මඩකළපුවේ දී ය.

Kalladi Bridge
Kalladi Bridge

පවනැල්ල හමන්නට අමතකව ගිය මොහොතකි.

කළපුව රළ නගන්නේ ඉඳහිට ය.
වේදනාබර මසකු ඉහළ නැග
තට තට ගා වරල් හසුරා ළය ගගා
නැට්ටෙන් ඇවිදිමින් කෑ ගසා දුක කියා
දිය වැද සැඟව යන නිශ්චිත මොහොතක පමණකි.

ඈත ඉවුරේ නලියන සෑම ආලෝක කළඳක් ම
කළපු දිය මත දිගු රේඛාවන් අඳියි.

උස්ව නැගි කල්ලඩි පාළම
කප්පරක් දුක් උහුළා
පහතට නැමුණු දෙනෙතින්
හිනාවෙන්නට අමතක
තාත්තා කෙනෙකු මෙනි.

සිතිවිලි බඳුව
පාළම තරණයට එන
බවුසරේ සිට යතුරු පැදි තෙක් වන එළි
කළපුවට දිගු රේඛා දිගු කොට
වේගයෙන් නික්ම යයි.

මෙ කළපුව අම්මා වාගේ ය.
නිහඬව ගැඹුරු දෑසින් සියලූ දුක් උහුළන
මඳනලින් වුව රැලි වෙසින් මඳහස නගන්නී
සියලූ එළි රේඛා කැලැත්තී
කළපු ළැම රැලි සුලි නගයි.

නිකිණි සඳ හුණුවී දියව වැගිරෙයි කළපුවට.
බිනර සඳ වුව රැගෙන එන්නේ අඳුර ම ය.
නවෝදය වුව උදාවන්නට අමතකද ඉර ?
මේ
නැගෙනහිර.

Advertisements