මම ලිඟුමාල වෙමි

sadness

සටහන – පොලිස් පාදඩයින් දස දෙනෙකු විසින් දූෂණය කරනු ලැබ අවසන යෝනිය තුළට අත්බෝම්බයක් දමා පුපුරවා හැර අමානුෂික ලෙස මරා දැමූ කෝනේශ්වරී අම්පාරේ දිවි ගෙවූ තෙදරැ මවකි. මෙම සිද්ධිය සිදු වූයේ 1996 ජුනි මාසයේදී  ය. එදා මෙම සිද්ධිය සැලවීමෙන් අකම්පිතව සිටි දකුණේ සිංහල සිත්වලින් අද වන විට මෙම සිද්ධිය සම්පූර්ණයෙන්ම ක්ෂය වී ගොසිනි

අත ගසාගෙන නළලත
වෙසක් සඳ වැළපෙයි.
ජනේලෙන් හොටු පෙරෙයි.

ළඟපාත ගෙදරක
තෙමඟුල පිණිස නිමැවූ
නෙළුම් මල් සත
තවම පරවී නැත.

පන්සිය පනස් ජාතක
එක පතට සින්දා තැනූ
නූතන වි-ජාතකයක
විරිඳු සුරල් රාවය
විටින් විට
තොරණකින්
ඈතින් ඇසේ.

මා ඉදි‍රියෙහි
හිස් ම හිස් කඩදාසියකි
කවියක් පිණිස අහැරී බලා ඉන්නා.

එකෙණෙහි ම
පියාඹා ආ මස් කැබැල්ලක්
කඩදාසියෙහි පතිතව
යෝනියක
හැඩතල මවයි.
නිසැකවම ඒ කෝ‍නේශ්වරීගේ විය යුතුයි.

අම්පාර සිට කොළඹට
පියාඹා එන්නට
මේ හැටි කාලයක්?

ඒ තරම් අපි ඈතය.
දෑස කඳුලින් සීතය.

කඳුලු අතරින් මම
අංගුලිමාල නොව
ලිඟුමාල වෙමි
මට ඇඟිලි අනැවැසි ය
ඕනෑ පුරැෂ නිමිති ය.

බැතින් වමතින් ගත්
මස් කැබැල්ලෙන් යුතුව ද
දකුණතින් තරවැ ගත්
තියුණු සැතෙකින් යුතුවද
නික්මෙමි.

මග දිගට හමු වන
ගෙයින් ගෙට සන්කොට
සෑම සිංහල ලිඟුවම
කපා හුයෙකින් අමුණමි
අවසන මගේත්…
ආ…හ් …..

වේදනා ද‍රාගෙන
සමනොළ ගිර ගෙලට
ලිංග මාලය පළදමි.

නවතාලනු පිණිස මා
බුදු කෙනෙකු නැතියෙන්
නිසැකවම මෙය කළ හැක.

සහෝදර සිත් නැති
හැඟුම් නැති
ජාතියක් කුමට ද?

මා ඉදිරියෙහි
හිස් ම හිස් කඩදාසියකි.
ඒ මත ලේ පැල්ලමකි.
එය කවියකි.
ඒත් ඒ දෙමළෙනි.
සිහළුන්ට නොතේරෙන්නේ එබැවිනි

Advertisements