සාන්තන් නම් වූ බුබුළු දල්වන්නා

DaStreet_Lamp_Painting_by_androidworkshop

කරන්ට් නුදුන්නෙන් ලැයිමක හිටි හන්දා
අඳුරු ගුහාවක හරියට දුක් වින්දා
තහඩු වහල හිල් අතරින් නෙත් රන්දා
හඳට වැඩිය හඳ එළියට පෙම් බැන්දා

ඉර ද බඩ ගගා සැඟවෙන ඇසිල්ලේ
බරට අඩි තබා නුවරට විදිල්ලේ
කෙවිට ගසා ගෙන සෙනෙහෙන් කිහිල්ලේ
බුබුළු මලින් මල බඹරෙක් ඉගිල්ලේ

විදුලි කොටා වැසි වැස්සෙන් තෝන්තුව
විදුලි රැහැන් පට හෝන්දු මාන්දුව
කෙවිටි තුඩු අගින් විදුලිය කාන්දුව
උස්සා පොළවෙ ගැහුවයි අපෙ සාන්තුව

අඳුර ගලාගෙන විත් තැන තැන රන්දා
පඳුරු ලලා වැඩුනයි නුඹ නැති හන්දා
විදුලි සැරෙන් දිව එන රූ කොයිබින්දා
විදුලි කණුත් හිස බර කර ඉකි බින්දා

නිවන පතන මණ්ඩලයේ බැනර් වල
කඳුළු වැලක් ඇඳ තිබුණයි ගලන්නට
ලැයිම අඳුර මැද වැළපෙන දෙ ඇස් වල
ගලන ගලන හැම කඳුළෙම කරන්ට් එක

මහත්තුරුත් දෙණ ළඟ ඇස් මහත්කර
රාත්තිරිය දුලවන්නයි පොරොන්දුව
ගහක් ගලක් වන් මිනිහෙක් වහන් කළ
ඉතින් නුදුන්නත් කම් නෑ කරන්ට් එක

Advertisements

චෙම්මිනි

absolute_sadness_by_virtud

අත්තටු  නගා සූරිය  ගිර     නැග්ගාම
චෙම්මනි කඳුළු විල ඇත්තේ  අත ගාව
විල් තෙර සරන දෙබරුනි කිම මඳහාස
චුන්ඩිකුලි නෙළුම සිහිනෙන්    දුටුවාද

තුවක්කුවත් මල් පූදින         ඉසව්වේ
විලක්කුවක් කවුරුද      ඇවුලුවෙව්වේ
සාක්කියක්වත් නැති       පළහිලව්වේ
තවත් විලක් පමණිද මේ   කොදෙව්වේ

සීතල  අතින්  අත පිරිමැද    බැලූවාම
දෑතම උණුහුමක පැටලෙයි   පෙරසේම
සූරිය ගිරි මතක  යලි වල       දැමුවාම
දෑසට සැනසුමද සැනසිල්ලද     කෝම

චෙම්මිනි විල් අරා  මල් වල කොපුල් පුරා
ඇල්මෙනි පුන්සරා  ඉහිරන   කැළුම් උරා
කැල්මෙනි සුන්දරා -විහිදෙන  සුසුම් යුරා
අම්මෙනි පෙම්බරා   සුවඳද    අනුත්තරා

දකුණේ නෑදෑයින් වෙත

Eat man

බාරවුණු දෙමළ සෙනඟට
රහට බත පිස පිස
පාර්සල් බඳිනට
වෙහෙස වෙන මගෙ නෑයිනි
දෙන්න ඔය අත් සිපගන්න.

කිරිබත් හොඳයි උදයට
ලූනු මිරිස් හා බුදිනට
කෙසෙල් කොළයක එතු විට
සුවඳත් හමයි පදමට.

බල මාළු ඇඹුල් තියලට
පොළොස් මාළුව ආ විට
මොන අඩු වැඩිද දවලට
සිංහල හාලෙ බතකට.

ලේ ගලන දෙතොළත
දැවිල්ල නිවාගන්නට
වෙන අතුරුපස කුමටද
රුහුණු මීකිරි ඇති විට.

නිමාවක් නැති රෑ කල
උදා වූ බව නොහැඟෙන
රෑට – අඳුරෙම ගිලිනට
කුරහන් තලප කදිමය.

මඩකළපුවේ දී ය.

Kalladi Bridge
Kalladi Bridge

පවනැල්ල හමන්නට අමතකව ගිය මොහොතකි.

කළපුව රළ නගන්නේ ඉඳහිට ය.
වේදනාබර මසකු ඉහළ නැග
තට තට ගා වරල් හසුරා ළය ගගා
නැට්ටෙන් ඇවිදිමින් කෑ ගසා දුක කියා
දිය වැද සැඟව යන නිශ්චිත මොහොතක පමණකි.

ඈත ඉවුරේ නලියන සෑම ආලෝක කළඳක් ම
කළපු දිය මත දිගු රේඛාවන් අඳියි.

උස්ව නැගි කල්ලඩි පාළම
කප්පරක් දුක් උහුළා
පහතට නැමුණු දෙනෙතින්
හිනාවෙන්නට අමතක
තාත්තා කෙනෙකු මෙනි.

සිතිවිලි බඳුව
පාළම තරණයට එන
බවුසරේ සිට යතුරු පැදි තෙක් වන එළි
කළපුවට දිගු රේඛා දිගු කොට
වේගයෙන් නික්ම යයි.

මෙ කළපුව අම්මා වාගේ ය.
නිහඬව ගැඹුරු දෑසින් සියලූ දුක් උහුළන
මඳනලින් වුව රැලි වෙසින් මඳහස නගන්නී
සියලූ එළි රේඛා කැලැත්තී
කළපු ළැම රැලි සුලි නගයි.

නිකිණි සඳ හුණුවී දියව වැගිරෙයි කළපුවට.
බිනර සඳ වුව රැගෙන එන්නේ අඳුර ම ය.
නවෝදය වුව උදාවන්නට අමතකද ඉර ?
මේ
නැගෙනහිර.