයිහොඳයිකම් නොපැවැත්වූ සිය පියා සොයාගෙන බත්තලංගුණ්ඩුව නැමති දූපතට යන්නේ යළි ඔහු කොළඹ කැඳවාගෙන යාමේ අදහසිනි. එහෙත් ඔහු එම අදහස දැඩි අධෂ්ඨානශීලී ස්වරූපයකින් දරා සිටින්නේ නැත. කතාවේ දිවෙන්නේ ඔහු බත්තලංගුණ්ඩුවට පැමිණි ඉක්බිති කථකයා මුහුණ දෙන තත්ත්වය සහ හැසිරෙන සැටියයි. කථකයා බත්තලංගුණ්ඩුවට යන්නේ තමා පෙර නොඇසූ විරූ රටකට යන්නෙකු පරිද්දෙනි. එහි ඇතුළු වීමට පෙරාතුවත් ඇතුළු වූ පසුවත් ඔහු මුහුණ පාන, විස්තර කරන විවිධ අද්දැකීම් තුළින් නිරූපණය වන්නේ කථකයාගේ ජීවිතයේ එක්තරා මොහොතකි. නැතහොත් විකාශනය වෙමින් පැවති ජීවන ගමනේ එක්තරා නැවැත්මකි. සමහර විට ඒ නැවැත්ම තාවකාලික විය හැකිය. නැතහොත් දීර්ඝකාලීන විය හැකිය. කෙසේ වෙතත් එය නැවැත්මකි.

කතුවරයා විසින් නවකතාවේ අර්ථ වහනය පිණිස ”රූපකය” ඉතා සරල ලෙස භාවිත කරන බව පෙනේ. නවකතාවේ එන ”බත්තලංගුණ්ඩුව” නම් දූපත සහ ඇන්තනී නිතරම තම අතෙහි රඳවාගෙන සිටින ”ජීවිතය අන් තැනක” නම් මිලාන් කුන්දේරාගේ නවකතා පොත අපට රූපක ලෙස කියවිය හැකිය. එම කියවීම් නවකතාවේ තේමාත්මක අර්ථය කුළුගන්වයි.

බත්තලංගුණඩුවේ එන මූලික සාරාර්ථය සේ මට පෙනෙන්නේ සම්මත සමාජ, ආර්ථික, සංස්කෘතික බන්ධනයන්ගෙන් වියුක්තව පුද්ගල ප‍්‍රකෘතිය දෙස බැලීමෙහිලා මිනිසුන් පෙළඹවීමට කතුවරයා දරන උත්සහයයි. මෙබඳු දහසක් බාහිර සාධකයන්ගෙන් ගැට ගැසී ඇති මිනිසා ඉන් වියුක්ත වී මොහොතකට තමා දෙස නොබැලීම අතිශය ඛේද ජනක තත්ත්වයකි. එසේ වියුක්ත වීම පුද්ගල ජීවිතයේ පැවැත්ම…, හුදු පැවැත්ම පිණිස වත_මාන ජීවිතයක පමණක් හිමිකරුවෙකු වීමේ භාග්‍යය මිනිසාට උදාකර දෙයි. ඇන්තනී කොළඹ සිට පැමිණෙන්නේ බැඳීම් ගණනාවක් කර තබාගෙන වුවද ( තී‍්‍රසා-විවාහය-පියා-සෙනෙහස-වගකීම) බත්තලංගුණ්ඩුවට පය තබන්නට පෙර සිටම ක‍්‍රමයෙන් ඔහුගේ බැඳීම් එකිනෙක දියවී යන සැටි අපට පෙනේ. අවසන බත්තලංගුණ්ඩුවේ ජීවිතයට ඇතුළු වී ටික දිනකින්ම ඔහුගේ එකී බැඳීම් සියල්ල සුණු විසුණු වී යයි. එහිදී නවකතාකරුවා ඇන්තනීගේ චරිතයේ හෝ අනෙක් චරිතවල විකාශනාත්මක ස්වරයක් නොදක්වයි. බිත්තියක ඇඳි නිශ්චල ප‍්‍රකාශන චිත‍්‍රයක් සේ් ඇන්තනී ඇතුළු දූපත් වාසී පුද්ගලයන්ගේ චරිත මැදහත් විග‍්‍රහයකට ලක් කරයි. කතුවරයා එය සිදු කරන්නේ ගමන් විත්ති සාහිත්‍යකරුවකුගේ ඇසින් වන හෙයින් එම චරිත පිළිබඳ සෘණ හෝ ධන ආකල්ප කතාව තුළ නොපැනෙයි. එසේම එම චරිතවල ප‍්‍රකෘතිය නිරූපණය එනම් පැවැත්ම නිරූපණය ඉස්මතුවී පෙනෙන්නට කතුවරයාගේ මෙම ක‍්‍රියාකලාපය හේතුවී ඇත. මෙහිදී මනුෂ්‍ය පැවැත්ම හා පැවැත්මේ වැදගත්කම අවධාරණය කරන කතුවරයා සංස්කෘතික සමාජ සාධක ආදී තිමිර පටල අතිශය සියුම් ලෙස උපහාසයට ලක්කරයි.

කතුවරයා කුන්දේරාගේ ජීවන දර්ශනයට සම්බන්ධ වන්නේ මෙතැනදීය. කථකයාගේ පි‍්‍රයතම ලේඛකයා කුන්දේරායි. ඔහුගේ දර්ශනය කථකයාගේ ගෞරවයට පාත‍්‍රවෙයි.

”මිලාන් කුන්දේරා මගේ ප‍්‍රියතම නවකතාකරුවන් අතරින් පෙරමුණේ වැජඹෙයි. ජීවිතය උගුලක් බව ගම්‍ය කරන ඔහුගේ කෘති තුළ ඔහු මිනිසාගේ පැවැත්ම ගවේෂණය කරයි..”

එම ගෞරවය තුළින් ඇඟනෙුයේ එම අදහස් වෙතට කථකයා දක්වන ලැදියාවයි. එය කථකයාගේ ජීවිතයේ රැුඳී පවත්නා අතෘප්තිය හෝ එබඳු යම් දෙයක් අඟවයි. මතුපිටින් බලන කල කතාවේ ප‍්‍රධාන චරිතය පොතක් කියවමින් යයි. එය ඉතාමත් යථාර්ථවත් සිදුවීමකි. එහෙත් යථාර්ථය තුළ සිදුවන පොත් කියවීමේ කාර්යය, එම පොතේ නම පොතේ කර්තෘ නිසා වඩා ගැඹුරු වෙයි. හුදෙක් ප‍්‍රබන්ධ කතාවේ ඉඩ පිරවීමකට ව්‍යුහීය පැලැස්තරයක් සේ කි‍්‍රයාකරනවාට වඩා එහා ගිය දෙයක් තුළින් සිදු වෙයි. එසේ වන්නේ නවකතාවෙන් ගම්‍යමාන යථාර්ථයට එකී කෘතිය රූපකයක් සේ ගැඹුරු අර්ථයක් එකතු කරන නිසාය. මෙමඟින් ප‍්‍රධාන නවකතාවේ අර්ථය ද්විගුණ වෙයි. රූපකය සතු අර්ථ විභවතාව නම් මෙයයි.

ඇන්තනී නම් කථකයා සිය පියා දැක ගැනීමට බත්තලංගුණ්ඩුව නම් දූපතට යයි. කල්පිටියේ සිට බෝට්ටුවට නඟින ඔහු අතේ ඇති බෑගයේ, ඔහු ඉතාමත් කැමති ලේඛකයා වන මිලාන් කුන්දේරාගේ ”ජීවිතය අන්තැනක” නම් නවකතාව ඇත. සිය පඨිතය තුළට තවත් පඨිතයක් ඇතුළු කර ගැනීමෙන් වෙඩිවර්ධන ප‍්‍රකාශ කිරීමට යත්න දරන යථාර්ථයට ඉටුවන්නේ කවර මෙහෙවරක්ද? ඔහුගේ නවකතාව පිටු 216කින් අවසන් වුව ජීවිතය අන් තැනක කතාවේ සාරාර්ථයද කුන්දේරාගේ ජීවන දර්ශනයේ සාරයද බත්තලංගුණ්ඩුවට ඇතුළු කරගැනීමට කතුවරයා සමත් වෙයි. රූපකයේ ප‍්‍රබල අර්ථ විභවතාවේ ස්වරූපය මෙයින් හඳුනාගත හැකිය. මෙසේ බත්තලංගුණ්ඩුව නවකතාව තුළ වෙඩිවර්ධන ඉදිරිපත් කරන්නට යත්න දරන යථාර්ථය කුන්දේරාගේ ජීවන දර්ශනයෙන් තවත් පණ ලබයි.

”පස් මහ බැලූම්” බලා ඉපදීමට අවකාශය නොලත් යථාර්ථ ලෝකයේ මිනිසා තමාගේ වගකීමකින් තොරව තමා ලත් ශරීරයේ, ජීවිතයේ සියලූ දුක් අඳෝනාවන්ට, පී‍්‍රති ප‍්‍රාමෝද්‍යයන්ට මුහුණ දිය යුතුය. එනම් ඔහුට සිදුවී ඇත්තේ තමාගේ පාලනයකින් හෝ අනුමැතියකින් තොර වූ ශරීරයක සිර වී හිඳීමටයි. එබැවින් සැබෑ ලෙස ඔහුගේ ජීවිතය පවතින්නේ ඔහුවෙත නොව ‘අන්තැනක’ය. කතුවරයා ඇන්තනීගේ අතට දී ඇති ”ජීවිතය අන් තැනක” කෘතිය රූපකයක් සේ නංවන්නේ එම අර්ථය විය හැකිය. ”ජීවිතය අන් තැනක” නිතර ඔහු අතේ තබා ගැනීම ඇන්තනී නිරන්තරයෙන් සිය ජීවිතය පිළිබඳ අතෘප්තිය තමා සමඟින් රැුගෙන යන අයුරු අඟවයි. ඇන්තනීගේ මව ඔහු කුඩා කලම මිය යයි. පියා ඔහු සමග ‘සාමාන්‍ය’ පිය පුතු සබඳතාවක් නොපවත්වයි. ඔහු කොළඹ සිටියදී පියා ඔහු හැරදමා යයි. අවසන ඇන්තනී ජීවත්වන්නේ අතෘප්තිකර ආවේගයකිනි. එහිදී තී‍්‍රසා ඔහුගේ ”වේදනා බර” ජීවිතයට යම් සතුටක් ලබාදෙයි. එහෙත් ඇන්තනීගේ ජීවිතය ඇත්තේ ”අන් තැනක” ය.

එබැවින් රූපකයක් ලෙස ජීවිතය අන් තැනක යන කෘතිය හුදු වාච්‍යාර්ථයෙන් ලබා දෙන රූපකර්ථය වුවද ප‍්‍රබලය. ඉනික්බිති එම කෘතිය කුන්දේරාගේ දර්ශනය වෙඩිවර්ධනගේ දර්ශනය සමඟ මුසු කරන්නට දරා ඇති උත්සාහය කෙතරම්දැයි විමසා බලමු. බත්තලංගුණ්ඩුව නවකතාවේදී ඇන්තනී දූපතට පැමිණීමෙන් අදහස් වන්නේ ඔහුගේ පැවති දේශපාලනික, සාමාජික, ආර්ථික, අධ්‍යාපනික සබඳතා ගොන්නෙන් මදකට වියුක්ත වී සම්මත බැඳීම් විරහිත අවකාශයකට පැමිණීමේ කතාන්තරයයි. මෙතැනදී බත්තලංගුණ්ඩුව නම් දූපත රූපකයක් බවට පෙරැුළෙයි.

දූපතට පැමිණීමෙන් පසු කථකයාගේ වියුක්ත ක‍්‍රියා කලාපය විස්තර කරන කතුවරයා ඔහුගැන සාම්ප‍්‍රදායික විස්තර කථනයක් නොදෙයි. කුන්දරා මෙසේ පවසයිි.

”චරිතයක් සජීවීකිරීම යනු: ඔහුගේ පැවැත්ම පිළිබඳ ගැටලූවේ පතුළටම ළඟාවීමයි. එනම් විවිධ තත්ත්වයන්ගේ, අවස්ථාවන්ගේ, ආරම්මණයන්ගේ, ඔහුව හැඩ ගස්වන වචනයන්ගේ පවා පතුලට එබී බැලීම මිස අන් කිසිත් නොවේ.”

පුද්ගල පැවැත්ම ගවේෂණය කිරීමේ කුන්දේරාගේ අරමුණ හා දර්ශනය බත්තලංගුණ්ඩුවේ කතුවරයා වෙතින්ද දිස් වෙයි. හයිඩෙගර් පවසන පරිදි පැවැත්ම යනු ලෝකය තුළ හිඳීම (being in the world) ය. කුන්දේරාගේ කෘතියේද අවධාරණය වන්නේ පුද්ගල පැවැත්මයි. බත්තලංගුණ්ඩුවද පුද්ගල පැවැත්ම අවධාරණය කරයි. ”බත්තලංගුණ්ඩුව” තුළ ”ජීවිතය අන් තැනක” අන්තර්ගත වීම නිසා පළමුවැන්නේ අර්ථය දෙගුණයකින් පොහොසත් වෙයි. මෙම ද්වීගුණාත්මකභාවය නවකතාවේ චරිත සම්බන්ධයෙන්ද දිස් වෙයි. විශේෂයෙන් ජෙරොමිල්ගේ චරිතයෙන් ආනමරියාද ද්විගුණ වේ.

ජෙරොමිල් කවියෙකි, ඇන්තනීද කවියෙකි. ජෙරොමිල් උත්සහ කළේ ඔහුගේ වර්තමාන ජීවිතයෙන් පලා යාමටයි, ඈත්වීමටයි. වියුක්ත වීමටයි. ඇන්තනීද සිය ජීවිතයෙන් වියුක්ත වීමට ආයාසකර උත්සහයක යෙදෙන්නෙකි. ”පියා” ජෙරොමිල්ගේ ජීවිතයේ නොපවත්නා පැවැත්මක් විය. ඇන්තනීද සිය පියා පවත්නා නොපැවැත්මක් සේ සලකයි. කතුවරයා මෙසේ ඇඟවීමෙන් නතර නොවී සෘජුවම ආනමරියා ලවා ”ජෙරොමිල්” නමින් ඇන්තනී අමතවයි. එයින් ඇන්තනී චරිතය තුළට ජෙරොමිල්ද රිංගවයි. කතුවරයා මෙය තීව‍්‍ර කරන්නේ ජෙරොමිල් මෙන්ම ඇන්තනීද ආනමරියා සම්බන්ධයෙන් ඊර්ෂ්‍යාවෙන් පෙළෙන ආකාරය දැක්වීමෙනි. ”ජීවිතය අන් තැනක” කෘතියේ ”කවියා ඊර්ෂ්‍යාවෙන් පෙළෙයි”පරිච්ෙඡ්දයේ රතු කොණ්ඩකාරිය වෛද්‍යවරයෙකු හමුවටවත් යනවාට තමා අකැමැති යයි ජෙරොමිල් හා ඈ අතර ඇතිවන අරගලය මඟින් ඇන්තනී ආනමරියා වෙත දක්වන පේ‍්‍රමනීය ඊර්ෂ්‍යාව තීව‍්‍රකරණය කෙරෙයි. ”ජීවිතය අන් තැනක” කෘතියේ් එන රතු කොණ්ඩකාරිය පිළිබඳ උපුටනයක් දක්වා එය අවසන් වූ විගස කතුවරයා බෝට්ටුවේ යන ආනමරියා නම් තරුණිය දෙසට ඇන්තනීගේ දෑස යොමු කරවයි. මෙසේ රතු කොණ්ඩකාරිය හා ආනමරියා අතර මනෝමය වශයෙන් ඇන්තනී ගොඩනඟන සම්බන්ධය නවකතාවේ අවසාන භාගයේ ආනමරියා ඇන්තනී සමඟ පවත්වන ලිහිල් ලිංගික හා ආදර සබඳතාවන්හිදී තීව‍්‍රකරණය වෙයි. එතැනදී ජෙරොමිල් හා ඇන්තනීද එක් අයෙකුු වන හෙයින් අවසානයේදී ජෙරොමිල්-රතු කොණ්ඩකාරිය සහ ඇන්තනී ආනමරියා යන යුවළ දෙක එකිනෙක සමපාත වෙයි. මෙලෙස ”ජීවිතය අන් තැනක” නම් කෘතිය රූපකයක් ලෙස කියවීමේදී බත්තලංගුණ්ඩුව නවකතාවේ තේමාතමක අර්ථය වඩා පෝෂණය කරනු පිණිස ”ජීවිතය අන් තැනක” නවකතාවේ චරිතවලින් බත්තලංගුණ්ඩුවේ චරිත පුරවන සැටි අපට පෙනේ. මෙලෙස වෙඩිවර්ධන සිය ප‍්‍රබන්ධය තුළ අතිශය පොහොසත් විභවයකින් යුක්ත වන සේ රූපක භාවිත කර ඇති සැටි අපට දැක්ක හැකිය.

මෙලෙස ”ජීවිතය අන් තැනක” නමින් ජීවිතය පිළිබඳ අතෘප්තිය දෝතින් දරාගෙන බත්තලංගුණ්ඩුවට යන කථකයාගෙන් නිරූපණය වන්නේ තමාගේ පැවැත්ම හඟින්නට ඇති අනවරත ආශාව, උනන්දුව තුරුළු කොට ගත්, එය සොයා යන පුද්ගල යථාර්ථයයි. කථකයා දූපතට පයගැසූ ඉක්බිති ‘ජීවිතය අන් තැනක’ කෘතිය ආනමරියාට දෙයි. කථකයාට ස්වකීය සොයා යෑම හමු වූ බව ඉන් ගම්‍ය කරනු විය හැකිය. නවකතාවේ අවසන් භාගයේ ජසින්තා (ඇන්තනීගේ නැගණිය-half sister) ඇන්තනීගෙන් මෙසේ අසයි.

”‘අයියා ආ දවස්වල කියව කියවා හිටපු අර නිල් පාට පොත කෝ?’”

ඇය අසන්නේ මා ආනමරියාට දුන් පොත ගැනය. ‘ජීවිතය අන් තැනක’ පිළිබඳව මා කිවයුත්තේ කුමක්ද? ”

ජසින්තාගේ පැනය කථකයාගෙන් අසන්නේ වෙනත් පැනයකි. ඇන්තනී පැමිණියේ තම පියාද කැඳවා ගෙන යළි කොළඹ යාමට වුවද එය ඔහුටත් නොදැනීම අමතක වී ගොසිනි. ඇන්තනී ජීවිතය ඇති තැන සොයා ගෙන ඇත. ඒ ‘බත්තලංගුණ්ඩුව’යි. තවත් ඔහුට ”ජීවිතය අන් තැනක” කුමටද?

එයනුව කථකයාගේ ජීවිතය, පැවැත්ම යනු බත්තලංගුණ්ඩුවයි. මෙම දූපත නවකතාව තුළ පුද්ගල පැවැත්මේ දේශය, ජීවිතය ලෙස රූපකාර්ථ නංවයි. පියා සොයා ගෙන පැමිණියද ඔහුගේ මනසෙහි වු සෙලවීම තුළින් එම සොයා ඒමම පවා නිරර්ථක ක‍්‍රියාවකැයි වටහා ගන්නා කථකයා මුළුමනින්ම පාහේ දූපත් යථාර්ථය අන්තර් ග‍්‍රහණය කර ගනී.

”බත්තලංගුණ්ඩුව ජීවිතය හා සමාන වදනකි.”

බත්තලංගුණ්ඩුව ලංකාවේ යථාර්ථවත් දූපතක් වුවද එම දූපතේ වසන්නන්ගේ චරිත ස්වභාවය කතුවරයා දිගහරින්නේ තරමක් යථාර්ථය ඉක්ම වූ ආකාරයෙනි. ලංකාව නම් රාජ්‍යයේ දේශපාලන සමාජ යථාර්ථයන්ගෙන් වෙන් වූ වෙනමම අනන්‍ය යථාර්ථයක් සහිත දේශයක් හැටියටයි කතුවරයා බත්තලංගුණ්ඩුව විස්තර කරනුයේ. එහි පුද්ගල සබඳතා සංස්කෘතික සබඳතාවලට වඩා ප‍්‍රකෘති සබඳතාවල ස්වරූපයක් ගනී. ලිංගිකත්වය, විවාහය ආදී දැඩි සංස්කෘතිකමය අර්ථකථනයන් තුළ සිරවන සංසිද්ධි බත්තලංගුණ්ඩුවේදී ලිහිල් වෙයි. එහි වසන මිනිසුන්ට තමාගේම ලෝක තිබේ. ඇන්තනී තමා ලත් අධ්‍යාපනයද හිස දරාගෙන එහෙත් මහත් හිස් බවකින් යුතුව පැමිණෙන්නේ මෙබඳු තැනකටය. ඔහුට ස්වකීය පැවැත්ම දැනෙනුයේ, හැඟනුයේ බත්තලංගුණ්ඩුවට පැමිණි පසුවයි. එනම්, පැවැත්ම අත්විඳි පසුවයි. සාම්ප‍්‍රදායික සිරිත් විරිත් හර පද්ධතිවල පීඩනයෙන් බොහා්දුරට ඈත්ව සිතැඟි පරිදි තම පැවැත්ම තහවුරු කර ගැනීමේ අවස්ථාව මෙන්ම පැවැත්ම පිළිබඳ නීතිමය සහ සංකේතමය තහවුරුව වන පියාගේ රූප මාත‍්‍රය ඇන්තනීට හමුවන්නේ බත්තලංගුණ්ඩුවේදීය.

”කොහොමත් මං දැනං හිටපු එක් දෙයක් තිබුණා. මං දැනන් හිටියා උඹ බත්තලංගුණ්ඩුවට එන පාර හොයා ගන්න බව.”

ඇන්තනීගේ පියාගේ උක්ත ප‍්‍රකාශනය අඟවන්නේ ඇන්තනී සිය ජීවිතය අත්පත් කරගෙන ඇති බවට, ජීවිතය අවබෝධ කර ගනු ඇති බවට පියා තුළ පවත්නා විශ්වාසයයි.

බත්තලංගුණ්ඩුවට පැමිණීමෙන් පසු ඇන්තනී පෙර නිරන්තරයෙන් තමා අත තබාගෙන හුන් කෘතියෙන් කොතෙක් දුරට ඈත් වීද යත් ආනමරියා වරක් ඔහුට ජෙරොමිල් යනුවෙන් ඇමතූ විට ඒ නම හිමි වෙනත් කිසිවෙකු සමඟ ඈ සබඳකම් පැවැත්වී යැයි ඔහු සිතයි. එයින්ම ”බත්තලංගුණ්ඩුව” නැමති අවකාශය ඇන්තනීට තම ”පැවැත්මේ දේශය” බවට පත්ව ඇති සැටි අපට සිතා ගත හැකිය.

මෙයනුව බත්තලංගුණ්ඩුව නවකතාව රූපක ගුණයෙන් අතිශය පොහොසත් ප‍්‍රබන්ධයක් බව හඳුනාගත හැකිය.

චමිලා සොමිරත්න – ගම්පහ

යාපනයේ ජීවිත…

jaffna-waiting

‛ඒයි කොහෙද යන්නෙ’ ජීප් රථයේ ඉදිරි අසුනේ වැඩ සිටිනා අප මිත්‍ර මේජර්වරයා මිත්‍ර ලීලාවෙන් අසයි.
‛ජැෆ්නා’ එක්ස්පෝ බස් රථයෙන් බැස ගුවන් හමුදා මුර කපොල්ලක චෙක් වෙමින් සිටින අපි පිළිතුරු බඳිමු.
‛නම්බර්ස් දියල්ලා. මං කෝල් කරන්නම්’ අපේ දුරකථන අංක සිය ජංගම දුරකථනයේ සටහන් කර ගන්නා මිත්‍ර මේජර්වරයා නික්ම යයි. ඔහු යන්නේද යාපනය වෙත ය. ඔහුට අංක දුන් අපේ දුරකථන විසංධි කොට හමුදා බාරයට ගැනේ.
‛මුරුක්කණ්ඩි වලදි හම්බවෙයි’ ගුවන් හමුදා නිලධාරිනිය මඳහසින් යුතුව පවසයි.
පෙරවරු 7.30ට රත්මලානට ආ අප පලාලියට පැමිණෙන්නේ පස්වරු 2.00ට ය. පැයක ගුවන් ගමනක් නමුදු පැය 6.30ක රස්තියාදුවකි. ගුවනේ පැයකි. ඉතිරි කාලය ඉතිරි වැඩවලටය.
පලාලි හීදී ගුවනින් බට තැන ගැහැණු පිරිමි පෝලීම් දෙකකි. සේයා රූ සටහන් කර ගැනීටමත්, ආ තැන – යන තැන සටහන් කරගැනීමටත් ය. තරුණ ගුවන් හමුදා නිලධරයෝ දෙදෙනා මාරුවෙන් මාරුවට ඩිජිටල් කැමරාවකින් සේයා රූ ගනිති. දෙමළින් කියන විස්තර පෝරම ගත කෙරෙන්නේ සිංහලෙනි.
එතැන් සිට මුරුක්කණ්ඩි දක්වා මගීන් රැගෙන යන්නේ හමුදා බස් රියකිනි. එහි සියලු ජනෙල් කවුළු වසා තිර රෙද්දෙන් ආවරණය කර ඇත. තිර රෙද්දක් යන්තමින් හෝ ඇර අධි ආරක්‍ෂක අවකාශය දෙස බලන කවරෙකුට වුව කළු කණ්ණාඩිය දමා ගත් ‛එක්ස්පෝ’ සේවකයාගෙන් කුණු බැණුම් අසන්නට සිදුවේ.
මුරුක්කණ්ඩියේ සිට යාපනය නගරයට අප රැගෙන යාමට පැමිණි ‛එක්ස්පෝ’ බස්රථ පසෙක ගාල් කර ඇත. කලෙකින් ගමට පැමිණි හූදී ජනයෝ එයට නගිනායුරු අපි පසෙකට වී බලා සිටිමු.
යාපනය නගරය දහවලට වෙනදා මෙන්ම කඩිසරය. දහවල ඉක්ම යමින් පවතිද්දී වෙනදාටත් වඩා කඩිසරය. සන්ධ්‍යාවේ පූර්ව අවධිය එළැඹෙද්දීම පොදු වෙළඳ පොළ මෙන්ම නගරයේ කඩ සාප්පු වීදි ද ඉබි යතුරු ලෑම අරඹයි. සවස 3.00 වන විට කඩිගුලක් මෙන් කැළඹෙන නගර මධ්‍යයේ වන මධ්‍යම බස් නැවතුම් පළ 4.00 වන විට හිස් ලූ ලූ අත දුවන ජනතාවගෙන් හිස් වී ශාන්ත ස්වභාවයක් උසුලයි. 5.00 පමණ වන විට මුළු නගරයම උපශාන්තය. ඉඳහිට යනෙන ත්‍රී රෝද රථයක් යතුරු පැදියක්, පාපැදියක් මිස අන් කිසිවකුත් නැති නගරය අරක්ගෙන සිටින්නේ හමුදා සොල්දාදුවන්ම පමණි.
මේ සියල්ලේ පදනම් හේතුව දෛනිකව සවස 7.00ට පැනවෙන ඇඳිරි නීතියයි. ඒ සමඟ උදාවන්නේ අවතාර සැරියරන භීතියේ රාත්‍රීන්ගෙන් එකකි.

jaffna-empty-road

අප රාත්‍රීය ගතකිරීම පිණිස තෝරාගෙන සිටින්නේ නල්ලූර් කෝවිලට යාබද තිනක්කුරල් රෙස්ට්, හෝටලයයි. ඉකුත් පස් මසක කාලය තුළ මෙහි පැමිණ ඇත්තේ අමුත්තන් දෙදෙනෙකු පමණි. වායු සමනය කළ කාමරද ඇතුළුව කාමර 12ක් එහි ඇත. එහෙත් බොහෝ රාත්‍රී වල එහි සිටිනුයේ කෝකිවරයාත්, හෝටල රැකවලාත් පමණි.
‛ඒ නයින් මාර්ගය වහල දැම්මට පස්සේ අමුත්තො මෙහෙ එන එක නැවතුණා. හෝටල් කර්මාන්තය 90% කින් විතර බිඳ වැටුණා. දැන් ඉතින් කලාතුරකින් තමයි එන්.ජි.ඕ. වල වැඩකරන අය පවා එන්නේ.’
තිනක්කුරල් රෙස්ට්හි කළමනාකාර එල්.සී. බෙන්ජමින් පවසයි. තිනක්කුරල් රෙස්ට් හි පැවති සශ්‍රීක අවන්හල වැසී ගොස් වසරකුත් ඉක්මවා ඇත.
එහි පසෙක හකුලා ගොඩ ගසා තිබූ යකඩ මේසයක් දිග හැරීමට අප සිවු දෙනෙකු දැරු තැන ව්‍යර්ථ විය. එතරම්ම මළබැඳී ඇති හෙයිනි.
මේ සන්තෑසිය තිනක්කුරල් හෝටලයට පමණක් සීමා වුවක් නොවේ. යාල් බීච්, තීක්කම් ගෙස්ට් හවුස්, ග්‍රීන් ගාඩ්න්ස්, බැස්ටියන් පිල්ලෙයාර් ඇතුළු හෝටල් සියල්ලටම උරුම වූවකි. දෙවසරකට පෙර සේවය කළ සේවකයන්ගෙන් 75%ක් පමණ අඩු කිරීමට සෑම හෝටලයක්, නවතැන්පලක්ම තීන්දු කොට ඇත.
යාපනයට හිරු උදාවන්නේ මෝටාර් හෝ කලාතුවක්කු හඬක් සමඟිනි. නින්දෙන් තිගැස්සි අවදිවුණු අපට දොර කවුළු හැර පිටත බලද්දී දක්නට ලැබුනේ අසල් වැසි නිවසක් ඉදිරිපිට මිදුල අමදිමින් සිටිනා කාන්තාවකි. මෙබඳු හඬවල් යාපනයේ ජීවිත තුළ සාමාන්‍යකරණය වී ඇති සෙයකි.
උදෑසන වුව නගරයේ කඩිමුඩියක් නැත. කඩසාප්පු ඇරෙන්නේ හිමිහිට ය. අපි පොදු වෙළෙඳ පොල වෙත යමින් සිටිමු.
‛දෙන්නෙක් තුන්දෙනෙකු ඉන්න පවුලකට වුණත් දවසකට රුපියල් 1000/- විතර වියදමක් යනවා. මෙහි බඩු ගාණ වැඩියි. මිනිස්සු ජීවත් වෙන්නේ අමාරුවෙන්.’
දවසට අවශ්‍ය කළමණා රැගෙන යන්න උදේ පාන්දරින්ම යාපනය ප්‍රධාන වෙළෙඳපොල වෙත පැමිණි ටී. තංගමනී ගෘහණියකි. යාපනය නගරයේම ඇය පදිංචිව සිටින්නේ සිය විශ්‍රාමික සැමියාත් සමඟයි. ඔවුන්ගේ දුවා දරුවන් සියලු දෙනාම යාපනය හැර ගොසිනි. ඒ යුරෝපා කරයටය. යාපනයේ ජන ජීවිතය පිළිබඳ යථාර්ථය හෙළිදරව් කිරීමක් වැනිය.
‛දුප්පත් මිනිස්සුන්ට නම් මෙහේ ජීවත් වෙන එක අමාරුයි. දැන් බලන්න මේ වම්බටු කිලෝවක් රුපිල් 100/-ක්. අර්තාපල් කිලෝවක් රුපියල් 160/-ක් වෙනවා.’
ඇය වෙලෙන්දා ඉදිරියේ ඇති එලවළු වර්ග පෙන්වමින් අපිට පවසයි.
‛මේ එලවළු ගේන්නේ තින්නවේලි ඉඳන්, චෙක් පොයින්ට් පහු කරගෙන තමයි මේවා ගේන්නේ. ට්‍රාන්ස්පෝර්ට් වලටම යනවා රුපියල් 200ක් විතර.’
වසර 15කට වැඩි කාලයක සිට යාපන පොදු වෙළඳපොළේ වෙළඳාම් කරන ජෙයචන්ද්‍රන් සෙල්වරාජ් සිය දුෂ්කරතාවයන් පෙන්වා දෙයි.
‛හතර වෙනකම් විතරයි බිස්නස් කරන්නේ, ඒත් වැඩිදෙනෙක් දැන් මාර්කට් එකේ බිස්නස් වලට එන්නේ නැහැ. ඈත ඉන්න අයත් ඉක්මනට යනවා මොකද හවසට ඇදිරි නීතිය දානවා.’ සෙල්වරාජ් වැඩි දුරටත් පවසයි.
‛මිනිස්සු ළඟ සල්ලි තියෙනවා. ඒත් පාරට බහින්නේ නැහැ හැම තිස්සෙම චෙකින් නිසා. ඒක මිනිස්සුන්ට කරදරයක් වෙලා.’
සිංහල මහා විද්‍යාලය අසලදී අපට හමුවු බී. නික්සන් ත්‍රිරෝද රථ රියදුරකි. යාපනයේ සිය පියාගේ ගම වුවද මව හලාවත ප්‍රදේශයේ පදිංචිකාරියකි. කෙතරම් දුෂ්කරතාවයක් තිබුණද නික්සන් යාපනය අතහැර යාමට එතරම් කැමැත්තක් නැත.
‛අපි මෙතන ඉඳලා ටවුන් එකට පස්වතාවක් ගියොත් ඒ පස්වතාවම චෙක් කරනවා.’
නික්සන් කියයි.
රත්මලාන බලා ගුවනින් යාමට බලාපොරොත්තු වන මගින් එක් රැස්වන්නේ සිංහල මහා විද්‍යාලය අසලටයි. නික්සන් ඒ සියලු දෙනාගේ අවශ්‍යතාවයන් පිළිබඳව සොයා බලන්නේ සිය ත්‍රී්‍රිරෝද රැකියාවෙන් ද එපිටට ගොසිනි.
කෙසේ වුවද යාපන අර්ධද්වීපය තුළ ත්‍රීරෝද ගමන් කිරීමේ අවම ගාස්තු වන්නේ රුපියල් 100කි. ටික දුරක් යන මගියකුට බොහෝ මිලක් ගෙවන්නට සිදුවේ. එබැවින් බොහෝ ත්‍රීරෝද රථ රියදුරන් ගමන් දෙකකින් තුනකින් පමණ දිනකට සරිලන මුදල සොයා ගනී.
‛තෙල් ගණන් වැඩියි. ලීටරය රුපියල් 122ක් වෙනවා. ටූටී ඔයිල් කාලක් ඉස්සර රුපියල් 30යි. එත් දැන් රුපියල් අනුවක් වෙනවා.’ නික්සන් ත්‍රිරෝද ගාස්තු වැඩි වීමට හේතු දක්වයි.
‛අද මෙහේ හැම දෙයක්ම 100%කින් පහත වැටිලා තියෙන්නේ. ඒ නයින් පාර ඇරිය නම් අපේ වගාවලට හොඳ ආදායමක් තියෙනවා.’
සිරිප්පිඩි වලදී අපට හමුවන හැට එක් හැවිරිදි ටී. සුබ්‍රමනියම් පවසයි. ඔහු අක්කර 4ක සරුසාර කෙසෙල් වගා බිමකට හිමිකම් කියයි. ඒ ගැන ඔහු කථා කරනුයේ ඉතාමත් ආඩම්බරයෙනි. යාපනයේ සෑම ගොවියෙකුගේම මේ ප්‍රෞඩත්වය දැකිය හැකිය.
‛මේවාට කිසිම පොහොරක් යොදන්නේ නැහැ. මේ පොලව සාරවත්. ඒ හින්ඳා තමයි අපිට හොඳ අස්වැන්නක් ලැබෙන්නේ’
සුබ්‍රමනියම් එසේ කීවද එම අස්වැන්න විකුණාගත නොහැකි වීම ගැනනම් ඔහුට ඇත්තේ කණස්සල්ලකි.
‛නිර්වේලි, අච්චුවේලි, තින්නවේලි කොයි මාර්කට් එකකට අරන් ගියත් ලැබෙන්නේ බොහොම අඩු ගාණක්. ට්‍රාන්ස්පෝර්ට් වියදම් ගියාම අතට ලැබෙන ගාන මදි. ඒ නයින් පාර ඇරලා තිබ්බ කාලේ නම් අපිට හොඳ මාර්කට් එකක් තිබුණා.’
වෙළෙඳ පොළ ප්‍රශ්නය සේම ඔහුට භුමිතෙල් මිළ, කම්කරු කුලිය ද බලපා ඇත.
ගොවින්ට සේම ධීවරයන්ට ද යාපනයේ සිය රැකියාව කරගෙන යාමට ඉස්පාසුවක් නැත. නගරය යාබද ගුරුනගර් ධීවර ගම්මානයේ සිටින ධීවරයන් ගණන 3000කට ආසන්නය. ඔවුන් රැකියාව කරන්නේ හමුදාව විසින් සකස් කරන ලද අපුරු විෂම චක්‍රයකට අනුවය.
එක් දිනකට රැකියාවට යාමට අවසර ලැබෙන්නේ ධීවරයන් 700ක උපරිමයකටය. එයත් පෙරවරු 11.00 සිට පස්වරු 2.00 දක්වා වන පැය තුනක කාල පරාසයකට ය. එයත් අඩි 2ක් පමණ වන නොගැඹුරු කළපු දියෙහිය. එක් ධීවරයෙකුට රැකියාව පිණිස වන අවස්ථාව ලැබෙන්නේ දින 4කට එක් වරක්.
‛අපේ ධීවරයෙකුට සාමාන්‍යයෙන් දින 4කට උපයන්න ලැබෙන්නේ රු. 147 ක මුදලක්. යාපනේ හාල් කිලෝ එකක් රු. 110/-ක් 120/-ක් වෙනවා. මෙහෙම කොහොමද අපි ජීවත් වෙන්නෙ.’
ගුරුනගර් ධීවර සමිතියේ සභාපති එස්. තවරත්නම් පවසයි.
යාපනයේ පොදු ජනජීවිතය මෙසේ ගෙවෙමින් පවතී. සියලු ජනතාව තුළ නිශ්චිතව පවතින එකම දේ අවිනිශ්චිතභාවය පමණි.
කෙටි සැරිසැරීමක අවසන අපි ආපසු හැරී එමින් සිටිමු. ආ මඟ ඔස්සේ ම ය. ‛එක්ස්පෝ’ බස් රථයේ අසුන් සියල්ලම පිරී ගොසිනි. එන විට දුටු මුහුණු වෙනුවට වෙනත් මුහුණු සමූහයකි.
මුරුක්කණ්ඩි මුරපොලේ හැඳුනුම්පත් පිරික්සෙයි. අප ඉදිරියෙන් සිටින කාන්තාව සමඟ සෙබළ සංවාදයකි.
‛කොහෙද ගම’
‛ග්‍රූන්ඩ්පාස්’ ඇය සිංහලය චතුර ලෙස උසුරුවයි.’
‛දෙමළ ද’
‛නෑ සිංහල’
‛මේ කොහෙද ගියේ’
‛යාපනේ’
‛මොකටඳ
‛මහත්තයා එහේ’
‛මහත්තයා දෙමළ ද’
‛ඔව්’
‛ඇයි දෙමළ මිනිහෙක් බැන්ඳේ’
ඇය අසරණව මුහුණ රතු කර ගන්නීය. අපි අනවසරයෙන් සංවාදය මැද්දට පනිමු.
‛එගොල්ලෝ බැඳලා තියෙන්නෙ, ප්‍රේමය නිසා’
සොල්දාදුවා අප දෙස ඔරවා හැඳුනුම්පත ඇය අතට ලබා දෙයි. ඇය යන්නට හැරේ.
‛ලබන ආත්මෙවත් සිංහලයෙක් බඳිනවා’
හැරී යන ඇය වෙත සොල්දාදුවා වචනයෙන් වෙඩි තියයි.
අපි හමුදා බස් රථයකට ගොඩ වෙමු. එහි ජනෙල් ද පෙර සේම කළු තිර රෙදි වලින් ආවරණය කර ඇත. පලාලියට පිවිසෙන මා ඉමේ සිටුවා ඇති කණු දෙකක සවි කළ පුවරුවක මෙසේ සටහන් ව ඇත.

WELCOME

අධි ආරක්‍ෂක කලාපය.

මංජුල වෙඩිවර්ධන
අතුල විතානගේ

යාපනය : අර්ධද්වීපයක මාධ්‍ය සංහාරය

යාපනය : අර්ධද්වීපයක මාධ්‍ය සංහාරය

‘‘ඝාතන, පැහැරගැනීම්, තර්ජන සහ වාරණයන් හේතුකොට ගෙන යාපනය ජනමාධ්‍ය කාර්යයෙහි නියැලෙන්නට ලෝකයේ වඩාත් ම අනතුරුදායක ප‍්‍රදේශයන්ගෙන් එකක් බවට පත්ව තිබේ.’ 2006 මැයි මාසයේ සිට එහිදී මාධ්‍යවේදීන් දෙදෙනෙක් ද ඇතුළත්ව මාධ්‍ය සේවකයන් 7 දෙනෙකු අවම වශයෙන් ඝාතනය වී තිබේ. එක් මාධ්‍යවේදියෙකු අතුරුදහන් වී ඇති අතර අවම වශයෙන් පුවත්පත් අලෙවි කරන ස්ථාන 3ක් ප‍්‍රහාරයට ලක්ව තිබේ. මාධ්‍යවේදීන් සැළකිය යුතු ගණනක් ප‍්‍රදේශය හැර ගොස් හෝ තම වෘත්තීය හැර ගොස් හෝ තිබේ. රජය පොරොන්දු වී තිබියදී සහ සැකකරුවන් නම් කර තිබියදීත් ෙමි කිසිදු සිදුවීමක් පිළිබඳව බලවත් පරීක්‍ෂණයක් සිදුවී නොමැත.’’

ශී‍්‍ර ලංකාෙවි මාධ්‍ය නිදහස පිළිබඳ සොයාබැලීමට පැමිණි ජාත්‍යන්තර ¥ත මණ්ඩලයේ කොටස් කරුවන් වූ දේශසීමා නැති මාධ්‍යෙවිදියෝ (RSF සහ ජාත්‍යන්තර මාධ්‍ය සහයෝගීතාව (IMS නියෝජිතයෝ ඒකාබද්ධව නිකුත් කළ නිරීක්ෂණ වාර්තාවේ එසේ සඳහන්වේ. ශී‍්‍ර ලංකාව නම් වනිඒකීය’ රාජ්‍යයෙන් හුදෙකලා කොට දමා ඇති අනතුරුදායක උතුරේ ජනමාධ්‍යවේදීන් පිළිබඳ සොයා බැලීමේ වගකීමෙන් නො මිදීමට අප තීරණය කළේ එම වාර්තාව නිකුත්කිරීමටත් බොහෝ කලකට ඉහතදීය.

වින්සන්ට් ජෙයන් අප මිත‍්‍රවරයෙකි. මිත‍්‍ර මාධ්‍යවේදියෙකි. මාධ්‍යවේදියෙකු සතු ව්ය යුතු ගවේෂණශීලි දෑසක් ඔහු සතු විය. ඔහු එම අංශයෙන් ඉදිරියට එන මාධ්‍යවේදියෙකු වෙමින් සිටියේය. විශේෂ තත්වයන් යටතේ වාර්තා කිරීම වෙනුවෙන් වන කර්තෘ සංසද සම්මානයෙන් පවා ඔහු පිදුම් ලැබූයේ එබැවිනි. 2004 අග භාගයේ යාපනයේ දී ඔහු හමුවූ විටෙක ඔහු කී දෙයක් මතකයට නැගේ.

‘‘මං කැමතියි සිංහල කෙල්ලෙක් බඳින්න. ටීචර් කෙනෙක් නමි වැඩිය හොඳයි.’’

‘‘ඒ ඇයි?’’ අපි ඇසීමු.

‘‘එතකොට සිංහලත් හොඳට ඉගෙන ගන්න පුලූවන්.’’

ඔහු ජාතීන් අතර සහෝදරත්වය වෙනුවෙන් සිහින මැවූවෙකි. එය සැබෑකරලීම වෙනුවෙන් දායක වීමට අපට නොහැකි විය. මෑතක දී ඔහු දෙමළ තරුණියක් නිවෙසට කැන්දාගෙනවිත් තිබුණි. එහෙත් අනතුරුදායක නගරයේ වැඩිකලක් විවාහයේ පේ‍්‍රමය භූක්ති විඳිය නොහැකි විය. ඔහු මෑතකදී අපට කෙළඹ දී මුණ ගැසුණි.

‘‘නිවුස් එකක් හොයා ගන්න බැරියර් සීයක් විතර පහු කරන්න ඕනා. බැරියර් පහු කරන්න ව්‍යාජ කුලූපගබවක් හරි මවා ගන්න සිද්ධවෙනවා. බොරුවට හරි හිනාවෙන්න සිද්ද වෙනවා. එහෙම කළාම අනිත් පැත්තට සැකයි. එතකොට ඇලවෙන්නේ වෙන ලේබලයක්. අපි මේ දෙපැත්තෙන්ම තැලෙනවා.’’

ජෙයන්ගේ මාධ්‍ය ජීවිතය දැන් තාවකාලිකව විසන්ධි වී ඇත. එපමණක් නොව නිමලරාජන්ගෙන් පසු ඔහුගේ අවකාශය පිරවීමට උත්සාහ ගත් කිසිදු ගවේෂණශීලී මාධ්‍යවෙදියෙකු යාපනය අර්ධද්වීපයේ නැත. මහේෂ්වරන්ල ජෙනගේෂ්වරන්ල තවසෙල්වම්ල දයාබරන් ඇතුළු කිසිවෙකු යාපනය තුළ නොවේ. එබැව්න් ගවේෂණශීලි මාධ්‍යවේදයක්ද එහි නැත.

වේලූතන්ජන් විකල්ප මතධාරියෙකි. පුවත්පත් කිහිපයක සේවය කළ ඔහු අද නිදහස් මාධ්‍යවේදියෙකි. මාධ්‍යවේදීන් යාපනය හැරයාම හෙළා දකින ඔහුට ඒ පිළිබඳ විවේචනයක් ද තිබේ.

‘‘දැන් ඉන්නේ මාධ්‍යවේදීන් නෙමෙයි නලූවෝ. ව්‍යාජ මාධ්‍ය රඟපෑමක නිරත වෙලා ඉන්නේ වෙන වෙන හේතු එක්ක. ඒ හේතු මතම පදනම් වෙලා කොළඹ යනවා ඊට පස්සෙ රට යන්න හදා ගන්නවා. අපේ දරු පවුල් දෙමව්පියො ඉන්නෙ මෙහෙ. අපිට යාපනෙන් යන්න බොරු හේතු හදාගන්න ඕනෙනෑ.’’

වේලූකන්පන්ගේ විවේචනය කෙබඳු වුවත් යාපනය භීතියේ නගරයක් වීම සොයා බැලිය යුතු වගකීමකි. යාපනයේ පළවන ප‍්‍රමුඛ පුවත්පත වන ‘‘උදයන්’’ හි ප‍්‍රධාන සංස්කාරක එම්.වී. කානමයිල්නාදන්ට ඇහුන්කන් දීම යුතුකමක් වන්නේ එබැවිනි.

‘‘තරුණ පරම්පරාව ජනමාධ්‍යයට එන්නෙ නෑ. බයයි. ඒක සාධාරණ බයක්. හැමෝම වෙන රස්සාවල් හොයාගන්නවා. හැම කෙනෙක්ම බලන්නෙ යාපනෙන් පිටවෙන්න පාර හොයාගන්නෙ කොහොමද කියලා. ඒ තරමට මෙහෙ ජීවත්වෙන එක දුෂ්කර වෙලා තියෙන්නේ.’’

උදයන් සංස්කාරවරයා 2001 වසරේ ජුනි 23 දා හඳුනා නොගත් අතුරු හමුදා ප‍්‍රහාරයකින් දිවි ගලවා ගත්තේ අනූ නවයෙනි. එහෙත් අද වන තුරුත් විවිධ දුෂ්කරතා මධ්‍යයේ ‘‘උදයන්’’ පුවත්පත මුද්‍රණය අඛණ්ඩව පවත්වාගෙන යාමට ඔහුට හැකියාව ලැබී ඇත.

2001 මැයි 06 දා උදයන් කළමණාකරු කේ නන්දකුමාර් ඝාතනය කෙරුණි. 2006 ජනවාරි 24 දා උදයන් තී‍්‍ර”මලේ වාර්තාකරු එස් සුබීර්දරාජන් ඝාතනය කෙරුණි. 2006 මැයි 03 දා රජය කෙළඹ දී නිදහස් මාධ්‍ය දිනය සමරමින් සිටියදී යාපනය උදයන් කාර්යාලයට බෝම්බ ප‍්‍රහාරයක් එල්ලවිණි. ඉන් අලෙවි කළමණාකරු බැස්ටියන් ජෝර්ජ් (සුරේෂ්* සහ රංජිත් කුමාර් රාජරත්නම් නම් වූ බෙදාහැරීම් අංශයේ සේවකයා ඝාතනයට ලක් විණි. පරිඝනක අංශයේ සියලූ පරිඝනක විනාශ කර දැමීමට ද ඝාතකයෝ අමතක නොකළහ.

යළිත් 2006 ජුනි 23 දා එහි පුවත්පත් සංස්කාරක කේ කුමාරදාස් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැණුනි. 2006 අගෝස්තු 15 දා උදයන් නිත්‍ය රියැදුරු එස් බාස්කරන් ඝාතනය කෙරුණු අතර 18 දි කෝපායි රාස් වීදියේ පිහිටි අමුද්‍රව්‍ය ගබඩාවට ගිනි තබා විනාශ කෙරුණි.

උදයන් පුවත්පතට එල්ල වූ අනේක විධ ප‍්‍රහාරයන් ගේ ආසන්නතම සිද්ධිය ඉකුත් අපේ‍්‍රල් 30 දා පෙරවරු 10.00 ට පමණ යාපනය නාවලර් මංසන්ධියේ දී යතුරු පැදියකින් පැමිණි තුවක්කුකරුවන් විසින් උදයන් මාධ්‍යවේදී සෙල්වරාජා රජීවර්මන් ඝාතනය කිරීමයි.

‘‘අද ඉතින් නිවුස් එඩිටරුයිල සබ් එඩිටර්ලයි ඔක්කොම මං තමයි. අපේ එඩිටරුයි මායි පහුගිය අවුරුද්දෙ මාර්තු මාසෙ ඉඳන් එක දවසක්වත් ගෙදර ගිහින් නෑ’’

උදයන් පුවත්පතේ ප‍්‍රවෘත්ති සංස්කාරක එස් කුගනාදන් පවසයි. උප සංස්කාරකවරු සිව් දෙනෙකු සහ මාණ්ඩලික වාර්තාකරුවන් අට දෙනෙකු සිටි උදයන් පුවත්පතේ අද සේවය කරන පුර්ණ කාලීන මාධ්‍යවේදින් දෙදෙනා ඔවුන් පමණකි.

අද අපට සිද්ධවෙලා තියෙන්නේ කාර්යාලයට ලැබෙන ලිපි, නිවේදන, දුරකථන ඔස්සේ ලැබෙන දේවල් වලට විතරක් සීමා වෙලා ඉන්න. දැන්වීම් වලින් පිටු පුරවන්න. ආරක්ෂක හේතු නිසා ප‍්‍රාදේශිය වාර්තාකරුවන් පවා අඩුවෙලා. ඒ ඔවුන්ගේ ජීවිතාරක්ෂාව වෙනුවෙන්‘ කුගනාදන් වැඩි දුරටත් සඳහන් කරයි.

මෙබඳු අඛණ්ඩ පිඩාකිරීම් හේතුවෙන් යාපනයේ පළවූ ප‍්‍රකට පුවත්පතක් වූ ‘‘නමුදු ඊළනාඩු’’ වැසී ගොසිනි. එහි කළමණාකරණ අධ්‍යක්‍ෂ සින්නතම්බි මහසිවරාජා ඝාතනය කෙරුණේ තෙල්ලිප්පෙලෙ හි පිහිටි ඔහුගේ නිවසේදී ම ය. පුවත්පත වැසී ගියේ ඉන් අනතුරුවය.

වර්තමානයේ යාපනයේ උදයන් පුවත්පතට අමතරව පළවනුයේ ‘‘යාල් තිනක්කුරල්’’ හා ‘‘වාලම්පූරි’’ යන පුවත්පත් දෙක පමණි. උදයන් සන්තෑසියම එම පුවත්පත් හි ද මහා පොදු සාධකය බවට පත්ව ඇත. 70ක් 80ක් පමණ වූ වාලම්පූරි හි ප‍්‍රාදේශිය වාර්තාකරුවන් ගණන මේ වනවිට 10 ටත් වඩා අඩු පිරිසක් බවට පත්ව තිබේ. මේ වනවිට එහි කිසිදු ප‍්‍රාදේශිය ප‍්‍රවෘත්තියක් පළ නොවන තත්වයක් දක්නට ලැබෙන අතර ජාතික මට්ටමේ පොදු ජනප‍්‍රිය ප‍්‍රවෘත්ති සහ විදෙස් ප‍්‍රවෘත්ති සඳහා පමණක් අවධානය යොමු කරමින් තිබේ.

‘‘ප‍්‍රවෘත්තියකට වඩා ජීවිතය වටිනවා’’ වාලම්පූරි තරුණ මාධ්‍යවේදියෙකු පැවසීය. ‘‘මාධ්‍ය හැඳුනුම්පත කියන්නෙ මරණ වරෙන්තුවක්. කිසිම සාධාරණ පිළිගැනීමක් නෑ. චෙක් පොයින්ට් වලදී හමාුදාව මාධ්‍යවේදීන් දිහා බලන්නේ කොටියෙක් දිහා බලන්න වගේ ’’

යාපනයේ තත්වය මෙබඳුය. එයියාල් තිනක්කුරල්’ පුවත්පතේ ප‍්‍රධාන සංස්කාරක එස් වාමදේවන් ගේ හඩින් ම නම් මෙබඳුය.

‘‘අපි පස්සේ මෝටර් සයිකල් වයිට් වෑන් පන්නනවා. තර්ජනය කරලා එස් එම් එස් ටෙලිෆෝන් කෝල් එනවා. සෝදිසි කරනවා. අපේ ඔෆිස් එකේ විතරක් 6 වතාවක් රවුන්ඞ් අප් කරලා තියෙනවා. ’’

පුවත්පතක ප‍්‍රධාන සංස්කාරකවරයෙක් වුව ද වාමදේවන් තවම පැද යන්නේ පාපැදියයි. ඒ ඔවුන්ගේ සරල දිවි පෙවෙතේ ලක්‍ෂණයකි. මෝටර් බයික් හෝ වයිට් වෑන් වලින් මඟ හැර යන්නට නිරායුධ පාපැදි මාධ්‍යවේදීන්ට හැකිෙවිද ?

‘‘ආරක්‍ෂක අංශවල අවසරයකින් තොරව කිසිම දෙයක් කරන්න බෑ. නිවුස් ෆොටෝග‍්‍රාෆ් එකක්වත් නිදහසේ ගන්න බෑ. හැම පැත්තෙන් ම අදහස් විමසලා බැලන්ස් නිවුස් එකක් ලියන්න මෙහෙ අමාරුයි. කොයි පැත්තෙන් හරි බලපෑම් එනවා. ’’

‘‘යාල් තිනක්කුරල්’ හි සේවය කරනුයේ ද පූර්ණ කාලීනයන් සිව් දෙනෙකු පමණි. ඔවුන්ගේ ප‍්‍රධාන වාර්තාකරුවකු වූ සුබ‍්‍රමනියම් රාමචන්ද්‍රන් වඩමාරච්චියේදී අතුරුදහන් වූයේ ය. ඉන් අනතුරුව එම පුවත්පතට ප‍්‍රවෘත්ති සැපයූ සෙස්සන්ගේ ද මාධ්‍ය කලාවට කණකොකා හැඬලීය.

පොදුවේ යාපනයේ පුවත්පත් සඳහා වන තවත් මුඛ්‍ය මර්දනයක් වනුයේ මුද්‍රණයට අවශ්‍ය කඩදාසි ගෙන ඒම තහනම් කිරීමයි’ මුලින් සිදුවූයේ ගෙන එ්ම තහනම් කිරීමයි’ එහෙත් පිටු දෙකකින් හෝ තම මාධ්‍යකාර්යය කරගෙන යාමට තරම් යාපනය මාධ්‍යවේදීන් ධෛර්යයසම්පන්න වී තිබුණි’

‘‘ දැන්නම් ප‍්‍රින්ටින් පේපර්ස් එනවා’ ඒත් ඒවා මදියි’ ඒ හින්දා අපි පත්තර අච්චු ගහන්නේ කොළත් අඩුවෙන්’ පත්තරත් අඩුවෙන්’’’

‘‘උදයන්’’ සංස්කාරක කානමයිල්නාදන් පවසයි’ වෙනදා පිටු 16කින් හෝ 20කින් යුත්ක වූ ‘‘උදයන්’’ අද පිටු 8 සිට 10 දක්වා සීමාවී තිබේ’ වෙනදාට පිටු 16 සිට 14 දක්වා වූ ‘‘යාල් තිනක්කුරල්’’ අද පිටු 6 සිට 8 දක්වා වන සීමාවේ ?ඳී ඇත.

‘‘යාපනයේ මිනිස්සුන්ට තියෙන්නේ තමන් නොසලකා හරින ලද පිරිසක් බව කියන හැඟිම’ ඔවුන් කල්පනා කරන්නේ තමන් අත්හැර දමන ලද පිරිසක් බවයි’’ මේක මාධ්‍යවේදීන්ටත් පොදුයි’’ උදයන් සංස්කාරක පවසයි

‘‘කිසිකෙනෙක් දන්නේ නෑ ඊළඟ මොහොතේ මොකක්ද වෙන්නේ කියලා. ඒත් අපට ජනතාව එක්ක ඉන්න වෙනවා. අපිට ජනතාව වෙනුවෙන් වැඩ කරන්න වෙනවා.’’

මේ සියලූ ප‍්‍රශ්න පිළිබඳව උතුරු ලංකා ජනමාධ්‍යවේදින්ගේ සංගමය යාපනය යුද හමුදා ආඥාපති සමඟ සාකච්ඡුා කර ඇත. ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ මාධ්‍ය හැඳුනුම්පත පවා පිළිගන්නා ලෙස සිය නිලධාරීන් වෙත දැනුම් දෙන බවයි. එහෙත් හමුදාව වෙතින් කිසිදු යහපත් ප‍්‍රතිචාරයක් මේ ප‍්‍රශ්න වෙත ලැබී නැතැයි යාපනය මාධ්‍යවේදීහු චෝදනා කරති.

එම් කදිරගාමර්තම්බි ‘‘යාල් තිනක්කුරල්’’ පුවත්පතේ නියෝජ්‍ය සංස්කාරක මෙන් ම උතුරු ලංකා ජනමාධ්‍යවේදීන් ගේ සංගමයේ සභාපතිවරයා ද වේ. 1962 දී ලේක්හවුස් ඬේලි නිවුස් පුවත්පතින් ඇරඹු මාධ්‍ය ජීවිතයට 45 වසරකට ආසන්නය. එවන් ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියෙකුට පවා තවමත් නිදහසේ වෘත්තියේ නියැලීමට අවකාශයක් නැත.

‘‘ජාතික සාම මණ්ඩලයේ ජෙහාන් පෙරේරාගේ මූලිතක්වයෙන් සටන් විරාම ගිවිසුම කාලේ අපි අරම්භ කළා උතුර දකූණු මාධ්‍යවේදීන්ගේ සංගමය. එහි සභාපතිවරයා වුණේ සුටැන්ලි සමරසිංහ. මම ලේකම්. අපි හිතුවා ඒ තූළින්වත් උතුරු දකුණු මාධ්‍යවේදීන් අතර සහෝදරත්වයක් ගොඩනැගෙයි කියලා. ඒත් ඒක හිනයක්.’’ කදිරගාමර්තම්බි පවසයි. ‘‘නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විතරයි අපි ගැන හොයලා බැලූවේ. රැුකියා නැතිවෙච්ච අපේ මාධ්‍යවේදීන්ට දීමනාවක් දෙන්නත් ඒ ගොල්ලෝ කටයුතු කළා.’’

ඔහු වැඩි දුරටත් දකුණේ මාධ්‍යවේදීන්ගෙන් මෙසේ ඉල්ලීමක් කරයි.

‘‘ අපි ඉතා කාරුණිකව දකුණේ මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටින්නේ අපේ ප‍්‍රශ්න ගැන හොයලා බලන්න. අපි මේ ශ‍්‍රී ලංකාවෙ ම මාධ්‍යවේදීන්. අපිව කොන් කරන්න එපා. ’’

එබඳු වේදනාත්මක ඉල්ලීම් තිබියදී වුව ඝාතනයකට වුව ප‍්‍රතිචාර නොදැක්වීමට තරම් දකණේ මාධ්‍ය සංස්කෘතිය අගතිගාමී වී ඇත. යාපනය සරසවියට අනුබද්ධ ජනමාධ්‍ය පර්යේෂණ හා තාක්‍ෂණික මධ්‍යස්ථානයේ :ඵඍඔක්‍* ශීෂ්‍යයෙකු වූ සහදේවන් නිලක්‍ෂන් ඉකුත් ජුලි මස දී ඝාතනය කෙරුණු විට දකූණේ ඇතැම් මාධ්‍යවේදීන් ප‍්‍රකාශ කළේ ඔහු මාධ්‍යවේදියෙකු නොවන බව පමණි. එහෙත් ඔහු යාපනය සරසවියේ ශිෂ්‍ය සංගමයට සම්බන්ධ ප‍්‍රකාශනයක් වූ ‘‘සාරලම්’’ හි සංස්කාරක බව බොහෝ දෙනෙක් මඟ හැර ගියහ.

මේ හුදෙකලා කිරීම යාපනය තුළ යථාර්තයක් බවට පත්ව තිබේ. මාධ්‍යකරණය ගැන උනන්දුවක් ඇල්මක් හා පිපාසාවක් ඇති කිසිදු තරුණයෙක් ඒ හා ඍජුව සම්බන්ධ වන්නේ නැත. ජනමාධ්‍ය හදාරන ශිෂ්‍යයෙකුගෙන් අපි ඒ ගැන විමසුවෙමි.

‘‘ඔබ කොහෙටද වැඩ කරන්න හිතන් ඉන්නේ’’

‘‘ආසාවට ඉගෙන ගන්නේ. වැඩකරන්න අදහසක් නෑ.’’

‘‘එහෙනම් මොනවද කරන්නේ ’’

‘‘මං ගොවිතැන් කරනවා.’’

අපි ඔහුගෙන් ඊට හේතු විමසුවෙමු. කෙටි පිළිතුර විසින් අප නිරුත්තර කරන ලදි.

‘‘පොළොවෙ වගා කරන දේවල් වලින් දවසක් දෙකක් හරි ජීවත් වෙන්න පුලූවන්. පත්තර වල වගා කරන දෙයින් දවසින් දෙකින් මැරුම් කන්න පුලූවන්.’’

මංජුල වෙඩිවර්ධන
අතුල විතානගේ