
තුවක්කුවකට පුළුවන්
හීනයක් වුණත් හිනස්සන්නට
හීනයකට පුළුවන්
උණ්ඩයක් වුණත් නවත්තන්නට
අමාවක දවසක වුණත්
අහම්බෙන්
මහ රෑක
හිරු උදා වූවොත්
නවත්තන්නද ?
ඒ වගේමයි
පාළොස්වකේ රෑ
අසිනි වර්ෂාව
සඳ නෑ – කළුවරයි – වැස්ස විතරයි.
කොකා ගස්සන
ඇඟිල්ලම තමයි
දිගුවන්නේ
හෘදය සාක්ෂිය දෙසට.
මිටි මෙළවෙනා අත් තමයි දන්නේ
මරණයේ වේදනාව.
හිස පහත් කරගෙන ඇවිදින
මිනිසකුගෙන් අහන්න
මොනවද බිම වැටී ඇත්තේ කියා
ඔහු කියයි
” ජීවිතය!”
ඇතැම් විට
හුදෙකලාව රමණීය විය හැකිය
කවියට …….
කවිය වුව ස්මරණීය විය හැකිය
දිවියට……
අවසන මරණය.
එහෙත් ස්තිර ලෙසම
මරණය අමරණීයයි
අවියට.