අහිමි පා – ජීවිත 3ක්

uva2

uva1

උවයිස්: තත් බිඳුණු ජීවන රිද්මය

උළුවස්ස හරස් කළ ලී වැටට උඩින් අඩ සඳක් පායා තිබේ. ඊට යටින් කුඩා තාරුකා සඟලක් නිවි නිවී දැල්වේ. අඩ සඳ, ලී වැටේ එල්ලී සිටින සිඟිත්තාගේ නළලත යි. තාරුකා නම් සැඟැවි, සැඟැවී අප දෙස හොරැුහින් බලනා ඔහුගේ සිඟිති දෙ ඇස යි.

මම කට ඇද කර, දිව දමා, හිස සොලවා ඔහුට ඇද කරමි. ඔහු හිස ඔසොවා මුහුණ රතු කරගනිමින්, මා සමඟ සැහැල්ලූ ව හිනැහෙයි.

ඒ සිනහවේ ජාතියක සලකුණක් නැති. ආගමක සලකුණක් ද නැති. එය නිකැළැල් මිනිසත් බවේ පිළිබිඹුව යි.

ඒ සිනහව, මොහොමඞ් උවයිස්ගේ සිඟිති පුත‍්‍රයාගේ ය.

‘‘වා ඩා ද රෝස පූ
නා ඔන්රු පත්තියනී’’

බාලසුබ‍්‍රමනියම්ගේ ගීතයක කොටසක් හදවත තුළින් මතුව ඒ. ‘‘අපූර්ව වූ රෝස මලක් මම දුටුවෙමි.’’ එකී පද පෙළෙන් ධ්වනිත වනුයේ එබඳු අරුතකි.
ති‍්‍රකුණාමලයේ පාෙලෙයූට්රු හි වෙසෙනා මොහොමඞ් උවයිස් කැමැති එබඳු සංවේදනාවෙන් බර වුණු, නිවුණු සෞන්දර්යයකට ය. ඔහු තුළින් පිළිබිඹු වන්නේ ද නිවුණු තැන්පත් මිනිසෙකි.

උවයිස් අධ්‍යාපනය ලැබුවේ ති‍්‍ර’මලේ විපුලානන්ද විද්‍යාලයේ ය. මිතුරු ඇසුර බෙහෙවින් පි‍්‍රය කළ ඔහුට මුස්ලිම්, දෙමළ මෙන් ම සිංහල මිතුරෝ ද වූහ. සාපෙළ සමත් වූ ඔහු උසස් පෙළ වාණිජ්‍යය හැදෑරී ය. උසස් පෙළින් පසු ඔහු දෙවරක් නොසිතාම තාත්තාගේ ‘බිස්නස්’ වැඩට බැස්සේ ය.

එහෙත් ඉස්පාසුවක් ලද විටෙක මිතුරන් ඇසුරේ ගත කිරීමටත්, පිය තෙපුල් තෙපළමින් සැහැල්ලූ ව පසුවීමටත් ඔහු පි‍්‍රය කළේ ය. ඉඳහිට චිත‍්‍රපටයක් දෙකක් බැලීමට ද අමතක නොකළේ ය.

‘‘මං පොඩිකාලෙ ඉඳන් සින්දු අහන්න ආසයි. දෙමළ සින්දු තමයි ගොඩක් ඇහෙන්නෙ. විශේෂයෙන් චිත‍්‍රපටි ගීත. වෙලාවක් හම්බ වුණොත් රේඩියෝ එක කරකවලා  ඕන ම සිංදුවක් අහනවා. ඒත් දුක්බර සින්දුවලට තමයි ගොඩක් කැමති’’
දුක්බර ගීතවලට කැමති උවයිස්ගේ සැහැල්ලූවෙන් ගත කළ ජිවිතය දුක්බර වීමට පටන්ගත්තේ වසර 2000 සිංහල-දෙමළ අලූත් අවුරුදු උදාවත් සමඟිනි.

‘‘ඒ වතාවෙ තමයි, මතක ඇති කාලෙක ටි‍්‍රන්කොවලට මියුසිකල් ෂෝ එක්ක ආවෙ. යුද්ධ හින්දා ඒව ඔක්කොම නැවතිල තිබුණෙ. මම හිතන්නෙ, නැගෙනහිර පළාතට ම මේ වගේ ෂෝ එකක් ආවෙ සෑහෙන කාලෙකින්. බැටිකලෝ, අම්පාර වගේ පැතිවලිනුත් කොල්ලො ආව ටි‍්‍රන්කොවලට. ගමේ තියෙන මියුසිකල් ෂෝ එකකට මොන කොල්ලද යන්නැත්තෙ’’

බෝම්බ පුපුරා නොගිය, වෙඩි හුවමාරු නොවුණු තාවකාලික වපසරියක් තුළ ති‍්‍ර‘මලේ මෙකේෂියර් ක‍්‍රීඩාංගණය සැණකෙලි සිරියෙන් පුරවන්නට ශක්ති එෆ්.එම්. ආයතනය පුරෝගාමී වී තිබුණි. දවස පුරා විවිධ විචිත‍්‍රාංගයන්ගෙන් සමන්විත වුණු ක‍්‍රීඩාංගණය කළුවර වැටෙද්දී ප‍්‍රසංගයක් බවට පරිවර්තනය විය. යුද්ධයෙන් හෙම්බත්ව සිටි 50,000 අධික තරුණයෝ නිදහසේ ආශ්වාදයට ඉව කරමින් ප‍්‍රසංග වේදිකාව වටා රොද බඳින්නට වූහ. එහෙත් එය නිමේෂයක උත්කර්ෂයක් පමණක් ම විය.

නිදහසට නොකැමැත්තෝ ක‍්‍රීඩාංගනය මධ්‍යයේ බෝම්බයක් රඳවා තිබිණි. සිදු වූ මහ පිපිරුමෙන් 12දෙනෙක් මිය ගියහ. රාශියක් බරපතල ලෙස තුවාල ලැබූහ. උවයිස්ට මෙන්ම තවත් සංගීත ලෝලීන් රැුසකට දෙපයින් සිටගැනීමේ වරම සදාකාලිකව ම අහිමි කෙරිණි.

මගේ වටේ හිටපු ඔක්කොට ම තුවාල වුණා. එකට ම හිටපු යාළුවො දෙන්නෙකුගෙ ම කකුල් නැති වුණා. මට දවස් 25ක් විතර යනකන් හරියට සිහි කල්පනාවක් නැතිව හිටියා. ඒත් ලොකුම දේ තමයි ගෙදර අයයි, යාළුවොයි මාව තනි කරලා නොගිය එක’’
උවයිස්ට මාස එක හමාරක් පමණ රෝහලේ ගත කිරීමට සිදු විය. දෙමසක් ඉක්ම යන විට දුක තුනී කරගෙන පියවි ලෝකයට පිවිසීමට තරම් හිත හදාගෙන සිටියේ ය. පස් මසක් ගත වන විට අලූත් කකුලක් සමගින් ඔහු යළි ජීවිතය ඇරඹීය.

‘‘මං මාස 5ක් හිටියා. කකුලක් නැති වුණ එක ඇත්ත. ඒත් මිනිහෙක්ට පුලූවන්ද ඊටත් වඩා කාලයක් නිකං ඉන්න?’’

ඔහු ධෛර්යය වචන බවට පෙරළයි. වේදනාව, සිනහව බවට පෙරළයි.
‘‘මං මාස පහෙන් බිස්නස්වලට බැස්සා’’

උවයිස්ගේ ගෙමිදුල වැට මායිමේ මුණින් අතට පෙරලූ ඔරු කඳකි. පසෙක තැපැල් නයින්ටියකි. මාලූ පෙට්ටි කිහිපයක් ඒ මේ අතර විසිර තිබේ. තරාදියක් දැමූ බාල්දියක් ඒ අසල ය. අනෙක් පස ති‍්‍රරෝද රථයකි. ඒ අසල, බිත්තියට බර කළ කිහිලිකරු යුගල යි.

‘‘හැම දේ ම වෙන්නෙ හොඳට’’ ඒ උවයිස් සිතන හැටි ය. සියල්ල සාමාන්‍යකරණය වීමට කාලයට ඉඩ දුන් ඔහු, 2005 වසරේ දී විවාහ දිවියට පා තැබී ය. දොරකඩ ලී වැටට උඩින් පෙනෙන සිඟිති රුව, ඒ නව දිවියේ සංතෘෂ්ඨිය යි.

‘‘මිනිස්සුන්ගෙ ආශාවන් වැඩි යි. ඒකයි මේ හැම කරදරේ ම’’ රටේ වාතාවරණය ගැන ඇසූ විට, ඔහු බොහෝ වේලාවක් කල්පනා කර පැවසී ය. දේශකයකු නොවූ ඔහු සිය ලෝක දෘෂ්ටිය අනුව ම දිවි ගෙවිමට වෙර දරයි. එහෙත් උවයිස් කිසි විටෙකත් පරාජය බාර ගන්නෙකු නො වේ.

‘‘ජීවිතය කියන්නෙ චැලේන්ජ් එකක්. ඒක අතඅරින්න බෑ’’

ඔහු ති‍්‍රරෝද රථයක් මිල දී ගත්තේ ව්‍යාපාරය කරගෙන යෑම පහසු කර ගැනීමටත්, ලැබුණු විටෙක හයර් එකක් දුවා අමතර යමක් ඉපයීමටත් ය. එහෙත් ඔහුගේ විශේෂිත තත්වය නිසා ඊට බාධා එල්ල විය.

‘‘මං ත‍්‍රීවිල් එක මොඩිෆයි කළා. මට එළවන්න පහසු විදියට. ඊට පස්සෙ අවුරුදු 3ක් විතර ට‍්‍රයි කළා ලයිසන් එක ගන්න. කොළඹට හතර පස් වතාවක් ගියා. අන්තිමට කොහොම හරි මං ඒක අරගත්තා.’’ ඒ උවයිස්ගේ ධෛර්යය යි. එය ආදර්ශයක්, අත්දැකීමක් නොවන්නේ කාට ද?

‘‘මං බිස්නස් යනවා. ගෙදර එනවා. මගේ ගෙදර මට නිදහස්. මං කැමතියි ගෙදර ඉන්න. නෑදෑයෝ අතරට වුණත් වැඩිපුර යන්න මං කැමති නෑ. මං කැමති නෑ කවුරුවත් මට අනුකම්පා කරනවට’’

*****************************************************

පේ‍්‍රමචන්ද්‍රන් : පා අටකින් නැගී සිටි මිනිසෙක්
premac1

premac2 copy

‘‘දුවන්න විතරයි මට බැරි. උත්සාහ කළොත් ඒකත් බැරිකමක් නෑ. ඒත් ඉතින් දුවන්නෙ මොකටද?’’
වේගයෙන් පැද ආ පාපැදිය අප අසල නතර කරමින් වේලූමයිලූම් පේ‍්‍රචන්ද්‍රන් පවසයි. ඔහු සිටින්නේ සිනහ වී ගත් වන ම ය.

‘‘යං ඇතුළට’’
ඔහු අප සිය නිවහන වෙත කැඳවයි.

එකට යා කළ කුඩා තාවකාලික නවාතැන් පේළි කිහිපයකින් සමන්විත එය සුනාමියෙන් අවතැන් වූවන් වෙනුවෙන් ඉදිවූවකි. ති‍්‍ර’මලේ ‘‘සල්ලි’’හි පිහිටි එහි පදිංචිව සිටින පවුල් ගණන 27කි. ඉන් පළමු කුඩා නිවස පේ‍්‍රමචන්දන්ගේ වාසභවන යි.

පේ‍්‍රමචන්ද්‍රන් ලෑලි බිත්තියට සයිකලය බර කරයි. එසැණ ඔහු වට කර ගන්නා ¥වරු තිදෙනෙකි. වැඩිමහලී – දයානා – දස හැවිරිදි ය. මද්දුමී – දිලූක්ෂියා – අක්කාට දෙවසරකින් බාල ය. බඩපිස්සී මධුෂායිනී – මද්දුමීට දෙවසරකින් බාල ය. සැබැවින් ම එය තාවකාලික නවාතැන් පළක් නොව සොම්නසින් පිරී ගිය කැදැල්ලකි.

පේ‍්‍රමචන්ද්‍රන්ගේ ‘අප්පා’ ධීවරයෙකි. අම්මා, ඔහුට යන්තමට අවුරුද්දක් සපිරෙද්දී මෙලොව හැර ගියා ය. ‘සල්ලි’ මහ විදුහලේ 8 වසරට එළඹීමටත් පෙර ම, අප්පාට ඉසිඹුවක් ලබාදීමත්, අක්කාගේ අනාගතය සුරක්‍ෂිත කිරීමටත් වෙනුවෙන් ඉන්දියන් සාගරය ගැඹරට පිවිසීමට ඔහු තීන්දු කළේ ය.

එහෙත් ප‍්‍රදේශයේ පැවැති යුදමය වාතාවරණය විසින් ඔහුගේ යෞවන අපේක්‍ෂා අනපේක්‍ෂිත ලෙස සුණු-විසුණු කර දැමිණි.

‘‘ගමේ කරපු රවුන්ඩප් එකකදී මාවත් අපේ ගමේ තව 17 දෙනෙකුත් අත්අඩංගුවට ගත්තා. මං කඳවුරු ගාණක හිටියා. කිසිම වරදක් නොකළ මං වගේ ගොඩක් අය කඳවුරුවල දුක් වින්දා. නිර්දෝෂීකම සිංහලෙන් කියා ගන්න බැරුව’’
කිසිදු චෝදනාවකින් තොර ව වසර එකහමාරක් කඳවුරු බත් කෑ පේ‍්‍රමචන්ද්‍රන්ට 1987 දී නිදහස ලැබිණි. අප්පාත්, අක්කාත් සොයා ති‍්‍රකුණාමලයට ආ ඔහුට දැනගන්නට ලැබුණේ ඔවුන් යුද අනාථයන් ව මුලතිව් හි සරණාගත කඳවුරක දිවි ගෙවන බවයි.

ඔවුන් වෙනුවෙන් යළි මුහුදට බැසීමට තීන්දු කළ පේ‍්‍රමචන්ද්‍රන්, ඔවුන් ති‍්‍ර’මලේ රැුගෙන ඒමට ඇඟිලි ගනිමින් පසු විය. කෙමෙන් තම අරමුණ වෙත ගමන් ගත් ඔහු යළි ‘සල්ලි’ හි වැල්ලබඩට ඔවුන් රැුගෙන ඒමට සමත් විය.

‘‘ඒ කාලෙ මෙහෙ හිටියෙ ඉන්දියන් හමුදාව. එල්ටීටීඊ එකත් එක්ක ති‍්‍රකුණාමලෙත් සටන් තිබුණා. මොන තත්වෙක උණත් අපි අපේ රස්සාව කරගෙන ගියා.’’

ඔහු කතාව මඳකට නතර කළේ ය. වැලි ¥ලි මුසු සැඩ සුළං රැුල්ලක් අපේ දෑස් රිදවමින් හමා ගියේ ය.

‘‘1989 මැයි මාසෙ 25 දා තමයි මේ සිද්ධිය වුණේ. අපි හිටියෙ ‘රස්සා යන්න’ ලෑස්ති වෙලා, වෙරළේ. එක පාරටම ගිනි බෝලයක් කඩා වැටෙනවා වගේ දැනුණා. මට මට සිහිය එනකොට මං හිටියෙ ඉස්පිරිතාලෙ ඇඳක. මගේ දකුණු කකුල තිබුණෙ නැහැ. එහෙම වුණේ ‘ෂෙල්’ ප‍්‍රහාරයකින්ලූ.’’

අහිමි වූ පාදය වෙනුවෙන් ඔහුට රු. 9500/-ක වන්දි මුදලක් ලැබිණ. ඒ වන විටත් යෞවනයකු වූ ඔහු ඉතිරි ජීවන ගමන ම තනි කකුලෙන් පියමං කළ යුතු විය.

‘‘මට ඕන වුණේ කකුලක් හයිකරගෙන ආයිත් රස්සා යන්න’’
ඔහු එක්තැන්ව සිටියේ මාස 3ක් පමණි. කෘත‍්‍රිම පාදයක ආධාරයෙන් යළි දෙපයින් සිටගත්තේ ය. සුපුරුදු හබලට අත තැබූ පේ‍්‍රමචන්ද්‍රන්, තෙප්පමේ නැග කළපු දියට බටුයේ ය. මුරල්ලන් අහිනක්, ගල්මාලූ ?නක්, සාලයන් පොකුරක් ඔහුගේ දැල තුළ කොටු වී යළිත් තෙප්පමට ගොඩ විය. සහනාධාර ජිවිතයක් වෙනුවට තමන් ම උපයන මුදලින් ජීවිතය සරි කරලීමේ ආඩම්බරය යළි ඔහු වෙත ළඟා විය.

සල්ලි හි වැල්ලබඩ, පේ‍්‍රමචන්ද්‍රන් ගේ හුදෙකලා දිවිය පාදයක් අහිමි වීමෙන් පසුවත් සත් වසරක් පමණ දිගු විය. පේ‍්‍රමචන්ද්‍රන්ගේ කුඩා නිවසට සිරිකත ළඟා වූයේ ඔහුගේ ධෛර්යය දුටු යෝජනාවක් මඟිනි. ඇය ‘සූරියකලා’ වන්නී ය.

‘‘මට විතරයි ප‍්‍රශ්න තියෙන්නෙ කියලා මං කවදාවත් හිතලා නෑ. මං හිතන්නෙ ඒකයි මගේ හිතේ තියෙන සතුට’’
ඔහු සැහැල්ලූවෙන් පවසයි. ඔහු එක පයක වාරුවෙන් වැර වෑයමෙන් ගොඩනගා ගත් අල්පේච්ඡු ජීවිතය රළ පහරින් යළිත් මුහුදුබත් විය. එහෙත් ඒ ගැන වුව ඔහු තුළ කම්පාවක් නැත. නැති වෙන්නට දෙයක් නැති, විඳින්නට තරම් අලූත් පීඩාවක් නැති පේ‍්‍රමචන්ද්‍රගේ ජීවිතය, බිරිඳ හා දියණියන් තිදෙනාගේ පේ‍්‍රමයෙන් පිරී ගොසිනි.

‘‘මේ මගේ අටවැනි කකුල’’ ඔහු සිය කෘත‍්‍රිම පාදය පෙන්වමින් කියයි. අහිමි වූ පාදය ද ගණන් ගෙන බැලූවොත් ඔහු මේ නැගී සිටින්නේ නව වැනි පාදයෙනි. විවිධ ආයතන වරින් වර ඔහුට කෘත‍්‍රිම පාද ලබාගැනීමට ආධාර කර තිබිණි.

‘‘මේ වගේ කකුලක් මාස හයකට වඩා පාවිච්චි කරන්න බැහැ. ගෙදර ඉන්නව වගේ නෙවෙයි, මූදු රස්සාව කරනකොට කකුලක් වැඩි කලක් ඔරොත්තු දෙන්නෙ නෑ’’

ඔහු මුලින්ම මුහුදට බසින්නට සිතුවේ, තාත්තාගේ බර සැහැල්ලූ කර, අක්කාට විවාහයක් කර දීමට ය.
කෙසේ හෝ දැන් ඔහුගේ අක්කා ද විවාහක ය. ඇය සිටින්නේ ද ‘සල්ලි’ සුනාමි කඳවුරේ ම ය.

‘‘මං හිතන් හිටිය හැටියට අක්කගෙ කටයුතු කරගන්න බැරි වුණා. මං උත්සාහ කළා. ඒක අක්ක දන්නව. ඒ හින්ද කමක් නෑ.’’

ඔහු වේදනාවෙන් බර විය යුතු දෑ පවසන්නේ සිනහව සමඟ මුසු කරමිනි. ඒ පේ‍්‍රමචන්ද්‍රගේ ජීවිතයේ සෞන්දර්යයයි.
දැඩි ආරක්‍ෂක රැුකවල් යෙ¥ ති‍්‍රකුණාමලය නගරයේ මංමාවත් දෙපස රැුඳී සිිටින සෙබළුන්ගේ සැක මුසු දෑස් මග යන එන්නන් වෙත යොමු වී තිබේ. පේ‍්‍රමචන්ද්‍රන්, ඒ මාවත් ඔස්සේ සිය පා පැදිය පැදයයි.

බැලූ බැල්මට ඔහු ද සාමාන්‍ය මිනිසෙකු පමණි. එහෙත් යුද්ධය විසින් ඔහුගේ ජීවිතයට ඇති කළ බලපෑම කවුරු නම් දකිත් ද?

*************************************************

පද්මසිරි: බෝට්ටුවෙන් ට‍්‍රයිසිකලයට ගොඩ වූ ධීවරයා

padm1

padm2 copy

‘‘මොකෝ සූසයිඞ්ද?’’

ඉදිරියට ඇදී එන සුවිශේෂී මෝටර් ට‍්‍රයිසිකලයට මඟ අවුරමින් අත දමන නාඹර සොල්දාදුවා නො දැමුණු සෝපහසයෙන් හඬ නගයි.

සැබැවින් ම ඔහු පැද එන්නේ සුවිශේෂී ට‍්‍රයිසිකලයකි. ඒ ඔහු විශේෂිතයකු වන බැවිනි. ප‍්‍රශ්නය නගන්නා – තරුණ සොල්දාදුවා – ඒ විශේෂිතභාවයේ පුරාවෘත්තය නොදනී. ප‍්‍රශ්නයේ නොදැනුමුණුභාවයත්, සෝපහාසයත්, නොගැඹුරත් එබැවිනි.

තිරිංග තද වේ. ට‍්‍රයිසිකලය මුරපොළ අබියස ඉද්ද ගසයි. ඈත මාවත වෙතත්, ඉදිරියට ඇදි එන වාහන දෙසත් රැුඳුණු ඔහුගේ තියුණු දෑස් වේදනාවෙන් බර වෙයි.

‘‘මල්ලි.. සූසයිඞ් වෙනව නම් එහෙම වෙන්න තිබුණෙ මීට අවුරුදු ගාණකට ඉස්සර’’ වේදනාව වචන බවට පෙරළෙමින් තිබේ.

‘‘ඇයි ඒ. ඇයි එහෙම කියන්නෙ?’’ තරුණ සොල්දාදුවා ට‍්‍රයිසිකලයේ පිටුපසට ඈª පෙට්ටියේ අතුරා ඇති මාළු වර්ග දෑසින් කිරා මැන බලමින් අසයි.

හේතුව: පුරාවෘත්තය – වික්ෂිප්ත සංක්ෂිප්තයක් බවට පෙරැුළේ. අවසන, දැමුණ සොල්දාදුවා හික්මුණු හඬින් මෙලෙස විමසයි.

‘‘අයියා, නේවි එකත් එක්ක තරහ ද?’’

පිළිතුර නිශ්ශබ්දතාව යි. නිශ්ශබ්දතාව තුළ කෙතරම් ශබ්ද තිබිය හැකිද?
ඉදින් මම ඒ නිහැඬියාව බිඳ දමමි.

****

‘‘මම කෝක්කු හැන්නදිගේ අතුල පද්මසිරි. ගම මාතර, නිල්වැල්ල 7 වසරෙන් මම අධ්‍යාපනේ ඉවර කරගත්තා. මූද එක්ක හැප්පෙන්න ගත්තෙ අවුරුදු 15 ඉඳන්.’’

පාසල් ගමනට ආයුබෝවන් කී පද්මෙ, බාල මාමාගේ ඔරුවට ගොඩ විය. මුුහදත්, මුහුදේ රළ පහරත් පුලූක්කමත් වන පොත් කළ ඔහු කෙටි කලකින් ම මාළු කූරයියා ගැවසෙන තැන් ද, මාළු අහිනක් වරල් ගසනා ඉම් ද දෑසට නතු කර ගැනීමේ සමතෙකු බවට පත් විය.

ක‍්‍රමයෙන් ඔහු බෝට්ටුවක නියමුවා හෙවත් ‘ඉස්කීපර්’ කෙනෙකු විය. ඔහු දකුණු වෙරළේ සිට ති‍්‍රකුණාමලයට රැුගෙන එන ලද්දේ ධීවර වෘත්තිය යි. එහෙත් ඔහු ති‍්‍ර’මලේ පුරවැසියෙකු බවට පත් කරන ලද්දේ පේ‍්‍රමය යි. නිල්වැල්ලේ නොදුටු ආදරය ති‍්‍ර’මලේ වෙරළේ දී ඔහුට මුණ ගැසුණි. ඒත් එය පළ දැරූයේ නිල්වැල්ලේ දී ම ය.

‘‘93 ඉඳන් 87 වෙනකං ති‍්‍ර’මලේ ගෙවල් පොළොවට සමතලා වෙලා තිබුණෙ. මේ ගොල්ලො නැවතිලා හිටියෙත් මාතර. 87දි අපි බැන්දා. අපිට පුතෙක් ලැබුණා. ඒ කාලෙ දකුණෙ තිබුණෙ දරුණු භීෂණයක්. එක ‘ශාන්ත’ට ශාන්තලා දහය පහළොව මරල දැම්මා. මාත් එක්ක එක බෝට්ටුවෙ වැඩ කරපු අජන්තව මැරුවා, වෙන අජන්ත කෙනෙක් හොයන්න ඇවිත්. පස්සෙ මං ගම අතෑරලා මෙහෙ ආවා’’
ඔහු දරු පවුලත් සමග ති‍්‍ර’මලේ එනවිට පුතාට යාන්තම් අවුරුද්දකි. එහෙත් නිවසකට නොව කෝනේෂ්වරන් කොටුව පාමුල, පැලවත්තේ සරණාගත කඳවුරට ය. බිමට වැලි ඇතිරූ, උඩට පොල්අතු ඇතිරූ කුඩා කුඩිල්ලක දරුවාට නැළවිලි ගී ගැයිණි. පද්මෙ යළි දියඹට යෑම ඇරඹී ය. ජිවිතය කෙමෙන් විකසිත වන්නට විය.

බිරිඳ යළි දියණියක වැදුවා ය.
අලූත් නිවසකට අත්තිවාරම් දැමිණි.
බෝට්ටුව ද මාළු පලදාවෙන් බර විය. එහෙත් ඒ කෙටි කලකට ය.
2000 වසරේ සැප්තැම්බර් 22 දා රාති‍්‍රයේ ද පද්මෙගේ ඔරුව මසුන්ගෙන් බර වෙමින් තිබිණි.
කොයි දෙසින් පියාඹා ආවාදැයි නොදන්නා ‘ෆයිව් සීරෝ’ උණ්ඩ පද්මෙලාගේ බෝට්ටුවේ පැට‍්‍රල් මැක්ස් එළිය නිවා දැමීය.

‘‘ලක්‍ෂ තුනහමාරක විතර දැලූත් අතෑරල අපි දියඹට දිව්වා, පණ බේරගන්න. ඒත් ලයිට් එකට වැදුණ හැටියෙ ගමන අඩාළ වුණා. ඊළඟට තෙල් ටැංකියට වැදුණා’’

පද්මෙට මතක එපමණ ය.

රළ පහරේ ‘කරන්ට් එක’ හා එක් ව පාවී ගිය බෝට්ටුව මුතූර් ගොඩබිමට ‘තට්ටු වූ’ විට වහා ඔවුන් ගොඩට ගෙන රෝහල වෙත රැුගෙන ගියෝ, මුස්ලිම් වැසියෝ ය.

එදින මියගිය ධීවර නම් ලැයිස්තුවට ඇතුළු නො වූ අතුල පද්මසිරි ගේ නම, පා අහිමි වූවන් ගේ නම් අතරට එක් විය. ඔහුගේ දකුණු කකුළට ෂොට් හතරක් ද, වමට ෂොට් පහක් ද කිඳා බැස තිබුණි. ඔහුගේ වම් කකුල සිරුරින් ඉවත් කරලීමට තීන්දු වූයේ දණහිසට ද ඉහළිනි.
ධීවර රස්සාව ඔහුට ආයුබෝවන් කීවේ ය.

‘‘මං එදායින් පස්සෙ අද තව වෙනකන් කරිජ්ජවත් පාගලා නැහැ’’
එහෙත් ඔහු ජීවිතය අත්හැරියේ නැත. කුඩා කලදී ම තමන් ඉගෙනීම කඩාකප්පල් කරගත්තාට, දරු දෙදෙනාගේ ඇස් පෑදීම ඔහුගේ ඒකායන ආරම්මණය විය.
ඔහු විවිධ වෙළඳාම්වල නිරත විය.

මාතරින් ගෙනෙනා රෙදි, ති‍්‍ර’මලේ පදික වේදිකාව මත අලෙවි විය. විටෙක, ඔහු ඉදිරිපිට පළතුරු තට්ටුවකි. තවත් කලෙකින්, පළතුරු ගන්නට ආ අයට දක්නට ලැබුණේ ලොතරැුයි කූඩුවකි.

බහු දින යාත‍්‍රා තුළ පවා මාළුන් කඳු ගැසූ ධීවරයකුට රෙදි – පළතුරු – ලොතරැුයි වික්ක හැකි ද? ඒ වෙළෙඳාමෙන් සෑහිය හැකි ද?

පද්මසිරිට විශේෂිත ට‍්‍රයිසිකලය ලැබුණේ ඔය අතරතුර දී ය. ඉදින්, ධීවරයා ඉන්පසු මාළු වෙළෙඳාමට බැස්සේ ය. ට‍්‍රයිසිකලයක පිටුපස සවි කළ බක්කියක මාළු පටවාගෙන ලිංගනගර්, ආන්දම්කුලම් ආදී දෙමළ ගම්මානවල පටු මං මාවත් ඔස්සේ සැරිසරන පද්මසිරිගේ ධෛර්යමත් රුව අද එහි වැසියන්ට හුරු පුරුදු දසුනකි.

‘‘මං ලබපු තරම මෙච්චරයි කියල හිතලා, හිත ධෛර්යමත් කරගෙන ජීවත් වෙනවා’’
එකී අප‍්‍රතිහත ධෛර්යය තුළ ඔහු ඉපැයූ සකල සබ්බමනා ව ම යළි වරක් සුනාමිය තුළ සැඟ වී ගියේ ය. දැන් ඔහුට ඇත්තේ යළි අයන්නෙන් ඇරඹූ ජීවිතයකි.

‘‘යට ගිය දේ හිතට ගන්නකොට හිතට හයියක් එනවා. ඇඟට ශක්තියක් එනවා’’

නැවත නැවතත් අරඹන පද්මසිරිගේ ජීවිතය තුළ අඛණ්ඩව ගලා යන පැතුම් සහගත අපේක්‍ෂාව වනුයේ දරු දෙදෙනා අධ්‍යාපනයෙහි දක්වනා කෞෂල්‍යයයි. දියණිය සාමාන්‍ය පෙළ සාර්ථක ව නිමවා උසස් පෙළ දෙසට පියමනිමින් සිටින්නී ය. පුතණුවන්, සාපෙළෙ හි ති‍්‍ර’මලේ පළමුවැන්නා වී උසස් පෙළ ගණිතය හදාරා විභාගයට මුහුණ දෙමින් සිටින වකවානුවයි මේ.

පාසල් නිල ඇඳුමෙන් සැරසී සිටින ඔහු, විභාගයේ ගණිත විෂයට පිළිතුරු දී ගෙදර ඇවිදින් සිටී. ඔහුගේ මුහුණ කල්පනාවන්ගෙන් බර වී තිබේ. එහෙත් සිනහව සැහැල්ලූ ය.

‘‘පුතා මොකක්ද ඊළඟ පේපර් එක’’ මම සෙමෙන් ඔහුගෙන් අසමි.
ඔහු, ට‍්‍රයිසිකලයේ වාඩි වී සිටිනා අප‍්‍රමාණ මිනිසා දෙස ළෙංගතු දෑසින් බලයි.

‘‘භෞතික විද්‍යාව’’

Advertisements