ගීතයක ඉතිරි අඩ

geethayeMW copy

තැන හරි.  ගේ මේක.  කාමරේ ? ගත්තා සෙල් එකට.  කනේ තියා ගත්තා.  දෙපාර රිං වෙනකොට  කට් කළා  සංඥාව හරි .

ඈ ලයිට් එක නිව්වා – දැම්මා නිව්වා – දැම්මා සංඥාව හරි.

කොනේම කාමරේට මෙහා එක.
ඔහු ගේට්ටුව ඇරියා – වැහුවා  නෑහෙන ගානට  පඩි නැග්ගා – 24යි   කටු කටු බාටා කුට්ටමෙන් හඳේ ඇවිද්දා – මූන් වෝක්. දිගු කොරිඩෝවග අඳුර.

ඈ උන්නේ බැරියරයක් වගේ –  අත් විහිදා උලූවහු දිගේ.   සෙරෙප්පු කුට්ටම නැවතුනා ගැළවුණා – පාපිස්ස උඩ.  දෙන්නට දෙන්නා මුහුණට මුහුණ  ඇගේ කෙහෙරැළි අග්ගිසි අතරින් සන්සිල්ක් පුසුඹ ගිළිහුණා. දිය බිංඳු මත තැවරී මුක්කන් නාසයේ දකුණු පුට නැටුවා – රිද්මයකට අනුව.  ඔහුටත් නිකටට දැනුනා ඇගේ ප‍්‍රාශ්වාස උණුසුම.  ඔහු නිකට හෙලෙව්වා.  ඈ ඇස් තදකර පියා අරිද්දී සිහින් සුසුමක් ගැලූවා ඉංගිරියා අතරින්.

ඔහු ඇගේ අත් උලූවහුවලින් පැන්නුවා.  අත් චටාස් ගාගෙන දෙකලවයේ වදිද්දී ඔහු හිටියේ කාමරේ.  ඇය නැවුනා.  බාටා දෙක ගෙන අගේ හයි හීල්ස් දෙකක් මත සීරුවට තැන්පත් කළා  දොර වැහුවා – අගුලූ නොදා හැරුණා.

දොර උලූවහු අතර තෙරපෙන හඬට ඔහු හිස හැරෙව්වා.  දොරක් උලූවහුවක් අතරින් සිහින් ආලොක රේඛාවක් ගලනවා කොරිඩෝව මතට – පාපිස්ස මත ඇලවෙලා.

අල්මාරියේ වම් දොරේ සියුම් රුක් රටාවන් ඉහළට ගලා ගියා.  ඔහුගේ පිට දිගේ බිම ඉඳ ගැනෙන තුරු සිවිලිමේ හරි මැද එල්ලී ‘හොස හොස‘ හඬින් කැරකෙන හුළංකාවත් එක්ක හුළං සොචිචමක් කාමරේ වටේ කැරකුනා – බිත්ති අතරේ වැදි වැදී. ඔහුගේ කමිස බොත්තම් කාසි අතරින් එළියට පැන්නෙ හුළඟට පපුව දී ගෙන.  ඔහු අතැඟිලි තුඩුවලින් පපුව කැලැත්තුවා – රෝම කූප පන ගහලා එන්න  ‘පපුවක් ‘ ඈ හිතුවා – හිතද්දී හිත කැලැත්තුනා.  පස්සෙන් පස්සට ඇවිද්දා – මේසෙත් අල්මාරියත් අතර අවකාශයේ තෙරපුනා.  බිත්තියට පිට දීගෙන.

ඔහුගේ ඇස් කරකුනා – හුළං කා අත්තටුත් හුළඟත් එක්ක.

ඇයට පෙනුනේ ඔහු නටවමින් සිටි පා ඇඟිලි විතරයි.  ඈ ගණන් කළා.  ඒ මේ අතට – දහයයි.  නියපොතු ? ඒ මේ අතට – අටයි.  නියපොතු නැති සුළැඟිලි.

කිව්වට, ආවට ඔහුට සැලැස්මක් තිබුණා.

ඈ හිටියේ ඔහු එයි කියලා බලාගෙන.  නේයි කියලා හිතාගෙන.  සැළැස්මක්වත් මොකක්වත් නෑ කියලා ඈ හිතුවෙ නෑ.

ඔහු ඇඟිළි නර්තනය නවත්තලා කකුල් දණිස් ගාවින් නවලා අත් දෙක දණිස් දෙකේ බැඳගත්තා.  ඔහු කාමරේ උන්නත් පේන්නැති වුණු හින්දා මහ මොකක්දෝ පාලූවක් ඇගේ හිතේ විදුලි කෙටුවා.

ඈ ඔහු ඉදිරිපිට උක්කුටියෙන් වාඩි වුණා. කෙලින් ම බැලූවා ඇස් දෙක දිහා.   ඔහු ඇගේ ඇස් දෙකෙන් ඇස් දෙක මුදෝගෙන මකුළු දැල්වල පටලෝගත්තා.   ඈ බිම ඉඳ ගත්තා.  පද්මාසනාරූඪව.

‘මෙච්චරයි ‘ ඈ කට ඇරියා.

‘මං කොහොමත් මකුළුදැල් වලට ආසයි. මට ඒවා කඩන්න බෑ.  මං ඒවා කඩන්නෙ නෑ.  එච්චරයි‘

ඔහු දුම් තලියක් ඇගේ මූණට පිම්බා.  ඈ දුම අතින් ගසලා ගසලා පැත්තකට දාද්දී ඔහු තව දුම් උගුරක් ඇද්දා.  ඈ අත් දෙකෙන් මූණ වහගත්තා.  හක හක ගාලා හිනා වෙද්දි දුම් පැන්නා ඔහුගෙ දත් අතරින් – තොල් අතරින් – ටික ටික   ඔහු නැගිට්ටා.  දොර අයිනේ හිට ගෙන හිටපු කොස්ස ගත්තා අතට.  මකුළු දැල් අතර පොල් කෙඳි පා වුණා.

‘මගේ කාමරේ තියෙන්න  ඕනා මට  ඕන විදිහට නේද‘   ඈ ඇහුවෙ තීරණාත්මක විදිහට. ඒත් මුවින් නික්මුණේ  බිඳුණු හඬක් – වේදනාවක් – සුසුම් දහරක්.

ඔහු කරන දේ කරගෙන ගියා දිගටම.  මකුළුවෙක් දෙන්නෙක් ක්ෂණික කෙඳි මවා ගෙන පස්සට රීටුවා.  ඔහු කරන දේ කරගෙන ගියා දිගටම.

‘මං හිතන් ආවෙ කාමරේකට තමයි එන්නෙ කියලා‘  ඔහු කිව්වෙ උඩ බලාගෙන මග  සැහැල්ලූ වචන.  කොස්ස පහතට හෙළද්දී මකුළු දැල් කළු දුඹුළු වෙලා.  ඔහු කොස්ස හිටපු තැන හිටෝලා අත්ලෙන් අත්ල ගසා බසා දැම්මා.

‘මකුළු දැල්වලින් කාමරේ මනින්න බෑ.  මිම්ම අලූත් කර ගනින් ‘  ඈ  කිව්වෙ කේන්තියෙන් ද නැද්ද කියලා ඔහුටවත් ඇයටවත් තේරුන්නෑ.  ඇයට  ඕනා වෙලා තිබ්බෙ මොනා හරි කියන්න.

‘මං කිව්වෙ මේකයි‘ ඔහු ඉඳ ගත්තා හිටපු තැනම – ‘මකුළු දැලක්වත් කඩන්න බැරි නම් උඹේ කාමරේ මොකක්ද යාළුකම.  ඒ කියන්නෙ මේකයි ‘ ඔහු සන්සුන් වෙන්න උත්සාහ කෙරුවා.

‘මං කළේ හරි දේ.  වැරදි වැඩ කරන්න මං බයයි.  ඇයි දන්නවද හිර කූඩුවල ලගින්න මං බයයි ‘

ඇය දකුණු කකුලෙන් ඔහුගෙ වම් ඇඟිලි තුඩු පෑගුවා.  ඈ ඇසෙන නෑසෙන ගාණට කතා කළෙ.  මං කියන්නෙ මේකයි.  ‘ආයෙත් මකුළු දැල් බැඳෙනවා‘.

ඔහු කකුල පස්සට ඇද්දාග  ඇඟිලි තුඩු ඇගේ පය මත පා කළා.  ‘මං දන්නවා‘   ඔහු කිව්වා.  ‘ඒත් මං ආවොත් ඒවා කඩනවා‘

88888888888888

එල්ෆින්ස්ටන් එක කැරකෙද්දි ඔහුගෙ ඔලූවත් එක්ක කැරකෙන්න තියා ගත්තා –  අත යකඩ වැටේ පැටලූණා.  ඔහු හිටියෙ වැට වටේ පොලිමේ කොටුවෙලා.  පෝලිම කැරකෙන්න ගද්දි හෝල් එක නැවතුනා.

මරදානෙ හිස උඩ පාළමෙන් ඇගේ හිස මතුවුණා.  ඈ පඩි නැග්ගෙ වෙළඹක් වගේ.  ඈ ඔහු ගාව නැවතුණා – හිනාවීගෙන – පොලිමෙන් පිට.  නාඳුනන කෙනෙක් හින්දත්

අඳුනන මූනක් හින්දත් නෙමේ ඔහු හිනාවුණේ – ඔහු හිනාවුණේ ඈ හිනා වුණ හින්දා.

‘චන්දිකා නේද‘  ඇගේ හඬ නික්ම ආවා. වේරම්භ වාතයක් වගේ.  ‘මිලා මට උඹ ගැන කිව්වා. ලියනවා කියලා.  මට සිංදුවක් ලියලා දෙනවද‘

ඔහු පෝලිමත් එක්ක ඉදිරියට කැරකෙද්දි ඈ කැරකුනා ඔහුත් එක්ක.  ඔහුට අපහසුවක් දැනුනා.  නන්නත්තාර හැඟුමක්.  පිස්සුවක් වගේ එකක්.  එක – පෝලිම පැනීම.  දෙක – මහ හයියෙන් කතා කිරීම.  තුන – උඹ කීම.  ඔහු කොහෙත්ම කැමති වුණේ නෑ කෙල්ලෙක් උඹ කියලා කරන ඇමතුමට.  ඒක හරි ග‍්‍රාම්‍යයි – කෘත‍්‍රීමයි – යාන්ත‍්‍රිකයි – ඕනාවට වැඩියි. එහෙමයි ඔහු හිතුවෙ.  මේ දැන් අඳුනගත්ත – අඳුනගන්න හදන කෙල්ලක් එහෙම කතා කරන එක කොහොමටත් ගැළපෙන්නෙ නෑ.  ඔහුට ඕන වුණේ මේ මරාලෙන් ගැලවෙන්න.

ඔහු පොරොන්දු වුණා ලියලා දෙන්න සිංදුවක්.

‘කවද්ද‘ ඈ ඇහුවා.

‘අද හෙට ම‘  ඔහු කිව්වා.

ඇගේ හඬ මදනලක් ගාණට වැටුණා.  ලෙන්ගතු වුණා.  ඇගේ හිතේ ඔහු හිතන් හිටියෙ ආඩම්බරකාර රූපයක ඒත් එහෙම නෑ කියලා ඔහු කතා කරන විදිහට.

‘මිලා මට උඹෙ නම්බර් එක දුන්නා.  මං මතක් කරන්නම්‘  ඇගේ හඬ නිමිලා   ඇල්වතුර වගේ.  වචන ගැලූවෙත් නෑ වත්කඬේ වගේ.

‘මං යනවා‘ ඈ ගියා පෝලිමේ අග්ගිස්ස හොයාගෙන.

ඒත් පෝලිම පැන්නෙ නෑ.  හයියෙන් කතා කළෙත් නෑ.  උඹ කියන එකේ අවුල තියෙන්නෙ ඒකි ගාව නෙමේ මගේ ඔලූව ඇතුලෙ. ඔහුට හිතුණා. ඇය මුලින් ම දැනෙන්න පටන් ගත්තෙ ඒ මොහොතේ.

සතියකින් හරියටම සතියකින් ඈ ඩයල් කළා, ඔහුගෙ නම්බර් එක  රිංග් වුණා.

‘මං චාපා උඹට මතකද‘ සිංදුවක් ඉල්ලපු කැත කළු චා කෙල්ල.

ඔහුට හිනා ගියා.

‘මතකයි ද‘ ඈ ඇහුවා.

’මතකයි‘ ඔහු කිව්වා.

‘ලිව්වද‘ ඈ ඇහුවා.

ඔහු ‘ඔව්‘ කිව්වා.

ඇගේ හිතේ වළාකුළු පාවෙලා ඈතට හිත පැහැදුනා. අහස වගේ.  ‘හොඳ එකෙක්‘ ඈ හිතුවා. ‘තියෙනවද‘ ඈ ඇහුවා.

ඔහු ‘ඔව්‘ කිව්වා.

‘කොහොමද ගන්නෙ‘  ‘එන්න ද එනව ද‘

‘එවනව ද කොහෙමද‘ හදිස්සි වුණා ඈ.

‘මේකයි.  මං ඉන්නෙ මග. තව පැයකින් රිංග් කරන්න ෆෝන් එකෙන් ගමු‘

මඟ කිව්වට ඔහු හිටියෙ ඔෆිස් එකේ.  ඇගේ උනන්දුව හින්දම ඔහුට හිතුණා ලියන්න.

හරියටම පැයකින් සෙල් එක රිංග් වුණා.

‘මං චාපා උඹට මතකය ද? මතකනේ  මං ඇවිත් ගන්නම්‘

‘කොළයක් ගන්න‘ ඔහු කිව්වා.

ඔහු කටහඬ හෙමින් හෙමින් ඇද ඇද තාලෙකට කියෝපු වචන ඈ ලියාගෙන ගියේ පුනරුච්චාරණය කර කර ඇද පැද.

පරිගණක
ගගන
සරන
විහඟුනේ
පරිගණකයෙන් ද
පියාඹන්න
අත්තටු ලැබුණේ

වහින්න යන වළාකුළට
වෙඩි තියන්න
සුමුදු
සේද
තටු අතරට
අවිය කොහින්දෝ
සිඟිති
විහඟ
ඇඟිලි තුඩට
සවිය කොහින්දෝ
පරිගණකයෙන් ම දෝ

ඈ බලා හිටියා ඉතුරු අන්තරාව – පපුවේ පුරෝගත්තු හුස්ම පහළට නොදා.  ඈ හිතන් හිටියෙ ඔහු ඈ ගැන දන්නෑ, රුකියාව ගැන දැනන් හිටියෙ නෑ කියලා.  ඔහු ගොඩක් දේ දන්නවා කියලා දැනුන ම ඈ කැළඹුණා. පුදුම වුණා.

‘තාම ලියවුණේ එච්චරයි‘ ඔහු කිව්වා.

‘හොඳ නැතුව ඇති.  බලන්න මොනා හරි කියන්න‘

‘මොනා කියන්න ද‘ ඇගේ මුව අග වචන ගැස්සුනා.  ඇත්ත සිතිවිලි හැංගුවා.

‘කරුණාකරලා ඉතුරු වචන ටික දීපං නැත්නම් වළාකුළට නෙමේ වෙඩි කන්න වෙන්නේ උඹට‘

‘හරි හරි දෙන්නම්‘ ඔහු කිව්වා.

‘කවද්ද‘ ඈ ඇහුවා.

‘අද හෙට ම‘

8888888 8888888 8888888

කිසිදාක ඇගේ සීඞීයවත් ඔහුගේ සිංදුවවත් ඉවර කෙරුන්නෑ.

ඇත්ත කතාව ඈ ඒක මතක් කළේ නෑ.  ඔහු හිතුවා ඈ යථාර්ථයක් ගායිකාව බොරුවක් කියලා.  ඔහු කිසිදාක දැකලවත් අහලාවත් තිබුණේ නෑ ඇගේ ගැයීම්.

එත් දවසක් උදේ ඔහුගෙ සෙල් එකේ ඇගේ නොම්මරේ වැටුණා.   ඔහු ඔන් කරලා හලෝ නොකියා කනේ තියාගෙන අහන් හිටියා.  ඈ දිගටම ‘හලෝ – හලෝ – හලෝ – හලෝ‘  කිව්වා.  සද්දක් නැති හින්දා ඈ හ්තුවා ෆෝන් එකේ ලෙඩක් කියලා.

ඔහු හලෝ කිව්වෙ හිනාවෙවි.  ඈ කේන්තියක් මවා ගත්තා. ‘මට මගේ සින්දුවෙ ඉතුරු වචන  ඕනෙ ඉක්මණට. මෙලඩියත් හරි.  වචන ටික හින්දා වැඬේ හිරවෙලා‘ ඇය කතා කලේ අරන් තියන්න දීපු දෙයක් ඉල්ලනවා වගේ. ණය කාරයෙකුගෙන් පොලිය ඉල්ලනවා වගේ.

ආණ්ඩුවෙ ලිපිගොණු අතර සැරිසරන මාස් පඩිකාරයෙකුගෙ ගාණට ඔහු පත්වුණා.

‘දෙන්නම්‘ ඔහු කිව්වා.

‘කවද්ද‘ ඈ ඇහුවා.

‘අද හෙට ම‘

‘අනේ කොහොම හරි දීපං‘ ඒ පාර ඈ පිංසේණ්ඩු වුණා. ඇත්තටම ඈ හිතාගෙන හිටියෙ සිංදුව රෙකොඞ් කරන්න.  ඒ හින්දා ඈ ඔහුට බලහත්කාරකම් කළා.  අහිංසක බලපෑමක්.  හෘදයංගම තර්ජනයක්.

‘අනේ දීපං හොඳේ නැත්තං මං උඹට ලව් කරන්න පටන් ගන්නවා‘

ඔහු ගැස්සුනා.

හිත් දෙකම දෙගිඩියාවෙන් පිරුණා.

8888888 88888888 88888888

දෙගිඩියාව දඩ දඩ ගාලා හදවත ඇතුළේ දැඟලූවා.  දිගට ම දවස ම ඈ ගැයුවා. එක එක ගීත එක එක විදිහට ඈට ම ඈව කන්දොස්කිරියාවක් වෙනකන්.  වෙලාවකට ඈ සිංදු ඇහුවා.  පරිගණකයෙන්.   කී බෝඞ් එකට අත තිබ්බෙ නෑ. ඈ  මවුස් එකට අත තිබ්බෙ අලූත් සිංදුවක් තෝරන්න.  හැන්දෑ වෙද්දි ඈට සිංදු ඇහිල්ලත් එපා වුණා. උදා වුණේ ඔහුට කතා නොකර ඉන්න බැරි තත්වයක්.

’උඹ වැඩක ද’ ඈ ඇහුවා.

’කමක් නෑ කියන්න’ ඔහු ඉක්මනට නැගිටලා ජනේලෙන් පැනගෙන බැල්කනියට ගියා. එතනට පාර පේන සෙනඟ පේන නිසා නෙමෙයි එතන කවුරුත් නැති නිසා.

තත්පර ගණනාවක් ගත වුණත් ඈ කතා කළේ නැති හින්දා ඔහු කතා කළා.

’කියන්න  ඕනා දෙයක් කියන්න’

’අපි උදේ කරපු විහිළුව  ’

’ඔව්’

’ඒක සීරියස් වෙලා’

ඔහු සැලූනේ නැතත් වචන සැලුනා. ’කාට ද ’

’මට – මට ම’ ඈ කොහොම හරි කියා ගත්තා කෙපර නොබා.

’ මං බැඳලා මාසයයි’ ඔහුට කියවුණා.

’මං ඩිවෝස් වෙලා අවුරුද්දයි’

-විරාමය-

ඔහුට නමක් ගමක් දිනයක් තැනක් නැති ලිපි දෙකක් ලැබුණා – දින දෙකක් ඇතුළත.

මිත‍්‍රයා,

බොහෝ දෑද, ඇතැම් දෑද කිසිවිටෙකත් මා සසල නොකරයි. නිහඬතාව කටහඬක් නම් මම ඊට බිය වෙමි.  කෙතරම් බිය වුව ද ඝනාන්දකාරයට ද එහි ඇති නිහඬතාවට ද කාන්සියට ද පෙම් කරමි.  එවිට ඇසෙන භාවමය මිනිසෙකුගේ හෘද ස්පන්දනීය රිද්මය කොයි තරම් බියකරු ද?  එය ජීවිතයටත් වඩා බියකරුය.  ඒ භාවමය හදවත මා අසල ගිගුම් දෙන මොහොත කොයි තරම් ඈත ද ඒ මොහොත ළඟ බව හිත හිතා ඇඟිලි ගැන ගැන ඉන්නට මට ඇඟිලි මදි කොට ඊටත් වඩා බියකරුය.  මට ගී ලියන්නට බැරි ය. නොලියවෙන ගී අධිකය.

ඇට මිදුලූ කකියවන රමණය මරණය බඳුය.  අපුල ය.  විපුල ගුණ ඇති මිනිසෙකු සොය සොයා ගිය මඟ බොහෝ දුර ය.   ඒ ඔබ ද සිතෙන තරමට සිත වෙහෙස ය.  එපමණකි.  සියල්ල ම එබඳු ය. පිපාසෙට පෙනෙන්නෙ ම මිරිඟුය.

11

මිත‍්‍රයා,

මේ අහපන්, මිත‍්‍රත්වය – පේ‍්‍රමය හා වෛරය අතර ඇත්තේ කවර පරතරයක් ද? මේ සුසංයෝගය කවර අරුතක් නැගිය නොහැකි ද? උඹේ කටහඬ නෑසුනා.  හිත සැහැල්ලූයි.  හිස බරයි. ඒත් මං කැමතියි.  මිත‍්‍රත්වය වෙනුවෙන් හිත බර වෙනවට.  පේ‍්‍රමයෙන් හිස සැහැල්ලූ වෙනවට.

88888888 888888888888

ඈ බිත්තියට හේත්තු කරලා තිබ්බ කුෂන් මෙට්ටෙ තල්ලූ කලා බිම අතහැරෙන්න. ඔහු කමිසය ගලවද්දි ඇගේ ඇස් උඩ ගියා.  කමිසෙ පුටු පත්තෙ එල්ලලා ඔහු අත් එහාට මෙහාට පැද්දුවා.  කැරකුවා – ඇඹරුවා ව්‍යායාම කරනවා වගේ.  ඇඳක් නැතත් මෙට්ටයක් තිබුණෙන් ඈ ඇඳ ඇතිරිල්ලක් මෙට්ටය මත එළුවා.  රැලි නොවැටෙන්න. ඈ කොට්ට දෙකක් දෑතට අරන් එකට හැප්පුවා.  ඉංග‍්‍රීසි හෝඩියකින් අකුරු හැලිච්ච පොරෝනාවක් ඈ විළුඹේ ඉඳන් ඉන වෙනකන් වසා ගත්තා. මෙට්ටෙ බිත්තිය කොණට දාපු කළු පොරෝනාවෙ තිබුණු කුණු ලේ පාට රෝස මල් රැලි වැටිලා.

ඔහු නයි මල්ලෙන් ඇදගත්තු සරම දාගෙන ඩෙනිම ගලෝනවා ඈ බලාගෙන.  ඈ රැලි වැටුණු ඉංග‍්‍රිසි අකුරුවලින් ඔලූවත්තෙක්ක වහ ගන්නවා ඔහු දැක්කා සස්පෙන්ඩරය ගලෝනකොට.  ඔහු ඩෙනිමත් සස්පෙන්ඩරයත් පුටු පත්ත මත රඳවා විදුලිය නිවා ඇගේ බඩ උඩින් පැන මෙට්ටයේ දිගා වෙද්දි ඔහුට ඇහුණා ‘ඩග් ඩග්‘ ගා ගැහෙන හදවතක හඬක්. මිනිත්තු ගාණක් ගතවුණා ගානක් නැතුව.  ඈ හිටියෙ මෙට්ටෙන් වැටෙන නොවැටෙන ගාණට.

ඔහු ‘ළඟට එන්න‘ කියද්දී ම උත්තරේ ලැබුණා ‘බෑ‘ ඈ හිටියෙ උත්තරෙ දෙන්න ම බලාගෙන වගේ.

’මොකෝ ‘ ඔහු ඇහුවෙ මොහොතක් ගත කරලා.

’ මං ආස ඈතින් ඉන්න‘ ඈ පොරෝනාවෙන් හිස මතු කරලා දිග හුස්මක් කටක් ගත්තා.

‘ඔහොම ඉඳපන් එහෙම හොඳයි‘

ඔහු කළු පොරෝනාවෙ කුණු ලේ රෝස මල් කකුළෙන් තල තල පහතට තල්ලූ කර කර හිටියේ.

‘මං ආස උණුහුමට‘ ඔහු සරමෙ ගැටය ලිහලා යළි බැඳ ගත්තා.

‘මට  ඕනෙ කළුවරේ තියෙන පාළුව‘ ඇගේ මුවින් වචන වෙනුවට ගැලූවෙ සුසුම්.

‘උණුහුමක් නැති කළුවර  විකාරයක් ’ ඔහු ගෙල හරවා ඈ දෙස බැලූවා.

‘මෙහාට හැරෙන්න නැත්තං මං හැරෙනවා’

‘එපා’ ඈ වචනෙන් ඇද්දෙ භීතිය. ‘යාළු කං ඉවරයි’ ඇය කිව්වෙ හදිසියෙන්  තිගැස්මෙන්.

‘සීතලට තුරුලූ කර ගන්න බැරි යැළුකමකින් ඇති වැඬේ මොකක්ද‘ කියාගෙන ඔහු හැරෙද්දි ම ඈ මෙට්ටයෙන් පැන විදුලිය දල්වා පොරෝනාව පොරෝගෙන ඇණ තියාගෙන බිම බලාගෙන තදින් හුස්ම ගන්න පටන් ගත්තා.

බිත්තියට බර දී මෙට්ටෙ මත ඉඳගෙන සරම ගුලිකර දෙපරැන්දෙ ගසා කොට්ටය ගෙන කලව මත තබාගෙන උඩ බලා ගත් ඔහුට පෙනුණා මකුළුවෙකු ඈතින් දැලක් වියනු.  ඔහු නැගිටිටෙ කොට්ටෙ අතින් ගෙන.  උඩ දමා එය හිසෙන් ෆුට් බෝල් ගැසු ඔහු පුටුවෙන් ඉඳ පෑන අතට ගත්තා. ඈ මොහොතක් බලා හිඳ යළි මෙට්ටය මත දිගෑදී හිස සිට දෙපතුළ තෙක් ඉංග‍්‍රීසි අකුරු පොරවා ගත්තා.

(කතාව ඉවරයි)*

ඔහුගේ සෙල් එකේ ඇගේ නොම්මරේ වදිද් දී ඔහු හිටියේ ඔෆිස් එකේ.

‘වැඩක ද’ ඇගේ වචන හෙළ වුණා ‘සිකි සිකි’ ගාලා.

‘වැඩක තමයි කමක් නෑ කියන්න’ ඔහු හිටියෙ වෙන සිහිනයක. වෙන සිහිනයත් ඈ ම යි.

‘උඹ තරහද’ ඇගේ දිව පැටලූනා.  ඇය දිව මහපටැඟිල්ලෙන් අතගාලා  මහපටැඟිල්ලයි දබරැඟිල්ලයි ඇතිල්ලූවා.  ‘මළ ගෙයක් නේ… උඹ කමිසෙ ගැලෙව්වා – ඒක හරි අමාරුයි. අඩු ගාණේ සරමට නොබැහැ ඉන්න තිබුණා. උඹ හැඩ ඩෙනිමට. ‘තරහ ද අපරාදෙනේ‘

‘අපරාදෙ නෑ.  මං කැමති ම රාත‍්‍රියක්’ ඔහු කිව්වෙ වෙන සිහියකින්. වෙන සිහියත් ඈ මයි.

‘කෙටි කතාවක් ලියවුණා’

‘ඒක ද නිදි මරාගෙන කරේ.  එතකොට මගෙ සිංදුව?’

‘ඒක දෙනවා’

‘කවද් ද’

‘අද හෙට ම’

Advertisements

“ගීතයක ඉතිරි අඩ” වෙත සිතුවිලි 2ක්

  1. පිස්සු හැදෙන කතාවක්නෙ. සුපිරියි!

    මම මේ අධිවේගයෙන් ඔයාගෙ බ්ලොග් අඩවිය කියවමින් ඉන්නෙ. කමෙන්ටුවක් දාන්නවත් ඉස්පාසුවක් නැතුවම. ඒ තරමටම රහයි. අපූරුයි!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )