අපේ තාත්තා

මහා දුග්ගින්දරට
පර්යාය වූ රුවක් හින්දා…..
එ රුව එහි සෙවනැල්ල
මූදු හතකට දුරින් ඇන්දා.
ගණ අඳුර හිරුට දුන් නින්දා
හදවතේ රුවාගෙන
ඔබ කොහොම හිනැහුණි ද මංදා.
ඔබේ දිගු සෙවනැල්ල දෙ පාමුල අඩදැණිව
තාත්තේ අපි ඔබට වැන්දා.

පැහුණු ඉහ ඉද්දරින්
අතීතය රාමු කර තිබුණා.
ආදරේ රාමු කළ නොහෙන සේ
අවසාන වතාවට ජීවිතේ
සෙවනැල්ල උරෙන් උර ගැටුණා.

පොසොන් සඳ ඔරු කඳට
හබල මඟ හැරුණා.
මඟ දන්න සියොතුන්ට සමුදෙන්න
නිම්තෙරට අහස් ගඟ ඇදුණා.
පුපුරු ගසනා දිගැටි නෙත් කෙවෙනි කකියමින්
කවිකමට වැඩි යමක් සැළුණා.

කඳුළු මල් වඩම් ගෙන
මකුළ කඳු තරණයට පෙළ ගැසෙන
නාඳුනන වන්දනා නඩ අතර
දන්න හඳුනන මුහුණු තිබුණා.
වමට බරවී තිබුණු
බිමට බරවුණු මුහුණු
මග හැරුණු මග දෙපස පිරුණා.

පිය බිමේ පිය නගන සිහිනයේ
පිය වදන් ගොළුව ගිය යාමයේ
පිය හඹන්නට පුතුට අත්තටුත් දන් දුන්න
පියකු වේ උත්තුංග ස්නේහයේ

පුතු සෙනේ සම් මස් නහර ඇට මිදුළු විනිවිද ගලනා
නෙතු ඉමේ සංසාරයම එක මිටට ගුලි කර තබනා
පිතු බිමේ නින්නාදයට මතු දිනෙකි ඇසි පිය ඇරෙනා
සකියනේ සංතාපයට පිතු දෙතොල පිළිතුරු නැගෙනා

ජූනි 29, 2011

Advertisement

~ by monsoonmn on July 9, 2011.

 
Follow

Get every new post delivered to your Inbox.