එන්න ටියුලිප් හෙවනට

by Julian Merrow-Smith.

එන්න මෙතනට
ටියුලිප් මලේ හෙවනට.
මෙන්න ඒ ලියමන
කිසිකෙනෙක් එන්නැති බව
දන්වා එවන ලද.

නමින් අකුරක් ගිළිහුණ
වෙනත් මිනිසෙකි.
ඔහු අත තිබෙන කවිය ද
වෙනත් කවියකි.

‘’පළාතක නෑ බල්ලෙක්
ඒ වුණත් මං උයන් පල්ලෙක්’’
තනියෙන් කතා කර කර
තනියෙන් ම හිනාවෙන
දිය ඉහින කොලුවා
වට පිට බලන්නේ නැතුවම
පෙති මතට සුළු දියර හැලුවා.
තමන් ම හොයා ගත්
තමන් කැමති ම නිම්නෙක
දෙ ගොඩ තලමින් එ ගඟ ගැලුවා.

ඔන්න නිදහස
එන්න ඕනැම හවසක
ටියුලිප් මලේ හෙවනට
හිරිකඩ ඉසෙනු වාගෙයි
සුළු දිය වුණත් හුළඟට.

මඟහැරී ගිය අකුරු
මඟහැරී යාදෙන්
අලුත් අකුරක් හොයා ගන්නට
අපට පිළිවන් වේවි නිසැක ව ම
ටියුලිප් මලේ නාමෙන්.

අතීතය තරම් බර සුනංගුව
අත්හරින්නට බැරිද
පසුතැවිල්ලට වෙනත් වචනයක් හදමු අපි
බෑ කියන්නෑ, හරිද.

රෑට කළුවර අන්ධයි.
නිහැඬියාවෙන් පමණි පැමිණිලි
නිහැඬියාව ම බින්දැයි.
නිදන්නට ඇත්තේ
තව එක ම එක නින්දයි.
ඊට පෙර එන්නැයි කියන්නේ
ආදරේ හින්දයි.

එන්න මෙතනට
ටියුලිප් මලේ හෙවනට.
මෙන්න ඒ ලියමන
කිසිකෙනෙක් එන්නැති බව
දන්වා එවන ලද.

අලුත් මිනිසකු සිටියි
ඉපැරණි දෑස පිහ පිහ.
අලුත් කවියක් ලියනට
අලුත් අකුරක් හොය හොය
ඉපැරණි අකුරු ලිහ ලිහ.

(ඇහැල ඇමතුමකට ඇහැරෙමි – 2011)

Advertisement

~ by monsoonmn on January 15, 2012.

 
Follow

Get every new post delivered to your Inbox.