ගිම්හානයේ හිම (ඉස්පිරිතාල සිතිවිලි)

සාර සියක් ගව් දුර කුළුණක හෙවන
වීර කෙසර ගිළිහෙන සිහිනෙන් මිදුණ
මාර සෙනග විමසන සඳ මඳ පවන
බීර මලක් පිපුණයි පිපිරුණු ලවන

දූම කේතුව ම රැකගෙන පෙනහැල්ලේ
තාම හිනාවෙමි මතකයෙ හෙවනැල්ලේ
නාමෙ දිරන කුණුකය ගෙන සැනසිල්ලේ
බෝම දුර ඇදෙන සුසුමකි පවනැල්ලේ

සේන් කියන ගග දිය සෙනසුරු ලව්වා
මේන් කියා ළමැදට හිරිකඩ එව්වා
කේන්දරය ඉවුරත පරිධිය හෙව්වා
හාන්කවිසියක් නො දැනම කිරි දෙව්වා

සීත, උණුසුමක් දුටුවම නැහැ සද්ද
දෑත අන්ධකාරයෙ මිටි මෙළවෙද්ද
පාත බලාගෙන සමු අරගෙන යද්ද
ඈත, දිව අවුත් ඇහැ ළග ගුලිවෙද්ද

“නිස්කාරණේ සැතපෙනු බෑ තනි යහනේ
පස් මහ බැලුම් පාවෙනවා උඩු ගුවනේ
රස්සාවක් නුඹට විතරද හමු නොවුණේ
බැස්ටීලයට හෙණ වැදිලද සුවාමිනේ”

කිඳුරු විළාපය ඇසුණිද අමාවක
අඳුර ඉකිබිඳින ගණඳුරු වෙලාවක
සොඳුරු ඇසක පාවී යන වලාවක
සොඳුර දිටිද දෙවිඳුනි වැහි වලාහක

ගිම්හානයෙත් හිම මිදෙනා ඇත්තන්ට
සංසාරයම සන්ධ්‍යාවකි බුදු වෙන්ට
නිම්මා නැති කඳුළු පිසදා සැරසෙන්ට
පෙම්මාදරය මැද්දෙම සමු ගෙන යන්ට

Advertisement

~ by monsoonmn on November 25, 2011.

 
Follow

Get every new post delivered to your Inbox.