නිමලරාජන් ගේ අම්මා

nimals mom

ආත්මය මිලානව තිබිණ.

මම නිමල්ගේ අම්මාට ලියුමක් ලී මි.

“කිසිදාක දැක නැති
දයාබර අම්මේ
ඔබ දකින්නත් ආසයි
ඔබ දැක යන්න එන්නවත්
මුන් අපිට ඉඩ දෙන්නෑ
අම්මාවරැන්වත් මෙහේ වුන් හඳුනන්නෑ
දරුකම කියන දේවත්
මේ කිසි කෙනෙක් දන් නෑ”

ඈ හැරෙන තැපෑලෙන්
මා අමතා තිබුණා ය.
“පුතේ උඹෙ අත් අකුරැ
නිමල්ගේ අත් අකුරැ ‍වගෙමයි
උඹ බලන්නත් ආසයි”

ඇගෙ ලිපියෙන්
මගේ ආත්මය යළි වරක් විකසිත විය.

සියලු බැරියර් බිඳගෙන
මම ඈ දකින්නට ගියෙමි.

ඇගේ ප්‍රේමය අභියස
දෙ දණින් වැටී
ඉරි තැලුණු දෙපා සිම්ඹෙමි
“අම්මේ ඔබෙ දෙපා
අපේ අම්මගේ දෙපා වගෙමයි”

ඇය නැඹුරැ වී
ස්නේහයේ සුරතින්
මහිස පිරිමැද්දාය
“පුතේ උඹෙ හිස
නිමල්ගේ හිස වගේමයි”

මම සීරැවෙන්
ඈ අභියස සිට ගතිමි
“අම්මේ ඔබෙ සුරත
අපේ අම්මගේ සුරත වගෙමයි”

ඇය නොසෙල්ලී
නෙතු පියන් නොසොල්ලා
මා දෙසම බලාගෙන උන්නා ය.

මම සිනහසීමට යත්න දැරීමි.
“පුතේ උඹෙ සිනහව
නිමල්ගේ සිනහව වගෙමයි”

ඉක්බිති
ඈ දෙනෙත් අගිහෙන්
සිහින් දිය දහරක් ගලා හැළිණි.

“අම්මේ ඔය කඳුළු
අපේ අම්මගෙ කඳුළු වගෙමයි”

Advertisements