ඉවසීම නම් වන විලාපය

අඳුරු මඳහාස නොමඳව ලබන්නෙමි
සොඳුරු අපහාස පිරිපත විඳින්නෙමි
මිතුරු අවවාද පිරිසිඳ හැඳින්නෙමි
කිඳුරු හිත තාම තනිවම රකින්නෙමි

කවි පාළුවෙන් අහුලන් කන අතරතුර
අරියාදුවට බැලුවේ ඇයිද සුමිතුර
සිරි යානතට ගව් සිය දහසක් විතර
කරකාරයට ගන්නේ කවුද කරදර

කින්නරී වුණත් වෙන සයුරක තෙරක
සින්න වී ගිහින් විසිතුරු හී සරක
අන්තරා කොටස් නොගැයෙන ගී සරක
බැන්ද ස්නේහයේ ළතැවිලි මහමෙරක

නිල සොයනා අතැඟිලි අතර පන්හිඳ
නිල බෙලෙනා පිහිතුඩු රැගෙන එන්නෙද
නිල නිලනා ඇහිපිය ඉහිනු පැන් පොද
නිල නොවනා හිතකට රිදුණ හින්දද

කාරණාවෙ කරුණාවයි බුදු වෙන්න
මාලිගාවෙ ඇහි පිය යට ඇලවෙන්න
නෑර එකක් ඇහි පිනි කැට මට දෙන්න
දෝර ගලන දුක තනියම උහුලන්න

උදාගිර මතින් හිත අවරට යෑම
ගණාඳුර තමයි කඳුළක සැනසීම
මුදාගෙන පැමිණි සුසුමට සමුදීම
විලාපය තමයි කවියක ඉවසීම.

ජූනි 01, 2011

Advertisement

~ by monsoonmn on June 8, 2011.

 
Follow

Get every new post delivered to your Inbox.