සම්මාන ලැබෙනුයේ කෘතියටද, කතුවරයාටද?

 

Mahinda Ratnayaka
Mahinda Ratnayaka


  

 

අපේ සාහිත්‍යය ඇසුරු කරන්නේ සාහිත්‍යය නිර්මාණය කරන හෝ සාහිත්‍යය ගැන ලියන කිහිප දෙනා අතරේ වෘත්තිමය ස්වභාවයකින් පමණි. විවිධ විෂයයික ක්ෂේත්‍රවල නියුතු නිලධර පිරිස් වෙතට සාහිත්‍යය යන්නේ නැත. දේශපාලනඥයා, ආර්ථික විද්‍යාඥයා, වේදිකා සිනමා රංගන ශිල්පියා සිතනුයේ තමන්ගේ ක්ෂේත්‍රයට අදාළ ව යමක් කිරීම පමණක් ප්‍රමාණවත් බව ය.

සාහිත්‍යය ඒ සියලු දෙනාට තම තමන්ගේ ක්ෂේත්‍රයේ පටන් විවිධ විෂයයික ලෙස දැනුම් සම්භාරයක්, මිනිස් ජීවිතය අවබෝධ කොටගැනීමේ ශක්‍යතාවක් ලබාදෙන බව ඒ ක්ෂේත්‍රඥයයින් දන්නේ නැත.

අද දේශපාලනඥයාට පොත පත වහ කදුරු සේ තිත්ත ය. මෙයට එක අතකින් වගකිව යුත්තේ ද සාමාන්‍ය ජනතාව ය. ලාංකීක සමාජය ගැන හෝ සංස්කෘතිය ගැන හෝ අබමල් රේණුවක දැනුමක් නැති උපතේ සිට ම පිටරටවල ජීවත්වන අඟහරු ලෝකවලින් පැමිණියා සේ මේ සමාජයට හදිසියේ කඩාපාත්වී සිටින ඇතැම් නළු නිළියන් සාහිත්‍යය කියවීමට තබා සිංහල වචනයක්වත් උසුරුවාලීමට අසමත්හු වෙති.

සාහිත්‍යයේ පණිවිඩය රටට ගෙන යා යුත්තේ පාලන තන්ත්‍රය හරහා ය. එබැවින් එතැනදී දේශපාලනඥයාගේ වගකීම ඉතා ඉහළ අගයක් ගනී. එසේම සාහිත්‍යය මෙතරම් ජනතාවගෙන් දුරස් වී ඇත්තේ ඇයිදැයි කියා පසු විපරමක් කිරීමට සාහිත්‍යකරුවා සතුව ද ප්‍රධාන වගකීමක් වෙයි.

අද පාඨකයා පොත පතින් ඈත් ව යාමේ ප්‍රධාන හේතුකාරකය ලෙස මා දකිනුයේ ලේඛක දුර්වලතාවයි. පාඨක සමාජයට ආමන්ත්‍රණය කළ හැකි, පාඨක සමාජය කියැවීමකට මෙහෙයවා ගත හැකි සාහිත්‍යයක් නිර්මාණකරුවා අතින් බිහි නොවීමයි.

පොත් ලෙසින් කොතෙක් කුණු කන්දල් බිහි වුවද වසරේ සාහිත්‍ය මාසය හා ඒ තදාසන්න කාලවලදී ඒවා අගය කිරීමකට ලක්වීමෙන් හොඳ පොතකට යම්කිසි වටිනාකමක් දෙයි. මේ වටිනාකම පාඨක පිරිස ඒ පොත පත කියැවීමට මෙහෙයවයි. එනිසා ම මේ කර්තව්‍යය ඉතාමත් පරිස්සමෙන් කළ යුතු ය.

මේ අගය කිරීම සිද්ධ වනුයේ විවිධ ආයතන මඟින් සංවිධානය කෙරෙන සම්මාන උළෙලවල් ප්‍රමුඛ කොට ගනිමිනි. සිංහල සාහිත්‍යයේ අභ්‍යුදයට රාජ්‍ය සම්මාන උලෙළ, ස්වර්ණ පුස්තක සම්මාන උලෙළ, ඩී.ආර්.විජේවර්ධන සම්මාන උලෙළ, විද්‍යෝදය සම්මාන උලෙළ, දයාවංශ ජයකොඩි නවකතා අත්පිටපත් සම්මාන උලෙළ වැනි සම්මාන උළෙලවල් බොහෝ ප්‍රමාණයක් අද වන විට පවතී.

සැබැවින් ම මෙය ඉතා හොඳ ප්‍රවණතාවකි. එහෙත් ප්‍රශ්නය ඇත්තේ මේ උලෙළවලදී ප්‍රදානය කෙරෙන සම්මානයන් පිළිබඳ ව ය. සම්මානයක් හිමි වීමේදී නම සහ පෞද්ගලික සම්බන්ධතා තරම් බලපාන තවත් දෙයක් මා නම් දැක නැත. ගිය වසරේ (එනම් 2008) ‘සීරුමාරුව‘ නවකතාව ගැන ගොඩනැඟුණ කතිකාවත්වලදී ඇතැම් ප්‍රවීණයන්ගෙන් මට අසන්නට ලැබුණ ප්‍රකාශකයක් නම් “ඔයාට තව කල් තියෙනවා” යන්නයි.

ඒ වසරේ ‘බත්තලන්ගුණ්ඩුව‘, ‘අටවක පුත්තු’ වැනි හොඳ නවකතා කිහිපයක් ම තිබිණි. එනිසා මගේ පොතට සම්මානය අහිමිවීම ප්‍රශ්නයක් නොවේ. එහෙත් “ඔයාට තව කල් තියෙනවා” යන මේ කියමනේ යටි අරුත කුමක්ද? ප්‍රශ්නය එයයි. එයට පිළිතුර වනුයේ සම්මානයක් ගැනීමට නම් වයසට යා යුතු බවයි.

එතැනදී මගේ සිත මතු කරන පැනය නම් සම්මාන ලැබෙනුයේ කෘතියටද, නැතිනම් කතුවරයාට ද යන්නයි. සැබැවින් ම මෙය සාහිත්‍යයේ ඛේදනීය අවස්ථාවක් බව දැක්විය යුතුමය. සාහිත්‍යය පිළිබඳ කතිකාවත මෙය නම් මතුවන අලුත් නිර්මාණකරුවන්ගේ හා අලුත් නිර්මාණවල අනාගතය ගැන කවර කතාද?

පසුගිය වසරේ (2007 වසරේ ප්‍රකාශ වී 2008 වසරේ ඇගැයීමට ලක්වූ) බිහි වූ නවකතාවන්ගෙන් මා දකින ශ්‍රේෂ්ඨතම නවකතාව මංජුල වෙඩිවර්ධන ගේ බත්තලංගුණ්ඩුවයි.

කල්පිටිය ආශ්‍රයේ බත්තලංගුණ්ඩුව නමැති දූපත් ප්‍රදේශය ආශ්‍රය කොටගෙන රචිත මේ කෘතිය සාහිත්‍යාත්මක ලෙස මෙන් ම ශිල්පීය වශයෙන් විවර කොට දී ඇති නවමු ප්‍රවේශය නිසා මෙය වඩාත් සාධනීය නවකතාවක් බවට පත්වෙයි. එහෙත් මේ නවකතාවට හිමි විය යුතු නියම ගෞරවය ලැබුණේ ද යන ප්‍රශ්නය අදටත් මා සතු ව ඇත. ලැබුණ එක ම ගෞරවය ගොඩගේ සම්මානය හිමි වීම පමණි.

ලොකු ම හිනාව නම් ඒ වසරේ පැවැත්වූ ඩී.ආර්. විජේවර්ධන නවකතා අත් පිටපත් තරගාවලියට ඉදිරිපත් කොට මේ මහැඟි කෘතියට කිසිදු ස්ථානයක්, අඩු තරමේ කුසලතා සහතිකයක්වත් හිමි නොවීමත් වසරේ පිළිවෙළින් එක, දෙක, තුන ස්ථාන හිමි කොටගත් නිමල් විජේසිරිගේ ජාල, ගුණසේකර ගුණසෝමගේ සංගර, සෝමරත්න හරස්ගමගේ සඳ එළිය තව දුරයි යන කෘති ස්වර්ණ පුස්තක, ගොඩගේ සම්මාන වැනි කිසිදු සම්මාන උළෙලක අවසන් වටයකටවත් නිර්දේශ නොවීමත් ය.

මෙම වසරේ (2009) ගොඩගේ සම්මාන උළලේ අවසන් වටයට තේරුණු කෘති මම පුවත්පත් ප්‍රකාශනයකින් කියවූයෙමි. නවකතා අවසන් වටය සඳහා සෝමරත්න හරස්ගමගේ සඳ එළිය තවදුරයි එයට ඇතුළත් ව ඇත. 2007 වසරේ ඩී.ආර්. විජේවර්ධන සම්මාන තෙවැනි තැන දිනාගත් එය ඒ වසරේ ම ප්‍රකාශනයකි. එහෙත් 2009 වසරේ කෙරෙන 2008 වසරේ ප්‍රකාශිත කෘති ඇගැයීමට එය ද ඇතුළත් ව ඇත්තේ කුමන හාස්කමකින් ද? මා සිතන පරිදි නම් මෙයට ලේඛකයාගේ කිසිම බලපෑමක් නැත.

වරද ඇත්තේ සමීක්ෂණ මණ්ඩලවල අපරික්ෂාකාරීභාවය මතය. ඔහුද එයින් පුදුම වී ඇතුවාට සැක නැත. එසේම සාලිය කුලරත්න මහතාගේ “විශ්වාන්තර සිහිනය” නම් සංකීර්ණ, මනෝ විශ්ලේෂණාත්මක කතා ගොන්නක් ඇතුළත් කෙටිකතා සංග්‍රහය යොවුන් සාහිත්‍යය අවසන් නිර්දේශ කෘති ගොඩට දමා තිබෙනු මම දුටුවෙමි.

මෙතැනදී මට ඇතිවන ප්‍රශ්නය නම් ‘යොවුන්’ යන්නේ තේරුම කුමක් ද යන්නයි. ලේඛකයා යෞවන ද, නැති නම් නිර්මාණය යෞවන වයස් මට්ටම්වල චරිත ආශ්‍රයෙන් නිර්මිත වුවක්ද? නිර්මාණය යෞවනයින්ට විෂය වූවක් ද යන්න ය. මේ නිර්ණායක තුනට ම සාලිය කුලරත්න මහතාවත්, ඔහුගේ නිර්මාණයවත් ඇතුළත් වන්නේ නැත.

ගොඩගේ සම්මාන උළලේදී නවක නිර්මාණකරුවන් උදෙසා සම්මාන දීමක් මම දැක ඇත්තෙමි. මේ ‘විශ්වාන්තර සිහිනය’ ඇතුළත් කොට ඇත්තේ ඒ ගොඩට නම් කිව යුත්තේ මෙයයි. සාලිය කුලරත්න යන ලේඛකයා ලේඛන කලාවට ආධුනිකයකු නොවන බවයි. මේ වන විට කෙටිකතා සංග්‍රහ 4 ක් පමණ, ශාස්ත්‍රීය කෘති පහක් පමණ, ගුවන්විදුලි නාට්‍ය කෘති දෙකක් පමණ මුද්‍රණයෙන් එළිදැක්වූ ස්ථාවර ලේඛකයෙකු බවයි.

පසුගිය වසරවල රාජ්‍ය සම්මාන දිනාගත් කෘතීන් අතරේ සැබවින් ම ඉතා හොඳ මට්ටමේ කෘතීන් කිහිපයක් මම දුටුවෙමි. කෙලෙස් පර්වත, නම් සමරවීර විජයසිංහ ගේ නවකතාව පුද්ගල මනස ඉදිරිපත් කරන රූ රටාව ඉතාමත් ම අපූරු ය. සිංහල නවකතාවේ ‘අරවින්ද ව්‍යාය’ ලක්ෂණය නැතිනම් සන්දෘෂ්ටික ගති ලක්ෂණ පෙන්වන එහි ප්‍රධාන කථක චරිතය නවකතාව අවසන් වන විට ‘සෝමා’ නම් කණවැන්දුම් ගැහැනිය විවාහ කොට ගනිමින් කරන විප්ලවය ඒ නවකතාව පරාජිත රැල්ලේ නවකතාවලින් මුදවා ගනියි.

එසේ ම ‘නුඹ මගේ යහළුවාය’ නම් යසේන්ද්‍ර රණවක විසින් රචිත කෙටිකතා එකතුව අගය කටයුතු, මා හැඟි කතා එකතුවකි. විශේෂයෙන් එහි එන ‘චක්‍ර වේල්’ නම් කෙටිකතාව සාම්ප්‍රදායික අධ්‍යාපන රටාව හා පාරම්පරික ශිල්පීය නිපුණතා වඳ වී යා නොදී නූතන පරපුරට දායාද කිරීමට අර අදින පියකු සහ ඔහුගේ විනාශයත් නූතනත්වය තේරුම් ගෙන තම දරුවන් නූතන අධ්‍යාපනය ඔස්සේ සමාජානුගත කිරීමට වලිකන මවක අතරත් ඇති අරගලය ඉතා අපූරු කතා පුවතක දවටා පාඨකයා හමුවට ගෙනෙයි. කීර්ති වැලිසරගේ ‘දඬුලේනා සහ තවත් කතා’ කෘතියේ එන ‘ඉනික්බිති ඕ’ කෙටිකතාව ද දේව සභාවක් සම්බන්ධ කොටගෙන නූතන සමාජයේ සිද්ධ වන අසාධාරණයක් ගැන ආශ්චර්යාත්මක යථාර්ථවාදී රටාවක් ගත් අපූරු නිර්මාණයකි.

එහෙත් තවත් සම්මානලාභී බොහෝ නිර්මාණ සම්බන්ධයෙන් බැලු විට පෙනෙන කරුණක් නම් අද සමීක්ෂණ මණ්ඩල බොහෝ ප්‍රමාණයක් රැවටී ඇති කාරණයක් ලෙස නවකතා කෙටිකතා ආදියේ ආකෘතික හරඹය හැඳින්විය හැකි බව ය. ආකෘතිය අමුතු නම් හෝ නොතේරෙන්නේ නම් ඒ කෘතිය විශේෂත්වයකින් සැලැකීම නොවැලැක්විය හැකි ව ඇත. මගේ මතය නම් නිර්මාණ කෘතියක් කියවා හමාර කළ විට එයින් කුමන හෝ හැඟීමක්, ආතතියක්, රසයක්, ජීවිතාවබෝධයක්, නැවත නැවත සිහිකට හැකි යමක් එහි තිබිය යුතු ය යන්නයි.

කෙටිකතාවේ හරය (රසය) උකහා ගැනීමට ගණිතමය ගැටලු විසඳන්නට මෙන් දෙතුන් වතාවක් පෙළ කියවා ප්‍රස්තාර, වගු අඳිමින් වෙහෙසකර ව්‍යායාමයක යෙදීමට සිදු වන්නේ නම් එය හොඳ නිර්මාණයක් නොවේ. ඒ පිළිබඳ ක්ෂේත්‍ර අධ්‍යයනයක යෙදෙන්නෙකුට නම් ඒ හිසරදය කෙසේ හෝ ඉවසිය යුතු ම වෙයි. පාඨශාලීය විෂයය නිර්දේශයකට ඇතුළත් වූ අවස්ථාවකදී නම් බොහෝ දුරට එය කළ හැකිය. එහෙත් තර්කය නම් මෙය කියැවිය යුත්තේ හුදෙක් විශ්ව විද්‍යාලවල ආචාර්ය – මහාචාර්යවරයා පමණක් නොවේ යන්නයි. සාමාන්‍ය පාඨකයා ද මෙය කියවිය යුතු ය.

එසේම මේ ලේඛකයන්ට කිව යුතු කාරණයක් නම් ලිවීමට ඇත්තේ ලිංගික කාරණය පමණක් නොවේ යන්නයි. ඔවුන්ගේ බොහෝ නිර්මාණවල ඇත්තේ අයථා සම්බන්ධතා සහ ඒ මඟින් ලබන ලිංගික වින්දනය ආදියයි. ‘ආචාරිසීයා දුටු දිදුළන අන්ධකාරය’, ‘අසිරිමත් වැඩබිම’ වැනි කෘතිවලට වස්තු වී ඇත්තේ උක්ත ලිංගික කාරණය ම පමණකි.

මීට පෙර ද මම කියා ඇති පරිදි රාජ්‍ය සම්මාන වැනි අවස්ථාවකදී අඩු තරමේ අවසන් වට සඳහාවත් නිර්දේශ වූ කෘති ගැන පාඨකයා දැනුවත් කිරීම වැදගත් බව නැවතත් කියමි.

එසේම, එසේ අවසන් වටයකට එන කෘතීන්ට කඩදාසි කොළයක ලියු සහතිකයක් දීමක්වත් වන්නේ නම් නිර්මාණකරණයේ දුහුනන්ට එය වටිනා බව ද කියමි. එසේ ම අදාළ සම්මාන කමිටුවල සිටින ප්‍රාඥයින් ගොළුවත නොරැක වසරේ සම්මානිත කෘතිය අනෙක් කෘතීනට වඩා සාර්ථක වන්නේ කෙසේදැයි කියා ප්‍රකාශ කිරීම ද වටී. නිර්මාණයක් හොඳයි කියා ලේබල් ඇලවීමක් පමණක් සාහිත්‍යයේ ප්‍රගමනයට හේතු නොවේ. නිර්මාණකරණයට ආධුනික වූවන්ට, අධ්‍යාපනය ලබන්නවුන්ට, සාමාන්‍ය පාඨකයාට මෙන් ම එනිසාම සාහිත්‍යය අනාගතයට මේ විද්වතුන්ගේ විචාරය මහඟු අත්වැලක් සපයනු නොඅනුමාන ය.

මහින්ද රත්නායක
කථිකාචාර්ය – සිංහල අංශය,
පේරාදෙණිය විශ්ව විද්‍යාලය

උපුටා ගැනීමඃ

http://www.silumina.lk/punkalasa/20090920/_art.asp?fn=ar09092013

Advertisements