පා අටකින් නැගී සිටි සඳක්

human-war

දුවන්න විතරයි මට බැරි උත්සහ කළොත් ඒකත් බැරිකමක් නෑ.ඒත් ඉතිං දුවන්නෙ මොකටද?

දන්නවද
පේ‍්‍රමචන්ද්‍රන් කියන
මල්ලි
පදිංචිය
අංක එක කුඩිල්ලේ
සාම්බල්තිව් කඳවුරේ
‘සල්ලී’

වේගයට වේරම්භ වාතයත් පරදියි
වලාකුළු ඉරා සඳ සකක් වී කැරකෙයි
හත ගෙවෙයි
හතේ හත
පාදයට රිදවයි
මේ අටයි
සැබැවින් ම
මේ අලුත් කකුළයි

‘සල්ලි’වල වැල්ලබඩ පල්ලිමඩමෙ
කල්ලි නොගැසුණු ළමා
හත් වැනියෙ සිප්සතර ලබද්දි
පංතියේ පළමුවැනියා තමා
වැල්ලබඩ රවුන්ඞ්ඩප් කරපුදා
පොත් ගොන්නෙ කොළ
කඩල ගොටු වුණා

රැඳවුමෙන් රැඳවුමට යන අතර
තුරුණු විය නැගුවා අතු පතර

කළුතර සිට නැගෙනහිරට යළි එනවිට
ගෙයි ඔක්කොම
‘සල්ලි’ අතැර
යන්න ගිහින්
වන්නිකරෙට

වන්නිකරේ වනන්තරේ
අහස්තෙරේ පායලා
එ කඳවුරේ ගණ අඳුරේ
දෙමාපියන් තේරුවා

දෝත නගා සිඳ බිඳලා අඳුරු රැය
දෝත මුදුන් බැඳ වැඳලා දෙමාපිය
දෝත නඟාගෙන සතපා සෙනේහය
දෝත පුරා ගෙන ආවයි කඳුළු දිය

හත් දෙනෙක් රැකිය යුතු මාවතේ
කල්පයක් ගිය හැකිද හාමතේ
සද්දයක් වත් නැතිද මාරුතේ
යුද්ධයක් නොවෙද මේ ජීවිතේ

මූදු රළ ඔස්සේ
ඔරු පැද දවස තිස්සේ
වෙරළතට බැස්සේ
මෝටාර් අසෙනි වැස්සේ

පාදයක් අහිමිව
බිම හොත් එ සඳවත
බලන් පේ‍්‍රමෙනි අවදිව
යෝධයෙක් සදිසිව

ඔරු කඳෙන් තෙප්පමට මාරුවී
ජීවිතේ එ ළෙසින් ම දියත් වෙයි
අටවක නොවී කිසිම කිසි දිනෙක
පුන් සඳක් සේ ම නුබ මුදුන් වෙයි

වේගයට වේරම්භ වාතයත් පරදියි
වලාකුළු ඉරා සඳ සකක් වී කැරකෙයි
හත ගෙවෙයි
හතේ හත
පාදයට රිදවයි
මේ අටයි
සැබැවින් ම
මේ අලුත් කකුළයි

දඹකොළ පටුන

SandFingers

අප්පාට හොඳටම අසනීපයි.එයා කියනවා මැරෙන්න ඉස්සර එක පාරක් හරි ගේ දොර වත්තපිටිය බලා ගන්න තිබුනොත් හොඳයි කියල. ඒත් කොහොමද ඒක කරන්නෙ.
– මිත‍්‍රයෙක් එවන ලද ලිපියකින් –

දඹකොළ පටුන
රතු වැලි අතුළ වෙරළත
ඇඟිල්ලෙන් ලියමි මම
ජීවිතයෙ කෙටි පටුන.

පටුන පදනමට ගෙන හෝ නො ගෙන
ඔබ කැමති විදිහකට
ලියා ගන්නට හැකිය
මුළු පොත ම.

දැන් ඉතින්
ඔබ කැමති විදිහකට
පොතේ පිටු පෙරලන්න.

මුල ඉඳන් අගට වුව
අග ඉඳන් මුලට වුව
මැද ඉඳන් පෙරට හෝ පිටුපසට
කැමති ලෙස
කියවන්න.

පිටක් මඟ හැර පිටක්
කියවුවද
හුඟක් මඟහැර ටිකක්
කියවුවද
කම් නො මැත.

ඔබ කැමති විදිහකට
පොතේ පිටු පෙරලන්න.

ගමින් අප යන්ට ගිය කතාවද
එවිට දුම් ගොබ නැගූ රටාවද
පිටු අතර තිබුණාද?
ගමට යළි යන්ට බැරි කතාවට
ලකුණක් තියා හෙමින් පොත වසා
හැකි විටෙක යළිඳු ගෙන කියවන්න.

බලූ කපුටුවෙකුටවත්
ඇතුළු වන්නට නොදී
අපේ ගෙය රකින්නට
ඔබ දරන මහන්සිය.
පොතේ පිටු පෙරලන්න
මඟ හැරේ කාන්සිය.

තාත්තා පොඩි දොහේ ඉන්ද වූ
යාපනේ අඹ ගහේ අඹ රස ද?
ගමේ යනකොට ටිකක් ගෙනියන්න
පැහුණු ගෙඩි කඩාගෙන ඉදවන්න.
ඉදෙනතුරු
පැත්තකින් ඉඳගන්න.
කැමති තැනකින් ටිකක් කියවන්න.

ගෙයි පිලේ ලණු ඇඳේ
රැල් බුරුල් වෙලානම්
ටිකක් තදකර ගන්න.
ලණු ඇඳේ ඇලවෙලා
රන් පතක් උර උරා
තව පිටක් පෙරලන්න.

සඟමිත්ත තෙරණිය
ශ‍්‍රී මහ බෝධි අංකුරය
හිසින් ගෙන පය තැබුව
පුලින තල
ඇඟිල්ලෙන් ලියමි මම
මගෙ පටුන.
පටුන තුළ නො මැත්තේ
ඒ කතාව ම පමණි
මඟ හැරුණ.